දරුවන් යනු දෙමාපියන්ට ඇති එක්කම හා වටිනාම සම්පතයි. වත්මන් සමාජය තුළ වෙසෙනා දරුවන් පිළිබඳව කතාබහ කිරීමේදී දරුවන් පිළිබඳ හිතකර මෙන්ම අහිතකර පුවත් ද ඇසෙන වාර අප්‍රමාණයි. තාක්ෂණයේ දියුණුවත් සමඟ සමාජ මාධ්‍ය කෙරෙහි දරුවන්විම වීමත් එමඟින් දරුවාගේ මනසට නුසුදුසු දෑ එක් වීමත් සහ වැඩිහිටි පුද්ගලයින් දරුවන් පිළිබඳව එතරම් තැකීමක් නොකිරීමත් මෙවැනි ක්‍රියාවන්ට මූලිකම හේතුවයි.
කෙසේ වෙතත් ඔක්තෝම්බර් මාසයට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් දරුවන් පිළිබඳව දැයේ දරුවන්ගේ මානසික සුවපත්භාවය සහ යහපත් ආකල්ප ගොඩනැගීම උදෙසා ආචාර්ය ප්‍රියන්ත නවරත්නයන් විසින් “ආපසු හැරෙන්” නමින් අපූර්ව ළමා කෙටි චිත්‍රපටයක් නිර්මාණය කර තිබුණා.
ළමුන් පිළිබඳව මෙවැනි කතිකාවක් ඇතිව තිබෙන සමාජයක මෙවැනි වාතාවරණයක් තුළ ඔවුන්ගේ යහපත් මානසික ආකල්ප වෙනුවෙන් අද අප දරුවන් පිළිබඳව ආචාර්ය ප්‍රියන්ත නවරත්නයන් සමඟ කෙටි කතාබහක යෙදුණා.
දරුවන් යනු කවුරුන්ද?,
දරුවෙක් යනු, වැඩිහිටියෙක් නොවන අයෙකි.
දරුවාගේ මනස පරිස්සමින් හඳුනාගනිමු.
වැඩිහිටියෙකු සුදුසු – නුසුදුසු ක්‍රියා හඳුනා ගන්නේ ඔවුන් සතු අත්දැකීම් වලිනි. නමුදු දරුවෙකු තුළ එවැනි අත්දැකීම් පරිපූර්ණ වී නොමැති අතර ඔවුන් අත්දැකීම් ඉගෙන ගනිමින් සිටින පිරිසකි. එබැවින් අවදානම් ක්‍රියාවල ප්‍රතිවිපාක ගැන නොසිතා ඔවුන් ඒවා අත්හදා බැලීමට යොමු වෙයි.එබැවින් වැඩිහිටියන් ලෙස අප එවැනි අවදානම් තත්ත්වයන් පිළිබඳව අවබෝධයෙන් ක්‍රියා කළ යුතුය. දරුවෙකුගේ මනස තේරුම් ගැනීමට, අපේ ළමා කාලයේදී අප සිතුම් පැතුම් ක්‍රියා කළ ආකාරය සිහිපත් කරගත හැකිය. හොඳ ක්‍රියාවෙන් ලැබෙන යහපත් ප්‍රතිඵලයත් නරක ක්රියාවේ ලැබෙන අයහපත් ප්‍රතිඵලයක් දරුවන්ට අප පෙන්වාදීම කළ යුතුය.
දරුවෙකුගේ මනස සංවර්ධනය කිරීමට නම් දෙමාපියන් කටයුතු කල යුතු ආකාරය
” මේ දෙය කරන්න.මේ දේ කරන්න එපා” යනුවෙන් වැඩිහිටියන් වන අප දරුවන්ට පවසන්නා සේම එහි තියෙන ප්රතිවිපාකයද ඔවුන්ට පෙන්වා දිය යුතුය. එවිට ඒවා දරුවන්ට පහසුවෙන් ඒත්තු ගැන්වීමට අවස්ථාව උදාවේ. එබැවින් දරුවෙකුගේ මනස සංවර්ධනය හා ශක්තිමත් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම වැඩිහිටියන්ට පැවරෙන වගකීමකි. වර්තමානයේ පවතින තරගකාරීත්වය හා කාර්යබහුලත්වය නිසා දෙමාපියන්ට ඔවුන්ගේ වගකීම් නිසි ලෙස ඉටුකරගත නොහැකි තත්ත්වයක්ද උදාවී තිබේ. දෙමාපියන්ගේ පවතින අධික කාර්යබහුලත්වය නිසා දරුවන් සමඟ කතාබහ කිරීමට හා ඔවුන්ගේ ගැටලු විසඳීමට අවස්ථාවක් නොලැබෙන තරම්ය .දරුවන්ට තම දෙමාපියන් සමඟ කතාබහ කිරීමට ඇති ඉඩකඩ ඇහිරී යාමත් ඔවුන්ට ඇති අත්දැකීම් ප්‍රමාණය කුඩා වීමත් නිසා ඔවුන්ගේ ජීවිත අවදානම් තත්ත්වයකට ඇද වැටෙයි. එබැවින් දෙමාපියන්ගෙන් එක් අයෙකු හෝ දරුවන්ට සමීපව කටයුතු කළ යුතුය.
දරුවාගේ මනස කළඹන ඩිජිටල් තිරය
මගේ පර්යේෂණ වලින් හෙළි වූ කරුණක් වනුයේ වර්තමානයේ බොහෝ දරුවන්ගේ අවධානය නැතහොත් සිත එක අරමුණක තබා ගැනීමේ හැකියාව හීන වී ඇති බවයි. ශාරීරිකව පන්ති කාමරයේ සිටියත් බොහෝ දරුවන් මනසින් පන්ති කාමරයෙන් ඔබ්බට ගොස් සිටියි. මේ සඳහා මනෝවිද්‍යාත්මක අභ්‍යාස හා සිත සන්සුන් කර ගැනීමට සරල භාවනා සිදු කළ හැකිය. කොරෝනා වසංගත තත්ත්ව සමයේදී අධ්‍යාපන කටයුතු ඩිජිටල් ආකාරයට සිදුවූ බැවින් දරුවන් ඩිජිටල් උපකරණ භාවිතයට නැඹුරු වීම ශීඝ්‍රයෙන් ඉහළ ගියේය.මේ අයුරින් ඩිජිටල් උපකරණ වෙත නැඹුරු වීම නිසා ඔවුන්ගේ ඇස්වල දෝෂ ද හට ගැනුණි.මේ සඳහා ආදේශක ලෙස ක්‍රීඩා ඉදිරිපත් කළ හැකිය. එම ක්‍රීඩා ඩිජිටල් තීරයෙන් වියුක්තව නිර්මාණය කරගත යුතුය.ඒ සඳහා උපදේශ ලබාදිය යුත්තේ දෙමාපියන්ය.
ළමා මනසට සුව ගෙන දෙන ස්වභාව සෞන්දර්ය
ඩිජිටල් තිරයට දරුවන් ඇබ්බැහි වීමත් සමගම දරුවන් ස්වභාවධර්මයෙන් ඈත් වේ.අද වනවිට දරුවන් ගහකොළෙහි ඇති වටිනාකම, සත්ත්වයාට දැක්විය යුතු කරුණාව පිළිබඳව අවධානයක් යොමු කිරීම අවම වී තිබෙන්නේ ඩිජිටල් තිරය සමග ඔවුන් හුදකලා වීමයි. යාන්ත්‍රිකත්වය සමග අධ්‍යාපන කටයුතු සිදු කරගනිමින් දරුවන් දැනුමින් සුපෝශිත වුවත් ඔවුන්ගේ මනුෂ්‍ය ගුණධර්ම පිරිහෙමින් පවතියි. නවතම විද්‍යාත්මක සොයාගැනීම් වලට අනුව හෙළිවන්නේ හරිත අවකාශය සමග නිරන්තර සම්බන්ධය පවත්වන පුද්ගලයන් කොන්ක්‍රීට් සමාජයන්හි ජීවත් වන පුද්ගලයන්ට සාපේක්ෂව දස ගුණයකින් නීරෝගිමත් වන බවයි.එබැවින් ඩිජිටල් තිරවලින් දරුවන්ව ඈත් කරමින් ස්වභාවධර්මයට ඔවුන්ව යොමු කිරීමට “ආපසු හැරෙන්” නම් චිත්‍රපටය හරහා මම උත්සාහ කරමි. අපට ජීවත් වීමට අවශ්‍ය Mobile Data නොව Oxygen බව පසක් කිරීමත් මේ චිත්‍රපටයේ මගේ අදහසයි.
ලෝක ළමා දිනයට සමගාමීව ඔබ මේ දිනවල දරුවන් වෙනුවෙන් විශේෂ කාර්යයක් සිදු කරන බව අපට දැනගන්නට ලැබුණා. කතා කරමු ඒ පිළිබඳවත්
ඔව්.මාගේ “ළමා මසට ජවය” යන වැඩසටහන් මාලාව ලෝක ළමා දිනයට සමගාමීව නිර්මාණය වූ “ආපසු හැරෙන්” චිත්‍රපටය සමග මේ දිනවල රටපුරා ක්‍රියාත්මක වෙනවා. ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික කාන්තාවන්ගේ ‘විරුළිය සෙවණ’ සංගමයේ සභාපතිතුමිය වන මේජර් රමණි බණ්ඩාර මහත්මිය මාගේ තිර පිටපත මෙලෙස චිත්‍රපටයක් බවට පත් කිරීමට මූලිකත්වය ගත් අතර ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක රංජිත් ජයසේකර මහත්මා එය අධ්‍යක්ෂණය කළ අතර රංගනයෙන් දායක වන්නේ ත්‍රිවිධ හමුදාවේ පවුල් වල දරුවන් ය.
මෙහි මූලාරම්භය ලෙස මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන දරුවන් හා මව්වරුන් සිටින සුව අරණෙහි චිත්‍රපටයේ ප්‍රථම ප්‍රදර්ශනය එළි දැක්වූ අතර දෙමාපියන්ට හා දරුවන් ට විශේෂිත දේශනයක් ද සිදු කරන ලදී.ඒ වගේම සෙනෙහස ලංකා පදනම අනුග්‍රහයෙන් නිට්ටඹුව බවුද්ද මහා විද්‍යාලයේ දරුවන්ටද චිත්‍රපටය ප්‍රදර්ශනය කරමින් දේශන සිදුකළා.මාගේ “ළමා මනසට ජවයක්” නමින් ශ්‍රී ලංකාව පුරා ගෙනයන වැඩසටහන් මාලාවට නවතම අංගයක් ලෙස “ආපසු හැරෙන්” චිත්‍රපටය එකතු කරගනිමින් දැනුමින් සේම අචාරධර්මයන්ගෙන් සුපෝශිත දරු පරපුරක් නිර්මාණය කිරීම අරමුණු කරගෙන මේ දිනවල ලෝක ළමා දිනයට සමගාමීව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදුවේ.
සැකසුම
ඩී.වී.පෙවින්ද්‍යා රශ්මි