“මට ඕන බං ටිකක් සැනසීමෙන් ඉන්න..මේ ජිවිතේ මෙහෙම ගෙවලම මට දැන් හති..”
“මට තේරෙනවා බං උඹ කියන දේ ඒත් එහෙමෙයි කියලා අපිට මේ දේවල් පැත්තකට කරන්න බෑනේ සනහස්..”
“මට හිතෙනවා මියුසික් වලින්,මේ හැමදේකින්ම ඈත් වෙලා කොහේ හරි ගිහින් ජිවත් වෙන්න..මට මේ හැමදේම ගැන තියෙන්නේ කලකිරීමක් මචං..එක වෙලාවකට හිතෙනවා මං ජිවත් වුණා ඇති කියලත්..”
“විකාර කතා කියවන්න එපා මචං පොඩ්ඩක් හිතපං අපි ගැන උඹ නැතුව කොහොම අපි ඉන්නේ ආ..හෙටම යමං ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් උඹේ හිතට බෙහෙත් අරන් එමු..එතකොට වත් ඔය විකාර හිතන එක නතර වෙයිනේ..”
“උඹට මාව තේරෙන්නෑ මිතිලයා..උඹලා කාටවත් මාව තේරෙන්නෑ..උඹලා හැමෝම කියන්නේ අමාව අතැරපං,අමා ගැන හිතන එක නතර නරපං මියුසික් ගැන හිතපං අරකයි මේකයි කියලා..උඹලට තේරෙන්නෑ මං ඉන්න සිටුවේෂන් එක..එහෙම වුණානම් උඹලා මට එහෙම කියන්නෑ..”
සනහස් සිටියේ ජිවිතේ ගැන කලකිරීමෙන් වසර පහකට පෙර ඉතා සතුටින් මිතුරන් සමඟ ප්‍රීතිමත් ජිවිතයක් ගතකරපු ඔහු දැන් ජිවත් වෙන්නේ මියදෙන්නට නොහැකි නිසයි..වසර පහකට පෙර කිහිප විටක් මියැදීමට සිතුවත් ඔහුට ඊට ශක්තියක් නොමැති වුණ නිසා ඔහු ජිවත් වීමට තීරණය කරත් දැන් දැන් ඔහුට අවශ්‍ය වුණේ මියැදී හෝ සැනසීමක් ලබන්න..
“යමන් යමන් ඔය විකාර කියෙව්වා ඇති අමා නංගිව බලන්න යන්න ඕන කිව්වනේ යමං මං එක්කරන් යන්නම්..”
“පොඩ්ඩක් හිටපං මං ගිටාර් එක අරන් එන්නම්..”
“සෙමෙන්ට්‍රී එකට යන්න ගිටාර් එකක් මොකටද..”
“මට අමාට ඇහෙන්න සිංදුවක් කියන්න ඕන..”
ඔවුන් දෙදෙනා රැගත් මෝටර් රථය කුරුණෑගල නගර මධ්‍යයේ අතුරු පාරකින් හැරී අමා සුවසේ නිදන සූරිය අරණ සොහොන් භූමියේ නතර කරනවත් එක්කම සනහස් මෝටර් රථයෙන් බැස ඇගේ සොහොන් කොත වෙත ඇවිඳගියේ ලිලී මල් කලඹක් මෙන්න ගිටාරයත් දෑත දරන්..
අමාගේ සිනහව පිරුණු සොහොන් කොත මතින් ලිලී මල් කලඹ තබා ඉටි පන්දම් කිහිපයක් ඔහු දැල්වුවේ ඇගේ සිනහව දෙස බලාගෙනමයි..
“ඔයාට පාලුද අමා..”
“මේ දවස් වල හැමෝම කතා වෙන්නේ ඔයා ගැන මං ගැන..සමහරු ඔයාට බනිනවා ඔයා මගෙත් එක්ක තරහද අමා ඒකට..”
“මං දන්නවා මං වැරදියි..එදත් මං ඔයාට සැනසීමේ ඉන්න දුන්නෑ ඔයාගේ පස්සෙන් ඇවිත් කරදර කරා,අදත් මං නිසා ඔයාට සැනසීමක් නෑ..”
“මට සමාවෙන්න අමා..”
“ඔයාට මෙතන තනියි කියලා මං දන්නවා..මං හරි නරකයි නේද අමා..මං ඔයාව මෙතන තනිකරා..ඔයා මං එනකන් බලන් ඉන්නැති නේද ගොඩ කාලයක්.. අවුරුදු පහක්..මං හරි ආත්මාර්ථකාමී මනුස්සයෙක් නේද අමා මං ඔයාව අවුරුදු පහක් මෙතන තනි කරා..”
“මං ඔයාට පොරොන්දු වෙනවා මං මීට පස්සේ මාසෙට දෙතුන් වතාවක් මට පුළුවන් හැම දවසකම ඔයාව බලන්න එනවා කියලා..මං ඔයාට පොරාන්දු වෙනවා අමා..”
“මං ඔයාට ආදරේ කරාට අඩුම තරමේ ඔයා කන්න කැමති දෙයක්වත් මං දන්නෑ අමා..මං හරි නරකයි නේද..ඔයා මේ ලෝකේ හිටියනම් ඔයා සමහර විට මං වගේ පිස්සෙක්ට කැමති නොවී ඉදියි නේද මට එහෙම හිතෙනවා..ඔයා මට වඩා හොඳට ඉගෙන ගත්තු පොත් ගුල්ලියක්නේ..ඔයාට මේ කරපුදේට මං හිතන්නෑ අමා තව ආත්ම හතක් යනකන් වත් මට සමාවක් හම්බෙයි කියලා..මැඩම් මට සාප කරන එකේ වැරැද්දක් නෑ අමා මැඩම් හරි මං ඔයාගේ ජිවිතේ විනාස කරා..මට මටම කවදාවත් ඒකට සමාවක් දෙන්න බැරිවෙයි අමා..”
“මං කියෙව්වා ඇති නේද එදා මං ආවේ මගේ මෙයා නැතුවනේ අමා ඔන්න මං අද එයාවත් අරන් ආවා..ඔයා නැතුව මට මේ තරම් හරි මගේ හිත හදාගන්න උදව් කරේ මෙයා අමා..”
සනහස් එලෙස පවසමින් ගිටාරය මතින් සිපුමක් තැබුවේ ඔහුගේ ජිවිතේ පුංචි හරි සැනසීමක් ඔහුට තිළිණ කරේ මියුරු තනු මවන ගිටාරය නිසයි..
“මං එදත් කිව්වේ දුක හිතෙන සිංදුවක් නිසා අද මං එහෙම නැති එකක් කියන්නම් නේද..”
ගිටාරයේ තත් මත ඔහු ඇඟිලිතුඩු රැගෙන ගියේ ඇගේ සේයාරුව දෙස බලා සිටිමින්..
(හේ ඒ හේ.. හ්ම්..)
ස්වප්න අනන්‌තේ.. හිඳිනා මිහිරාවි මගේ..
හද ගැඹුරේ සරණා.. පෙම් හුස්මයි ඔබ මාගේ..
සංසාරයක් තරම්.. දිගයි.. අපෙ ආදරේ..
හෝ.. සංසාරයක් තරම්.. දිගයි.. අපෙ ආදරේ..
නොරිස්සුම් සුසුම්… උතුරනා ආඩම්බරී..
සියුම් තැන් පවා.. ඇවිලුවා හදවතේ..
ඇස් හැප්පිලා.. ඉහිරුණේ ආදරේ..
සංසාරයක් තරම්.. දිගයි.. අපෙ ආදරේ..
හෝ.. සංසාරයක් තරම්.. දිගයි.. අපෙ ආදරේ..
(නර රාරා රා ඔ ඕ ඕ..
ම්හ් ම්හ්…)
හැඟුම් අනන්තෙක.. ගුලි වි පපුතුරේ..
ආදරෙන් ළංවෙලා.. සිපගත් මොහොතේ..
කල්ප අනන්තෙට.. විහිදුනා ආදරේ..
සංසාරයක් තරම්.. දිගයි.. අපෙ ආදරේ..
හෝ.. සංසාරයක් තරම්.. දිගයි.. අපෙ ආදරේ..
හෝ හෝ.. හොඕඔ ඕ..
හෝ හෝ.. හොඕඔ ඕ.. අපේ ආදරේ…
ගීය ගායනා කර අවසන් වෙද්දි සනහස්ගේ දෑස් වල පිරී තිබුණු කඳුළු කම්බුල් පුරා ගලන් ගියේ නිමක් නැතුවයි..හැඟීම් නිසා සනහස් සිටියේ පාලනයෙන් ගිලිහීයි..
“සනහස් මචං අම්මා කතා කරා අපි මේ හවස කොහේ ගියාද අහලා යමන් බං ගෙදර දැන් මෙතන හිටියා ඇතිනේ..දැන් පැයකටත් වැඩියි අපි මෙතනට ඇවිත් යද්දි ළමා නිවාසෙටත් ගිහින් යන්න ඕනනේ පරක්කු වුණොත් කනක් ඇහිලා ඉන්න නැති වෙයි….”
මිතිලගේ බල කිරීම නිසාම සනහස් ඇගේ සොහොන් කොත සමීපයෙන් නැඟී සිටියේ සුරිය අරණ භූමියෙන් පිටව යන්නට වුණත් ඔහුව අඩි කිහිපයක් පසු පසට විසිවී ගියේ හිසට වැදුණු අනපේක්ෂිත පහර නිසයි..
“උඹ…උඹ…මොකක්ද යකෝ මගේ නංගිගේ සොහොන ගාව කරන්නේ උඹට ඒකිව මරාගත්තා මදිඳ මෙතනටත් එන්නේ උඹට ලැජ්ජාවක් නැද්ද..”
මිතිල සනහස් දෙස බලාගෙන සිටිය නිසා සනහස්ට පිටු පසින් පොලු පහරක් ලැබෙන තුරුම ඔහු නොදුටුවා ඔවුන් පසු පසින් කවුරුන් හෝ සිටි බව..
මිතිල වහා පැන සනහස්ව අල්ල ගත්තේ ඔහු බිම වැටීමට ගිය නිසයි..
“කරුණාකරලා ඔය පොල්ල පැත්තකට දාපං උඹ කවුද කියලා අපි දන්නෑ..කවුරු වුණත් මෙහෙම මිනිස්සුන්ට පොලු වලින් ගහන්න අයිතියක් තමුන්ට නෑ..අපි පොලිස්සියට ඉන්ෆෝම් කරොත් තමුසෙට හිරේ යන්න වෙන්නේ ඒක නිසා ඔය පොල්ල දැම්ම පැත්තකට කරනවා..”
“මේ..මේ.. උඹේ කට වැඩියි හරිද..උඹලට පොලිස් පවර් තිබ්බට අපි බයවෙන්නෑ යකෝ ඒ කාලේ අපිට දැණුම් තේරුම් තිබුණනම් මූ..මගේ අතින් මැරෙන්නේ මීට අවුරුදු පහකට කලින් ඒක මතක තියාගනින් උඹලා..”
“මේ මිස්ටර් අපිට තමුන් එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ ඒ නිසා ඔය පොල්ල පැත්තකට දාලා තමුන් තමුන්ගේ වැඩක් බලාගන්නවා..
සනහස් අපි යමන් බං පිස්සෙක්ද කොහෙද..”
“ඔව් යකෝ අපි පිස්සෝ තමයි උඹලා එකතු වෙලා අපිට පිස්සු හැදෙව්වා අපි පොඩි එකිව මරාගෙන..”
“මේ තමුන් අමායගේ කවුරු වුණත් ඇස් ඇරලා හොඳට බලනවා අමා නැති වුණේ අපේ එකා නිසා නෙවෙයි ඕයි ඒ කෙල්ල පාර නොබලා පාර පැන්න නිසා එහෙම දෙයක් එදා වුණේ..අපේ එකාට විතරක් මෙතන වැරැද්දක් කියන්න බෑ..”
සනහස් හිසට අතකුත් තබාගෙන නන්නාදුනන තරුණයා ඉදිරියට පැමිණියේ හිසෙන් ගලනා රුධිරය ගණනකට නොගෙනයි..
“මචං මට තේරෙනවා උඹ කවුරු වුණත් අමාගේ කවුරු හරි කියලා අමා මගේ කෙල්ල බං මං ආවේ මගේ කෙල්ලව බලන්න..”
“අනේ මේ පල බල්ලෝ යන්න උඹ නිසා තමයි මගේ නංගිගේ ජිවිතේ මේ විදිහට නැති වුණේ..උඹ මගේ නංගි පස්සේ නොගියනම් ඒ කෙල්ල අදටත් ජීවත් වෙනවා උඹ මගේ නැන්දට දීපු ගින්දරට උඹව මරණ්න තරම් මට කේන්තියි යකෝ..”
“මචං මලියා ඕක නතර කරපං බං..”
එලෙස පවසමින් ඔවුන් සමීපයට පැමිණියේ තවත් නන්නාදුනන තරුණයෙක්..
“ඔය පොල්ල පැත්තකින් තියපං මලියා ඔහොම ගහ බැණගෙන ප්‍රශ්න විසඳන්න බෑනේ මචං..”
“මූව..මට මරණන්න ඕන බං..නැන්දා දුක් විඳින්නේ මූ නිසා…”
“යමං බං..දැන් යමං..කෝ..”
ඔහුගේ මිතුරා ඔහුව බලෙන් මෙන් සොහොන් භූමියෙන් පිටතට රැගෙන යද්දි මිතිල අඩියට දෙකට කිට්ටු වුණේ සනහස් සමීපයට..
“සනහසා උඹට අවුලක් නැද්ද බං..හොඳටම බ්ලීඩ් වෙනවා බං..මේ ෂර්ට් එලේ ලේ එකයි..යමං ඉක්මනට අපි යමු හොස්පිට්ල් එකකට..”
මිතිල සනහස්ව වත්තන් කරගෙන ඇවිත් මෝටර් රථයේ අසුන්ගන්වා මෝටර් රථය පුළුවන් උපරිම වේගයකින් රෝහලක් වෙත ධාවනය කරේ සනහස්ගේ හිසෙන් රුධිරය ගැලීම නතර නොවී සනහස් කෙමෙන් කෙමෙන් පියවි සිහියෙන් නික්මෙන බව ඔහුට දැණුන නිසයි..
රෝහලේ කාර්‍යමණ්ඩලය යුහුසුළුව සනහස්ගේ හිසේ තුවාලය පරීක්ෂා කර ඖෂධ ගල්වා හිස වෙළුම් පටිවලින් ආවරණය කරේ ඔහුට සේලයින් ද ලබා දීමට කටයුතු කරමින්…
“මිස්ට සනහස්ට වැඩි අමාරුවක් නෑ තව ටිකකින් සිහිය එයි බ්ලීඩ් වුණා ටිකක් වැඩි නිසා තමයි සිහිය නැති වෙලා තියෙන්නේ සිහිය ආවහම අපි චෙක් කරලා බලලා ප්‍රශ්නයක් නැත්තම් අද සේලයින් එක ඉවර වුණාම ගෙදර යන්න පුළුවන් වෙයි..”
“තැන්ක් යූ ඩොක්ටර්..”
සිදුවුණ සිදුවීම නිසා ළමා නිවාසයට සූදානම් කර තිබුණ දානයේ කටයුතු ඔහු නොමැතිව සිදු කරන්න සිදු වුණේ සනහස්ගේ මවගේ දැඩි පෙරැත්ත නිසා ඔහුට නිවසට යෑමට සිදුවුණ නිසයි..
“මං කට කැඩෙනකන් කිව්වා වෙඩින් එක ඉවර වුණ ගමන් ගෙදර එන්න කියලා කෝ මං කියන එක අහන කෙනෙක් නෙවෙයිනේ දැන් බලන්න ඉතිං වෙච්ච දේ..ඔයිට වඩා දෙයක් වුණානම් ඒත් එච්චරයිනේ එහෙට වෙලා ඉදලා..”
“අයියෝ අම්මා දැන් කීයේ ඉදන්ද අනේ ඔයා ඔය කියවන්නේ..මං හොඳින් ඉන්නවනේ අනේ දැන් ඇති ඉතිං ඔය කියෙව්වා..”
“මට මෙහෙම කියවන්න වෙන්නෑනේ පුතා ඔයා හරි විදිහට වැඩ කරනවනම් ඔයාලට මගේ හිතේ තියෙන ගින්දර තේරෙන්නෑ දරුවෝ..එහෙම තේරෙනවනම් ඔයා මං කියන එක අහනවා..”
“අයියෝ අම්මා ඔයත් හරියට පොඩි ළමයෙක් වගේ අනේ අඬන්න තරම් දෙයක් වුණේ නෑනේ මං මේ හොඳට ඉන්නේ..”
සනහස්ගේ වැඩිමල් සහෝදරා සනහස් සොයාගෙන ඔහුගේ කාමරයට පැමිණියේ දුර තියාම මවගේ නෝක්කාඩු වලට සවන් දෙන ගමන්..
“අම්මා මල්ලි දැන් හොඳින් ඉන්නවනේ මේකා ඉතිං ඉස්සර ඉදන්ම අපි කියන දේවල් අහපු එකෙක් නෙවෙයිනේ මං මේ තකහනියේ ආවේ මූට දෙකක් කියලා යන්නත් එක්ක ඔයා ගිහින් මට රසම රස ඉඟුරු තේ එකක් හදන් එන්නකෝ..”
සංඛ මව පිටත් කර හැරලා අසුන්ගත්තේ සනහස් සමීපයෙන්..
“මොකෝ තාම රිදෙනවද ඔලුව..”
“දැන් අඩුයි අයියේ..ලොකු අවුලක් වුණේ නෑ පුංචි තුවාලයක් තියෙන්නේ..”
“ලොකු හරි පොඩි හරි වුණේ තුවාලයක්නේ සනහස් උඹ මීට වඩා උඹ ගැන හිතන්න ඕන..උඹට ගහපු එකා හෙට උදේ වෙද්දි ලොකප් එකේ ඉදියි..”
“අයියේ මේ ප්‍රශ්නේ අපි ගොඩින් බේර ගමු අයියේ මෙතන වැරදි මමනේ ඒ කොල්ලට ඉන්න දෙමු..”
“මට පොඩ්ඩක් පැහැදිලි කරලා දීපං මල්ලි මෙතන උඹගේ තියෙන වැරැද්දක මොකක්ද කියලා..ඒ කෙල්ල මැරුණේ ඒ කෙල්ලගේ තිබ්බ නොසැලකිලිමත්කමට උඹ කරපු දෙයක් නෙවෙයිනේ ඒ ඇක්සිඩන්ට් එක අහක යන කුණු හැම එකම උඹේ කරේ දාගන්න එපා මල්ලි මේ කේස් එක මං හැඩ්ල් කරන්නම් මට ඕන විදිහට..”
“වුණ දේවල් වුණා අයියේ අපිට මුකුත් නැති වුණේ නෑනේ ඒ මිනිස්සුන්ට තමන් එයාලගේ කෙනෙක් නැති වුණේ ඒ මිනිස්සු විතරයි අයියේ ඒ මිනිස්සුන්ට දැනෙන වේදනාව දන්නේ..මේ වුණ දේ පුංචි දෙයක් විතරයි අපි ඒ පස්සේ නොගිහින් මේ ප්‍රශ්නේ අල්ලලා දාමු අයියේ..”
“උන් ඔයිට වඩා දෙයක් උඹට කරනකන්ද උඹ ඔය බලන් ඉන්නේ මෝඩයෝ..මේක මෙතනින් නතර වෙයි කියලා උඹ හිතනවද..”
“මං මෙහෙන් ගියොත් මේ ප්‍රශ්නේ ඉවර වෙයි අයියේ..මං තීරණයක් ගත්තා මියුසික් වලින් අයින් වෙලා මෙහෙන් කොහේ හරි යන්න..”
“සුදු පුතා මොනවද මේ කියන විකාර කතා මියුසික් වලින් ඈත් වෙලා අපිව දලා යන්න..
ඒක නම් මං ඔයාට කීයටවත් කරන්න ඉඩ දෙන්නෑ…”
මතුසම්බන්ධයි…
පසුගිය සතියේ කොටස මෙතැනින් –