සංසාර ගීය – 25 කොටස

author
0 minutes, 10 seconds Read

වෙද හාමිනේගේ දැඩි උත්සහය මත සයාරගේ දෙපා හොඳටම සුව වුණේ නැති වුණත් යම් තරමකට සුව වුණේ ඇයට තනිවම අඩියක් දෙකක් දෙපා බිම තබා ඇවිඳීමට පුළුවන් ලෙසටයි..

සයාරා ටිකෙන් ටික සුවය ලබද්දි සනහස් සිටියේ ඇයට සුවය ලැබීම ගැන දැඩි සතුටක් විඳිමින්..ඔහුගේ හිතේ මාස ගණනක් ඇය ගැන තිබුණ බර භාගයකින් පමණ අඩු වුණා වැනි හැඟීමක් ඔහුට දැණුනේ ඇය ගැන ඔහු තැවෙමින් සිටි නිසයි..

සනහස් ඇය වෙනුවෙන් මාස ගණනක් කල කැපකිරීම නිසා සයාරගේ පියා වගේම නැන්දනියත් සනහස්ට පිං දුන්නේ ඔහු ඇයව සුවකර ගැනීමට දැරූ උත්සහය නිසයි..

“ඔයාට පිං පුතා අපේ දෝණිව දෙපයින් නැගිට්ටුව⁣ට..මං කවදාවත් හිතුවේ නෑ අපේ කෙල්ල අඩියක් දෙකක් හරි බිම තියලා ඇවිඳියි කියලා..අපි හැමෝම බලාපොරොත්තු අතැරලා තිබුණේ..”

නෙළුම් සනහස් සමීපයට පැමිණ අත්දෙක එකතු කරමින් එලෙස පැවසුවේ කඳුළු පිරි දෑසින් ඔහු දෙස බලමින්..

“මට පිං ඕන නෑ ආන්ටි සයාරා නංගිට එහෙම වෙන්න මාත් සීයට පනහක් හරි වගකියන්න ඕන මනුස්⁣සයෙක්..අමායට එදා එහෙම දෙයක් නොවුණනම් සයාරා නංගිටත් මෙහෙම දෙයක් නොවෙන්න තිබුණා..”

“අතීතේ සිද්ධ වුණ දේවල් වලට ඔයා වැරදි නෑ පුතා..අමායගේ ආයුෂ එච්චර වෙන්නැති අනිත් එක ඔයා එදා වුණ දේ⁣ට එහෙම ඔයාගේ පිටට වරද දාගන්න එපා පුතා ඒ කිසිම දේකට ඔයා වැරදි නෑ..අතීතය වළලලා දාන්න දැන් කාලේ හරි..ඒ දේවල් අමතක කරලා ඔයා දැන් අලුත් ජීවිතයක් පටන් ගන්න ඕන පුතා..මං මේක මෙහෙම අහන්න නෙවෙයි හිටියේ හැබැයි ඔයා තාමත් අතීතේ එල්ලිලා දෙඟිඩියාවෙන් ඉන්න නිසා මං මේක මේ වෙලාවේ අහන්න ඕන කියලා මට හිතෙනවා..ඔයා සයාරට කැමතියි නේද පුතා..”

නෙළුම් එකවරම එලෙස අසද්දි සනහස් හිස බිමට නැඹුරු කර ගත්තේ ඔහුට ඊට ඇයට දීමට පිළිතුරක් නොතිබුණ නිසයි..සනහස් තවමත් සිටියේ ඔහුගේ හැඟීම් සමඟින් පොර බඳිමින්..සයාරා ගැන ඔහුගේ හදවත පවසන කතාවට සවන් දීමට සනහස් මැලි කමක් දැක්වුවේ අමායා නිසයි..සයාරා අමායගේ නිවුන් සහෝදරිය නොවුණනම් සනහස් ඇය සමඟින් සබඳතාවයක් පවත්වන්න දෙවරක් නොසිතා කටයුතු කරත් සයාරා ගැන සිතද්දි ඔහුට අමායගේ රුව සිතේ මැවෙනා නිසා සනහස් සිටියේ ඔහුගේ හැඟීම් ගැන දෙඟිඩියාවකින් පසුවෙමින්..

“ඔයා නිහඬව ඉන්නේ ඒක ඇත්ත නිසා නේද පුතා..මට ඔයාව තේරුම් ගන්න පුළුවන් සයාරා අමායා වගේම නිසා ඔයා තාමත් දෙඟිඩියාවෙන් නේද ඉන්නේ..ඔයා අමායට ඔයාගේ හිතෙන් දැන් යන්න දෙන්න ඕන පුතා ඔයා අමායා ගැන හිතේ තියාගෙන සයාරා ගැන හිතන නිසා තමයි ඔයාට එහෙම ⁣දැනෙන්නේ..”

“අමායා ගැන මගේ හිතේ තියෙන්නේ හොඳ කරන්න බැරි තුවාලයක් ආන්ටි..එතන එයා ගැන හිතන හැම වෙලේම පෑරෙනවා..මට තේරෙන්නෑ මං ඒ තුවාලේ කොහොම හොඳ කරගන්න ඕනද කියලා..මට බයයි මං අමායා ගැන තාමත් හිත හිත සයාරට ලං වෙලා කරන්නේ වැරැද්දක්ද කියලා මං සයාරට කැමති වුණේ එයා අමායා වගේ නිසා නෙවෙයි ආන්ටි..මං දන්නෑ මං එයාට කැමති වුණේ ඇයි කියලා..මං ඉන්නේ මගේ හැඟීම් එක්ක පැටලිලා..ඒවා කොහොම ලෙහා ගන්න ඕනද කියලා මට තේරෙන්නෑ ආන්ටි..”

“හදිස්සියක් නෑනේ පුතා ඔයා ඒ දේවල් හෙමීට තේරුම් අරගෙන ඉන්න..මං හිතන්නේ ඔයා ඔයාගේ ඩොක්ටර්ව හම්බෙන එක තමයි කරන්න ඕන හොඳම දේ මේ වෙලාවේ..එයා ඔයාට උදව් කරයි ඔයාගේ හිතේ පැටලිලා තියෙන දේවල් වලට උත්තර හොයන්න..”

සනහස් පසුදා ඔහුගේ වෛද්‍යවරිය හමුවීමට ගියේ ඔහුගේ හිත ගැන තිබුණ පැටලිලි සහගත බව ඔහුට හිසරදයක් වී තිබුණ නිසයි..

කාලය හෙමි හෙමින් ගතව යද්දි සනහස් ⁣ටිකෙන් ටික සයාරට ලං වුණේ අමායව හිතෙන් ඈත්කර දමමිනුයි..වෛද්‍යවරිය ඔහුට ලබාදුන් උපදෙස් නිසා අපහසු වුණත් සනහස් අමායට ඔහුගේ හිතින් ඈත් කර දැමීමට උත්සහ කරේ අමායව සිතේ තබාගෙන සයාරට ආදරය කරන එකෙන් වෙන්නේ සයාරට අසාධාරණයක් බව වෛද්‍යවරිය ඔහුට පහදා දුන් නිසයි..

සයාරා ටිකෙන් ටික සනහස්ට ඇගේ හිතේ ඔහුට තියෙන ආදරය ගැන ඉඟි ලබාදුන්නේ නැන්දණිය විසින් ඇයට උපදෙස් දී තිබූ නිසයි..

“මට බයයි නැන්දා සනහස් අයියා මගෙත් එක්ක තරහ වෙයිද කියලා මං එයාට කැමතියි කියලා දන්න නිසා..”

“එයත් ඔයාට කැමතියි දෝණි නොපෙන්නුවට එයාට තියෙන්නේ බයක් අමායා නිසා ඔයාට ලංවෙන්න..ඔයත් එයාට කැමති නම් එයත් ඔයාට කැමතියි කියලා දන්නවා නම් ඔය දෙන්නගෙන් කවුරුම හරි සම්බන්ධයක් පටන්ගන්න මුල පුරන්න ඕනනේ දෝණි..නැත්තන් ඔය දෙන්නට හැමදාම වෙන්නේ දෙපැත්තකට වෙලා ඉන්න..”

වෙද හාමිනේ සයාරට වෙද ගෙදරින් පිටව යෑමට අවසර දුන් නිසා සයාරා මිදුලට වී බලාගෙන සිටියේ සනහස් ඔවුන් දෙදෙනාව රැගෙන යන්න පැමිණෙන බව පෙර දිනයේ පැවසු නිසයි..

“ඔයාලා ගිහාම මට තමයි පාළු අක්කා..සනහස් අයියත් ඉතිං ආපහු මෙහේ එන්නේ නැති වෙයිනේ..”

“අපි නිතර එන්නම්කෝ නංගි ඔයාලව බලලා යන්න..කොළඹ ආවොත් ඔයාලත් එන්න අපේ ගෙදර..ම⁣ගේ නම්බර් එක තියෙනවනේ මට කතා කරන්නකෝ එනවනම්..”

“අක්කා මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද..”

“ම්..අහන්නකෝ බලන්න..”

“අක්කා සනහස් අයියට කැමති ද..මං දන්නවා අයියා නම් තාමත් කැමති අර ටිවී එකේ කිව්වේ නැතිවුණා කියලා ඒ අක්කට කියලා..ඒත් මට සේරටම කලින් ඒක දැනගෙන ඉන්න ඕන කියලා හිතුනා මං සනහස් අයියට කැමතියි කියන්න කලින්..”

ඈතක් බලාගෙන ඇගේ ප්‍රශ්න කිරීම් වලට සවන්දී සිටිය සයාරා මල්මි පැවසූ දෙය නිසා ඇය දෙස බැලුවේ වික්ෂිප්ත දෑසින්..

සයාරා විනාඩි කිහිපයක් මල්මි දෙස බලාගෙන කල්පනා කරේ ඇයට තමන් දිය යුතු පිළිතුරයි..තවමත් දහ අට හැවිරිදි තරුණියක් වන නිසාම ඇයට ආදරයක්,ආකර්ශනයක් පිරිමියෙක් ගැන දැනෙන එක සාමාන්‍ය දෙයක් බව සයාරා දන්නවා වුණත් සනහස් ගැන ඇයට එවැනි හැඟීමක් දැණුන එක ගැන සයාරට මල්මි සමඟින් දැණුනේ නොපහන් හැඟීමක්..

ඇයට කුමක් පැවසිය යුතු දැයි කියා සයාරා කල්පනා කරමින් සිටිය දී සනහස් ඔවුන් සිටි දෙසට පැමිණෙන බව ඔවුන් දුටුවෙත් ඔහුව දැක මල්මිගේ දෙනෙත් කාන්තියෙන් දිදුළන්නට පටන් ගත්තෙත් එකම විටයි..

“මොකද දෙන්නගේ කතාව මල්මිට ඔයා නැති නිසා පාළු හිතෙයි නේද සයාරා නංගි..දෙන්නා කොයි වෙලෙත් හිටියේ ගහයි පොත්තයි වගේනේ..”

“අක්කා යන නිසා පාළුයි හැබැයි ඊට වඩා අයියා ආපහු⁣ මෙහේ එන්නේ නැතිවෙයි කියලා හිතද්දි දුකයි..”

“අපි ගියාට මෙහේ තවත් ඕන තරම් ලෙඩ්ඩු ඉන්නේ ළමයෝ ටික දවසක් ගිහාම ඕක හරියයි..දැන් ළමයා බුක්ෆෙයා යන්න ඕන කිව්වා නේද ලෑස්තිද අපිත් එක්ක යන්න..”

“ඔව් ඇඳුමක් දාගන්න විතරයි තියෙන්නේ සනහස් අයියා මං ඉක්මනට ලෑස්ති වෙලා එන්නම්කෝ..”

මල්මී පිටත්ව යන දෙස සිනහවක් දෙතොලතර රඳවගෙන බලාගෙන සිටින සනහස් දෙසට සයරා රැව්මක් පාකර හැරියේ ඔහු ඇයව ඕනාවට වඩා සුරතල් කිරීම ගැන දැණුන නොපහන් හැඟීම නිසයි..

සයාරා ඔහුට රැව්මක් පා කර හැරිය බව දුටුව නිසා සනහස් ඇය සමීපයෙන් අසුන්ගත්තේ ඔහුත් සමඟින් අමනාප වී සිටින්නේ ඇයි දැයි කියා ඇගෙන් අසමිනුයි..

“ගෑණු ළමයි කියන්නේ හරිම සියුම් හැඟීම් ගොඩක ජීවත් වෙන ක⁣ට්ටියක් අයියා ඔයාලා ඒ දේවල් හරියට තේරුම් නොගන්න නිසා ඔයාලා වටේ ඇතිවෙන ප්‍රශ්න පිළිලයක් වෙනකන්ම ඔයාලා දන්නෑ..”

“දැන් මට රැව්වේ ඒ නිසාද..කියන දෙයක් තේරෙන්න කියන්න ළමයෝ මං ඔය තුන් තේරවිලි විසඳන්න දන්නෑ..”

“මල්මි නංගි ඔයාට කැමතියි අයියේ එයා දැන් මගෙත් එක්ක කිය කිය හිටියේ ඒ ගැන..ඔයා නංගි කෙනෙක් වගේ එයා දිහා බැලුවට එයා තේරුම් අරගෙන තියෙන්නේ වැරදියට..ගෑණු ළමයි එහෙමයි එයාලට පුංචි දෙයක් වුණත් ඇති මහ ඉහළින් හිතාගෙන හීන මාළිගා හදාගන්න..”

“මට එහෙම දෙයක් දැණුනේ නෑ නංගි මල්මි නංගි මට චුටි නංගියෙක් වගෙයි ඒ නිසා මං එයා ගැන හොයලා බැලුවේ..ශික්..”

සනහස්ට දැණුනේ වරදකාරී හැඟීමක්, ඔහු ඇය ලබාදෙන දුරකථන ඇමතුම් වලට පවා ඔහුට හැකි විටෙක සම්බන්ධ වුණේ ඔහුට නැගණියක් නොමැති නිසා ඇය ඔහුට නැගණියක් බඳු වුණ නිසයි..

දින කිහිපයකට පෙර දිනයක ඔහුට දුරකථන ඇමතුමක් ලබා දී කොළඹ බණ්ඩාරනායක පරිශ්‍රයේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් ඇයට සහභාගී වීමට දැඩි කැමැත්තක් පවතින බවත් ඇයට කොළඹ නගරයේ නැන්දණියගේ නිවසට පැමිණිම⁣ට නොහැකි බවත් ඇයට උපකාරයක් කල හැකි දැයි කියා ඇසූ නිසා ඇයවත් ඔවුන් සමඟින් රැගෙන ඒමට ඔහු කැමැත්ත ප්‍රකාශ කලේ ඇගේ සිතේ ඔවැනි අදහසක් තියෙන බව ඔහු නොදැන සිටි නිසයි..

“අයියා ඒක එච්චර හිතන්න එපා තාම පොඩි ළමයෙක්නේ එයා මොනවා හරි කිව්වොත් තේරුම් කරලා දෙමු..වෙන කරන්න දෙයක් නෑනේ..”

මල්මි ඔවුන් සමඟින් සුපුරුදු ලෙස චතුරව කතා කරමින් කොළඹ නගරයට සේන්දු වන තුරුම පැමිණියත් සනහස් සිටියේ සිතත් සමඟින් දොඩමළු වන ගමන්..

සයාරලව නිවසට ඇරලීමට ප්‍රථමව මල්මිව ඇගේ නැන්දණියගේ නිවසට සනහස් ඇරලුවේ ඔහුගේ හිතේ ඇයව රැගෙන ඒම පිළිබඳව වරදකාරී හැඟීමක් තිබුණු නිසයි..

දින කිහිපයක් ගතව ගියේ සනහස් ඔහුගේ රාජකාරි සමඟින් කාර්‍යබහුල වෙද්දියි..

ගෙවුණු කාලය ඇතුලේ කිහිප විටක් මල්මි ඔහුට දුරකථන ඇමතුම් ලබාදුන්නත් ඔහු ඇමතුම් හා සම්බන්ධ නොවුණේ ඇගේ සිතේ පවතින අදහස ඔහුට පැවසුවොත් ඔහු එය ඇගේ සිත නොරිදෙන පරිදි හසුරවන්නේ කෙලෙසද කියා සිතාගැනීමට ඔහුට අපහසු වුණ නිසයි..

“දැන් එතකොට ඒ ගෑණු ළමයා ඔයාගේ මූණටම කිව්වද මල්ලි ඔයාට කැමතියි කියලා..”

“මං කිව්වේ නෑ අක්කේ සයාරා නංගිට කියලා..මං ඔහොම දෙයක් වෙයි කියලා දන්නවනම් කෝල් එකක් ගත්තත් මඟ අරිනවා අක්කේ..මං හිතුවේ මගේ නංගි වගේ..”

“ගෑණු ළමයි ඉතිං ඔහොම තමයි මල්ලි කොල්ලෙක් දැක්ක ගමන් කැමති වෙනවා හැබැයි ඕවා ටික දවසයි පස්සේ මතකත් නෑ කැමැත්තෙන් හිටියද කියලා..අනිත් එක ඔය තරු වලට ලව් කරන ප්‍රේක්ෂකයෝ ඕන තරම් ඉන්නේ..අර ශෙහාන්ට තාමත් ගෑණු ළමයි පිස්සුවෙන් වගේ කැමතියිනේ..ඕවා ගාණට බැලන්ස් කරාම ඔය ප්‍රශ්න නෑ..කෝල් ගත්තොත් ගන්න එපා ආපහු ඔය වෙද ගෙදර පැත්තෙත් යන්න එපා එතකොට ඒ ළමයට ඕක අමතක වෙලා යයි..මේ ඒක නෙවෙයි සයාරා නංගිට අප්සට් යන්න ඇති නේ ඒ ගෑණු ළමයා ඔයාට කැමතියි කියද්දි..

“අනේ මංදා සමහර විට එහෙම වෙන්නැති..මට එහෙම දෙයක් තේරුණේ නෑ..හැබැයි මට ගෑණු ළමයින්ගේ හිත් තේරුම් ගන්න තේරෙන්නෑ කිව්වා..”

“මේ දැන් කවදද මල්ලි ඔය දෙන්නා පිළිවෙළක් වෙන්නේ..අම්මයි මමයි බලන් ඉන්නේ ඔයා පිළිවෙළක් වෙනකන්..නෙළුම් ආන්ටි මට ඊයේ කතා කරා එයා නම් කැමතියි අද හෙටම වුණත් අපිව එහෙට පිළිගන්න ඒත් ඉතිං ඔයාගේ හරි තීරණයක් නැතුව අපිට එහෙම එන්නම් කියන්න බෑනේ මං කිව්වා අහලා කියන්නම් කියලා..”

“මට තව කාලයක් ඕන අක්කේ..සයාරා හොඳ වුණාම අපි ඒ ගැන කතා කරමු..”

හෙමි හෙමින් වසරක කාලයක් ගතව ගියේ සයාරා හොඳටම හොඳවී දෙපයින් නැඟී සිටීමට ඇයට හැකි වෙද්දියි..

අමායා මියගිහින් වසර අටක් සපිරීම නිමිත්තෙන් සනහස්ගේ නිවසට හාමුදුරුවෝ පනස් නමක් වැඩම කර දානය පිළිගන්නා ඇයට පිං ලබා දුන්නේ නැවත මෙවැනි අකල් මරණයක් කිසිදු බවයක ඇයට අත්නොවේවායි ප්‍රාර්ථනා කරමිනුයි..

දානයේ සියලු වැඩ කටයුතු අවසන් කර සනහස් සයාරා සමඟින් අමායව සොයාගෙන කුරුණෑගලට පැමිණියේ අවසන් වරට ඇයට සමුදෙන්න සිතාගෙනයි..සනහස් සයාරා සමඟින් නිළලත් සම්බන්ධයක් පටන් අරගෙන නොසිටියත් නිවෙස් දෙකෙන්ම ඔවුන්ට ආශිර්වාදය ලැබී තිබුණේ ඔවුන් දෙදෙනාම ජිවිතේ තවත් අතීතය නිසා විඳවමින් ගතකල යුතු නැති බව ඔවුන් වටහාගෙන සිටි නිසයි..අමායගේ මව සනහස්ට දැඩි අකමැත්තක් නොපෙන්නුවේ ඇය කාලයත් සමඟින් සනහස් අමායගේ මරණයට කිසිදු ලෙසකින් සම්බන්ධයක් නොමැති බව තේරුම් අරගෙන සිටි නිසයි..සනහස් සයාරව සුව කිරීමට ගත් උත්සහයත් ඇය දුටු නිසා
ඇගේ හිතේ සනහස් ගැන ඇතිවී තිබුණේ පහන් හැඟීමක්..

පසුගිය සතියේ කොටස මෙතැනින් –

මතුසම්බන්ධයි..

Similar Posts