බෞද්ධ ජනතාවගේ දෙලොව යහපත උදෙසා ලොව්තුරා බුදුපියාණන් වහන්සේ අනුදැන වදාල අටමහ කුසල් නම් වූ සුවිශේෂී පින්කම් අටක් පිළිබඳව බුදු දහමේ ඉගැන්වේ.
එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය.
“කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමං
බුද්ධප්පමුඛසංඝස්ස – දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි ච
කරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”
මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.
1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.
යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ.
බොදු ජනතාවගේ ලෞකික හා ලෝකෝත්තර අභිවෘද්ධිය සළසා ගැනීමට හේතුවන මෙම පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා වෙනස් වන්නේ විශේෂ හේතූන් නිසාය.
එසේ නම් මෙම කාල වකවානුව තුළ බොහෝ විහාරස්ථානයන්හි පැවැත්වෙන කඨින පූජෝත්සවය පිළිබඳ දැන් අප අවධානය යොමු කරමු.
කඨින පූජෝත්සවය යනු,

අටමහා කුසල් අතර පළමු වැන්න වන්නේ කඨින චීවර පූජාවවයි.
කඨින චීවර හා බැදුනු කඨින පූජාව පිළිබද සදහන් කිරීමේදී වර්ෂයකට එක් වතාවක් පමණක් විහාරස්ථානයන්හි පවත්වන මෙම උත්සවය සඳහා බෞද්ධයෝ මාස ගණනාවකට පෙර සිට සූදානම් වන අතර විහාරස්ථානයක වස් විසූ උපසම්පදාව ලත් භික්ෂූන් වහන්සේ නමක් වෙත කඨින පූජාව සිදුකෙරේ.
වස් විසීමේ ඉතිහාසය
බුද්ධ දේශනාවට අනුව ඉන්දියාවේ හේමන්ත, ගිම්හාන, වස්සාන යනුවෙන් ඍතු තුනක් ඇත. වර්තමානයේ පවා මේ තත්ත්වය පවතී. මෙයින් ඇසළ මස අවපෑළවිය (ජූලි මස) දින සිට ඉල් මස (නොවැම්බර් මස) පසළොස්වක පොහොය දිනය දක්වා සාර මාසයක කාලය වස්සාන ඍතුවයි. මෙම ඍතුව තුළ ඉන්දියාවට අධික කාලයක් වර්ෂාව ලැබේ. මේ නිසා බුද්ධ කාලයටත් පෙර සිටි විවිධ ආගමික ශ්‍රමණ කණ්ඩායම් පවා වර්ෂාව නිසා ඇතිවන තද සීතල සුළං ආදී පීඩාවන් මගහරවා ගැනීම පිණිස වැසි සාර මාසය එක් තැනකට වී කාලය ගත කරති.
මේ කාලසීමාව තුළ කුරුල්ලන් ඇතුළු වන සතුන් ද තම වාසස්ථාන වලට වී කාලය ගත කරති. නමුත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා බුද්ධ දේශනාවට අනුව තුන් ඍතුවේම ධර්ම චාරිකාවේ වැඩම කළහ.
මේ නිසා බෞද්ධ භික්ෂූන් වහන්සේලා මහජනතාවගේ දෝෂ දර්ශනයට ලක්විය. එනම් “කුරුල්ලන් පවා කැදලි සාදාගෙන කූඩු වලට වී වාසය කරන වර්ෂා කාලයේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූහු හැදීගෙන එන තණකොළ මඩිමින්, වර්ධනය වී ගෙන එන ක්ෂුද්‍ර ප්‍රාණීන් පාගමින් ඇවිදිති” යනුවෙනි.
වස්සාන කාලය තුළ ධර්මය දේශනා කරමින් ගම් නියම් ගම් සැරිසරමින් අසීරුතාවයෙන් කටයුතු කරන භික්ෂූන් වහන්සේලා පිළිබඳ අවධානය යොමු කළ බුදුරජාණන් වහන්සේ “අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං” යනුවෙන් මහණෙනි මම නුඹලාට වැහි සමයේ විසීමට අනුදැන වදාරමි යනුවෙන් විනය නීතියක් පැනවූහ.
ඒ අනුව වෙනත් ආගම් වල ද පැවැති වස් විසීමේ සිරිත බුදු සසුන තුළ ආරම්භ විය.
මෙම නියමය අනුව සෑම උපසපන් භික්ෂුවක් ම තදබල රෝග පීඩාවක් නැතොත් වස් සමාදන් විය යුතුය.
වස්කාලය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.
1. පෙර වස් කාලය
2. පසු වස් කාලය
සාමාන්‍යයෙන් පෙරවස් සමාදන් වන්නේ ඇසල පෝ දිනයි, වප් පෝ දින පවාරණය කරයි. සාමාන්‍ය පසුවස් විසීම නිකිණි පෝ දින කර ඉල් පෝ දින පවාරණය කරයි.
වප් සහ ඉල් පෝ දින දෙක අතර කාලය චීවර මාසය වේ. කඨින පින්කම් පැවැත්විය හැක්කේ මේ මාසය තුලදී පමණි.
වස් නොකඩා රැක ගෙන පවාරණය කළ භික්ෂුවකට පමණි කඨින චීවරයක් පිලි ගත හැක්කේ. මේ හේතුවෙන් පසුවස් විසූ භික්ෂුවකට කඨින චීවරයක් පිළිගත නොහැකි බවද සදහන් වේ.
මෙම කඨින චීවර පූජාව සමඟ කල්පවෘක්ෂ පූජාවක් ද බෞද්ධයින් විසින් සිදුකරනු ලබයි. ගසකින් කපාගන්නා ලද අත්තක් සරසා එහි විවිධ පූජා භාණ්ඩ එල්ලනු ලැබේ. පූජා භාණ්ඩ සහිත එම අත්ත කල්පවෘක්ෂය යනුවෙන් සැලකේ. කඨින චීවර පූජෝත්සවය ගුණාත්මක ලෙස පෝෂණය කිරීම සඳහා බෝධි පූජා, බුද්ධ පූජා, ධර්ම දේශනා සඟ සතු දන් පිරිනැමීම ආදිය එක්කර ගැනීමට බෞද්ධයෝ පුරුදුව සිටිති.
චීවර මාසය
දායකයින් විසින් චීවර වස්ත්‍රයක් සොයාගනු ලබන අතර සියලු දෙනා සහභාගි කිරීමෙන් ලබා ගන්නා මුදලින් එය සපයා ගැනීම විශේෂත්වයකි. ඉන් අදහස් කරන්නේ සියලු දෙනාගේ සහභාගිත්වයයි.
කඨිනය ඇතිරීම
වස් විසීම සහ කඨිනය ඇතිරීම බෞද්ධ විනයෙහි වැදගත් විනය ප්‍රඥප්තියකි. වස් සමාදන්ව එය ආරක්ෂා කරන සෑම භික්ෂූන් වහන්සේ නමකටම කඨින චීවරයක් ඇතිරීමට බුදුරජාණන්වහන්සේ අනු දැන වදාළහ.
‘මහණෙනි! වස් වැස නිම කළ භික්ෂූන්ට කඨිනය ඇතිරීම අනුදනිමි’ කඨින චීවරය සඳහා පිරිසුදු වස්ත්‍රයක් දායකයන් විසින් සාංඝිකව පූජා කළ යුතුය. සිවුර පිළියෙළ කිරීමට අවශ්‍ය ඉඳීකටු නූල්, පඬු ආදිය ගිහියන් විසින් සපයා දිය යුතුය. එම කාර්යයෙහි නියුත භික්ෂුන්වහන්සේට අවශ්‍ය දානය ද සපයා දෙන්නෝ ගිහියන් විසිනි. කඨිනය ඇතිරීම සඳහා ව්‍යක්ත භික්ෂුන්වහන්සේ නමකට සංඝ සම්මතයෙන් කඨිනය පැවරිය යුතුය. මේ සඳහා ගිහියන් විසින් වස්ත්‍ර කිහිපයක් සපයා ඇත්නම් එයින් තෝරා ගැනෙනුයේ සුදුසුම වස්ත්‍රය යි.
කඨිනය ඇතිරීම (කඨිනත්ථාරය) සඳහා වස් ජේදනය නොවූ භික්ෂුවක් හෝ කිහිප නමක් අවශ්‍ය වෙයි. ඒ සංඝයා ගේ ගණන මෙපමණකැ යි නියමයක් නැත. කඨින පූජාව සිදු කරන්නේ භික්ෂූන්ටය. ඒ සඳහා අඩුම වශයෙන් පස් නමක්වත් සිටිය යුතුය. කඨිනය ඇතිරීමේ ආනිසංස ලබන්නේ එම විහාරස්ථානයේම වස් විසූ භික්ෂුන්වහන්සේලාය. භික්ෂූන් ගණනින් සතර නමක් හෝ ඊට අඩු නම් අනෙක් භික්ෂුන්වහන්සේ ගණ පුරාණය හැටියට සලකා කඨිනය ඇතිරිය යුතු වෙයි.
කඨිනය ලැබිය යුත්තෝ
දිරාගිය සිවුරක් ඇති භික්ෂුවක් සිටීනම් කඨිනය දියයුත්තේ එම භික්ෂුන් වහන්සේටය. දිරාගිය සිවුරු ඇති අය බොහෝ වෙත්නම් එය දිය යුත්තේ වැඩිමහලුම භික්ෂූන්වහන්සේටය. වැඩිමහළු භික්ෂූන්ද වැඩිවෙත්නම් ඒ අතරින්ද මහත් පිරිස් ඇති භික්ෂුවක් වෙත්නම් එදිනම සිවුර අතුරන්නට හැකිනම් එය උන්වහන්සේට පිදිය යුතුය. ඒ ස්වාමීන්වහන්සේට එදිනම කඨින සිවුර කරන්නට අපහසු බැවින් එය නවක භික්ෂුවකට දිය යුතුය. එසේ වුවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ එය පිළිගන්න අපි කැපීම්, මැසීම් කර දෙන්නෙමු යැයි කිව යුතුය.
දිරාගිය සිවුර දෙපට හෝ තනිපට සිවුරක් නම් අතුරන්නට දෙන කඨින වස්ත්‍රයද එපමණින් ම විය යුතුය.
කඨින වස්ත්‍රය ගැනීමට යමෙක් ලෝභව සිටී නම් එය ඔහුට නොදිය යුතුය. එසේම කඨින වස්ත්‍රය ගන්නා අය කඨිනය අතුරා පසුව සිවුරු දෙකක් කර ගන්නෙමැ යි සිතන අයට ද කඨින වස්ත්‍රය නොදිය යුතුය. කඨිනය දිය යුතු පිළිවෙළ ව්‍යක්ත භික්ෂූන් වහන්සේ නමක් විසින් ;මසේ සංඝයාට දන්වති.
‘ස්වාමිනි සංඝයාට කඨින වස්ත්‍රයක් ලැබුණි. එය මේ මහණහට කඨිනය ඇතිරීමට දෙන්නේය යනුවෙනි. එය ලබන අයට සංඝයා වහන්සේ කැමති නම් නිශ්ශබ්ද වෙති. රුචි නොවේ නම් ඒ බව ප්‍රකාශ කරති. ඉන් පසු එය ලබාගත් භික්ෂූන් වහන්සේ සංඝයා ඉදිරියේ අසුනක් තබා කඨින චීවරය දෙ අතින් ගෙන ‘ඉමං කඨින චීවරං සංඝස්ස දේම’ යනුවෙන් තෙවරක් ප්‍රකාශ කරමින් අසුන මත තබා සංඝ සන්තක කරති.
කඨින පූජාවෙන් භික්ෂූන් වහන්සේලාට ලැබෙන ආනිශංස
කඨින පූජාවෙන් දායකයින්ට පමණක් නොව භික්ෂූන් වහන්සේලාට ද මහත් ආනිශංස ලැබේ. පාචිත්තිය පාලියේ කඨිනඛන්දකයේ සඳහන් වන පරිදි කඨිනයක් ඇතිරූ භික්ෂූන් වහන්සේලාට ආනිශංස පහක් ලැබේ. මාස පහක පමණ කාලයකටය.
01. අනාමන්තාචාර
යම් භික්ෂුවක් තමන් වැඩ වසන විහාරස්ථානයෙන් පිටව යාමේ දී කිසිවකුට නොදන්වා යා නොහැකිය. එසේ නොකියා පිටව යාම ඇවැත් සිදුවන වරදකි. එහෙත් කඨින චීවරයක් ලැබූ භික්ෂූන් වහන්සේට යම් කිසි යහපත් කටයුත්තක් සඳහා ඕනෑම වේලාවක කිසිවෙකුට නොදන්වා පිටව යා හැකිය.
02. අසමදාචාර
භික්ෂුවක් තුන් සිවුරෙන් වෙන්ව සිටීම ඇවතකි. එහෙත් කඨිනය ලැබූ භික්ෂුවට කැමතිනම් අඳනය සමඟ දෙපට සිවුර හෝ තනිපට සිවුර යන සිවුරු දෙකෙන් එක් සිවුරක් පමණක් පෙරවා සිටිය හැකිය.
03. ගණ භෝජන
දායකයකුගේ ආරාධනාවක් නැතිව භික්ෂූන් තුන් නමක් සමඟ දානයක් සඳහා හිතවත් නිවසකට යා හැකිය. ඊට වැඩි භික්ෂූ පිරිසක් කැටුව අනාරාධිතව දානයකට යා නොහැකිය. නමුත් කඨින චීවරය භාරගත් භික්ෂුව එම වරදින් නිදහස් වේ.
04. යාවදත්ත චීවර
උපසම්පදා භික්ෂුවකට තමන් පරිහරණය කළ තුන් සිවුරට අමතරව වෙනත් අතිරේක සිවුරක් දින දහයකට වඩා ළඟ තබාගැනීම ඇවතකි. නමුත් කඨිනය පිළිගත් භික්ෂුවට තමන් කැමැති තාක් සිවුරු පිරිකර තබාගත හැකිය.
05. චීවරුප්පාද
සඟ සතුකොට පූජාකරන පුද පරිස්කාර තනි කෙනෙකුට අයිතියක් නැත. සියළු දෙනාටම බෙදා දිය යුතුය. එහෙත් කඨිනය ලැබූ භික්ෂුවට එම ආරාමයට ලැබුණු සියළු පිරිකර තමා ළඟ තබාගත හැකිය.
කඨින පූජාවෙන් ගිහියන්ට ලැබෙන ආනිශංස

කඨින දානය පිළිබඳ ඉතා ප්‍රකට ආනිසංස විස්තරය ඇතුළත් වන්නේ නාගිත ථෙරාපදානයේ ය. එහි සඳහන් වන්නේ කඨිනයේ උසස් බව දැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් එහි භික්ෂු උපසම්පදාවෙන් පැවිද්ද ලැබූ සිවු පිළිසිඹියාවෙන් රහත් වූ පන්සියයක් රහතන් වහන්සේ පිරිවරා අනෝතත්ත විල් තෙරට වැඩමවා විශේෂ පින්කමක් සිදු කළ භික්ෂු නමක් සිටිනම් ඉදිරිපත් වන ලෙස දැක්වූ අවස්ථාවේදී නාහිත මහා රහතන් වහන්සේ ඉදිරිපත්ව තමන් කළ කඨින දානයේ ආනිසංස ප්‍රකාශ කළ ආකාරයයි.
නාගිත රහතන් වහන්සේ තමන් විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයෙහි බන්දුමතී නම් නුවර උසස් ප්‍රභූවරයකු ලෙස උපත ලබා විවිධ පින්කම් සිදුකරමින් සිටින අතර, බුදුපාමොක් මහ සඟනට ආරාධනා කොට වස් වසවා වස් තුන් මාසයෙහි උපස්ථාන කර කඨිනයක් පූජාකොට තමන්ට මෙම කඨින දානමය පින්කම ආශ්රවක්ෂය ඤාණය පිණිස හේතුවේවා යැයි ප්‍රාර්ථනා කළ බවප්‍රකාශ කළහ. නිවන ප්‍රාර්ථනා කරමින් කරගත් එම පින්කම නිසා, එදා පටන් කිසි අවස්ථාවක දුගතියක නූපන් බවත්, මනුෂ්‍ය හා දිව්‍ය ආත්මවලම පමණක් උන් වහන්සේ උපත ලද බවත් එහි දි සදහන් විය. මෙම කරුණු විස්තර වශයෙන් එහි සඳහන් කර ඇත.
යාවතා සබ්බ පරික්ඛාරේ
සංඝස්ස සතතං දදෙ
එකස්ස කඨින දානස්ස
කලංනාග්ඝති සොළසිං
ගිරිරාජ සමං රාසිං
සංඝෙදෙති තිචීචරං
එකස්ස කඨින දානස්ස
කලංනාග්ඝති සොළසිං
(30 – 31 නාගිතාපදානය)
භික්ෂු සංඝයාට නිතර පූජා කරන සියලු පරිෂ්කාරයන්ට වඩා එක් කඨින දානයකින් ලැබෙන ආනිසංස ඉතා විශාල බවත්, මහාමේරු පර්වතය තෙක් උසට තුන් සිවුරු ගොඩගසා සංඝයාට පූජා කළත් ඊට වඩා ආනිශංසයක් කඨින පූජාවෙන් ලැබෙන බවත් මෙම ගාථාවලින් දේශනා කර ඇත.
උපුටාගැනීම – අන්තර්ජාලයෙනි
