බෙලි (Aegle marmelos)
ශ්‍රීඵල ලෙස හඳුන්වන මෙම ශාකය නිවසට ශ්‍රියාකාන්තාවක් වන බවට අතීතයේ සිටම සළකනු ලබයි. මෙම ශාකය Rutaceae කුලයට අයත් වේ. පුරාණ ඉන්දියාවේ වේද ග‍්‍රන්ථවලත්, ඉපැරණි ග‍්‍රන්ථවලත් අනේක විධ සර්වාංග රෝග නිවාරණය සඳහා ගුණ දෙන ඖෂධ වලින් පෝෂිත පලතුරක් වශයෙන් බෙලි හඳුන්වා දී තිබේ.

ඉදුණු බෙලි ගෙඩි පලතුරක් ලෙසත්, බෙලි මල් හා පොතු තැම්බූ වතුර පානයක් ලෙසත් භාවිතය ඉතා ප්‍රසිද්ධිය. බෙලි මල් පානය ශරීර දාහය, අධික පිපාසය සංසිඳුවන අතර ශරීර වර්ණය ද කාන්තිමත් කරයි.

ආයුර්වේදයේ සඳහන් දශමූලයට අයත් මහපස්මුලෙහි ඖෂධයක් වන මෙම ශාකය රූක්ෂ හා ලඝු ගුණ, කටු විපාක වේ. කඵ හා වාත දෝෂ සමනය කරයි. ඉදුණු බෙලි ගෙඩි මධුර, තික්ත හා කෂාය රස ද, ගුරු ගුණ හා ශීත වීර්‍යයෙන් ද යුක්ත වන අතර අමු බෙලි අම්ල, තික්ත හා කෂාය රස ද, ස්නිග්ධ ගුණ හා උෂ්ණ වීර්‍යයෙන් ද යුක්ත වේ. ඉදුණු බෙලි මෘදුරේචක, ආමපාචක, අනුලෝමන ගුණ සහිත වන අතර අමු බෙලි දීපන, ග්‍රාහී හා අන්ත්‍රබලකාරක වේ.
අර්ශස්, අතීසාර, වාතරෝග, ස්නායු රෝග, අග්නිමාන්ද්‍ය, උන්මාදය, නින්ද නොයාම, සන්ධි රෝග, හෘදරෝග, ශරීර දාහය, ආඝාත, අම්ලපිත්ත, පීනස, ඇදුම, චර්ම රෝග වැනි රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකය භාවිතා කරයි. බෙලි කොළ ශරීරයේ ආලේප කිරීමෙන් ශරීර දුර්ගන්ධය නැති වේ. රූපලාවණ්‍ය කටයුතු සඳහා ද භාවිතා කරයි.
2004 වසරේ A study of hypoglycemic and antioxidant activity of Aegle marmelos in alloxan induced diabetic rats පර්යේෂණය මඟින් රුධිරගත සීනි මට්ටම අඩු කිරීමේ හැකියාව මෙම ශාකයට ඇති බව තහවුරු කර ඇත.
2022 දී ප්‍රකාශිත Medicinal Uses with Immense Economic Potential and Nutritional Properties of Aegle marmelos: A Concise Review පර්යේෂණ පත්‍රිකාවෙහි දක්වා ඇති පරිදි මෙම ශාකයට ප්‍රතිඔක්සිකාරක, විෂබීජනාශක, බැක්ටීරියානාශක, අජීර්ණහර, ප්‍රතිවෛරසීය, දියවැඩියා මර්දන, තුවාල නාශන හා හෘද් – ආමාශ – යකෘත් ආරක්ෂක ගුණ ඇත. ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ආබාධ තත්වයන් හා හෘදරෝග තත්වයන් සඳහා ද, තුවාල සුව කිරීමට ද මෙම ශාකයට හැකියාව ඇති බව මෙහි දක්වා ඇත.
2022 දී ප්‍රකාශිත Aegle marmelos (L.) Correa: An Underutilized Fruit with High Nutraceutical Values: A Review පර්යේෂණ පත්‍රිකාව මඟින් දියවැඩියාව, මුඛ හා ආමාශගත තුවාල වලට මෙන්ම පිළිකා සඳහා ද ප්‍රතිකාර ලෙස බෙලි භාවිතා කළ හැකි අතර මෙහි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, විටමින, මේද අම්ල, ඛනිජ ලවණ බහුලබව නිසාවෙන් හා flavonoids, terpenoids, saponins, tannins, phenolic acids හා glycosides වැනි රසායනික සංයෝගයන් බහුලව ඇති නිසාවෙන් පෝෂණ අතිරේකයක් වශයෙන් මෙය භාවිතා කිරීමේ වැදගත්කම පෙන්වා දෙයි. බෙලි ගෙඩිය යුෂ, වයින්, ජෑම්, පිටි යනාදී විවිධාකාරයෙන් සමාජගත කිරීමේ අවශ්‍යතාව දක්වයි.
උපදෙස් – ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය
