සිරුරට ගුණ දෙන ඖෂධීය කැඳ

author
0 minutes, 18 seconds Read

අද Arunis Kitchen විශේෂාංගය තුළින් ඔබට ගෙන එන්නට සූදානම් වන්නේ ශරීරයට ඉතාමත් ගුණදායි කැඳ වර්ග කිහිපයක් ඉතාමත් පහසුවෙන් සකසා ගන්නා ආකාරය පිළිබදව ඔබට අවබෝධයක් ලබා දීමටයි.

ආම වාතය, කුසගිනි මදිකම, ශරීරයේ පවතින විෂ නැසීමට, මාන්දම, අතිසාරය, මුත්‍රා අඩස්සි තත්ත්වය, ඉරුවාදරය, දියවැඩියා රෝග තත්ත්වය නිසා හටගන්නා පිපාසය, තොල් පැලීම ආදී බොහෝ රෝග සඳහා ගුණදායක කැඳක් ලෙස හීන් උදුපියලිය කැඳ හඳුන්වාදිය හැකිය.

හීන් උදුපියලිය කැඳ

මෙතරම් ගුණදායක හීන් උදුපියලිය කැඳ සාදාගන්නා අයුරු දැන් අප විමසා බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය –

  • ගලවා පිරිසිදු කරගත් හීන් උදුපියලිය මිටක්
  • පොල් ස්වල්පයක්
  • සුදුලූනු
  • ලුණු ස්වල්පයක්
  • හාල් මිටක්

සාදාගන්නා ආකාරය –

ගලවාගත් හීන් උදුපියලිය හොඳින් සෝදා පිරිසුදු කර ගන්න එය හොඳින් කොටා ගන්න. ඉන්පසු කොටා ගත් සහල් ටිකකට කපාගත් සුදුලූණු ගෙඩි දෙක තුන ද දමා බෙරි වෙන අයුරින් පිස ගන්න. බෙරිවුන බත හැන්දකින් පොඩි කරගෙන එයට කොළ යුෂ හා පොල්කිරි දමා හැඳි ගාමින් රත් කර ගන්න.

පොල් කිරි කැඳ

ශරීරයේ දුර්වල අයට දීමට ඉතාමත් හොඳ පෝෂණ ආහාරයක් ලෙස පොල් කිරි කැඳ හඳුන්වා දිය හැකිය.

බඩගින්න අඩුකමට, බඩේ දැවිල්ලට, ආමාශයේ තුවාල ඇති අයට ඉතාමත් ගුණදායකය මෙතරම් ගුණදායක පොල්කිරි කැඳ සාදා ගන්නේ මෙහෙමයි.

අවශ්‍ය ද්‍රව්‍ය –

  • රතු කැකුළු හාල්
  • සුදුලූනු බික් දෙකක් හෝ තුනක්
  • කරපිංචා කිනිති හතරක් හෝ පහක්
  • අමු ඉඟුරු
  • කරද මුංගු
  • කරාබුනැටි
  • ගම්මිරිස් කුඩු
  • පොල් කිරි කෝප්ප දෙකක්

සාදා ගන්නා ආකාරය –

රතු කැකුළු සහල් දෙමිටක් ගෙන හොඳින් සෝදා වතුර වැඩිපුර තබා බෙරි වන සේ උයාගන්න. ඉන්පසු එයට සුදුලූනු, කරපිංචා, ඉඟුරු, කරද මුංගු, කරාබුනැටි, ගම්මිරිස් කුඩු එක්කර ගන්න. ඉන්පසු එයට පොල්කිරි ටික ද එකතු කර හොඳින් රත් කර ගන්න. පමනට ලුණු ද එක්කොට ළිපෙන් බා නිවෙන්නට තබා පානය කරන්න.

මුරුංගා කොළ කැඳ

කිසිදු රසායන පොහොර නොමැතිව ස්වභාවිකව ලබාගත හැකි මුරුංගා කොළ සෞඛ්‍ය වාසි රැසක් අත් කර දෙන ආහාරයකි. ප්‍රතිශක්ති වර්ධකයක් සහ ප්‍රදාහ නාශක ගුණයෙන් යුක්ත වේ. පිළිකා නාශක ගුණයෙන් යුක්ත වේ. ගැබිණි මව්වරුන්ට හා ළදරුවන්ට හොඳ පෝෂදායි ආහාරයකි. ඇස් පෙනීම වර්ධනය කර දීම. ශරීරයේ සීනි මට්ටම, රුධිර පීඩන මට්ටම හා කොලෙස්ටරෝල් පාලනයට ඉවහල් වේ. අස්ථි හා දත් ශක්තිමත් කරයි. පද්ධතියේ ක්‍රියාකාරිත්වයට හා සිරුරේ බර පාලනයට උපකාරී වේ.

මැල්ලුමක්, වෑංජනයක්, බැදුමක් සේම කැඳ සාදා පානය කිරීමෙන් ඉතා ගුණදායක වන නිසා මුරුංගා කොළ කැඳ සාදාගන්නා අයුරු විමසා බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය –

  • හොඳින් පිරිසුදු කර ගත් මුළු මුරුංගා කොළ මිටක්
  • කැකුළු සහල් මිටක්
  • ගාගත් පොල් ටිකක්
  • සුදුලූනු
  • රතුලූනු
  • ලුණු ස්වල්පයක්

සාදාගන්නා ආකාරය –

හොඳින් පිරිසුදු කර ගත් මුරුංගා කොළ කොටා එහි යුෂ මිරිකා ගන්න. ගාගත් පොල් ද මිරිකා ගෙන පොල්කිරි ටික ද පසෙකින් තබන්න.
ඉන්පසු සහ ටික හොඳින් සෝදා මැටි මුට්ටියකට දමා වතුර වැඩිපුර දමා බෙරි වන අයුරින් බත පිසගන්න. ඉන්පසු එයට කපාගත් රතුලූනු, සුදුලූනු එක් කොට එයට මිරිකා ගත් මුරුංගා යුෂ හා පොල්කිරි එක්කොට හැඳි ගාමින් හොඳින් රත් කර ගන්න. අවශ්‍ය පමණට ලුණු එක්කොට ළිපෙන් බා නිවුණු පසු පානය කරන්න.

බඩඉරිඟු කැඳ

පිළිකා අවදානම අවම කරන හදවත් රෝගවලින් ආරක්ෂා කරන ඇස් පෙනීම වර්දනය කර සමෙහි කාන්තිය වඩවන ආහාරයක් ලෙස බඩ ඉරිඟු හඳුනාගත හැකිය. සෞඛ්‍ය මනාසේ සුරැකීමේ ගුණයෙන්ද යුක්ත වෙයි.

බඩඉරිඟු වල ෆෝලික් අම්ලය ද වැඩිපුර ප්‍රමාණයක් අඩංගු වන නිසා ගැබිනි මවුවරුන්ට ද ඉතා ගුණදායක වන බව සඳහන් වේ.

අවශ්‍ය ද්‍රව්‍ය –

  • බඩඉරිඟු ඇට
  • එනසහල්
  • ඉරිඟු
  • සුදුලූනු
  • පොල් කිරි කෝප්පයක්

සාදාගන්නා ආකාරය –

සෝදාගත් බඩඉරිඟු ඇට කබලේ බැද න් කුඩුකර පෙනේරයෙන් හලා ගන්න. එසේම සකසා ගත් බඩඉරිඟු කූඩුවලට එනසහල් ඉරිඟු සුදුළූණු එක් කොට ඊට පොල්කිරි ද එක්කොට ලිප තබා පදමට උයාගන්න.

ඉන්පසු රස පදමට ලුණු එක්කොට ළිපෙන් බා ගන්න. ඔබට කැමති නම් මේ සඳහා වෙනත් ධාන්‍ය ද කුඩු කර එම කුඩු ද එයට මිශ්‍ර කර ගත හැකිය. මෙම කැඳ පානය කිරීමට පෙර කිතුල් පැණි හෝ සීනි එක්කර ගැනීමෙන් එහි රසය තවත් වැඩිකර ගත හැකිය.

මෙම කැඳ වර්ගය පානය කිරීමට උදරාබාධ ආමාශ, රෝග නින්ද නොයෑම, රෝග ඇති අය වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

සතියකට එක් දිනක් වත් ඉහත කී ඕනෑම කැඳ වර්ගයක් භාවිත කරනේ නම් ඔබ සෞඛ්‍ තත්ත්වය මනාසේ සුරැකිව ගත හැකිවනු නිසැකයි.

උපදෙස් –
අභය තිලක දේවගිරි මහතා
වෛද්‍ය නිලධාරී
බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව

සටහන –
අරුණි ජයසේකර

Similar Posts