බුදු දහමේ මූලික ප්‍රතිපදාව සීල, සමාධි හා ප්‍රඥා යනුවෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකි අතර එය ත්රිශික්ෂා යනුවෙන් ද හඳුන්වනු ලැබේ. මෙහි සඳහන් සීලය නිර්වාණගාමී මාර්ගයේ පදනම වශයෙන් හැඳින්විය හැකිය. සීලය නැවත විවිධ ආකාරයෙන් බෙදා දක්වා ඇති අතර එබඳු බෙදීමක මූලිකම කොටසක් ලෙස පඤ්චසීලය හැඳින්විය හැකිය. මෙය බුදු දහමෙහි උගන්වන සියලු සීලයන්ගේ ආරම්භය වශයෙන් පෙන්වා දිය හැකිය.
පඤ්චසීලයෙහි ප්‍රථම ශික්ෂා පදය වන්නේ “පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.” යන ශික්ෂා පදය යි. ඉන් කියැවෙන්නේ “මම ප්‍රාණඝාතයෙන් වැලකී සිටීමේ ශික්ෂා පදය සමාදම් වෙමි.” යනුවෙනි. පඤ්චසීලයෙහි පමණක් නොව උපෝසථ අෂ්ටාංගසීලය, ආජීව අෂ්ටමක සීලය, ගෘහස්ථ දස සීලය ආදී සියලු සීලයන්ගේ පළමුවැන්න වූ කලි මෙම ප්‍රාණඝාතයෙන් වැලකී සිටීම පිළිබඳ සික පදය යි. මෙයින් පෙන්වා දෙන්නේ කෙනෙකුගේ ජීවිතයක ඇති වටිනාකමයි. එසේම දෙවැනි සිල්පදය වන සොරකමෙන් වැලකී සිටීමෙන් ද කෙනෙකුගේ අයිතිය ආරක්ෂා කිරීමට අපට හැකියාව ඇත. මෙම ප්‍රාණඝාතය හා සොරකම යන වැරදි දෙකෙන් ම කෙනෙකුගේ ජීවිතයට හෝ ජීවත් වීමේ අයිතියට ඍජුවම බලපෑමක් එල්ල වෙයි.
අද සමාජයේ මිනිසුන් කෙනෙකුගේ ජීවිතයක ඇති වටිනා කම කොතෙක් දුරට අවබෝධ කරගෙන ඇති ද යන්න පිළිබඳ ගැටලුවක් පවතී. අද විවිධ මාධ්‍යය ඔස්සේ දකින්නට හෝ අසන්නට ලැබෙන බොහෝ ප්රවෘත්තිවල ඇත්තේ මනුෂ්‍ය ඝාතනයක්, සොරකමක් පිළිබඳ හෝ ඒ හා සමාන දෙයකි. පඤ්චසීලය ආරක්ෂා කිරීමට පොරොන්දු වෙමින් නිරතුරු පන්සිල් සමාදම් වන්නා වූ සමාජයක මෙබඳු දේ සිදු විය හැකි ද? එය මහත් කණගාටුදායක තත්වයකි. සොරකම සහ ප්‍රාණඝාතය යන දෙක ම සියලු අධාර්මික ක්‍රියාවන්ට මූලික වන බවත් එය මානවයාගේ සියලු පරිහානින්ට ඉවහල් වන බවත් චක්කවත්තිසීහනාද සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේ පැහැදිලි කළහ.
බොහෝ කලකට පෙර මෙලොව විසූ ජනයා ධාර්මික මෙන්ම සශ්‍රීක දිවිපෙවෙතක් ගත කළ අතර පසු කලෙක විසූ සක්විති රජ කෙනෙකුන්ගේ කාලයෙහි ජනයා අතර සම සමව ප්රාග්ධනය නොබෙදී යාම නිසා සශ්‍රීකත්වය නැති වී ජනයා දිළිඳු වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස සොරකමත් ඉන් අනතුරුව ප්‍රාණඝාතයත් ඇති වූ බවත් ඒවායෙහි ප්‍රතිඵල ලෙස මිනිසුන්ගේ ආයුෂ ක්‍රම ක්‍රමයෙන් පිරිහී ගිය බවත්, ඒ හා සම්බන්ධවෙමින් එකින් එක වැරදි ක්‍රියා මිනිසුන් තුළ ඇති වූ බවත් චක්කවත්තිසීහනාද සූත්‍රයෙහි විස්තර කොට ඇත. මෙම සූත්‍රයට අනුව ලෝකයෙහි සොරකම හා ප්‍රාණඝාතය ඇති වීමේ හේතුඵල සම්බන්ධතාවක් පෙන්වා දී ඇත. එසේම එම සූත්‍රයෙහි තව දුරටත් පැහැදිලි කරන්නේ යම් කලෙක දී මිනිසුන් ප්‍රාණඝාතයෙන් ඉවත් ව ධාර්මික වීමට පටන් ගනී ද එතැන් සිට නැවත ඔවුන්ගේ ආයුෂය ද, ගුණ ධර්ම ද, සශ්‍රීකත්වය ද වර්ධනය වීමට පටන් ගන්නා බවයි. එබැවින් ප්‍රාණඝාතයෙන් වැලකීමේ ඇති වැදගත්කම පිළිබඳ මනා අවබෝධයක් මෙම සූත්‍රයෙන් ලබා ගත හැකි ය.
යම් අවස්තාවක දී ප්‍රාණඝාතාදී අනුන්ට පීඩාවක් සිදුවන ආකාරයේ ක්‍රියාවක් කිරීමට යමෙකුට සිතක් පහළ වෙයි ද එවිට අන්යන් දෙස තමාමෙන් සිතා බලන මෙන් බුදු දහමෙහි උගන්වා ඇත. තමා දඬුවම හෝ මරණය ආදී දේට යම් සේ බිය වන්නේ හෝ අකමැති වන්නේ හෝ වෙයි ද එලෙසම අනෙක් සත්වයෝ ද දඬුවමට හෝ මරණයට බිය වෙති. අකමැති වෙති. මෙලෙස තමා උපමා කොට ගෙන හෝ අනුන්ගේ ජීවිතවලට හානි කිරීමෙන් වැලකී සිටිය යුතු බව ධම්මපදයේ දණ්ඩවග්ගයේ සඳහන් කොට ඇත.
ප්‍රාණඝාතය හා සොරකම යන ක්‍රියා දෙකම අනිටු විපාක ලබා දෙන අකුශල ක්‍රියා බව ධර්මයෙහි පැහැදිලි කර ඇත. ඒවායෙහි ප්‍රතිඵල ලෙස මෙලොව පසුතැවීම හා ශෝක කිරීමත්, පරලොව දුගතිගාමී වී පසුතැවීම හා ශෝක කිරීමත් සිදු වන බව ධර්මයෙහි පැහැදිලි කොට ඇත. ප්‍රාණඝාතයෙහි තවත් අනිටු විපාකයක් ලෙස මතු උපදින භවවලදී අල්පායුෂ්ක වීම ද, සොරකමෙහි තවත් අනිටු විපාකයක් ලෙස මතු උපදින භවවලදී දිලිඳු වීම ද සිදු වන බව මජ්ක්‍ධිමනිකායේ චුල්ලකම්මවිභංග සූත්‍රයේ දී මැනවින් පැහැදිලි කොට ඇත.
මෙලොව උපන් මිනිසුන්ට පමණක් නොව අනෙකුත් සියලු සත්වයන්ට ද එක හා සමානව ජීවත් වීමේ අයිතියක් ඇති බව බුදු දහම අවධාරණය කරයි. එය උල්ලංගණය කිරීම බරපතල වරදකි. එනිසා එහි ප්‍රතිඵල වශයෙන් මෙලොව දී නීතියෙන් දඬුවම් ලැබීමට අමතරව පරලොව දී නිරයේ පැසීම ආදී දුක් විඳීමට සිදු වෙයි. එහි ඇති අනෙක් භයානක කම වන්නේ ඒවායෙහි ප්‍රතිඵල මතුභවයන් බොහෝ ගණනකදී වරින් වර විපාක වශයෙන් ලැබීමයි. එය කොපමණ වාර ගණනක්දැයි කිව නොහැකි ය. එබැවින් සියලු සත්වයින්ගේ ජීවිතවල වටිනාකම තේරුම් ගෙන ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය සුරැකීමට අපි අදිටන් කර ගනිමු.
මෙම උතුම් පුන් පොහෝ දින සියලු සත්වයෝ සත්‍ය වටහා ගනිත්වා.
සම්පාදනය –
ආචාර්ය පූජ්‍ය දම්පේ විජිතරතන ස්ථවිර
පීඨාධිපති
බෞද්ධ අධ්‍යයන පීඨය
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය
මානෙල්වත්ත, බොල්ලෑගල
කැළණිය
