දියමිත්ත (Cissampelos pareira L.)
Menispermaceae කුලයට අයත් දේශීය ශාක විශේෂයක් වන මෙය ආධාරක ශාකයක් මත වැවෙන සියුම් බූවක් සහිත වැලකි. දියමිත්ත කොළ හීනිවට ඉරා ජලය ස්වල්පයක් මුසුකර පොඩිකිරීමේදී සෑදෙන උකු ද්‍රවණය මිදෙන්නට තබා අතුරුපසක් ලෙස කෑමට ගත හැකිය. එය සිරුර සිසිල් කරවයි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව වෘහත්‍යාදී ගණයට අයත් වන මෙම ශාකය ජ්වර, අතීසාර, අර්ශස්, ග්‍රහණි, ගෙඩි-වණ-පිළිකා, ප්‍රදර, මූත්‍රඅඩස්සි, වකුගඩු රෝග, පිත්තාශ්මරී සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරයි. සර්පවිෂ චිකිත්සාවේදී ද මෙම ශාකය යොදා ගන්නා අතර තික්ත රස හා විරේචක, මූත්‍රකාරක, රක්තශෝධක,අග්නි වර්ධක, ක්ෂීරශෝධන ගුණ සහිතය. ආයුර්වේද මෙන්ම චීන සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය තුළ ද මෙම ශාකය රක්තශෝධක හා ප්‍රතිප්‍රදාහාත්මක ගුණ පෙන්වන බවට සැළකෙන අතර මෙහි පත්‍ර හා මුල් වල යුෂ මැලේරියාව, සර්පවිෂ හා නියුමෝනියාව වැනි තත්ත්වයන්හි දී යොදා ගනියි.
Cissampelos pareira L.: A review of its traditional uses, phytochemistry, and pharmacology, 2021, පර්යේෂණ අනුව මෙම ශාකය තුවාල, හොරි, උණ, රුමැටික් රෝග, කොලරාව වැනි රෝග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කළ හැකි අතර මෙහි ඇති ප්‍රතිප්‍රදාහාත්මක, ජ්වරනාශන, සන්ධි රෝග ශාමක, අජීර්ණහර හා විෂ නාශනය වැනි හැකියාවන් විද්‍යත්මකව තහවුරු කර ඇත.
Anticancer activity of cissampelos pareira against dalton’s lymphoma ascites bearing mice, 2014, පර්යේෂණය මඟින් මෙම ශාකය සතු පිළිකා මර්දන හැකියාව සායනිකව තහවුරු කර ඇත. The effects of Cissampelos pareira extract on envenomation induced by Bothropsdiporus snake venom, 2018, පර්යේෂණය මඟින් මෙහි සර්පවිෂ නාශන හැකියාව පර්යේෂණයට ලක් කර ඇත.
වර්තමානයේ බොහෝ පර්‍යේෂණ මඟින් මෙම ශාකයට ලියුකීමියා මර්දන හැකියාව, ක්‍රිමිඝ්න, හෘද් ආරක්ෂක, ඩෙංගු රෝගීන්ගේ රෝග තත්වය යාමනය කිරීමේ හැකියාව, ප්‍රතිඔක්සිකාරක, ප්‍රතිශක්තිමූර්ඡක හැකියාවන් ඇති බවට තහවුරු කර ඇත.
උපදෙස් – ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය
