සංසාර ගීය – 23 කොටස

author
0 minutes, 10 seconds Read

මිතිල සයාරව හමුවී පිටව ගිය මොහොතේ පටන් සයාරා කල්පනා කරේ සනහස් ගැන..ඔහු සමඟින් ඇයට කෝපයක්, වෛරයක් එකල පැවතුනත් ඔහුත් සමඟින් සමීපව ගත කල කාලයේ ඔහු කොයි වගේ පුද්ගලයෙක් ද කියා යම් තරමකට ⁣ඇය තේරුම් අරගෙන සිටි නිසා සයාරා මේ වෙනකොට තීරණය කර අවසන් ඔහුට සම්පූර්ණයෙන්ම වැඩිමල් සහෝදරිය⁣ගේ රිය අනතුර වෙනුවෙන් සමාව දීමට..

“මං ඇතුලේ හිටියට මං අහගෙන ⁣දෝණි හිටියේ අර ආපු දරුවා කියපු දේවල්..කවුරු ඒ දරුවා වැරදියි කිව්වත් මම නම් ඉස්සර ඉදන් එක හෙලාම ඔයාලට කිව්වේ ඒකනේ මම ඒ දරුවා වැරදියි කියලා පිළිගන්නෑ කියලා.. මානසිකව කඩන් වැටෙන එක අහන්නත් දෙයක්ද සිද්ධ වුණ දේ හැටියට.. ඇස්දෙස ඉස්සරහමනේ වුණේ..පවු දෝණි ඔයා ටිකක් කතා කරලා හිත හදන්න බලන්න..ඒ දරුවා නරක දරුවෙක් නෙවෙයිනේ..ඒලෙවල් කාලේ කියන්නේ ඕනම කොල්ලෙක්ට ආදරේ එහෙම හිතෙන වයසක්..ගෑණු ළමයි කියලත් වෙනසක් නෑනේ දෝණි..අමායා ජීවතුන් අතර හිටියනම් සමහර විට අද වෙද්දි දෙන්නා පවුලේ හැමෝගෙම ආශිර්වාදය එක්ක කසාඳ බදින්නත් ඉඩ තිබුණා..එක පුංචි අනතුරක් නිසා ජීවිත දෙකක් විනාස වුණා..”

“එතකොට මගේ ජීවිතේ..”

“අප්පච්චි සිහියෙන් ගියානම් ඔයාට අද ඔහොම ඉන්න වෙන්නෑ දෝණි ඔයාට වුණ දේත් අර දරුවගේ පිටින් යවන්නේ කොහොමද මොන ප්‍රශ්නයක් වෙලා තිබුණත් එදා අයියට ටිකක් මොළේ කල්පනා කරලා හෙමින් ඩ්‍රයිව් කරන්න තිබුණා..”

“මං සනහස් අයියට සමාව දුන්නත් අම්මා නම් කීයටවත් කැමති වෙන්නෑ නැන්දි මං සනහස් අයියා එක්ක කතා කරනවට.. ප්‍රශ්නයක් වෙයිද දන්නෑ නේ මං කතා කරන්න ගියොත්..”

“ඔයා ඉස්සර වැඩ කරේ අම්ම⁣ට ඕන විදිහට නෙවෙයිනේ දෝණි..අමායා නැති වුණ නිසා හිතේ වේදනාව නැති වෙන්න කියලා අපි එයාට ඔයාව බලන්න කරන්න දුන්න⁣ට එහෙම ඔයාගේ අම්මට අයිතියක් නෑ ඔයාට බලපෑම් කරන්න..ඔයාව නීතියෙන් අයිති අප්පච්චිට..මට ඇහුණා අර දරුවා කියනවා අම්මා ගමේ ඒ දරුවගේ ගෙදරට ගිහින් බැන්නා කියලා..එයා ඉස්සර ඉදන්ම දන්නේ ප්‍රශ්න දෙක කරන්න විතරයි..ඔයා කියන්න යන්න ඕන නෑ සනහස් පුතා එක්ක ළඟින් යාළුවෝ වගේ ඉන්නවා කියලා ඒ ගමන අපිටත් එක්ක බැනගෙන එයි..ඒ හිංදා මොනවත් එයාට නොකියා ඔයා ඔයාගේ වැඩක් කරගන්න දෝණි..”

පැයක් පමණ සනහස් ගැන කල්පනා කර කර ඉඳලා සයාරා සනහස්ට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ ඔහුගේ ක්‍රියාකලාපය ගැන ඇගේ අකමැත්ත ප්‍රකාශ කරන්න සිතාගෙන…

සනහස් එහා ඉමෙන් හැමතුම හා සම්බන්ධ වුණේ පෙර දිනයේ පානය කල මඳුවිත වල බලපෑම නිසා දැණුන දැඩි හිසරදයත් සමඟයි..

“මං සයාරා කතා කරන්නේ..කතා කරන්න පුළුවන් තැනක ද ඉන්නේ..”

සයනයේ කකුල් අතපය ඔහේ හතර අතට දමාගෙන නිදාගෙන සිටි සනහස් ඇහැරුණේ සයාරගේ ඇමතුම නිසයි..ඇමතුමේ එහා ඉමෙන් ගැහැණු ළමයෙක් ඇයව නම කියා හඳුන්වා දුන්නත් සනහස් විනාඩි ගණනාවක් යනතුරුම කල්පනා කරේ එවැනි නමක් ඇති තරුණියක් ඔහුගේ මතකයට නාව නිසයි..

“සයාරා..මට එහෙම ලොකු මතකයක් නම් නෑ..ඔයා කවුද කියලා..මට කතා කරේ මොකක් හරි වැඩකටද..මේ දවස් වල නම් මං කිසිම ⁣වැඩක් බාර ගන්නෑ සොරි..”

එහා පසින් ගැහැණු ළමයා කිසිවක් පවසන්නටත් කලියෙන් සනහස් එලෙස පැවසුවේ ඔහුට දිනකට පැමිණෙන ඇමතුම් වලින් බහුතරයක් පැමිණෙන්නේ කුමක් හෝ ප්‍රසංගයක් වෙනුවෙන් ඔහුගේ කාල සටහනෙන් දිනයක් වෙන් කර ගැනීම සදහා නිසයි..

“මං කතා කරේ එහෙම දේකට නෙවෙයි..ඊයේ මොනවද බිව්වේ බ්ලැක් ලේබල්ද,රෙඩ් ලේබල්ද..”

“මොකක්ද..”

සනහස් සයනයෙන් අසුන්ගෙන එලෙස ඇසුවේ ඔහු ඇගෙන් එවැනි ප්‍රශ්නයක් බලාපොරොත්තු නොවුණු නිසයි..

“මං ඇහුවේ මාව අමතක වෙන්න තරම් ඊයේ බිව්වේ මොනවද කියලා..මං අමායගේ නංගි කතා කරන්නේ සයාරා..”

“සයාරා..”

“ඔව් සයාරා කතා කරන්නේ..කතා කරන්න පුළුවන් මට්ටක නම් ඉන්නේ අපි ටිකක් කතා කරමුද..”

“කියන්න නංගි මං නිදාගෙන හිටියේ ඒකයි කටහඬ අමුතු..”

“ම්..මට කියන්න දේවල් නම් ගොඩක් තියෙනවා සනහස් අයියේ හැබැයි ඊට කලින් මට මේක කියලා ඉන්නකෝ..ඔයා හිතාගෙන ඉන්නේ හැමදාම රෑට මොනවා හරි බොන එකෙන් මාව හොඳවෙයි,සේරම ප්‍රශ්න විසදෙයි කියලද..ඔයා මොනවද මේ කරන බොළඳ වැඩ අයියේ..අක්කා නැති වෙලා දැන් අවුරුදු හයක් වෙන්නත් ළඟයි ඇයි ඔයාට බැරි එයාට දැන්වත් යන්න දෙන්න..සමහර විට එයා දැන් වෙන ආත්මෙක ඉපදිලත් ඇති..ඔයා ඔයාගේ ජිවිතේ අක්කා වෙනුවෙන් විනාස කර ගන්නවනම් ඉන්න තැනක ඉදන් එයා ඔයා දිහා බලාගෙන දුක්වෙනවා ඇති..

“අපේ ගෙදර කවුරු හරි ඔයාට කතා කරාද නංගි..එයාලා කියන දේවල් ගණන් ගන්න එපා..උන්ට පිස්සු නිතර කියෝනවා..මං ජීවත් වෙන්නේ මට ඕන විදිහට..”

“ඒ මිනිස්සුන්ට නෙවෙයි පිස්සු ඔයාට අවුරුදු ගාණකට කලින් වෙච්ච දෙයක් ඔලුවේ තියාගෙන විකාර කරන්නේ ඒකනේ..ඔයාට කොච්චර මිනිස්සු ආදරෙයි ද..ඒ මිනිස්සු ඔයාගේ සිංදු අහන්නේ පිස්සුවෙන් වගේ..ඔයා මෙහෙම ෂෝස් කැන්සල් කරද්දි ඒ මිනිස්සු පව් නැද්ද..”

“මං මියුසික් වලින් අයින් වෙන්න ඉන්නේ ඒවා එහෙම වුණාට කමක් නෑ..”

“හරි ෂෝක් එතකොට සේරම හරිද..විකාර නොකර බාරගත්ත වැඩ ටික කරන්න නැත්තන් ඔයා රට වටේ ම⁣⁣ගේ රිපෝට්ස් අරගෙන ගිහින් මාව හොඳ කරන්න පුළුවන් දොස්තරලා හෙව්වට මං කීයටවත් ඒකට කැමති වෙන්නෑ..”

සයාරා සනහස්ට නිතර නිතර දුරකථන ඇමතුම් ලබා දෙමින් ඔහුට බලපෑම් කරන ගමන් ඇය කල්පනා කරේ සනහස් සමඟින් ජිවිතේ ඇය කවදාවත් බලාපොරොත්තු නොවුණු පියවරක් ඉදිරියට තබන්න ඇයට හැකිවෙයිද කියායි..

සයාරගේ බලකිරීම මත සනහස් ටිකෙන් ටික නැවතත් ඔහු⁣ගේ සිත සදාගනිමින් ඔහු භාරගත් වැඩ වෙනුවෙන් කාලය වැය කරේ
මාස කිහිපයක් ඉබි ගමනින් ගතව යද්දියි..

ගෙවුණු මාස කිහිපයේ සනහස් ⁣ලංකාවේ දක්ෂ ආයූර්වේදීය වෛද්‍යවරු කිහිප දෙනෙක් ගාවට සයාරව රැගෙන ගියේ ඇ⁣ගේ දෙපා සුව කිරීමට හැකිද කියා අසමින්.. වෛද්‍යවරු කිහිප දෙනෙක් ඇගේ දෙපා පරීක්ෂා කර ඇයව සුව කිරීමට නොහැකි බව පැවසුවත් එක් වෛද්‍යවරියක් පැවසුවේ ඇය උත්සහයක් දරන්නම් කියායි..

“අපි බලමු මහත්තයෝ අවුරුදු ගාණක් එකම විදිහට කකුල් වල ක්‍රීයාකාරීත්වයක් නැතුව තිබුණ නිසා කකුල් කොර වෙලා ඇත්තේ මට හරියටම කාලයක් කියන්න බෑ මෙන්න මේ කාලේ වෙද්දි හොඳ කරන්නම් කියලා අපි උත්සහ කරලා බලමු..සේරටම කලින් අපි දෙපයින් නැගිටින්න පුළුවන් තත්වෙට හරි සුව වෙමුකෝ..ඊට පස්සේ බැරියැයි අ⁣ඩියක් දෙකක් ඇවිඳින්න පටන් ගන්න..”

“අපි මෙහේ නවතින්න ඕනද වෙද හාමිනේ බෙහෙත් කරන්න..”

“නවතිනවනම් හොඳයි එහා පැත්තේ අපේ ඉඩමක අපි පුංචියට කාමර කිහිපයක් ලෑස්ති කරලා තියෙනවා එදිනෙදා බෙහෙත් පත්තු බඳින්න ඕන රෝගීන්ට නැවතිලා ඒ කටයුතු පහසුවෙන් කරගන්න පුළුවන් වෙන්න..යම් මුදල් ඒ වෙනුවෙන් හැබැයි මහත්තයලට ගෙවන්න වෙනවා නඩත්තු කටයුතු වෙනුවෙන්..එතන ඉඩ තියෙනවා මේ දරුවටත් නතර වෙන්න හැබැයි භාරකාරයෙක් එක්ක තමයි ගෑණු දරුවෝ අපි නතර කර ගන්නේ මොකද අපිට ආරක්ෂාව ගැන සම්පූර්ණයෙන්ම වග කියන්න බෑනේ අනික මේ දරුවට ඇවිඳීමේ අපහසුතාවයකුත් තියෙනවනේ..එතකොට ඉතිං බලා කියාගන්න භාරකාරයෙක් අනිවාර්යයෙන්ම ඉන්න ඕන..”

“අපි එහෙනම් වෙද හාමිනේ නවතින්න අවශ්‍ය කරන බඩු එහෙම අරගෙන ඉක්මනට එන්නම්..බොහොම ස්තූතියි අපිට නවතින්න පහසුකම් දුන්නට..නිතර නිතර මේ තරම් දුර එන එකත් නංගිට අමාරුයිනේ..”

“ඒක නම් ඇත්ත මහත්තයා මේ පාරවල් පවා සවුත්තුයිනේ අපි අපේ ඡන්දය දුන්නට කිසිම උදව්වක් අපි වෙනුවෙන් ඔය මැති ඇමතිලා කරන්නෑ ඡන්දේ කාලේ ලං වෙද්දි බොරුවට ඇවිත් අරක දෙන්නම් මේක දෙන්නම් කියනවා..ඔය මහත්තයලා අපේ වෙද ගෙදරට එන පාරේ කී දාහක් ලෙඩ්ඩු එනවද අඩුම තරමේ ඒ ගැන හිතලා හරි පාර හදලා දෙන්න පුළුවන් නේ..”

“එහෙම මිනිස්සු ගැන හිතලා වැඩ කරන අය දැන් නෑ වෙද හාමිනේ..එහෙම අය ඉන්නවනම් රටට මේ වගේ කලක් යන්නෑනේ.. හොරු වංචාකාරයෝ පිරිලා පාර්ලිමේන්තුවේ..”

“අනේද කියන්නේ මහත්තයා අපේ බදු සල්ලි උන් හොරා කාලා සැපේ ඉන්නවා රටට බඳු ගෙව ගෙව අපි තාමත් පරණ තැනමයි..ඕවා ගැන නම් කතා කරලා වැඩක් නෑ..මං මේ ඔය මහත්තයා ආපු වෙලාවේ ඉදන් කල්පනා කරා මට ඔය මහත්තයව හොඳට දැකලා පුරුදුයි ඒත් කොහෙදිද කියලා මතකයක් නෑ.. මහත්තයා මී⁣⁣ට කලින් මෙහේ ඇවිත් තියෙනවද..”

“අයියෝ අත්තම්මා ඔයාට තියෙන්නේ පුදුම මතකයක්නේ අනේ අර ඔයා හැම ඉරිදම බලන විසිර ටිවී එකේ රෑ හතට යන්නේ අර සිංදු කියන වැඩසටහනක් අන්න ඒකේ ජජ් බෝඩ් එකේ ඉන්නේ මේ මහත්තයනේ..මේ සනහස් මහත්තයා.. අර ජනප්‍රිය සිංදු ගොඩක් තියෙන්නේ..”

“අපේ අප්පේ අපේ කෙළී කියනකන්ම මට මතන තිබුණේ නෑ නොවෑ..මං ඒ වැඩසටහන හැමදාම බලනවා මහත්යා තමයි එතන ඉන්න අයගෙන් ඇත්තම කියන්නේ..අපරාදේ මහත්තයා අර රෝදපුටුවක හිටපු ගෑණු ළමයා ⁣ගිය සතියේ වැඩසටහනෙන් අයින් වුණානේ මං හරිම ආසයි ඒ ගෑණු ළමයගේ කටහඬට..”

සනහස් සයාරා දෙස බලා ඉඟි කරේ ඇගේ ප්‍රේක්ෂකයෙක් මෙලෙස ඔවුන්ට හමුවුණ පළමු අවස්ථාව නිසයි..

සයාරා සනහස්ගේ අතින් අල්ව ගත්තේ ඇය කවුරුන්ද කියා නොපවසන ලෙස පවසන්න වුණත් ඊට පෙර වෙදහාමිනේගේ මිණිබිරිය ඇයව හඳුන ගත් නිසා සයාරා සිටියේ අපහසුතාවයට පත් වීයි..ඇගේ අපහසුතාවය තේරුම් ගත් සනහස් ඇගේ අතක් සියුම්ව පිරි මැඳ ඇයට මඳ සිනහවක් පෑවේ සන්සුන් වෙන්න යැයි නොකියා කියමිනුයි..

“අනේ අක්කි ඔයා සිංදු කියනවා අහන්න මං හරිම ආසයි අනේ පුංචි කෑල්ලක් මං වෙනුවෙන් කියන්න බෑද..ඔයාව අයින් වුණ එක ගැන හරිම දුකයි අනේ.. මගේ යාළුවෝ හැමෝමත් ඔයාට මාරම කැමතියි..ඔය දෙන්නා අපේ අහා ආවැයි කිව්වොත් එයාලා පුදුම වෙයි..”

ඇගේ බලකිරීම නිසා සයාරා ගීතයක කොටසක් ගැයීමට කැමැත්ත ප්‍රකාශ කරේ ඇගේ සිත රිද්දීමට නොසිතුන නිසයි..

“ඉන්න කා එකේ ගිටාර් එක ඇති මං අරන් එන්නම් නිකන් කියනවට වඩා එතකොට තව ලස්සනයි නේ..”

සනහස් ගිටාරය රැගෙන ඇවිත් සයාරා සමීපයෙන් අසුන්ගත්තේ ඇය ගයන ගීතය කුමක් දැයි අසමින්..

පුන්සඳ පසුපස මුවා වෙලා
රෑ අහසේ මුළු ලොවට හොරා
මගේ හද මඩලට එළිය අරන්
හීන් සැරේ නුඹ ඇවිදින්
හීන් සැරේ නුඹ ඇවිදින්

පළමු පද පේළියේ සයාරා ගැයුවේ ඔහු දෙස බලාගෙනයි..

තරු ගොමු වැල් වල වැතිරීලා
සීතල සුළගේ දිගා වෙලා
මගේ හද අරණට සුවද වෙමින්
හීන් සැරේ නුඹ ඇවිදින්
මටත් හොරා නුඹ ඇවිදින්

සනහස් ගීතයේ සංගීතයට සමවැඳී ගිටාරය වයද්දි සයාරගේ දෙනෙත් තිබුණේ ඔහුගේ කැරලි ගැහුණ හිසකේ මත ඉඳන් ඒ පිටවී ඇති දෙනෙතත් ඉන් එහාට ගිහින් ඔහුගේ මුහුණ පුරාමත් එහේ මෙහේ යමින්..

පුන්සඳ පසුපස මුවා වෙලා
රෑ අහසේ මුළු ලොවට හොරා
මගේ හද මඩලට එළිය අරන්
හීන් සැරේ නුඹ ඇවිදින්
හීන් සැරේ නුඹ ඇවිදින්

සැඩගං ඉවුරෙන් එගොඩ වෙලා
තහංචි වැට කොටු පන්නාලා
මගේ හද මැදුරේ දොරටු ඇරන්
හීන් සැරේ නුඹ ඇවිදින්
මටත් හොරා නුඹ ඇවිදින්

සනහස් දෑස් හැර ඇය දෙස බැලුවේ ඇය හොඳට ගායනා කල බව පවසන්න වුණත් ඇගේ දෙනෙත් වල ඇති කතාව දැක ඔහු වෙනතක් බැලුවේ ඇගේ දෙනෙතේ ඇති කතාව ඔහුට අපහසුතාවක්⁣ ගෙන දුන් නිසයි..

“ශා..හරිම ලස්සනයි අනේ මට නම් විශ්වාස කරගන්න බෑ..මං මෙච්චර ළඟින් ඉඳන් ලයිව් ඔයා සිංදු කියනවා අහගෙන හිටියා කියලා..ඔයා ඒ වැඩසටහනෙන් අයින් වුණ එක නම් හරි අපරාදේ අනේ..සමහර අය ඉන්නවා ඔයාට තරම් වත් සිංදු කියාගන්න බැරි..”

“මගේ අසනීපෙත් එක්ක මට හරියට පුරුදු වීම් කරන්න බැරි වුණා නංගි ඒකයි එදා මට හරියට සිංදුව කියාගන්න බැරි වුණේ..ඒකට ඉතිං අනිත් අයට දොස් කියන්න බෑ..”

“ඔයා මෙහේ නතර වෙන එක ගැන නම් මට හරි සතුටුයි අක්කේ මට නිතර නිතර අක්කගේ කටහඬින් සිංදු අහන්න පුළුවන් නේ..”

මතුසම්බන්ධයි..

පසුගිය සතියේ කොටස මෙතැනින් –

Similar Posts