වයඹ පළාතට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගෝනගම ප්‍රදේශයේ පිහිටා ඇති යක්දෙස්සාගල උසින් මීටර් 500 පරණ පමණ වන දර්ශනීය කදු වැටියකි. කඳු නගින්නන් අතර ප්‍රසිද්ධියට පත් මෙම කන්ද පිළිබඳ ඓතිහාසික කතා පුවත් පවතී. ඇතමුන් මෙම ඓතිහාසිකත්වයේ සත්‍ය අසත්‍යතාවය නිවැරදිව හඳුනා ගැනීමට මෙම කන්ද තරණය කරන අතර තවත් සමහරු කඳු නැගීමෙන් ලබන ආශ්වාදය උදෙසා ද මෙම කන්ද තරණය කරති. මනරම් පරිසරයක පිහිටා ඇති මෙයට ප්රවිශ්ඨ වීමට සංවැලි රජමහා විහාරය ඉදිරියෙන් මාර්ගයක් වැටී තිබේ.

මෙම විහාරය පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ඓතිහාසික සිද්ධස්ථානයකි. අනුරාධපුර යුගයේ වලගම්බා රාජ්‍ය සමයට මෙන්ම පොළොන්නරු යුගයේ නිශ්ශංකමල්ල රාජ්‍ය සමයට අයත් ඓතිහාසික සාක්ෂි මෙයින් හමුවේ. කිලෝමීටර් 8ක පමණ දුර ප්‍රමාණයක් ගමන් කර කන්දට නැගීමට හැකි වේ. මෙම මාර්ගය නිරන්තරයෙන් සංචාරකයින්ගේ පාද ස්පර්ශ නොවන බැවින් මං සලකුණු නොමැති නිසා තරමක් දුෂ්කරය. කන්ද තරණය කිරීමේ මාර්ගයේ ස්වභාවික දියකඩිති නොමැති බැවින් ජලය රැගෙන යාම අනිවාර්ය කටයුත්තකි. මාර්ගය වනාන්තරය මැදින් වැටී ඇති බැවින් ගතට විඩාව මෙන්ම විඩාව සිසිලස ද ලබා ගැනීමට ද හැකිවේ. ඇතැම් ස්ථාන වල ඊතල ලකුණ යොදා මාර්ගය පෙන්වා තිබේ. ගමන දුෂ්කර වුවද ස්වභාවික පරිසරයේ සුන්දරත්වය වෙහෙස සංසිඳුවීමට උපකාරී වේ.
වනාන්තරය තුළ සර්ප විශේෂ දක්නට ලැබේ. එමෙන්ම විවිධ ශාක විශේෂයන්ද පවතී. ගමන ආරම්භයේ සිටම මාර්ගය උසින් යුක්තව පවතී. එම නිසා කඳු මුදුනට යෑම සඳහා පැය තුනක හෝ හතරකට ආසන්න කාලයක් ගතවේ. මාර්ගය පිළිබඳව මනා අවබෝධයෙන් යුක්තව ගමන් කළ යුතුය. මාර්ගය මතක තබා ගැනීම ඉතා වැදගත් වෙයි. කාලයක් පුරා ඉතා සාරවත් ලෙස වැඩි ඇති උඩුවියන් ස්ථර ද දක්නට ලැබේ. එමෙන්ම කටු සහිත ශාක වර්ග මෙන්ම මෙයටම ආවේණික ශාක විශේෂයන් ද දැකිය හැකිය. විඩාව නිවමින් ගමන් කළ අපට පැය හතරක් පමණ ගතවන විට කඳු මුදුනට යාමට හැකි විය. කඳු මුදුනට නැගීමෙන් අනතුරුව දකින්නට ලැබෙන්නේ ඉතා මනරම් දසුනකි. ගතේ විඩාව නිවෙනවාක් මෙන්ම අප පැමිණි මාර්ගය දෙස බැලීමේ දී අපව විශ්මයට පත් කරයි. සුන්දර ලංකා මාතා යනුවෙන් නිතර පවසන වචනයේ සැබෑ අර්ථය මෙවැනි දර්ශනයක් නෙත වැකීමෙන් සැබෑවක්ම වන බව ගම්‍ය වේ. ඉබ්බාගල, කුරුමිණිගල, ඇතාගල,කළුගල, දොළුකන්ද හා ආදාගල යනා දී කඳු රාශියකින් යක්දෙස්සාගල කන්ද වට වී තිබේ.

මෙම යක්දෙස්සාගල කන්ද පිළිබඳව ඓතිහාසික කතා පුවත් කීපයක් පවතී. සිංහබාහු සිංහසීවලී ගේ පුත් විජය කුමරු සින්නපුරයෙන් නෙරපීමෙන් පසු ලංකාවේ තම්මැන්ණාවට ගොඩ බට බව මහාවංශය ඇතුළු මූලාශ්‍ර සාක්ෂි දරයි. එසේ ලංකාවට පැමිණෙන විජය කුමරුට යක්ෂ ගෝත්‍රික නායිකාවක් වන කුවේණිය මුණ ගැසේ. කුවේණිය හා ප්‍රේමයෙන් බැදෙන විජය කුමරු ලංකාවේ රාජත්වය ලබා ගැනීමට ඇයගෙන් උපකාර ඉල්ලයි. තමා විවාහ කර ගන්නා පොරොන්දුව මත රාජ්‍යය ලබා ගැනීමට තම සනුහරය විනාශ කිරීමට කුවේණිය විජය කුමාරයාට උපකාර කරයි. ලංකාදීපයේ රාජත්වය ලබාගන්නා විජය කුමරු කුවේණිය විවාහ කර ගනී. එම දෙපලට දරුවන් දෙදෙනෙක් විය. පුතෙකු හා දියණියකු වූ ඔවුන් දෙදෙනාට ජීවහත් හා දීශාලා යනුවෙන් නම් තැබූ බව මූලාශ්‍ර වල සඳහන්ය. කාලය ගතවීමත් සමඟ අභිෂේක උත්සවයක් පැවැත්විය යුතු බව විජය කුමරු හා ඔහුගේ මැති ඇමැති පිරිස තීරණය කරයි. ඔවුන් තව දුරටත් කියා සිටියේ අභිශේක කිරීමට නම් ආර්ය කුමාරියක් විවාහ කර ගතයුතු බවයි. එහි අවසන් ප්‍රතිඵල වූයේ මදුරා පුරයට පණිවිඩ යවා මදුරා පුර කුමාරියක් ගෙන්වා ගැනීමයි. කුවේණියට මෙය දරා ගත නොහැකිව ඇය දරුවන් දෙදෙනාද රැගෙන යක්ෂ ගෝත්‍රිකයන් සොයා ඔවුන් වෙත යෑමට තීරණය කරයි. නමුත් යක්ෂ ගෝත්‍රික පිරිස් තමාව හා තම දරුවන් මරණයට පත් කරාවි යැයි බිය නිසා දරුවන් දෙදෙනාට සමනල කදු ප්‍රදේශයට පලා යෑමට උපදෙස් දුන් බව මූලාශ්‍ර වල සඳහන් වේ. එමෙන්ම තමාට වූ අසාධාරණයට විජය ඇතුළු පිරිසට ශාප කර මෙම ගලෙන් බිමට පැන දිවි නසා ගත් බව ජනප්රවාදයේ සඳහන්ය. එසේම කුවේණියගේ දෑස් නිධන් කර ඇති බවත් එම නිසා මෙම කන්ද අතීතයේ දී “යක් ඇස්සාගල” ලෙස හඳුන්වනු ලැබූ බවත් කාලය ගතවීමත් සමඟ එය යක්දෙස්සාගෙල යනුවෙන් ව්‍යවහාර වූ බවත් තවත් මතයකි.
මෙම ප්‍රදේශය පිළිබඳව සඳහන් ඓතිහාසික කතා පුවත් සියල්ල කුවේණිය හා බැඳී පවතී. යක්දෙස්සා ගල දී කුවේණිය සියදිවි නසාගෙන නැති බවත් සිදුවී ඇත්තේ තම යක්ෂ ගෝත්‍රික නායකයකු විසින් කුවේණිය සිදුකළ වරදට දඩුවමක් වශයෙන් ඇයගේ දිව කපා ඇයට පහර දී ඇය මෙම ගලින් පහළට දමා මරණයට පත් කළ බවයි. ඇතැම් ගම්මුන් පවසන්නේ මෙම වනාන්තරයේ රසවත් පලතුරු ඇති බවයි. නමුත් ඒවා අනුභව කළහොත් එම වනයෙන් යළි පිටතට පැමිණීමට නොහැකි බවත් ඔවුහු කියති. එමෙන්ම විජය කුමරු ඇතුළු සිංහල ජාතියට යක්ෂ ගෝත්‍රික කුවේණිය විසින් ශාප කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස සිංහල ජාතිය විනාශය කරා ගමන් කරන බවත් පවසන්නෝ ද වෙති. එහි සත්‍ය අසත්‍යතාවය පිළිගැනීමට තරම් ප්‍රමාණවත් සාධක හමුවී නොමැත.
යකුන් විසින් දෙස් තැබූ යක්දෙස්සා ගල කන්ද නැගීම තරම් ආපසු පැමිණීම දුශ්කර නොවේ. පල්ලම සහිත බැවින් එම මාර්ගයේ බැසීමට එතරම් කාලයක් ගත නොවේ. නමුත් දණහිස් වලට යම් තරමක් අපහසුය. පැය දෙකහමාරක පමණ කාලයක් අප කණ්ඩායමට ඒ සඳහා ගත විය. ජලය නොමැති වීම නිසා මහත් පීඩාවට පත්ව සිටි අප ඉතා ඉක්මනින් පහළට බැසීමට උත්සහ කළ ද එය අසාර්ථක විය. යම් ස්ථානයකින් මාර්ගය වැරදී අපි අතර මං වූයෙමු .පහලට පැමිණ වාහන හඩ ඇසෙන නමුත් පිටතට පැමිණීමට නොහැකි නිසා ගසක් උඩට නැග එක් අයෙක් මාර්ගය ඇති දිශාව බලා ඒ දෙසට ගමන් කළෙමු. මහත් වෑයමක් දරා වනාන්තරයෙන් එළියට නිර්පද්‍රිතව පැමිණිය හැකි වූයේ අප කණ්ඩායමේ පැවති එකමුතු භාවය හා ස්ථානෝචිත ප්‍රඥාව හේතුවෙනි. ගමන තරමක් දුෂ්කර වුව ද නව අත්දැකීම් රැසක් ලබා ගැනීමට අපි සමත් වූයෙමු. කුරණෑගල දිස්ත්‍රික්කයේ පවතින කුවේණියට සබඳකම් කියන වැදගත් කන්දක් ලෙස යක්දෙස්සාගල අදටත් ප්රමුඛ වේ. කදු නගින්නන් හා රාත්‍රී කාල වල කඳු මුදුන් වල රැය පහන් කරන්නට මෙම කඳු වැටිය තෝතැන්නක් වී තිබේ. නොඉදුල් පරිසර කලාපයක් ලෙස හැඳින්විය හැකි මෙම පරිසර කලාපය නැරඹීමට යන්නේ නම් එහි ස්වභාවික පැවැත්මට හානියක් නොකර සිටීමට වගබලා ගත යුතුයි.
සටහන –

අනූජා දසවර්ධන
