“අපි දැන් මේකට මොකක්ද මචං කරන්නේ..”
“මොනවා කරන්නද එන විදිහටකට මූණ දෙනවා මේක කොහොමත් කවදා හරි එළියට එන්න තිබුණ දෙයක්නේ මචං, මට තියෙන එකම දුක මගේ කෙල්ල ගැන එක එක බොරු දේවල් මිනිස්සු කියන එක විතරයි අනිත් කිසිම දෙයක් මට වැඩක් නෑ මිතිල..”
එලෙස පවසා දිහස් ඉහළ මහල වෙත ඇවිඳගියේ ඔහුට තවත් කිසිවක් කතා කිරීමට අවශ්‍ය නොමැති වුණ නිසයි, ඔහුට ඕන වුණේ තනිවෙන්න..
පැය විසි හතරක් ගතව යන්නටත් මත්තෙන් මුළු සමාජ මාධ්‍යම කැළඹූ විඩීයෝවක් බවට හෝටල් පරිශ්‍රයේ සිදුවුණ සිදුවීම ඇතුලත් විඩීයෝව පත්වුණේ දිහස්ගේ ජිවිතය උඩු යටිකුරු කරමින්..
ඔහුගේ ප්‍රේක්ෂකයන් ඔහු පසට කතා කළත් ඔහුගේ ප්‍රේක්ෂකයන් නොවන පිරිස සමාජ මාධ්‍ය ගිණුම් අතර විඩීයෝව සංසරණය කරමින් දිහස්ට විරුද්ධව අදහස් දැක්වුවේ ඔහු මිනීමැරුමක් කල අපරාදකාරයෙක් බවට හන්වඩු ගසමින්..
“පුතා ඔයා පුළුවන් තරම් ඉක්මනට ගෙදර එන්න දරුවෝ ඔයා ඔහේ ඉන්න එක මගේ හිතට බයයි සුදු පුතේ..”
“මට ප්‍රශ්නයක් නෑ අම්මා ඔයා බය නොවී ඉන්න..මං වැරැද්දක් කරලා නෑනේ බය වෙන්න අම්මේ..”
“ඒත් පුතේ අර ළමයගේ ගෙදර අය ආපහු ඇවිස්සිලා ඇත්තේ ඔයාට මොකක් හරි කරදරයක් කරොත් අපි මොන දෙයියන්ට කියන්නද දරුවෝ..”
“බය නොවී ඉන්න අම්මා මං කොහොමත් ගෙදර එන්නේ මට මෙහේ ඉවර කරගන්න තියෙන වැඩ ටික ඉවර කරගත්තට පස්සේ..”
ශිරන්ති සිටියේ වසර පහකට කලියෙන් අතීතයේ සිදුවුණු සිදුවීම් කිහිපයක් නිසා සනහස්ගේ ජිවිතේ ගැන බියෙන්..
“මල්ලි මොකද අම්මා කියන්නේ..එයා ගෙදර එනවලුද..”
“එයත් හරියට එයාගේ අප්පච්චි වගේමයි සුදු මැණිකේ කියන කිසිම දෙයක් අහන මනුස්සයෙක් නෙවෙයිනේ..එයාගේ වැඩ ටික ඉවර කරගෙනලුනේ එන්නේ..”
“අනේ මංදා අම්මේ මල්ලිත් එක වෙලාවකට හරි මුරන්ඩුයි..”
“සංඛ පුතාටවත් පොඩ්ඩක් කතා කරන්න කියමුද..”
“අපේ අයියටද,නැත්තන් චමත්ටද ඔයා අම්මේ හැමදාම සංඛ සංඛ ගානවා මං ඉතිං කල්පනා කරන්න ඕන මේ දෙන්නගෙන් කවුරු ගැනද ඔයාලා කියන්නේ කියලා..
දෙන්නගෙම නමේ සංඛ කියලා තියෙනවනේ කොච්චර කිව්වත් ඔයාලා චමත් නොකියා කියන්නෙම සංඛ කියලනේ..”
“සුදු මැණිකේ මේ වගේ වෙලාවට වත් පොඩ්ඩක් මොළේ කල්පනා කරන්නකෝ ලොකු පුතාට කිව්වා කියලා එයා දන්නවද මල්ලිගේ හිත හදන්න එයා දන්නේ මිනිස්සුන්ව කුදලන් ගිහින් කූඩුවට දාන්න විතරනේ..”
“චමත් ඊට එහා අම්මේ එයා අපි මොන දේ කිව්වත් ගන්නේ හැමදාම මල්ලිගේ පැත්තනේ දැණුත් මං ඕක කිව්වම කියයි මල්ලිට පාඩුවේ ඉන්න දෙන්න රන්දි කියලා..”
“සංඛ පුතා ආවහම මං කතා කරන්නම්කෝ..”
“ආ..ඔය කියනකොටම එන්නේ..”
“සංඛ පුතා මෙහේ එන්නකෝ මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන..”
“මොකක් හරි ප්‍රශ්නයක් ද අම්මේ මොකෝ දෙන්නගෙම මූණ අවුල් ගිහින්..”
චමත් එලෙස පවසමින් ඔවුන් සමීපයට පැමිණ අසුන්ගත්තේ කුතුහලයෙන්..
“මල්ලිගේ අර ප්‍රශ්නේ හැමතැනම වයිරල් යනවා චමත් පෙරේදා මල්ලි ඉස්කෝලේ යාළුවෙක්ගේ වෙඩින් එකකට කුරුණෑගල ගියානේ එතනදි අමා නංගියේ අම්මා මල්ලිව දැකලා කෑ ගහන්න අරන් එතන හිටපු මනුස්සයෙක් ඒක විඩීයෝ කරලා ෆේස්බුක් දාලා දැන් ඒ විඩීයෝ එක හැමතැනම ශෙයා වෙනවා.. මල්ලිට හෙනට මිනිස්සු බනිනවා චමත් ඒ මිනිස්සු එදා වුණ දේ දන්නෑනේ එයාලා හිතන්නේ ප්‍රිරින්සිපල් මැඩම් මල්ලිට බනින්නේ එයාගේ දරුවගේ මරණෙට මල්ලි සම්බන්ධ නිසා කියලා..සමහරු කමෙන්ට් දාලා මල්ලී නංගිව බස් එක එනවා පෙනි පෙනී තල්ලු කරන්න ඇති කියලත් මගේ ඔලුවත් විකාර වුණා ඒ කමෙන්ට් කියවලා..”
“ඕවා ඉතින් ඔහොම තමයි නේ රන්දි මිනිස්සු කියන දේවල් අපි වැඩිය ගණන් නොගෙන හිටියාම ඉවරයි..සතියක් දෙකක් යද්දී ඒ මිනිස්සුන්ට ඕවා අමතකයි..”
“එහෙම හිතල පැත්තකට දාන්න පුළුවන් චමත් මේ අපේ මල්ලි නොවුනනම්..මල්ලි කොච්චර අමාරුවෙන්ද අද ඔය තත්ත්වේ ඉන්නේ කියලා අපි හොඳටම දන්නවනේ මේ දේවල් නිසා එයා ආපහු පරණ තත්ත්වයටම වැටෙයි කියලා අම්මටයි මටයි බයයි..”
“ම්..ඒකෙත් ඉතිං ඇත්තක් තියෙනවා..දැන් මල්ලි කෝ ගෙදරද..”
“තාම ගමේ.. අම්ම කතා කරලා ගෙදර එන්න කිව්වා ඒත් ඔය එන්න බෑ කියන්නේ.. මොනවා කරනවද මන්දා එහෙට වෙලා ඉඳගෙන..”
“ඔයාට බැරිද පුතේ මල්ලිට ටිකක් කතා කරලා බලන්න..මට හිතේ සැනසීමෙන් ඉන්න බෑ එයාව එහේ තියලා,කොච්චර කාලයක් ගියත් ඒ දේවල් මතක් වෙද්දි මට මල්ලි ගැන බයයි පුතේ..”
“මං කතා කරලා බලන්නම් අම්මේ හැබැයි ඉතිං මං කියන දේ අහයි කියලා නම් ෂුවර් නෑ..කොල්ලා ඉතිං දැන් හැමදේම හරියට බැලන්ස් කරගෙන යනවනේ මේකත් කොල්ලට බැරි නෑ බැලන්ස් කර ගන්න..ඔයාලා බොරුවට බය නොවී ඉන්න..”
චමත් ඉහළ මහල වෙත පිවිසුණේ සනහස් ගැන සිතමින්..
“මේ කොල්ලා පිටින් ගලක් වගේ හැමදේම දරාගත්තට ඇතුලෙන් හෙන ප්‍රෙෂර් එකක ඉන්නේ කතා කරලා අහන්න ඕන මිතිලගෙන් වත් අර ඩොක්ටර් හම්බෙන්න උදේ ගියාද කියලා..”
“හෙලෝ මල්ලි..”
“කියපං අයියේ අද වැඩ නැද්ද..”
“දැන් ආවේ කොල්ලෝ..ඒක නෙවෙයි මං මේ කතා කරේ උදේ අර ඊයේ බැලුව වැඩේට ගියාද..”
“මොන වැඩේද අයියේ..”
“ඇයි බං සනහස් මල්ලිව ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කරන් යන වැඩේ..”
“ශික්..මට ඒක අමතක වුණානේ අයියේ උදේ නැගිට්ට ගමන්නේ අර සීන් එක ආරංචි වුණේ දවසෙම ඒකට එහෙට මෙහෙට කතා කරා ඇරුණම වෙන කිසිම දෙයක් මට මතක් වුණේ නෑ අයියේ..”
“මල්ලි සනහස් ඉන්නේ මට හිතෙන්නේ ටිකක් ඩේන්ජර් සිටුවේෂන් එකක එයා අවුරුදු පහකට කලින් හොඳටම මානසිකව කඩාගෙන වැටුණු කෙනෙක්නේ දැන් හොඳටම හොඳ වුණත් ඉදලා හිටලා ඒ තත්ත්ව නැවත මතු වෙන්න පුළුවන්..”
“මට තේරෙනවා අයියේ අයියා කියන දේ සනහස් අපෙන් එයාගේ හැඟීම් හංගන්න ඕන නිසාමයි මට පේන්නේ ඔහේ ගෙදරින් ගිහින් තනියම ඉන්නෙත්..”
“මෙහේ ඉද්දි ඉතිං අම්මයි,අක්කයි පස්සෙන්මනේ කොල්ලට මෙහේ නිදහස සීමිතයි ඒකයි ඔය මෙහෙන් ගියේ කෝකටත් චුට්ටක් ඇහැ ගහගෙන හිටපං මල්ලි නින්ද යන්න නිදි පෙති ඕන මයි කියන්නෙත් එතන අපිට හිතන්න දෙයක් තියෙනවා මට වැඩ නොතිබුණානම් මං හෙට උදේම එනවා ඒත් කොහෙද වැඩනේ සතියක් එක දිගට..”
“මං කතා කරාට සනහස් කැමති වුණේ නෑ අයියේ ඩොක්ටර් ගාවට යන්න ආපහු කතා කරලා බලන්න ඕන..කරදර සේරම එන්නේ එක පිටටනේ එකක් ඉවර වෙද්දි තව එකක්..”
“ඔය විඩීයෝ එක නම් තව සතියක් යද්දි මිනිස්සුන්ට අමතක වෙලා යයි මිතිල මල්ලි ඒත් හැබැයි ටිවී චැනල් වලින් නම් ඕක නිකන් යන්න දෙන්නේ නැති වෙයි..”
“තව දවස් තුනකින් කලින් බාර ගත්ත ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා අයියේ මං තාම සනහසාට කිව්වෙත් නෑ.. මැනේජර් මල්ලි කිව්වේ ඒකට සනහසා ගියොත් නම් සේරම දේවල් වමාරන්න වෙනවා කියලා.. ඕකේ දෙපැත්තක් තියෙනවනේ අයියේ මූ සේරම දේවල් කිව්වොත් මූ නිර්දෝෂි වෙනවා ඒත් ආපහු පරණ කුණු එළියට ඇඳගෙන හැමදාම ඒ ගඳ එක්ක තමයි ඉස්සරහට යන්න වෙන්නේ..ප්‍රිරින්සිපල් මැඩම් නම් කීයටවත් ඕවා ටිවී චැනල් වලට ගිහින් කියනවට කැමති වෙන්නේ නැති වෙයි..”
“අනේ මංදා කොල්ලෝ අපි කවුරුත් හිතපුවත් නැති දෙයක්නේ වුණේ..”
“සනහසා ආයි ලව් එකක් ගැන නම් මේ කපේට හිතන් නැතිවෙයි වගේ අයියේ උගේ හිතේ ඉන්නේ අමායා විතරයි..”
“තාම ඉතිං විසි පහයිනේ තව කල් තියෙන නිසා හෙමීට බලන්න පුළුවන් නේ ඒක නම්
දැන් හිතන්න ඕන මේකගේ මේ නින්ද යන්නේ නැති ප්‍රශ්නේ කොහොම හරි හොඳ කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන..”
“ඒ වුණාට අයියේ මට හිතෙනවා කෙල්ලෙක් අපේ සනහසාට හිටියනම් අමාගේ මතක නැතිවෙලා ගිහින් ඔය මානසික ප්‍රශ්න ටික අඩුවෙයි කියලා ඌට ඔය නිදාගන්න බැරි ඇක්සිඩන්ට් එක හීනෙන් පේන නිසානේ..”
“ඒ කතාවෙත් ඇත්තක් නැතුවමත් නෙවෙයි අපි බලමුකෝ ඉස්සරහට..”
මිතිල පැය ගණන් සිටියේ සනහස් ගැන සිතමින්, ඔවුන් දෙදෙනා අතර තිබුණේ නෑදැ කමට එහා ගිය මිතුරු කමක්, ඒ නිසාම මිතිලට සනහස්ගේ ප්‍රශ්න දැණුනේ තමන්ගේ ප්‍රශ්න වගෙයි..
“මචං මට කාර් එකේ යතුර දීපං..”
මිතිල සිටිය කල්පනාව බිඳි ගියේ සනහස් ඔහු සමීපයට පැමිණි නිසයි..
“උඹ මේ කොහේ යන්නද ලෑස්ති වුණේ..”
“මැඩම් හම්බෙන්න යන්න..”
“මොකක් උඹට පිස්සුද උලමෝ..”
මිතිල අසුන්ගෙන සිටිය තැනින් නැඟී සිටියේ සනහස්ගෙන් එලෙස අසමින්..
“මට ඇති පිස්සුවක් නෑ බං..මං ඉක්මනට ගිහින් එන්නම් උඹ එන්න ඕන නෑ..”
“අනේ මේ මගෙන් හොඳ කුණුහරුප දෙක තුනක් අහගන්නැතුව මෙන්න මෙහෙට වෙලා හිටපං සනහසෝ..උඹ ඔය හදන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දාන්න උඹ දන්නවනේ මැඩම් කොච්චර තරහකින්ද උඹ එක්ක ඉන්නේ කියලා ඒක දැන දැනත් එහේ යන්න හදන උඹට පිස්සු නෑ කියලා මං කොහොමද බං හිතන්නේ..ඉදලා හිටලා හරි ඔය ගොන් මොළේ ටිකක් පාවිච්චි කරපං..”
“මං ආවේ උඹේ බයිලා අහගෙන ඉන්න නෙවෙයි මචං මට යතුර දීපං මගේ වාහනේ..”
“දැන් මං මේ තරම් කියලත් උඹට යන්නම ඕනද බං..පොඩ්ඩක් හිතපං සනහස් මේ වෙලාවේ උඹ එහේ යනවා කියන්නේ ඒ මිනිස්සුන්ට උඹ එක්ක තියෙන තරහ තව වැඩි වෙනවා කියන එක මචං,අනිත් එක නැන්දා එහෙම දැන ගත්තොත් මටත් එක්ක බැණුම් අහන්න වෙනවා..අපේ අම්මා දැනගත්තොත් ඊටත් හපං මට ගුටිත් කන්න වෙනවා..හොඳ කොල්ලා වගේ ඔය අදහස අතැරපං සනහස්..බොරුවට මොකටද බං අහක ඉන්න නයි රෙද්ද අස්සේ..”
“මට මැඩම්ගෙන් සමාව ඉල්ලන්නෝන මිතිල, එදා අප්පච්චි මාව කාමරේක හිර නොකරනම් මං මගේ කෙල්ලව අන්තිම වතාවටත් බලන්න යනවා බං.. එදා හැමෝම හිතුවේ මං සිද්ධ වෙච්ච දේට වගකියන්න වෙයි කියන බයට හැංඟිලා හිටියා කියලනේ මැඩම් පවා මං දන්නවා තාමත් හිතන්නේ එහෙම දැන්වත් මට මේ දේවල් වලට කෙලින් ෆේස් කරන්න ඕන බං..එදා හවස ඉදන් අද වෙනකන් මං ඔය ප්‍රශ්නෙට කෙලින් මූණ දීලා නෑ..හැමෝම හිතන්නේ මං මහ බය ගුල්ලෙක් කියලා..මං අවුරුදු පහකින් ගමට ආවේ මේ තරම් කාලයක් මං කරේ ගමෙනුත් ඈත් වෙලා හිටපු එක, මට දැන් මේ ජිවිතේ ඇති වෙලා..”
“ඒ..උඹ ඔය අඬනවද..මට තේරෙනවා බං උඹේ හිතේ තියෙන පීඩනය ඒත් මචං මේ වෙලාවේ උඹ මෙච්චර කාලයක් වෙන් කරලා තියාගත්ත උඹේ පෞද්ගලික ජිවිතෙයි වෘත්තිය ජිවිතෙයි දෙකම එකට එකතු වෙලා තියෙන්නේ උඹ ගන්න හැම තීරණයක්ම මේ දෙකට බලපානවා..”
“මං මියුසික් කරේ මගේ හිතේ දුක නිවාගන්න විතරයි මචං එදා මං රියැලිටියට ගියෙත් උඹලා ඒකට ඇප්ලිකේෂන් දාලා බල කරපු නිසා.. එදා මං ඒ රියැලිටියට නොගියනම් කියලා මට දැන් හිතෙනවා මචං මට ඕන සැනසීමේ ජීවත් වෙන්න විතරයි..”
“ඒක උඹේ දෛවය ඒක උඹට කොච්චර වෙනස් කරන්න ඕන වුණත් වෙනස් කරන්න බෑ මචං දැන් ඉතිං සිද්ධ වුණ දේවල් වුණා, සිද්ධ වෙලා ඉවර දේවල් අපිට වෙනස් කරන්න බෑ හැබැයි සිද්ධ වෙන්න තියෙන දේවල් අපි ගන්න තීරණ වලින් පොඩ්ඩක් හරි වෙනස් කරගන්න පුළුවන්..හොඳ එකා වගේ ගෙට පලයන් බං උඹ ඔය යන්න ඕන කියන ගමන උඹේ අයියා විදිහට මං කැමති නෑ මගේ මල්ලි යනවට..හෙට උදේම ලෑස්ති වෙයන් ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න උඹේ ඔය නින්ද නොයන කේස් එකට බෙහෙත් කරගෙන ඉන්න ඕන සේරටම කලින් ඊට පස්සේ අනිත් දේවල් බලමු..”
“මගේ හිතට හරි නෑ බං..මට යන්න ඕන අමාව බලන්න..ඒ ගමන්ම ළමා නිවාසෙට ගිහින් එතන බලලා ඒ වැඩ ටික කරගෙන එමුද..”
“උඹ ඇයි බං ගෙදර මිනිස්සු කරන්න එපාම කියන දේවල් කරන්න හිතන්නේ අපේ අම්මා ඊයේ පැයක දේශනයක් දුන්නා උඹව මං අමා බලන්න එක්කරන් ගියා කියලා..”
මතුසම්බන්ධයි
පසුගිය සතියේ කොටස මෙතැනින් –