ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන සිංහල දේශයේ අභිමානීය ස්ථානයක් වන සිගිරිය සිංහල චිත්‍ර කලාවේද වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල්පයේ ලොව අටවෙනි පුදුමයට පාත්‍ර වන්නට තරම් උතුම් වූ මහා කලාගාරයකි.
කොළඹ ත්‍රිකුණාමලයේ මාර්ගයේ දඹුල්ල සිට සැතපුම් 9ක් පමණ උතුරු දෙසට ගිය විට සීගිරි පර්වතය අපට දැක ගන්නට පුළුවනි. සිංහ රුවක ආකාරයට තැනූ මාලිගාව නිසා මෙම පර්වතය සිගිරිය ලෙස හඳුන්වා ඇත.
මෙම පර්වතය තැනිතලාවේ සිට අඩි 600ක් පමණ ඉහළට නැගී තිබෙන අතර දිගින් 3km ක්ද පළලින් 1km ක්ද පමණ වේ. ගල් හා ගඩොල් සංයුක්ත මෙම ගෘහ නිර්මාණ සංකීර්ණය ක්‍රි.ව පස්වන සියවස අග භාගයේ දී ඉදි කෙරිණි.

නැඟී ඇති බලනට – බැලීම් සිහි වියන් සිහිගිරි
මනෙ දොළ පුරයි සරි – බලන රිසිව බෙයන්ද්
සිගිරිය නැගී බැලීමට ඇති සිංහ ස්වාමියා සිතේ ආශාව සපුරමින් බැලිමි. ඉන් පසු පර්වතයේ රන්වන් කතුන් බැලීමේ ආශාවද නැති විය. මෙම වාස්තු විද්‍යාත්මක කලාව සඳහා පැරැණි මිසර හෝ පර්සියන් උද්‍යාන වල දක්නට ඇති ජ්‍යාමිතික හෝ සුසංගත සැලසුම් ක්‍රම මූලික සිද්ධාන්ත ලෙස භාවිතා කර ඇත.
මලු පෙත්, ගර්භාගාර, සන්නිපාත ශාලා, ගල්, පොකුණු රැසකින් වට වූ ශෛලමය සිංහාසනය විස්මයෙන් අලලන සුළුය. සිගිරිය නම් වූ මහා වාස්තු විද්‍යාත්මක සැලසුම් කරන වික්‍රමයේ හදවතත් කේන්ද්‍රස්ථානයත් වූයේ මේ මාලිගාවයි. ගල මුදුනේ අක්කර තුන හමාරක බිම් ප්‍රමාණයක් වසා ගෙන ඇති මේ සුවිසල් මාලිගය රාජ්‍ය බලයත් මිනිස් ශ්‍රමයත් කැටි කොට පිළිබිඹු කරන කදිම ස්ථානයකි. මාළිගයේ අගය තීව්ර කරමින් ඉදිරියට දිවෙනා ශිලා උද්‍යාන, දිය අඟල් හා බුබුළු නගමින් පතිත වන දියමල් කැලකින් සැලසුම් ලද මේ මහා නිර්මාණය ලොවට කියාපාන්නේ සීගිරි වාස්තු විද්‍යාඥයන්ගේ නිර්මාණ කෞශල්‍යයන් විසිතුරු චින්තනයන්ය.
සිංහල සාහිත්‍ය හා භාෂාව ගැන කතා කරන විට සුවිශේෂී ස්ථානයක් සිගිරි කුරුටු ගී වලට හිමි වේ. මෙම ගී වලින් බොහෝමයක් 8,9,10 වැනි සියවස් වලට අයත් වේ. සීගිරි ගී ලියා ඇත්තේ සීගිරි කැටත් පවුර මතය. පැරණි සිංහල සාහිත්‍යය අතුරින් විශිෂ්ට කවිත්වයක් හා අපූර්ව ප්‍රතිභා ශක්තියක් සිගිරි ගී තුළින් පිළිබිඹු වේ. මතුපිටින් පෙනෙන අදහසට වඩා ගැඹුරු අදහසක් මෙම ගීතලින් මතුවේ. සීගිරි ගී වලින් වැඩි කොටසක්ම ගීති නම් ඡන්දස් අලංකාර වලින් රචනා කරන ලද පද්‍යයි. සීගිරි ගී මෙරට විශිෂ්ට පුරාවිද්‍යා ඉතිහාසඥයකු වන සෙනරත් පරණවිතාන ශූරින් දශක දෙකක පමණ කාලයක් තුළ කියන සිගිරි ගී 685 න් මුද්‍රණය කොට ඇත.

ලක්දිව චිත්‍ර කලාව පිළිබඳ අධ්‍යයනය කිරීමේදී සීගිරි චිත්‍ර ප්‍රධාන වේ. දැනට අපට සීගිරියෙන් හමුවනුයේ චිත්‍ර විසි දෙකක් වැනි සුළු ප්රමාණයකි. ප්‍රධාන වශයෙන් සිගිරි චිත්‍ර බටහිර ගල් පර්වතයෙහි ඇඳ තිබෙන අතර ඊට අමතරව දැරණියගල ගුහාව, වතුර බක්කිගල ගුහාව, නයිපෙන ගුහාව යන ස්ථාන වලින්ද සිතුවම් හමුව තිබේ.
මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා ලෙස සුකුමාල ලලනාවන්ගේ උඩුකය රූප සීගිරි ශිල්පීන් ඔවුන්ගේ චිත්‍ර සඳහා වස්තු විෂය කරගෙන ඇත. මල්වල ඇති මෘදු මොළොක් බව සුන්දරත්වය හා සුවඳ සමඟ කාන්තාවගේ ඇති සම්බන්ධතාවයත් සංගීත රාවයට අනුව සිය අත්වලින් මල් පිළිබඳව කටයුත්තක් කරමින් රැඟුමක් ඉදිරිපත් කරන බවක් මෙම සීගිරි චිත්‍ර වලින් පැහැදිලි වේ. එච්. සී. පී. බෙල් මහතා විසින් සීගිරි චිත්‍ර වලින් දැක්වෙන්නේ රන්වන් කාන්තාවන් කාශ්‍යප රජුගේ අන්තඃපුර ස්ත්‍රීන් බවත්ය. ළදුන්ගේ අත මල් හා මල් බඳුන් ඇති හෙයින් ඔවුන් සීගිරිය ආසන්නයේ ඇති පිදුරංගල විහාරය වන්දනයට ගිය බව ඔහුගේ මතයයි.
ලාංකීය වෙනත් නාගරික සැලසුම් වලින් යම් තරමකට සීගිරිය වෙනස් වන්නේ හුදෙක් ඒ ජනතාවගේ පාලන මධ්‍යස්ථානයක්ම වශයෙන් තිබූ තැනක් පමණක් නොව සෞන්දර්යාත්මක නිර්මාණයක්ද වූ බැවිනි. සීගිරිය ගිරි දුර්ගයක් කේන්ද්‍ර කොටගත් බලකොටුවකි. මෙම නගරය සැලසුම් කර ඇත්තේ උතුරේ සිට දකුණටත් බටහිර සිට නැගෙනහිරටත් පර්වතය මැදින් එකිනෙක කැපී යන පරිදි සකස් කරන ලද මධ්‍ය රේඛාවක් මත පිහිටා ගෙනයි.

මෙහි මූලික සැලසුම සකස් කර ඇත්තේ ප්‍රධාන පර්වතය සහ භූමියේ ස්වභාවික පිහිටීමට අනුගත වන පරිද්දෙනි. ඒ වගේම නගරය වටා ප්‍රාකාර හා දියා ගල් නිර්මාණය කර තිබීමද විශේෂ ලක්ෂණයකි. සීගිරියේ වාස්තු විද්‍යාත්මක නිර්මාණ අතර පැරණිම නිර්මාණයක් වන්නේ ලෙන් නිර්මාණයයි. සීගිරියේ ඇති ලෙන් බොහොමයක් කටාරම් කොටා සකස් කර ඇති ඒවාය. ගල් භාවිතා කරමින් විවිධ නිර්මාණ ඉදිරිපත් කිරීම ද සීගිරි වාස්තු විද්‍යාවේදී කැපී පෙනේ.
සීගිරිය කාශ්‍යප රජු විසින් කරවන ලද බලකොටුවක් විය. කාශ්‍යපගේ සහෝදරයෙකු වූ මුගලන් දහ අට වසරකට පසු සේනා රැස් කරගෙන යුද්ධයට පැමිණියේය. යුද්ධයට ගිය කාශ්‍යප මඩවලකින් එතෙර වීමට නොහැකිව තම ඇතු ආපසු හැරවූ මොහොතේ රජු පලායති සිතු සේනාව හිස ලු ලූතදිව ගියෙන් තනි වූ කාශ්‍යප සියතින් ගෙල සිඳගෙන මියගිය බව වංශ කතාවල දැක්වේ.
කාශ්‍යප මියගිය පසු රාජ්‍ය ගත් මුගලන් සිය සොහොයුරට රජෙකුට සුදුසු අවමංගල්‍ය උත්සවයක් පවත්වා භෂ්මාවශේෂ තැන්පත් කර සෑයක් ද කරවා ඇත. එම සෑය පිදුරංගල විහාරයට නුදුරින් සොයාගෙන තිබේ. මුගලන් සීගිරිය භික්ෂුන් වහන්සේලාට භාරකොට නැවත අනුරාධපුරයට ගොස් ඇත. පුරාවිද්‍යාඥයන් කරන ලද පර්යේෂණ වලින් සීගිරිය නැවත සොයාගත් අතර එහි කැණීම් සිදු කර අද වන විට සීගිරිය ලෝක උරුමයක් බවට පත්වී ඇත. සියලු ජනයාගේ අතිමහත් උරුමයක් වූ සීගිරිය අද ශ්‍රී ලංකාවේ වැදගත්ම ස්ථානයක් බවට පත්ව ඇත.
සටහන – හිරුමි තාරකා
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්ව විද්‍යාලය