2013 ජුනි මාසයේ ෆුජි කන්ද ලෝක සංස්කෘතික උරුමයක් ලෙස ලියාපදිංචි කරන ලදී.
ෆුජි කන්ද ලෝක උරුමයක් ලෙස ලියාපදිංචි කිරීම යුග සපිරුණු සිදුවීමක් වූයේ ෆුජි කන්දේ ස්වභාවික ක්‍රියාකාරකම්වල ආගමික හා කලාත්මක ගුණාංග අගය කරන ජපන් ජාතිකයන්ගේ ස්වභාවධර්මය හා සංස්කෘතිය පිළිබඳ දැක්ම ජාත්‍යන්තරව පිළිගැනීමට ලක් වූ බැවිනි.

මුහුදු මට්ටමේ සිට මීටර් 3,776 ක් උසින් පිහිටි ජපානයේ උසම කඳු මුදුන වන ෆුජි කන්ද ලෝකයේ උසම ගිනිකන්දයි.උස වැඩි වන විට, කඳු බෑවුමේ බෑවුම ද වැඩි වන අතර, අලංකාර කේතුකාකාර හැඩයක් නිර්මාණය වෙයි. එහි අලංකාර සුන්දරත්වය මිනිස් හදවත් ග්‍රහණය කර ගනිමින්, ජපන් ජාතිකයින්ට පමණක් නොව ලොව පුරා සිටින අයට ද ආකර්ෂණයක් වී ඇත.
ඉතිහාසය පුරා මේ මහා ෆුජි කන්ද නැවත නැවතත් පුපුරා යමින් ලාවා වැගිරවූ බැවින් පුරාණයේ විසූ අයට එය බිය උපදවන මහ අද්භූත කන්දක් විය. මේ නිසා පුරාණ කාලයේ සිටම ජපන් ජාතිකයින් මේ කන්ද දෙවිවරුන් වාසය කරන කන්දක් ලෙස සලකා මහත් බයෙන් හා ගෞරවයෙන් යුතුව ඈත පළාත්වල සිට කන්දට වන්දනාවේ ගියාලු.
ලෝක සංස්කෘතික උරුමයක් ලෙස ලියාපදිංචි වූයේ හුදෙක් ගිනිකන්ද පමණක් නොවේ; ඒ අවට ඇති දේවාල, වන්දනාකරුවන්ට නවාතැන් හා ආහාර සැපයූ නේවාසිකාගාර ආදී භක්තියට හා විශ්වාසයට සම්බන්ධ ස්ථාන ද ඊට ඇතුළත් විය. දේවාල ගොඩ නගන ලද්දේ 8 වැනි සියවස පමණ කාලයේදී යයි සැලකේ. 12 වැනි සියවසේදී පමණ ගිනිකන්ද අක්‍රීය වී ටිකෙන් ටික යෝගාවචරයන්ගේ පුහුණු භූමියක් බවට පත් විය.
සාමාන්‍ය මිනිසුන් කන්ද නැගීමට පටන් ගත්තේ 15වැනි සියවසේ පමණ සිටයි. පවුලේ හා ගමේ සනීපය හා ආරක්ෂාව පතා වන්දනාකරුවෝ එහි එක්රැස් වූහ. කඳු මුදුනේ හිරු උදාව නරඹන ස්ථානයක් ද ඇති වූ බැවින් ඒ කාලයේ සිටම වන්දනා සංස්කෘතිය ව්‍යාප්ත විය.
ෆුජි කන්ද ඔය තරම් ගෞරවසම්ප්රයුක්ත භයට පාත්‍ර වූයේ කෙසේද?
ගිනිකන්දක් වීම හා කන්දේ උස ද නිසැකවම ඊට හේතු විය. කන්දේ ඉහළට යන විට ඔක්සිජන් අඩුවීම නිසා හුස්ම ගැනීම අපහසු වීම හා හිසේරුදාව ඇති වූ නමුදු, ඒ කාලයේ ඊට හේතුව අවබෝධ කරගෙන නොසිටිය බැවින් එය දෙවියන්-බුදුන්ගේ අඩවිය නිසා ඇති වන විපිරියාස සහිත අද්දැකීමක් ලෙස සලකන ලදී. කඳුමුදුනේ කාලගුණය ක්ෂණිකව වෙනස් වීමෙන් ඇති වන තද වැස්ස හා තද සුළඟ ද සුවිශේෂ අඩවියක් නිසා සිදු වෙන දේ ලෙස සැලකූහ.
ඒ වගේම, කන්දේ උස හා මේ භූගෝලීය ලක්ෂණ නිසා ෆුජිකන්ද විවිධ සෞන්දර්ය කලානිර්මාණවලට වස්තුවිෂය විය. බැස යන හිරු එළිය වැටී කන්ද රතු පාට වීම, තවත් වෙලාවක නිල්පාට වීම, හිම වැටෙන කාලයට මුළු කන්දම සුදුපාට වීම ආදී වර්ණ විපර්යාසය ද නිසා කන්ද ඡායාරූප ශිල්පීන්ගේ ද ජනප්‍රිය වස්තුවිෂයක් වී ඇත. ඒ අවට උස කඳු නැතිව හුදකලාව නැගිසිටීම (ඒ අතින් සීගිරිය වගේ) නිසා ඒ සුන්දරත්වය තවදුරටත් මිනිසුන්ගේ හදවත්වලට කිඳා බසින්නට ඇතැයි සැලකේ. ජපානයේ පැරණිම ගී සංග්‍රහය වන “මන්යෝෂූ”වලත්, ජනප්රවාදයේ එන “තකෙතොරි මොනොගතරි”වලත් (උණපඳුරේ දරුවාගේ කතාන්දරය) ෆුජිකන්ද ගැන සඳහන් වේ.
එදෝ යුගයේ (1603 – 1868) සිටි සුප්‍රසිද්ධ උකිඑ චිත්රශිල්පී කත්සුගික හොකුසෙයි විසින් අඳින ලද ‘වෙනස් දර්ශන 36කින් සමන්විත ෆුජිකන්ද’ චිත්‍ර සංග්‍රහය ජපානය නියෝජනය කරන කලාකෘතියක් හා කලාශෛලියක් බවට පත් වී ඇත. තවද, යෙන් 100 නෝට්ටුවේ පසු පැත්ත බැලුවහොත් එය ෆුජිකන්දේ පින්තූරයකින් සැරසී ඇති බව දැකිය හැකිය.
මේ විදියට ජපන් ජාතිකයෝ ෆුජිකන්ද නැගීම පමණක් නොව ඒ හා ආශ්රිත ඉතිහාසය, සංස්කෘතිය හා සෞන්දර්යය ගැන ද අවධානය යොමුකර සිටිති. අද අපි අවුකන පිළිමයට සිවුරු ඇන්දවීම ගැන මාධ්‍ය මගින් විශාල කතිකාවක යෙදී සිටින නමුත් ලෝක සංස්කෘතික උරුමයක් වන දඹුල්ලට වූ හානිය ගැන එදා කිසිම කෙනෙක් කතා කළේ නැත. මම 2013 දී පළකළ පොතක ඒ ගැන සඳහන් කළා. ඔබ උනන්දුවක් දක්වන්නේ නම් දඹුල්ලට සිදුවූ ඒ අසංස්කෘතික හානිය ගැන මම ඉදිරි ලිපියකින් කියන්නම්.
* මේ ලිපිය සකස් කිරීමේදී ෆුජිකන්ද ලෝක උරුම මධ්‍යස්ථානයේ මහාචාර්ය ඕතකා යසුමසා (Yasumasa Otaka) මහතාගේ ලිපි පරිශීලනය කළ බව කෘතඥතාපූර්වකව සඳහන් කරමි.
සටහන –
මහාචාර්ය දිලීප් චන්ද්‍රලාල්