කුරුණෑගල නගරයට සමීප වෙද්දි සයාරා වගේම සනහසුත් සිටියේ ඔවුන්ගේම කල්පනාවක තනි වෙමින්..
කුඩා කල පියාත් මවත් අතර සිදුවුණු විරසක වීම නිසා සයාරා අමායව හමුවුණේ පාසල් නිවාඩු කාලයේදී පමණයි..නිතර දෙවේලේ දුරකථන ඇමතුම් ලබා දෙමින් සුව දුක් සොයා බැලුවත් ඔවුන් දෙදෙනා අතර එතරම් සමීප සබඳතාවයක් නොතිබුණ තරම්..සයාරට අමායා ගැන තියෙන අවසන් මතකය ඇය මියගිය වසරේ මුල් භාගයේ දේපළ සම්බන්ධයෙන් මවත්,පියාත් එකඟතාවයකට පැමිණ ඔවුන් දෙදෙනාට සම සමව එම දේපල බෙදා දීමට යොදාගත් දිනයේ ඇයව දුටු පැය කිහිපය පමණයි..සයාරා සිය වැඩිමල් නිවුන් සොහොයුරියට ආදරය කළත් එය වචන කරමින් ඇය ළඟ රැඳීමට කාලයක් නොමැති වුණ එක ගැන සිතමින් සයාරා විසල් සුසුමක් හෙලුවේ සිතේ ඇය ගැන තවමත් කිසිවෙක්ට නොපැවසුවාට වේදනාබර හැඟීමක් ඉතිරි වී තිබුණ නිසයි..
“ඇයි බබා..”
සයාරා සනහස් දෙස බැලුවේ මඳ සිනහවක් දෙතොලතර රඳවගෙන..
“මුකුත් නෑ අයියේ..”
“හිතේ තියෙන දෙයක් මගෙත් එක්ක කියන්න බබා එතකොට හිතට රිලැක්ස් එකක් දැනෙයි..”
“මං කල්පනා කරේ අයියේ දෙමව්පියෝ නිසා ළමයි කොයි තරම් අසරණ වෙනවද කියලා..අක්කයි මායි දෙපැත්තකට වුණේ අපේ අම්මයි තාත්තයි වෙන් වුණ නිසානේ..අපේ ජිවිතේ ඒ නිසා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා..අක්කා ළඟ මං ඉන්න ඕන කාලේ එයා හිටියේ තනියම,මටත් එයා ඕන කාලේ මං හිටියේ යාළුවෝ එක්ක..ඉස්සර අපේ අම්මා හරිම තඳ චරිතයක් එයා එයාගේ නීති මැද්දේ අක්කව හැදුවේ..එයාට හරියට යාළුවෙක් වත් ආශ්‍රය කරන්න දුන්නෑ..අක්කා එක්ක බලද්දි අප්පච්චි මාව එයා ළඟට ගත්තු නිසා මං හරි නිදහස්ව නැන්දා ළඟ හැදුණා..යාළුවෝ එහෙමත් මට මහ ගොඩක් හිටියා පස්සේ පස්සේ මංම ඒ අයව ඈත් කරලා දැම්මට..මට අක්කා ගැන හරි දුකයි..”
“අම්මයි තාත්තයි වෙන් නොවී හිටියනම් සමහර විට ඔයාලා දෙන්නා ඒ දෙන්නගේ පීඩනය මැද්දේ හැදෙන්න ඉඩ තිබුණා බබා.. එහෙම පීඩනයක් මැද්දේ හැදෙන ළමයින් දෙන්නෙක් වෙලා ප්‍රශ්න ගොඩක් මැද්දේ ජීවත් වෙනවට වඩා මං හිතන්නේ ඔයාලා එකට නොහිටියට ඔහොම ජීවත් වුණ එක හොඳයි මගේ අදහස ඒක..මොකද මම එහෙම පීඩනයක් මැද හැදුණ ළමයෙක් නිසා..”
“අයියගේ අම්මලා එහෙම පේන්නෑනේ.. ආන්ටි,අංකල් හරි හොඳයි නේ.”
“ඒ දැන්නේ බබා..ඉස්සර පැරලයිස් වෙන්න කලින් අපේ අප්පච්චි වැඩ කරේ ආමි එකේනේ ඒ කාලේ එයා හරිම නීතිකාර කෙනෙක්, අප්පච්චි හිතුවේ අපි ගෙදර ජීවත් වෙන්න ඕනත් හමුදාවේ ඒ නීති වලට යටත්ව කියලා..මං ඉපදෙන්න කලින් අම්මා ඒ පීඩනය නිසා ඩිවෝස් වෙන්න හැදුවට අම්මගේ ගෙදර අය ඒකට කැමති වෙලා නෑ..ඒ කාලේ තමයි මාව හම්බෙන්න ඇවිත් තියෙන්නේ, අප්පච්චිත් කැමැත්තෙන් ඉදලා තියෙන්නේ අම්මව ඩිවෝස් කරන්න ඒත් දෙන්නගේ ඒ තීරණයට බදාවක් වුණේ මම නිසා අප්පච්චිට ඉස්සර මාව පේන්න බෑ..දැක්කොත් නඩුවක් මමත් ඉතිං කියන දේ අහන ළමයෙක් නෙවෙයිනේ මං තරම් අපේ අයියවත් අප්පච්චිගෙන් ගුටි කාලා නැතුව ඇති..එහෙම පරිසරයක හැදෙනවට වඩා ඔයාලා ඔහොම හැදුන එක හොඳයි මං ඒකයි එහෙම කිව්වේ..”
“එක එක ප්‍රශ්න නේද එක එක අයට..සමහරුන්ට දෙමව්පියෝ නෑ එයාලා ඒ නිසා දුක්වෙනවා, තවත් අයට ඉඳලත් හරි ආදරයක්, රැකවරණයක් හම්බෙන්නෑ..අපි ගිය ආත්මේ කරපු පව් නිසා වෙන්නැති අයියේ එහෙම වෙන්නේ..”
පවුලේ තොරතුරු කතා බහ කර කර ඔවුන් දෙදෙනා සුසාන භූමිය සමීපයෙන් මෝටර් රථය නතර කර,අමායා කැමතිම මල් වර්ගය වුණ ලිලී මල් කලඹක් ඔවුන් රැගෙන ආ නිසා එයත් රැගෙන ඇගේ සොහොන් කොත සමීපයට පැමිණියේ ඔවුන්ගේ ජිවිතේ තීරණාත්මක තීරණයක් ගැනීමට කලියෙන් ඔවුන් දෙදෙනාටම අමායව දැක ගන්න දැඩි අවශ්‍යතාවයක් තිබුණ නිසයි..
සයාරා සොහොන්කොත සමීපයෙන් දණ නවා දෙපා වලට වාරූ වී අසුන්ගත්තේ අමායගේ සේයාරුව දෙස බලාගෙනයි..
“ඔයාට කොහොමද අක්කා මං මේ ඔයාව බලන්න ආපු පළවෙනි වතාව..අපි දෙන්නට අන්තිම වතාවට වත් හම්බෙන්න බැරි වුණානේ..මට සමාවෙන්න ඔයාව මේ තරම් කාලයක් බලන්න නාවට..මං එන්න පුළුවන් තත්ත්වයක හිටියනම් ඔයාව බලන්න එන්නැතුව ඉන්නෑ..සනහස් අයියා නම් ඔයාව නිතර බලන්න එනවනේ අදත් එයා ආවේ ඔයාට සිංදුවක් කියන්නත් එක්ක..
මං ඔයාගේ ආදරේ උදුර ගන්නවට ඔයා මගෙත් එක්ක තරහ වෙන්න එපා අක්කේ.. මට මේ ආත්මේ විතරක් සනහස් අයියගේ වෙන්න දෙන්න අක්කේ වෙන කිසිම ආත්මයක මං ඔය දෙන්නා මැද්දට එන්නෑ..මේ මුළු සංසාරේ පුරාවටම ඔය දෙන්නා හැමදාමත් අනිත් හැම ආත්මයකම ඔය දෙන්නගේම වෙයි..මං කිසිම ආත්මයක ඔයාලට බාධා කරන්නෑ.. ඒත් මට මේ ආත්මෙට විතරක්ම සනහස් අයියගේ වෙන්න දෙන්න අක්කේ..”
සනහස් අමායගෙන් සමාව ගත්තේ වසර පහක් ඇයට හිමිවුණ තමන්ගේ ප්‍රේමය ඇගේ නැගණියට ඔහු පිදූ නිසයි..
“මට සමාවෙන්න අමායා මට සමාවෙන්න ඔයාව මෙච්චර ඉක්මනට අමතක කරාට ඊළඟ ආත්මේ මට වඩා හොඳ කෙනෙක් එක්ක ඔයාට සතුටින් ඉන්න ලැබෙන්න කියලා මං හැමදාම ප්‍රාර්ථනා කරනවා..ඔයා හැමදාම සුන්දර මතයක් විදිහට මගේ මතකයේ ඉන්නවා මට සමාවෙන්න..”
“අපි දෙන්නටම සමාවෙන්න අක්කේ..”
විනාඩි ගණනක් සනහස් වගේම සයාරත් අමායගේ සොහොන් කොත දෙස බලාගෙන හැඬුවේ සමහර කාරණා වසර ගණනක් ගතව ගියත් ලෙහෙසියෙන් අමතක කල නොහැකි නිසයි..
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
මියෙනා දිනයේ කඳුලක රස විඳිමින්
නුඹගේ පහසේ රහසක් වුණු මාගේ
නොලියූ කවියේ පද එකිනෙක බිඳුනේ
දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා
කවුරුන්දෝ කියලා ඇසුවා
අපගේ වරදේ ගැඹුරක් දැනෙනා
දවසේ මොහොතක් මං සිතුවා
නිල් පාටින් හැඩ මේ අහස
ආදරේ දුක වින්දා ද
මා ගාවින් උන් ඒ හීන
පාවෙලා යනවා දුර ඈත
නැවත හමු නොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
වෙන්වී යන බව දැන දැනම
තාම හිත ඉල්ලන ඔය දෑත
අහස ගුගුරා කිව් ඒ පුවත
තේරුනා මට නම් කල් ඇතිව
නැවත හමු නොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
“මං මේ සිංදුව තෝර ගත්තේ ඇයි කියලා මං දන්නෑ අමායා..ඒත් මට අද කියන්න හිතුනේ මේ සිංදුව,ඔයාට මගේ ආදරේ කියන්නවත් මට අවස්ථාවක් ලැබුනේ නෑ හරියට නිකන් මේ සිංදුවේ වගේමයි අපි දෙන්නගේ ආදරෙත්..හැබැයි මං ප්‍රාර්ථනා කරනවා මේ සංසාර ගීයේ කවදම හරි මට ඔයාව හමුවෙන්න කියලා අපිට එකට ගයන්න බැරිවුණ ගීය මේ සංසාරේ කවදම හරි අපිට එකට ගයන්න ලැබෙන්න කියලා..”
පැය ගණනක් ඔවුන් දෙදෙනා ඇය සමීපයට වී සිටියේ ඔවුන්ගේම සිත සමඟින් දොඩමළු වෙමින්..
“අපි දැන් යමු අයියේ අක්කා අපි දෙන්නටම සමාව දෙයි..මට විශ්වාසයි..”
සනහස් සයාරා සමඟින් අමායා දෙස විනාඩි කිහිපයක් බලාගෙන සිටියේ හදවතට දැනෙන වරදකාරී හැඟීම නිසයි..
“අපි යන ගමන් ඉස්කෝලේ පාරට යමුද..මට බලන්න ඕන අක්කා ඇක්සිඩන්ට් වුණ තැන..”
සනහස් විසල් සුසුමක් මුදා හැරියේ වසර අටකින් ඔහු එම මාවත ඇසටවත් නොදුටු නිසයි
“කමක් නෑ අයියේ මට ඔයාව තේරුම් ගන්න පුළුවන් අපි මෙහෙම්මම යමු..මං නිකමට වගේ යමු ඇහුවේ..”
“නෑ..අපි යමු බබා..තව කොයිතරම් කාලයක් මං නොයා ඉන්නද..”
සනහස් හෙමි හෙමින් මෝටර් රථය එම මාවතට හරවත්දි ඔහුට දැණුනේ එම මාවතේ තවමත් අතීත මතකයන් ජීවමානව පවතින බවකුයි..
“අපි ඉස්සර මේ පාරවල් දවස ගාණේ බයිසිකල් වලින් කොල්ලෝ රංචු පිටින් එහාට මෙහාට යනවා..ඉස්කෝලේ කාලේ තරම් සුන්දර කාලයක් මගේ මේ අවුරුදු ගාණටම තිබිලා නෑ..මං ඔයාට කිව්වේ අපේ අප්පච්චි වසයි කියලා මං ඒත් ඉතිං ඒවා ඒ කාලේ ගාණකටවත් ගත්තේ නෑ..හැමදාම කාගෙත් එක්ක හරි රංඩුවක් අල්ලලා ගුටි කාලා තුවාල වෙලා එහෙම තමයි ගෙදර ගියේ..අපේ අම්මට මොක වුණත් පට්ට ඉවසීමක් තිබුණා මගේ මගෝඩි වැඩත් ඉවසගෙන අප්පච්චිගෙුනුත් බැණුම් අහලා ඒවත් දරාගෙන ඉන්න..”
“අම්මලා එහෙම තමයි අයියේ එයාලා ළමයි වෙනුවෙන් ඕනම දුකක් ඉවසනවා..අපේ අම්මට කිට්ටු සම්බන්ධයක් මට නොතිබුණට එයත් එහෙම දරාගත්ත කෙනෙක්..නැත්තම් තනියම ගෑණු ළමයෙකුත් හදාගෙන ජොබ් එකත් කරන ගමන් අවටින් තනි ගෑණු කෙනෙක්ට එන පීඩනය එහෙම ලේසියෙන් දරාගෙන ඉන්න අමාරුයිනේ..”
“ම්..ඒක ඇත්ත මැඩම් අමායව ඒ කාලේ හෙනට පරිස්සම් කරා..”
සනහස් මෝටර් රථය අමායා අනතුරට ලක්වූ ස්ථානය පෙනෙන මානයෙන් නතර කර විසල් සුසුමක් මුදාහැරීයේ හදවත අමුතුම ආකාරයට රිඳුම් දුන් නිසයි..සයාරා සනහස්ගේ අත සෙමෙන් මෘදුව පිරිමැද්දේ ඇයට ඔහුගේ සිත හැඳින ගැනීමට හැකි වුණ නිසයි..
“මට තාමත් ඉදලා හිටලා එදා සිද්ධ වුණ දේ මැවිලා පේනවා නංගි..අවුරුදු ගාණක් ගියා දවස ගාණේ ඒදේ දකින එක නතර කර ගන්න..සමහර දේවල් දරාගන්න හරි අමාරුයි නංගි පිරිමි හැමදේම හිතේ ගල්කරගෙන ඉන්න ඕන කියනවනේ මට අවුරුදු ගාණක් ගියා හැමදේම හදවතේ පැත්තකට කරලා ගල් කරලා දාන්න..මං එතකොට ගම වටේම කොළු කමට රස්තියාදු ගගහා හිටපු එකෙක් ආදරේ ගැන මෙලෝ හසරක් දැනගෙන හිටපු එකෙක් නෙවෙයි මං දැන් සමහර තීරණ ගැන පසුතැවෙනවා…දැන් ඉතිං ඕවා කතා කරලා වැඩක් නෑ..අපි බහිමුද මේ පාර දිගේ හෙමින් ඉස්කෝලේට පයින්ම යමු..අද ඉස්කෝලේ දවසක් නිසා මැඩම් ඉස්කෝලේ සමහර විට ඇති…මැඩම් ආපහු ඉස්කෝලේ වැඩ කරන එක ගැන මට හරි සතුටුයි බබා..ඒ කාලේ මැඩම් අපේ ඉස්කෝලේට ලොකු සේවයක් කරා..”
“අම්මා ජොබ් එකෙන් අයින් වුණාට එයා බැඳිලා හිටියේ ගුරු රස්සාව එක්කනේ අයියේ ඒකයි මං ස්වෙච්ඡාවෙන් හරි මෙහේ වැඩ කරන්න කිව්වේ..අඩුම තරමේ එතකොට එයාට එයා කැමති විදිහට දවස ගෙවන්න පුළුවන් නේ ළමයි එක්ක..”
අමායා අනතුරට ලක් වූ ස්ථානය දෙස සනහස් නිහඬවම බොහෝ වෙලා බලාගෙන සිටියේ එම සිදුවීම ඔහුට නැවත නැවත මැවී පෙනෙද්දියි..
“මෙතන එයා වැටිලා හිටියේ ලේ ගොඩක් මැද..මං එයාව අත් දෙකට ගද්දි එයාට යන්තමට සිහිය තිබුණා..ඇස් ඇරලා මගේ දිහා බැලුවා එයා මගෙත් එක්ක හිනාවෙන්න උත්සහ කරා..මට දැනුණා එයා මට මොනවා හරි කියන්න හදනවා කියලා..ඒත් එයා කිසිම දෙයක් නොකියා මගේ අත්දෙක උඩ ඇස් පියා ගත්තා බබා..මට මතක නෑ මගේ අත්දෙක අතරේ හිටපු අමායව කොහොම අරගෙන ගියාද කියලා..මට මතකයි මං හොස්පිට්ල් එකේ කොරිඩෝ එකේ ගල්පිළිමයක් වගේ හිටපු හැටි අපේ ගෙදර අය එනකන්ම මං හිටියේ එහෙම..මං පියවි සිහියට ආවේ අප්පච්චිගේ කම්බුල් පාර නිසා ඒ වෙලේ ඒ කම්බුල් පාරේ වේදනාව වත් මට දැණුනේ නෑ මට මතක් වුණ එකම දේ අමායව විතරයි මං එයාව බලන්න ඕන කියලා බිම හැපි හැපී අඬද්දි අප්පච්චි මාව ඇඳගෙන ගියා මට මතකයි බබා..සමහර දේවල් ඡායාවල් වගේ මතක..ඒවා ඒ විදිහටම වුණාද නැත්තන් මගේ හිතලු විතරද කියලා මං දන්නෑ..
අපේ අයියා තමයි එදා ලේ වලින් පෙගිලා හිටපු මාව නෑව්වේ මගෙත් එක්ක ඌත් ඇඬුවා මං ඒ අයියා අඬනවා දැකපු පළවෙනි වතාව.. එතනින් එහාට මට ජීවත් වෙන්න වුණේ හිරකාරයෙක් වගේ මං අමායව බලන්න යන්න ඕන කියලා බිම හැපි හැපී අඬද්දි අප්පච්චි මාව කාමරේකට දාලා ලොක් කරලා තිබුණා සතියක් ෆියුනරල් එක ඉවර වෙනකන්ම බබා..ඒ නිසා මට අන්තිම මොහොතේ වත් අමායව බලන්න වුණේ නෑ..
මිනිස්සු අපේ ගේ ඉස්සරහට ඇවිත් මට අපේ ගෙදර අයට දෙස් තිබ්බා,ගල් ගැහුවා ඒ දේවල් එක්ක ඇතිවුණ ලැජ්ජාවට තමයි අප්පච්චිට අංශභාගේ හැදුණේ..අපි ඊට පස්සේ ගමේ හිටියේ නෑ ගෙවල් විකුණලා කොළඹ ගියා අයියට ලැබෙන්න තිබුණ උසස්වීමත් මං නිසා නැති වුණා..”
“හැමෝම අපේ අක්කට අසාධාරණයක් වුණා කියලා කෑ ගැහුවට ඇත්තටම අසාධාරණය වෙලා තියෙන්නේ ඔයාට අයියේ..දැන් අපි ඔය හැමදේම අමතක කරමු..”
මතුසම්බන්ධයි…
පසුගිය සතියේ කොටස මෙතැනින් –