ඉවුම් පිහුම් කලාව තුළ ගෘහණියකට ඉතාමත් වැදගත් තොරතුරු රැසක් අද පටන් අප arunis kitchen විශේෂාංගය තුළින් ඔබට ගෙන එන්නට සූදානම්.
එදිනෙදා ආහාර වේලට විවිධ රසින් යුතු තියඹලා එකතු කරගන්නවා කියලා අපේ අත්තම්මා අම්මට කියනවා මට ඇහිලා තියෙනවා. ඉතින් ඒ දවස් වල අපේ අත්තම්මා අමු කෙසෙල් බඩ, කැකිරි, තිබ්බටු ආදියෙන් හරිම රස නියඹලා හදලා තියෙනවා. වර්තමානයේ දී නම් අපේ නිවෙස්වල ඒ වගේ නියඹලා වර්ග හදන්නේ නැහැ. ඒකට හේතුව අපේ මේ කාර්යබහුල ජීවන රටාවයි.
අපගේ ප්‍රධාන ආහාරය බත්ය. එහි පෝෂණය හා ගුණාත්මක බව ආරක්ෂා කර ගැනීම සඳහා තියඹලාවක් එක්කර ගැනීම ඉතාමත් වැදගත්. එම නිසා නියඹලා වර්ග කීපයක් සාදා ගන්නා ආකාරය හා එහි ඖෂධීය ගුණය පිළිබඳව මෙසේ විමසා බලමු.
කෙසෙල්බඩ නියඹලාව
අවශ්‍ය ද්‍රව්‍ය –
- අමු කෙසෙල් බඩ කැබැල්ලක්
- නොඉදුණු හොඳට පැසුණු ගස්ලබු ගෙඩියක් රතුළූණු
- සුදුළූණු
- ගා ගාගත් පොල් මේස හැන්දක්
- උළුහාල් තේ හැන්දක්
- හාල් තේ හැන්දක්
- අඹ
- ගම්මිරිස්
- අමු මිරිස් කරල් 4ක් හෝ 5ක්
- රම්පේ
- කරපිංචා
- කුරුඳු පොත්තක්
- දිය කිරි කෝප්ප දෙකක්
- පිටි කෝප්ප එකක්
- ලුණු
- කහ
- උම්බලකඩ
සාදාගන්නා ආකාරය :-
මුලින්ම කෙසෙල් ගහක කැන ඉවත් කරගෙන එම කෙසෙල් කැන එළියට ඇවිත් තියෙන තැන සිට අඟල් හයක් විතර පහල අඩි එකහමාරක් විතර කොටසින් කෙසෙල් බඩ කැබැල්ලක් ගන්න. සුද්ද කරගත් කෙසෙල් බඩය සෝදලා කැමති අයුරින් කැබලි වලට කපාගන්න.
ඉන්පසු ගස්ලබු ගෙඩියේ පොතු ඉවත්කර සෝදා ගෙන සිහින්ව වෙන්න කපාගන්න. හාල්, පොල්, අබ, සුදුලූනු, ගම්මිරිස්, හොඳින් අඹරා ගන්න. කපාගත් කෙසෙල්බඩ, ගස්ලබු හා අඹරාගත් කුළුබඩු වර්ග ටික මැටි ඇතිලියකට දමා හොදින් කවලම් කරගන්න.
පසුව රම්පේ, කරපිංචා, අමුමිරිස්, රතුළූණු උම්බලකඩ කහ ආදියෙන් එයට එක්කර ගන්න. ඉන් අනතුරුව එයට දියකිරි කොට ළිපේ තබා ගන්න. එය හොඳින් තැම්බෙන විට එයට මිටි කිරි ද එක්කොට රස අනුව ලුණු එක්කර ලිපෙන් බාගන්න.
මේ අයුරින් සකසා ගත් අමු කෙසෙල් බඩ තියඹලා ආකාරයට ගැනීමෙන් මලබද්ධය දුරු කරගත හැකි අතර ශරීරයේ විෂ නැති කිරීමටත් එය ගොඩක් ගුණදායක වේ. එමෙන්ම බඩවැල් හා ආමාශය පිරිසුදු කිරීමත් එයින් සිදු වේ. ඒ විතරක් නොවෙයි පිළිකා මර්දනයටත් මෙය ඉතාමත් ගුණදායකයි.
කැකිරි ඇඹුල

අවශ්‍ය ද්‍රව්‍ය
- පැසුණු කැකිරි ගෙඩියක්
- පොල් ගෙඩියක්
- කරපිංචා
- රම්පේ
- ලුණු
- කොච්චි
- උම්බලකඩ
- කොස් ඇට කිහිපයක්
- තිබ්බටු
- තැම්බූ කෝප්පරා
- තැඹිලි කිහිපයක්
- සියඹලා හෝ ගොරකා
- මිරිස් කහ තුනපහකුඩු
- බැදගත් උළුහාල්
- ලුණු
- කරඳමුංගු/ කරාබු නැටි/ කුරුදු පොතු අවශ්‍ය පමණට
සාදාගන්නා ආකාරය :-
මුලින්ම කැකිරි ගෙඩියේ පොතු ඉවත් කර අවශ්‍ය පමණට කැබලිකපා සෝදාගන්න. ඉන්පසු ගොරකා හෝ සියඹලා ලියාගත් ලූණු කරපිංචා රම්පේ කරදමුංගු , කරාබු නැටි, කුරුදු පොතු තලාගත් කොස් ඇට කිහිපයක් උම්බලකඩ කොප්පරා කැබලි මිරිස්කුඩු, කහකුඩු, තුනපහ, බැදගත් උළුහාල් අවශ්‍ය පමණට ලුණු කුඩු හට්ටියකට එක්කර ගන්න. ඉන්පසු එයට මිරිකාගත් දියකිරි එකතු කරන්න. එය ළිප තබා හොදින් පැහීගෙන එන විට එයට කැකිරි කැබලි එකතු කර මද ගින්දරේ හොඳින් තැම්බෙන්නට හරින්න. එය බාගෙට තැම්බෙන විට සෝදා ගත් තිබ්බටු හා කොච්චි එකතු කරගන්න ඉන්පසුව මිටි කිරි එක් කොට මද ගින්දරේ පිස ගන්න. කබලේ බැදගත් කුඩුකරගත් අඹ හා කොත්තමල්ලි කුඩු ස්වල්පයක් කැකිරි ඇඹුලේ උඩින් ඉහ ගැනීමෙන් අතීතයේ අත්තම්මා විසින් උයන ලද කැකිරි ඇඹුල රසයට ගත හැකි වෙනවා.
මේ තරම් උනන්දුවෙන් කැකිරි ඇඹුල ඔබේ ආහාර වේලට එකතු කර ගත යුත්තේ ඇයි? මෙන්න හේතුව . මානසික ආතතිය නැති වීම, වකුගඩු රෝග නැති කිරිම, සුවදායි නින්දක් ලබා දීම. ඒ විතරක් නෙමෙයි පිළිකා ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්ත වීම, ඒ වගේම මුත්‍රා අඩස්සිය මුත්‍රා ආසාදන වැනි විවිධ සංකූලතා නැති කිරීම, දියවැඩියාව සුව කිරීම, මුත්‍රා ගල් නැති කිරීම, අම්ල පිත්තය සුව කිරීම සහ ශරීර දාහකය නැති කිරීම.
තිබ්බටු මාළුව
සෝදා ගත් තිබ්බටු
කහ
ලුණු
සෝදා ගත් හාල් මැස්සන් ද දමා තම්බාගන්න. එය හොඳින් තැම්බුන පසු වෙනත් භාජනයකට අස් කර එයට පොල් තෙල් ටිකක් දමා රත් කර ගන්න. එයට රතුළූණු, කොච්චි කොළ, පොල් සමඟ මිශ්‍ර කර එයට පොල් වතුර එක්කර හොඳින් පොඩි කර ගෙන එයට තුනපහ කුඩු ස්වල්පයක් ද දමා තම්බාගත් තිබ්බටු හා හාල් මැස්සන් මිශ්‍රණය සමඟ නැවත ලිප තබා හොඳින් පොඩිකර ගන්න.
මුත්‍රා ගල් දිය කිරීම හා රුධිරය පිරිසිදු කිරීමේ ගුණයෙන් තිබ්බටු මාළු ඉතාමත් පොහොසත් ය. එමෙන්ම ආහාර රුචිය ඇති කරයි. එමනිසා බඩගින්න හා ආහාර රුචිය අඩු අයටත්, ග්‍රහණි රෝග උදර වේදනා ඇති අයටත්, මෙම ආහාරය ඉතාමත් සුදුසුයි. එමෙන්ම නරක් වූ සෙම ඉවත්කිරීමේ ගුණයෙන් යුක්ත වන අතර ස්වාස රෝග අවස්ථාවලදී හුස්ම ගැනීම පහසු කරනවා. කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව උගුර බැරැන්ඩිය හා රෝග ඇති අයට ආහාරයට සුදුසු වනවා. තිබ්බටු ඇටවල ගර්භාෂය සංකෝචනය කිරීමේ ගුණය තිබෙනවා. එම නිසා ඕසප් ශ්‍රාවය අඩු අයට ඔසප් සමයේ ආහාරයට ගැනීම ඉතාමත් සුදුසුය. දරුවන් ලැබුන මුල් කාලයේ දී ආහාරයට ගැනීම ඉතාමත් ගුණදායකය.
උපදෙස් –

බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව වෛද්‍ය නිලධාරී අභය තිලක දේවගිරි මහතා
සටහන – අරුණි ජයසේකර
