සමාජයක සාර්ථකත්වයට ආචාරධර්මයන්හි දැනුවත්භාවය අනිවාර්ය අංගයක් වේ.
ආචාරධර්ම පද්ධතිය යනු සදාචාරාත්මක රාමුවකට අයත් වූවකි. එය නීතිමය රාමුවකට අයත් නොවේ. නීතිය තුළ ඇති අපරාධයක් ආචාරධර්මයක් බිඳ වැටීමක් හා සැසඳිය නොහැක. මන්ද ආචාරධර්මයක් බිඳවැටීම එතරම් බරපතළ නොවන නිසාවෙනි.ආචාරධර්මය තුළ නීතිය දක්නට නොලැබුණද නීති පද්ධතිය තුළ ආචාරධර්මය ප්‍රකට කාර්යයක් ඉටු කරලයි. අත සේදීමකින් තොරව ආහාර ගැනීම මරණයට හේතුවක් නොවේ. නමුත් එලෙස අත සෝදා ආහාර ගැනීම එම කාර්යය තෘප්ත කිරීමට විශාල බලපෑමක් සිදුවේ.මේවා ආචාරධර්ම ක්රියාවන්ය. රටක් තුළ නීති පද්ධතිය දැනුවත්ව එය ක්‍රියාත්මක වීමට නම් ඒ හා බැඳි ආචාරධර්ම පද්ධතිය මිනිසුන් තුළ ක්‍රියාත්මක විය යුතුමය. සමාජයේ සිදුවන සියලු යහපත් ක්‍රියාවන්හි පදනම වන්නේ ආචාරධර්ම පද්ධතියයි.
ග්‍රීක මහා දාර්ශනිකයෙක් වූ ප්ලේටෝගේ සදාචාර දර්ශනය තුළ ඉතා වැදගත් ප්‍රකාශයක් මෙලෙස දැක්විය හැක.“යුක්තිය යනු,අනුන්ගෙ වැඩ කටයුතු වලට අනුචිත ලෙස මැදිහත් නොවී ස්වභාවධර්මයෙන් තමාට හිමි ස්වකීය වැඩ කරගෙන යාමයි” මෙය ඔහුගේ ‘ද රිපබ්ලික්‘ නම් කෘතියේ හතරවන 4 වන කාණ්ඩයේ දක්වා ඇති ප්‍රකාශයකි. මෙම ප්‍රකාශයට අනුව සැබැවින්ම පුද්ගලයෙක් තම සාර්ථකත්වය කරා යන ගමනේදී අන් අයගේ වැඩ කටයුතු පිළිබඳ සිතමින් නිකරුණේ කාලය ගතකිරීමට වඩා තමාගේ කාර්යය නිසි පරිදි ඉටු කිරීමට තම සිත යොමු කිරීම වඩා වැදගත්ය. එමඟින් තමාගේ සාර්ථකත්වය නිර්මාණය වන්නා සේම නිතැතින්ම සමාජයේ සාර්ථකත්වයද ගොඩ නැගේ. යම් පුද්ගලයෙක්ට තම සාර්ථකත්වය සමාජගත කර වීමට අවකාශ ලැබෙනුයේ මෙම සංකල්පය ප්‍රායෝගිකව යොදා ගැනීමෙනි. එනම් මිනිසා යුක්ති සහගත වන තාක් අන්‍යයන් පිළිබඳ නොසොයා තමන්ගේ දුර්වලතා මගහැර,ඒවා නිසි පරිදි හඳුනාගෙන තම හැකියාවන් වර්ධනය කරගෙන තමා සංවර්ධනය කිරීමට උත්සාහ දරයි. ඒ අනුව තමා ආචාරධර්ම පිළිබඳව නිසි පරිදි දැනුවත් වීමකින් කටයුතු කරන පුද්ගලයෙක් නම් එය තමා තුළ සංවර්ධනයක් ඇතිකර ගන්නා සේම එමඟින් සමස්ත සමාජයම සංවර්ධනය කරා යොමු කරවීමට දායකත්වයක් සපයයි.
ස්වභාවික ජීවියෙක් වූ මිනිසා සමාජානුයෝජන ක්‍රියාවලියේදී මවගේ පටන් වැඩිහිටියන්ගෙන්ද ගුරුවරුන්ගෙන්ද ආචාරධර්ම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.නමුත් වර්තමාන අධ්‍යාපන රටාව තුළ තරඟකාරීත්වය අරඹයා දරුවන්ට අධ්‍යාපනයට අමතරව හොඳ ගුණධර්ම,ආචාරධර්ම ලබා නොදීම කණගාටුවකි. ඇතැම් අවස්ථාවන්හි තම දෙමව්පියන්ගෙන්ද ආචාරධර්මය නිසි පරිදි ඉගනීමට හැකියාවක් නොලැබෙන්නේ තම දෙමව්පියන්ගේද කාර්යබහුලත්වය නිසාවෙනි.මේ නිසා දරුවා තුළ ආචාරධර්මයන්හි ඌනතාවක් පැහැදිළිවම දැකගත හැකි වේ.එය පුද්ගල සදාචාරය ගොඩ නැගීමෙහිලා දුර්වලතාවයක් ලෙස දැක්විය හැකි අතරම මෙහි බලපෑම සමස්ත සමාජයටද බලපෑමක් ඇති කරයි.
‘ජපන්නු හපන්නු’ යනු අපට සුපුරුදු කියමනකි. ලෝ වැසියන් අතර සිරුරෙන් කුඩා වුණත් සෑම අංශයකින්ම ඉහළම දස්කම් දැක්වීම ගැන මෙන්ම ඔවුන්ගේ ශාරීරක සුවතාවය සහ ආචාරශීලි බව පිළිබඳ ජපන් ජාතිකයන් ලොවපුරා ප්‍රසිද්ධය.එසේම 99.9% වැනි ඉහළම සාක්ෂරතාවයක් ඔවුන්ට හිමිවේ. මෙයට හේතුව ඔවුන්ගේ අධ්‍යාපන රටාවයි.ජපන් අධ්‍යාපනය ක්‍රමය තුළ දරුවෙකු පාසලේ මුල් වසර තුනක කාලය තුළ කිසිදු විභාගයට මුහුණ නොදෙයි.එම වසර කිහිපය තුළදී සිදු වන්නේ දරුවන් තුළ හොඳ පුරුදු ඇති කිරීම සහ පෞරුෂත්වය වර්ධනය කිරීමයි.එසේම අනෙකාට,ගරු කිරීම මෙන්ම පරිසරයට සහ සතුන්ට ආදරය කිරීමට ඔවුන්ට කියා දෙයි. මේ කාලය තුළදී ළමා මනසට ස්වයං පාලනය, සාධාරණත්වය සහ අධිෂ්ඨානය වැනි ගතිගුණ ඇතුළු කිරීම සිදුවේ. එසේම පරිත්‍යාගශීලී වීම,කරුණික බව සහ සානුකම්පිත වීම යනාදී ඉගැන්වීම සිදු කරන්නේද මේ අවධිය තුළයි.
ආචාරධර්ම පද්ධතීන් පිළිබඳ අධ්‍යයනයේදී ඔවුන්ට විශේෂිත ආවේණික ආචාරධර්ම පද්ධතියක් ජපනුන් සතු වේ. ඔවුන් ඒ සඳහා කුඩා කාලයේ පටන්ම දරුවා හුරු කිරීමක් සිදු කරයි. මෙමඟින් දරුවා සමාජයට ප්රවිශ්ට වනුයේ යහපත් පුරවැසියක් ලෙසනි.එවන් පසුබිමක් තුළ ඔහුගෙන් අයහපත් ක්‍රියාවක් ඔහුට නොදැනුවත්ව හෝ සිදු වනුයේ කලාතුරකිනි.
පිරිසිදුකම,පිළිවෙළ ආචාරධර්ම පද්ධතියක ඉතා වැදගත් අංගයක් ලෙස දැක්විය හැක. මෙහිදී විශේෂයෙන් ජපන්නු අතරද මෙම අංගය කැපී පෙනේ. එහිදී ශ්‍රී ලංකාවේ පාසල්වල මෙන් ජපන් පාසල්වල පිරිසිදු කිරීමේ කටයුතු සඳහා වෙනම සේවක මණ්ඩලයක් නොමැත.පන්ති කාමර, ආපනශාලා පමණක් නොව නාන කාමර සහ වැසිකිළි පවා පිරිසිදු කිරීම සිදු කරනුයේ දරුවන් විසිනි. මේ තුළින් ඔවුන් පිරිසිදුව සිටීමට,කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට සහ අනෙක් අයට උපකාර කිරීමට ඉගෙන ගන්නා බව ජපන් අධ්‍යාපන ක්රමයේ විශ්වාසයයි. එවන් අධ්‍යාපන පද්ධතියක අවශ්‍යතාව ශ්‍රී ලංකාව තුළ වර්තමානයේදී ඉස්මතුව පෙනේ.එසේම අතු ගෑම,තමා අවට පිරිසිදු කිරීම වැනි කටයුතු සඳහා කාලය සහ ශ්‍රමය වැය කිරීමේදී අනෙකුත් පුද්ගලයන්ගේ කටයුතු සඳහා ගරු කිරීමටත් පොදු ස්ථාන පිරිසිදුව තබා ගැනීමටත් ඔවුන් පුරුදු වන්නේ නිරායාසයෙනි.
සමාජය තුළ ජීවත් වීමේදී පුද්ගලයෙක්ට ආචාරධර්ම පිළිබඳ කුඩා හෝ අවබෝධයක් තිබීම අනිවාර්ය වේ. එසේ නොමැති වුවහොත් ඔවුන්ගෙන් සමාජයට සිදු වනුයේ බරපතළ වරදකි. උදාහරණයක් ලෙස ටොෆි දවටනය නිසි පරිදි බැහැර නොකර තම සිතැඟි සේ ඕනෑම තැනක විසි කිරීමෙන් අප අවට පරිසරය අපිරිසිදු වේ. තමා පිරිසිදුව සිටින්නා සේම අන්‍යයන්ගේ හා අවට පරිසරයේ පිරිසිදුභාවය පිළිබඳවද සිතීම සදාචාරවත් පුද්ගලයෙකුගේ ලක්ෂණයකි.එසේ නම් තමා ආචාරවත් වීම ඇරඹිය යුත්තේ එවැනි කුඩා පුරුදු තමාගේ ජීවිතයට එක්කර එක් කර ගැනීමෙනි. එහිදී පාරිසරික කාර්යක්ෂමතා ශ්‍රේණිගත කිරීම සෑම වසර දෙකකට වරක් ප්‍රකාශයට පත් කරනු ලබන මානව සංවර්ධනය පිළිබඳ විශේෂ ඹභෘඡ වාර්තාවන්ට අනුව ලෝකයේ පිරිසිදුම රටවල් අතර ස්විස්ටර්ලන්තය, ස්වීඩනය,ජපානය,නොර්වේ,කොලොම්බියාව හා නවසීලන්තය වැනි රටවල් වේ.මෙවැනි රටවල් භූමි ප්‍රමාණය අනුව ඉතා විශාල මෙන්ම ජනගහණය අතින්ද ඉතා විශාල වේ.නමුත් එම රටවල්හි වෙසෙන ජනයා තමාගේ පිරිසිදු භාවය මෙන්ම අවට සමාජයේ පිරිසුදු භාවය පිළිබඳවද මනා සේ සිතන නිසාවෙන් මේ ආකාරයට ඔවුන් ලෝකයේ පිරිසිදුම රටවල් අතරට පැමිණ ඇත.
තවද අප අවට සමාජය තුළ බොහෝ පුද්ගලයන්ට කිසිදු ඉවසීමක් නොමැත.වැඩිහිටියෙක්ට පූජ්‍ය පක්ෂයට හෝ ගර්භනී කාන්තාවකට ගරු කිරීම වර්තමාන සමාජයේ වියැකී යන ආචාරධර්මයන්ය. නමුත් ලෝකයේ ජපානය, චීනය, කොරියාව වැනි රටවල මෙවැනි ආචාරධර්ම ඔවුන් ඉතා ඉහළින් අගය කරයි. පුද්ගලයෙක් ඇතුළාන්තයෙන්ම යහපත් වීම මඟින් සමස්ත සමාජයේම ප්රගමනයට දායක වේ.
මෙම විශ්වය තුළ කිසිදු සත්ත්වයකුට හුදකලාව ස්වාධීනව ජීවත් විය නොහැක.අහස,පොළොව, ජලය,වාතය,ගස්වැල් මෙන්ම සතා සිවුපාවුන් ඇතුළු ජීව අජීව සමස්තයම විශ්වීය සමාජය ලෙස හඳුන්වන අතර පුද්ගලයා එහි එක් සාමාජිකයෙක් පමණි.මේ නිසා පුද්ගලයාට තම සිතැඟි ආකාරයට සමාජය තුළ ජීවත් වීමට නොහැක.සමස්තය හා ඒකක අතර අන්‍යෝන්‍ය සබැඳියාව එහි පැවැත්මට සෘජුව බලපායි.මේ නිසාවෙන් පුද්ගලයා නැමැති සමාජ ඒකකය සමාජයේ යහපැවැත්මට සුරක්ෂිතභාවයට හානිකර ලෙස ක්‍රියා කරන්නේ නම් එය වැරැද්දකි. මන්ද තමාද සමාජයේම කොටසක් වන නිසාවෙනි. එවිට එම ක්‍රියාවෙහි ප්‍රතිඵල තමාගේ අයහපත උදා කරයි. ඒ අනුව පුද්ගලයාට සමාජයෙන් වියුක්තව ක්‍රියා කළ නොහැක. පුද්ගලයෙක් ස්වයච්ඡන්දතාවයකින් ක්‍රියාකිරීම සදාචාරයට යම් ආකාරයක බාධකයකි. පුද්ගලයා සමාජයට යුතුකම් ඉටුකිරීමෙහිලා බැඳී සිටියි.මේ නිසා පුද්ගලයා පැහැර හැරිය නොහැකි සදාචාර බැඳීමකින් සමාජය සමඟ බැඳී සිටියි. පුද්ගලයෙක් සදාචාරයට පිටුපා ක්‍රියා කරන්නෙක් නම් ඔහුට ස්වභාවධර්මය නිතැතින්ම එරෙහි වෙයි. ස්වභාවධර්මයේ නියමයන් ඉක්මවා යාමට හෝ පිටුපා ක්‍රියා කිරීමට කිසිවකුට ඉඩක් නොමැත. මේ අනුව පුද්ගලයා සදාචාරවිරෝධීව ක්‍රියා කිරීම තමාට තමා විසින්ම එරෙහිව ක්‍රියා කිරීමකි. මේ හේතුවෙන් පුද්ගලයෙක් ආචාරධර්මයන්ට අනුකූලව ජීවත් වීම ඉතා වැදගත්ය. මමත්වයෙන් වියුක්තව අන්‍යයන් සමඟ සුහදව කටයුතු කිරීම ආචාරධර්ම පිළිබඳ දැනුවත්භාවයෙන් කටයුතු කරන්නෙක්ගේ ලක්ෂණයකි.එමඟින් සමාජ ප්රගමනයක් සිදු වේ.මන්ද යහපත් පුද්ගල සමූහයකින් හෙබි සමාජය අනිවාර්යයෙන්ම යහපත්ය.
එමෙන්ම යම් පුද්ගලයෙක් තමා උපමා කර ගනිමින් අන් අය ගැන සිතමින් කටයුතු කරන්නේ නම් එම පුද්ගලයා අතින් අයහපත් ක්‍රියාවක් සිදු වීමට කිසිසේත් ඉඩක් නොමැත.මේ ලෝකයේ ජීවත්වන ඕනෑම ජීවියෙක් තම ජීවිතය රැකගැනීමට සැපෙන්,සතුටෙන්,විනෝදයෙන් කාලය ගත කිරීමට කැමැත්තක් දක්වයි. සියල්ලෝම හිංසාවට පීඩාවට අකැමැතිය. තම ජීවිත පැවැත්මට අහිතකර වන හෝ තර්ජනයක් වන සියල්ලම තමා ප්‍රතික්ෂේප කරන්නේ යම් සේද අන් ජීවියන්ද එසේ ක්‍රියා කරන බව තමා තේරුම් ගත යුතුය. එලෙස තේරුම් ගනිමින් කිසිවකුට හිංසාවක් පීඩාවක් නොකර තමාගේ ජීවිතය යහපත් ආකාරයට ඉදිරියට ගෙන යාමට සියලු දෙනා උත්සුක විය යුතුය. මෙලෙස සියලු දෙනා එක සේ එය අවබෝධ කරගන්නේ නම් සමාජය තුළ සදාචාර අර්බුද,සදාචාර ගැටලු මේ තරමින් මතු නොවේ. තමා මිනිසෙක් වූ පමණින් අන් සත්වයින්ගේ ජීවිත තොර කිරීමට කිසිදු අයිතියක් නොමැත. මිනිසුන් මෙන්ම සත්ත්වයින්ද තම ජීවිත රැක ගැනීමට මහත් පරිශ්‍රමයක් දරයි.ඒ නිසා තමාගේ ජීවිතය මෙන්ම අන් අයගේද ජීවිතය පිළිබඳ සිතා කටයුතු කිරීම ආචාරධර්මයට හිතකර වේ.බුදු දහමෙහි සදහන් වන ආකාරයට මෙය ‘අත්තූපනායික ධර්මය’ ලෙස හැඳින්වේ.
‘සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේසං ජීවිතං පියං
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයේ”
‘සියල්ලෝ දඬුවමට බිය වෙති. සියල්ලන්ට ම ජීවිතය ප්‍රිය ය. මෙසේ අනුන් තමා මෙන් සලකා අනුන්ට හිංසා පීඩා නො කළ යුතු ය.අනුන් ඝාතනය නො කළ යුතු ය.’
විශේෂයෙන්ම බුදුදහමේ උගන්වන මෛත්‍රී සංකල්පය හා දානය මෙහිදී වැදගත් වේ.තමා අවට ලෝකයේ ජීවත්වන තමාට පෙනෙන නොපෙනෙන සකල සත්වයන් කෙරෙහිම මෛත්‍රී සහගත චේතනාවෙන් කටයුතු කිරීමට පුද්ගලයෙක්ට හැකිනම් එය මවක් තම එකම දරුවා කෙරෙහි දක්වන සෙනෙහස මෙන් සත්ත්වයන් කෙරෙහි මෛත්‍රිය වැඩීමට හැකිනම් සදාචාර විරෝධී ක්‍රියා සිදු වීමට කිසිදු පිටුබලයක් නොලැබේ.පුද්ගලයෙක්ට සතෙක් මරණයට පත් කිරීමේ චේතනාවක් පහළ වුවද තමා ආචාරධර්ම පිළිබඳ දැනුවත්භාවයකින් කටයුතු කරන්නේ නම් එය සිදු කිරීමට හැකියාවක් නොමැත.මෙය සමාජයට මනා සේ ඉවහල් වේ.
ආචාර ධර්මය හා සමීප වශයෙන් ආගම සමීප සම්බන්ධතා පවත්වයි.ආගමානුකූලව ජීවත් වන පුද්ගලයෙක් ආචාරධර්මානුකූලවද ජීවත්වේ. ඕනෑම ආගමකම පරම නිෂ්ඨාව සාක්ෂාත් කර ගැනීමෙහිලා සදාචාර සම්පන්නව ආචාරධර්මානුකූලව ජීවත් වීම වැදගත් වේ. උදාහරණයක් ලෙස සඳහන් කරන්නේ නම් බුදුදහම නිර්වාණය තම ආගමේ පරම නිෂ්ඨාව ලෙස සලකයි. ඒ අනුව බෞද්ධ ආගමිකයෙක් නිර්වාණය අපේක්ෂාවෙන් සිටී නම් ඔහුගෙන් කිසිදු සදාචාර විරෝධී,ආචාරධර්මයට පටහැනි ක්‍රියාවක් සිදු විය නොහැක. ඔහු නිර්වාණය අපේක්ෂාවෙන් සිටිනුයේ ඒ පිළිබඳව යම් තරමකට හෝ අවබෝධයක් ඇති නිසාවෙනි.ඒ අනුව ඕනෑම ආගමක පරමාර්ථය සත්වයා විමුක්තියට පත් කිරීමයි.එබැවින් ඒ ඒ ආගමේ ආචාරධර්මය විමුක්තිය සඳහා අත්‍යවශ්‍ය මාධ්‍යයක් වේ.ඒ අනුවද ආචාරධර්ම පිළිබඳ දැනුවත්වීමකින් යුක්තව සමාජය තුළ තුළ ජීවත් වීම අවශ්‍යතාවයකි.
එමෙන්ම සමාජයේ ජීවත්වන සෑම පුද්ගලයෙකු සතුව තම ජීවිතයේ කිසියම් අරමුණක් ඇත.සාමාන්‍යයෙන් යම් පුද්ගලයෙක්ගේ අරමුණ පරමාර්ථය මනුෂ්‍යත්වයේ උපරිමයකි.තමා සතු අරමුණ පරමාර්ථය කුමක් වුවත් ඒ සඳහා උපස්තම්භක වනුයේ ආචාරධර්ම පද්ධතියයි.සමාජ ජීවියෙක් ලෙස පුද්ගලයෙක් තමා අපේක්ෂා කරන මනුෂ්‍යත්වයේ උපරිමය කරා ළඟා වීමේදී ආචාරධර්ම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය.මන්ද නැතිනම් සමාජය තුළ ඔහුට ජීවත් වීම අපහසු වේ.තම අරමුණු පරමාර්ථ කරා නිවැරදිව ගමන් කිරීමට නොහැකිවේ.තවද යම් පුද්ගලයෙක් කර්මය, පුනරුත්පත්තිය පිළිබඳ විශ්වාස කරන්නෙක් නම් ඔහු මෙලොව ජීවත් වන කාලය පුරාවටම යහපත් ක්‍රියාවන් පමණක් කිරීමට වගබලා ගනී.මන්ද ඒ තමා කරන සියලුම ක්‍රියාවන්හි යහපත හෝ අයහපත කර්මානුරූපයෙන් තමාටම ලැබෙන බව හොඳාකාරවම දන්නා නිසාවෙනි.මෙනිසා ඔහුගේ චර්යා පද්ධතිය යහපත් කර ගැනීමේ අරමුණ ඔහු තුළම ගොඩනැගේ.ඔහු ඇතුළාන්තයෙන්ම යහපත් චරිතයක් ගොඩ නගා ගැනීමට උත්සාහ කරයි.ඒ අනුව ආචාරධර්ම පද්ධතියක මූලික පිළිගැනීම වන්නේ සමාජයේ යහපැවැත්මයි.එය පැහැදිළිවම සමාජ අවශ්‍යතාවයකි.
ඉහත කරුණු අනුව සනාථ වනුයේ සමාජය තුළ ජීවත් වීමේදී ආචාරධර්ම පිළිබඳව දැනුවත්භාවය සමාජ අවශ්‍යතාවක් ලෙස පිළිගත හැකි බවයි. මන්ද එවැනි ආචාරධර්ම පිළිබඳ දැනුවත්භාවයකින් තොර පුද්ගලයින්ගෙන් සමාජය පිරිහීමට ලක්වේ.මේ නිසා ආචාරධර්ම පිළිබඳ දැනුවත්භාවය සමාජ අවශ්‍යතාවක් ලෙස පිළිගැනීම යුක්ති සහගත වන බව පෙනී යයි.
සටහන –

H.M.N.D හේරත්
දර්ශනය විශේෂවේදී උපාධිධාරී කැලණිය විශ්ව විද්‍යාල