ශ්‍රී ලංකාවේ දකුණුදිග මුහුදු ප්‍රදේශයන්හි ප්‍රචලිත වූ කෝලම් නාට්‍ය වූ කලී සමාජීය වටිනාකමකින් යුක්ත වූ නාටක විශේෂයකි. මේ නාට්‍ය කලාවටම වෙස්මුහුණු නාට්‍යක යනුවෙන්ද සමහර විද්වතුන් හඳුන්වති. කදුරු, රුක් අත්තන, සමදරා වැනි සැහැල්ලු ලී වර්ගයකින් සාදන ලද ඉතාමත් විචිත්‍ර වෙස් මුහුණු පැලඳ කෙරෙන මෙම නාටක විශේෂය තුළ පහතරට නර්තන සම්ප්‍රදාය අනුගමනය කරයි. (පහතරට බෙරය හෙවත් යක් බෙරය ප්‍රධාන අවනද්ධ භාණ්ඩයයි.)

කෝලම් නාටකයේ උපත මෙසේ විය,
මහා සම්මත රජුගේ බිසව ගැබ්බර වූ බැවින් ඇයට නැටුම් කෙළි කවට බලා සිනාසීමේ දොලදුකක් ඇති වූ බව කියැවේ. නොයෙක් දේශයන්ගෙන් පැමිණ විවිධාකාරයෙන් නැටුම්,රැගුම් ඉදිරිපත් කළ ද ඒ කිසිවකින් බිසවගේ දොලදුක සන්සිඳවීමට හැකි නොවුණි. ශක්‍ර දේවේන්ද්‍රයා විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා ලවා සදුන් ලීයෙන් වෙස් මුහුණු සාදවා එම වෙස් මුහුණුත්, කෝළම් රඟ දැක්වෙන අයුරු දැක්වෙන පොතකුත් රජුගේ උයනේ තැබු බව සඳහන් වේ. එය රාජකීය උයන්පල්ලා දුටු පසු රජුට පැවසීමෙන්, රජු නළුවන් ලවා මගුල් මණ්ඩපය ඉදිරියේ එම වෙස් මුහුණු පැළද කෝලම් රඟදක්වා බිසවගේ දොලදුක සන්සිඳ වූ බවත් ඇය පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය බවත් සදහන් වේ.

කෝලම් රංග භූමිය ලෙසින් හැඳින්වෙන්නේ තාතානායම්පොළ යි. තවද කෝලම් යන වචනය දෙමළ ශබ්දයක් ඔස්සේ බිඳී ආ වචනයක් වශයෙන් හඳුන්වා දිය හැකිය. එහි සිංහල අර්ථය වන්නේ “වෙස් මුහුණු පැලඳ නැටීම” යන අර්ථය යි. කෝලම තුළ පිරිමින් පමණක් රංගනයෙන් දායක වේ. පුරා රාත්‍රී 5/6 ක් පමණ කෝලම රග දක්වන්නට විය.
කෝලම් නාටකයේ ආකෘතිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විතය.
ඒ,
•පූර්ව රංගය (ස්ථාවර පාත්‍රයින්ගේ පැමිණීම)
•අපර රංගය (දිනට නියමිත කතා වස්තුව රග දැක්වීම)
ලෙසටය. පූර්ව රංඟය තුළ ස්ථාවර පාත්‍රයන් ගේ පැමිණීම සිදුවෙන බව පෙර සදහන් කරන ලදී.
එබැවින් ස්ථාවර පාත්‍රයින් ලෙස,
- කාරියකරවන රාළ, තොරතුරු කතාකාරයා, සභාපති හෙවත් සබේ විදානේ (මුල සිට කෝලමේ අවසානය දක්වා රැදී සිටින මොහු වෙස් මුහුණු නොපළදී.)
- අණබෙර කෝලම හෙවත් පනික්කිලයා
- නොංචි කෝලම හෙවත් නොංචි අක්කා
- හේවා කෝලම
- පොලිස් කෝලම (හේවා කෝලම පසු කාලෙක පොලිස් කෝලම ලෙසට පත්වූ බවට ද එක් සදහනකි.)
- ආරච්චි කෝලම
- ජස හෙවත් පේඩි කෝලම
- ලෙන්චිනා කෝලම
- මුදලි කෝලම
සදහන් කළ හැකිය.
ඉන් අනතුරුව පැමිණෙන රජතුමා හා බිසව ගේ සම්ප්‍රාප්තියෙන් පසු කෝලම් නාට්‍යයේ දෙවන කොටස ආරම්භ වෙයි.(අපර රංගය).
රග දක්වනු ලැබූ කෝලම් වලට උදාහරණ ලෙස ,
- මනමෙ කෝලම
- සඳකිඳරු කෝලම
- ගෝඨයිම්බර කෝලම
- කාපිරි කෝලම
දැක්විය හැකිය.
ශාන්තිකර්ම සාහිත්‍යයේ එන සන්නි යකුම මෙන්ම කෝලම් නාටකයන්හි කාරියකරවන රාළ හා ස්ථාවර පාත්‍රයන් අතර හිටිවන සංවාදයන් තිබේ. මෙය ඉතා ප්‍රබල සමාජමය කර්තව්‍යයක්,සමාජ ශෝධනයක් ඉටු කරයි. කෝලමේ අරමුණ වන්නේ උපහාසය තුළින් හාස්‍ය රසය දැන වීමයි. එයින් නරඹන්නන්ට වින්දනයක් සැපයුවත්, එය වින්දනයට පමණක් ලඝු නොකළ යුතුය.
පූර්ව රංගය තුළ එදිනෙදා සමාජයේ හමුවන විවිධ චරිත යම් උපහාසාත්මක ආකාරයකින් නිරූපණයක් දක්නට ලැබේ.(රජයේ නිළධාරීන් හා වෙනත් සමාජ කොටස්). මෙහි එන බොහොමයක් කෝලම් චරිතයන් බීමත්ව රංගයට අවතීර්ණ වීම විශේෂත්වයකි. එය හාස්‍ය රසය කැටි වූවකි.
ඒවා උපහාසාත්මක ආකාරයන් කෝලම් කරුවා විවේචනයන්ට ලක් කරයි. මෙහිදී එක් එක් කෝලම් චරිත ගෙන කෙටි විමර්ශනයකට ලක් කිරීම වටින යැයි හගිමි.
1.අණබෙර කෝලම හෙවත් පණික්කිලයා
රජුගේ නියෝගය ප්‍රකාශ කරමින් අණබෙර ගසන මොහු අධික බීමත්ව පැමිණෙන්නෙකි. රජු හා බිසව කෝලම් නැරඹීම සඳහා සම්ප්‍රාප්ත වන බව ප්‍රකාශ කරමින් අණබෙර වැයීමට මොහු පැමිණ ඇත. කෙතරම් වයසට ගියත් අණබෙරකරු රජු යටතේ සේවය කිරීමට බැඳී පවතී. ඔහුගේ හඬ නැතුව යන තුරුම ඒ සඳහා ඔහු කැප විය යුතුය. කෝලම් නාටක කරුවා හාස්‍ය මුසු උපහාසය මෙම අණබෙර චරිතය ඔස්සේ මතු කළ ද ඊට යටින් දිවෙන ඔහුගේ දුක්මුසු වේදනාවන් එම කවි අධ්‍යයනයේ දී අපට පසක් වේ.
මහලු මුත් මෙලෙසට
නොලැබෙයි නිවෙසෙ හිදිනට
දරුවොත් නැත පිහිට
රාජකාරිය නොකර බැරි මට
මෙම කවියෙන් වුවද මොහුගේ රැකියාව මගින් ලබන්නා වූ අතෘප්තිකර බව කියාපෑම ප්‍රබල සමාජ විවරණයකි. රැකියාවේ ඇති අවිවේකීබව නිසා පවුල් කුටුම්භය තුළ ඇතිවෙන නොයෙක් හැල හැප්පීම් කියාපාමින් වේදනා බරිත භාවයකින් මොහු ජීවිකාව ගෙන යයි. නිතර බීමතින් සිහිවිකල් වී සිටින්නේ ද මේ හේතු කාරණා නිසා යැ යි, කෙනෙකුට තර්ක කිරීම අපහසු නොවේ. ගැඹුරු සමාජ විවරණයක් ඔස්සේ මතු කෙරෙන ප්‍රබල හාස්‍යෝත්පාදක අවස්ථාවක් ලෙස මෙම අණබෙර කෝලම හැඳින්විය හැක.
2.නොංචි කෝලම හෙවත් නොංචි අක්කා
අණබෙරකරු ගේ මහලු බිරිඳ මැයයි. මැය සිය හිමියා සොයා පැමිණෙයි. සිය සැමියා නිතරම නිවසේ නැති නිසා වගකීම් බහුල ජීවිකාවක් නොංචි ගෙන යයි. කිසි ලෙසකින් මහලු බව හැඟවීමට අකමැති මැය, තරුණ බව ඇසීමට ඉතා ප්‍රිය කරයි. එය, ඇය සමාජයෙන් තුළින් බලාපොරොත්තු වේ. ගෙනයන ජීවිකාව සෑම අතින්ම පාහේ අතෘප්තිකර එකක් වුවත් ඇය සැමියා පිළිබඳ නිතර හොයා බැලීමට උනන්දු වේ. නමුත් එය සැමියා ඉදිරියේ දීමට ඇය මැලි වේ. සියලු දුක් පීඩා දරමින් පවුල වෙනුවෙන් වෙහෙසෙන ඇය අහිංසක, වැහැරී ගිය කාන්තාවකි. කාන්තාවකට රැකියාව අකැප වූ එම සමාජය තුළ නිවසට කොටු වී සැමියා එනතුරු ඇයට දරුවන් බලා ගෙන සිටීමට සිදුව ඇය. නමුත් ලිංගික කාර්යයට ඇය තවදුරටත් රුචි කමක් දක්වන්නියක් ලෙස පෙනේ.
3.හේවා කෝලම
ගැමියාට ඉතා පීඩා ගෙන දුන් රාජ්‍යයේ හෙන්චයියන් වශයෙන් මොවුන්ව හඳුන්වා ඇත. හේවායින් නිසා විශේෂයෙන් කාන්තාවන් ඇතුළු සමස්ත සමාජය විඳින කායික, මානසික පීඩාවන් උපහාසාත්මක අයුරකින් මෙම හේවා කෝලම තුළ ඉදිරිපත් වී ඇත. හේවායින්ගේ අසහනකාරී ස්වභාවය, සමාජයට ඔවුන්ව පිළිකුල් ස්වභාවය ද කෝලම්කරුවා හේවා වෙස්මුහුණු තුළින් ජුගුප්සාජනක ආකාරයකින් දක්වා ඇත.එය කවි වලින්ද මෙලෙස විස්තර වේ,
“කැපී කැප දෝසේ
වැදී පීනස් කාසේ
සිඳී ගොස් නාසේ
සැරව ලේ කුණු නිතර වෑසේ”
විවාහක, අවිවාහක කාන්තා පාර්ශවයන් වෙත අයුතු යෝජනා පවා ගෙන එන්නා වූ බොහෝ හේවායින් සමාජයට මහත් පිලිලයක් වී තිබිණි. එය ගැමි කලාකරුවා ඉතා උපහාසාත්මක ආකාරයකින් කෝලම තුළට ගෙන ඒම පැසසිය යුත්තකි.
4.ආරච්චි කෝලම
රජයේ සුළු නිලධාරියෙක් වශයෙන් හැඳින්වෙන මොහු රැස්ව සිටින්නන්ට ඔහුගේ නියෝග පැහැදිලි කර දීමට පැමිනේ. මොහු තමන්ගේ ලේකම්වරයා වශයෙන් හැඳින්වෙන ලියන අප්පු සමග සමග තානායම්පොළ වෙත පැමිණේ. රාජකාරී වැඩ වලට එහා ගිය පෞද්ගලික අපේක්ෂාවන් පවා මුදුන්පත් කර ගැනීමට වෑයම් දරන, ඒ සඳහා තම නිල බලය පවා, පාවා දෙන උද්ධච්චයෙකු හැටියට ගැමි කලාකරුවා කෝලම තුළින් ආරච්චි චරිතය ගෙනහැර දක්වයි.එකළ සිංහල ගැමි දෙස නෙත් යොමා බලන විට ආරච්චි විසින් ස්ත්‍රී දූෂණයන් පවා සිදු කළත්, එය නීතිය ඉදිරියේ නිදොස් කොට නිදහස් කරනු ලබන්නක් ලෙස සමාජයට පිළිගැනීමට සිදු විය. එය මහා ඛේදවාචකයකි. ඒ පීඩාවන් කියාගන්නට,අහන්නට කෙනෙක් නැති නිසා, සෞන්දර්යාත්මක කලා නිර්මාණයක් තුළින් ඒවා සමාජය වෙත උපහාසාත්මකව ගෙන දැක්වීමට කෝලම ඉවහල් කරගන්නා ලදී.
5.ජස කෝලම හෙවත් පේඩි කෝලම
රජු එන පෙරමඟට උඩට උඩු උඩුවියන් බැඳීමත්, පයට පාවාඩ එළීමත් , එම රෙදි අපුල්ලීමත් මොහුගේ රාජකාරිය විය. රජු ගමන් කරන්නාවූ සෑම තැනකට ම පාහේ මොහු ගොස් මෙම වියන් බැදීමේ කර්තව්‍යය ඉටු කරයි. එබැවින් නිතරම ඔහුගේ කරේ රෙදි පොට්ටනියක් වේ. ඔහු කකුල් ගෙවෙන්න ම වියන් බැදීමට ඇවිද ඇත කියවේ. සමහර මත වලට අනුව ඒ හේතු සාධක මත ම කකුලේ කොරය ද ඇති වන්නට ඇතැයි විශ්වාස කෙරෙන්නකි. මොහු අණබෙර කරු මෙන් නිතරම බීමතින් පසුවන්නෙකි. රාජ්‍ය පක්ෂපාතීත්වය කෙසේද කියනවනම්, බීමට මුදල් නැති වූ විට, පොට්ටනියේ ඇති වියන් රෙදි ටික පවා තැබෑරුමට විකුණා ඒවායින් මත්පැන් බීමට ද මොහු සැරසේ. ජසයා ට රූමත් තරුණ බිරිඳක් විය. ඇය නමින් ලෙන්චිනා ය. ජසයා විසින් ලෙන්චිනා ව විවාහ කර ගත් ආකාරය දැක්වෙන කතා පුවත් රාශියකි. නමුත් මාගේ අධ්‍යයනයන් අනුව ඒ කතාව මෙසේය,
“ජසයා එක්තරා නිවසක කාලයක් තිස්සේ දාස වැඩ සිදුකරයි. කාලයාගේ ඇවෑමෙන් ජසයා හට පාරම්පරිකව පැවත එන රජු පෙරමඟට වියන් බැඳී මේ කර්තව්‍ය පැවරේ. ජසයා දාසකම් කළ නිවසින් බැහැරව යෑමට ප්‍රථම ඔහු මෙතෙක් වැඩ කළ මුදල් ඉල්ලූ අවස්ථාවේ එම නිවැසියන් හට ඔහුට ගෙවීමට තරම් මුදලක් නැති නිසා ඔවුන්ගේ රූමත් දියණිය වූ ලෙන්චිනා ව ජසයාට විවාහ කර දේ. ඒ හේතු සාධක දෙකක් නිසාවෙනි,
1.ජසයා රාජ්‍ය සේවකයෙක් බවට පත්වී ඇති නිසාවෙන් දියණියට හොද කළක් උදා වේවියි සිතා එම වගකීමෙන් නිදහස් වීමට,
2.පොරොන්දු කඩ කිරීම සමාජ ආචාර ධර්ම වලට පටහැනි නිසා ඒ සදහා හිලව් වීමට වටිනා යමක් දිය යුතු බැවින්.
ජසයා සහ රූමත් ලෙන්චිනා අතර වයස් පරතරය ඉතාමත් වැඩිය. මන්ද යත් ජසයා මහලු ය. ජසයාගේ ඇති වගකීම් විරහිතභාවය සහ නොසැලකිලිමත් භාවය නිසා විවිධ හැලහැප්පීම්,ගැටලු සහගත ස්වභාවයන් පවුල් කුටුම්භය තුළ ඉස්මතු වේ. එමෙන්ම ලෙන්චිනා ගේ සහයක් ඔහුට කිසි ලෙසකින් නොලැබේ. එය ජස කෝලම තුළ එන කවියක් තුළින් මෙසේ ගෙනහැර දැක්විය හැකිය.
“ගම්බිර මහ නිරිඳු සමග උතුමන් වැඩමවන බැවින
සුන්දර උඩු වියන් ධවල වටතිර පාවාඩ එලන
මෙන් වර ලැබ ආමි මෙතන මහතුග අවසර යදිමින
පෙම්බර මගෙ පියඹ සහය නැත මට ආ ගිය කිසිතැන”
ලෙන්චිනා ගේ ඇති රූමත්කම නිසාවෙන් ජසයාට පවුල් ජීවිතය ගැන ඇති අනවබෝධයත් නිසාවෙන් ඇයව නිතර සැක කිරීමට ජසයා පෙළඹේ. ඇයව ඔහු නිතරම සිර කර තබා ගැනීමට යත්න දරයි. එබැවින් ජසයා ට නිදහස පවා අහිමි වී ගිය අවිවේකී පුද්ගලයෙකි.
6.ලෙන්චිනා කෝලම
ජසයාගේ රූමත් බිරිඳ වන ලෙන්චිනා, තරුණියකි. ඇයට දෙමාපියන් විසින් විවාහ කර දෙන්නේ රාජ්‍ය සුළු සේවකයෙකු වූ ජසයා නම් මහල්ලෙකි. මහල්ලෙකුට හිමි වූ තරුණ ස්ත්‍රියකගේ ජීවිතයේ අතෘප්තිකර ස්වභාවය මෙම චරිතය තුළින් පසක් වන්නකි. ජසයා ට ඇති අවිවේකී බව, නොසැලකිලිමත් බව නිසා තරුණ ලෙන්චිනා ට හිමිවිය යුතු ආදරය , සෙනෙහස සහ ලිංගික තෘප්තිය ද ඇයට ගිලිහී ගොස් ය. ඇයගේ රුචිකමින් තොරව ජසයා ඇය සමග ලිංගික සබඳතාවක් කලාතුරකින් සිදුකරත් නිතර බීමත්ව සිටින බැවින් , කටින් දුර්ගන්ධය පවා පිටවෙන බැවින් ඇය එම ලිංගික කාර්යයන් ප්‍රතික්ෂේප කරයි.ඔහුව නොසලකා හරියි. එය අපට සාධාරණ බව ප්‍රකාශ කළ හැක. අතෘප්තිකර වූ විවාහ ජීවිතයකට හිමිකම් කියන කාන්තාවක් වරදට පෙලඹීම ඇයගේම වරදක් ලෙස දැක්විය නොහැක.බොහෝ විට ඇය අන් සරණක් පතන්නේ, සැමියාගේ ඇති නිවැරදි කරගත හැකි, ඒත් එසේ නිවැරැදි කර නොගන්නා වැරදි හෙයිනි. කිසිසේත්ම ලෙන්චිනා ව ගණිකාවක් වශයෙන් හැඳින්විය නොහැක්කේ එබැවිනි. අතෘප්තිකර වූ විවාහ ජීවිතයක් තුළ නිතර අඩදබර ඇතිවෙන බව නොරහසකි. ජසයා සහ ලෙන්චිනා අතරත් එය එසේමය. කුලයෙන් පහත් යැයි සැලකෙන ලෙන්චිනා සමග කුල ඇත්තෝ අනියම් සබඳතා පැවැත්වීමට පෙළඹීම මෙහිදී දැක්විය හැකි තවත් එක් විශේෂ ලක්ෂණයකි.
නොගැලපෙන විවාහය නිසා එම පවුල් ජීවිතය තුළ ඇතිවෙන කටුක අත්දැකීම් ඔස්සේ කෙරෙන ප්‍රබල සමාජ විවරණයක් වශයෙන් මෙම අවස්ථාව අපට ගෙනහැර දැක්විය හැක.
මේ සියලු කාරණා ගැමි කලාකරුවා කෝලම් නාටක තුළින් ගෙනහැර දැක්වූයේ යථා සමාජයර කැඩපතක් අල්ලන්නා වූ ආකාරයෙනි. තත්කාලීන සමාජ සන්දර්භය තුළ ගැමියාට ඇතිවන මානසික පීඩා අවම කර වීමට, කුල භේදයන් නිසා ඇතිවෙන විවිධ අසමතුලිතතා හා ගැටලු, සමාජයේ ජීවත් වන ඇතැම් පුද්ගලයන්ගේ චරිත වල දෙබිඩි පිළිවෙත් හාස්‍ය රසය හා උපහාසය කුළු ගැන්වෙන ආකාරයෙන්, නාට්‍ය රසය නිරූපණය වන ආකාරයෙන් ගැමි කලාකරුවා කෝලම් තුළින් එම යථා ස්වභාවයන් ප්‍රකාශ කළේය. එබැවින් තත්ත්කාලීන සමාජය පිළිබද විවේචනාත්මක දෘෂ්ටියකින් ගැමි කලාකරුවා බලා ඇති බව කෝලම් නාටක පිලිබද විමර්ශනයේ දී අපට හෙළිදරව් වේ.
සැකසුම- ©ඩිල්රංග පෙරේරා