සිරකරුවෝද මනුෂ්‍යයෝය (අගෝස්තු 10දිනට යෙදෙන ජාත්‍යන්තර සිරකරු දිනය නිමිත්තෙනි)
ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනය යෙදෙන්නේ අගෝස්තු මස 10, එම දිනය දී ය. එම දිනය නම් කලේ 1974 වර්ෂයේදී වන අතර 2023 අගෝස්තු 10 දින වන විට ජාත්‍යන්තර සිරකරු දිනය ලෙස නම් කර වසර 49 සපිරේ. එඩී නැලෝන් Eddie Nalon නැමැති සිරකරුගේ මරණයත් සමඟ මේ දිනය නම් කර සැමරීම ඇරඹුනේ කැනඩාවේදී බව වාර්තා වේ. මෙවැනි දිනයක් නම් කලේද සිරකරුවාගේ අයිතිවාසිකම් තව දුරටත් සුරැකීම පිණිස විය යුතුය. නමුත් දිවයින තුල මේ දිනය සැමරීම ගැන අවබෝධයක් සිවිල් ජන සමජයට නොමැති තරම්.

මෙම ලිපියේ ඉලක්කය සිරකරුවන් කල වැරදි සාධාරණිකරණය කිරීම හෝ නීතිය හෝ අධිකරණය හෝ බන්ධනාගාර දෙපාර්තමේන්තුව අපහසුතාවයට ලක්කිරීමක් නොව අපේ රටේ සිරකරුවන්ට මුහුණදීමට සිදුවන අපහසුතාව ගැන බලධාරීන්ගේ අවදානය යොමුකරවීමයි.
2023.08.01 සවස මාධ්‍ය වාර්තා කරණයට අනුව ලංකාවේ සිරමැදිරි වල රැඳවියන් 13### කට ඉඩ හා පහසුකම් ඇතත් මේ වනවිට ඒවායේ ධාරිතාව 200% ඉක්මවා 29,000 ඉක්මවා ඇත. ඒ අනුව ඔබ ගණනය කර බලන්න අපේ බන්ධනාගාරතුල පහසුකම් කොපමණ මට්ටමකට ඉඩ ඉක්මවා ඇත්තදැයි කියා. සරලවම ඔබ නිවසට ඥාතීන් පිරිසක් පැමිණ රාත්‍රිය ගත කලවිට පසුදා උදෑසන වැසිකිලි යෑමේදී ඇතිවන තත්වය කෙතරම් අසිරිමත්දැයි සිතා බලන්න.
ඒ තත්වය එසේ තදබදයකට ලක් වෙද්දී මොවුනට බැහැරින් ගෙනෙන ආහාර ලබාදෙද්දී බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් කුමන අපහසුතාවයකට ලක්වනු ඇත්දැයි ඔබ දන්නවාද? මේ තත්වය ඉරිදා හැර සතියේ දින 6 ගැටළු සහගතව පැය1-2 තුල වේල් දෙකක් (දිවා හා රාත්‍රී) ගෙනෙන ආහාර පරීක්ෂාකර රැඳවියන්ට ලබාදීම දැඩි අපහසුතාවයකි. අපහසුතාවය වඩාත් දැඩි වන්නේ ඇතැම්හු රැඳවියන්ට ආහාර පාර්සලය තුල මත් ද්‍රව්‍ය ගිනි අවි වැනි නුසුදුසු දෑ ලබාදීමට කටයුතු යෙදීමයි.
සාමාන්‍ය අහිංසක පවුල්වල සුළු දඩ මුදලක් ගෙවා ගත නොහැකිව බන්ධනාගාරගත වන සිරගතව සිටින පුද්ගලයන් බැලීමට පැමිණෙන පාර්ශවයන්ගෙන් මෙවැනි තර්ජනයක් නොමැති වුවද විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වැරදි වලට අදාලව බන්ධනාගාරගත වූවන් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් හමුවීමට පැමිණෙන අයගෙන් විශාල ගැටළුවක් තර්ජනයක් බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන්ට ඇත.
ලාංකිකකයා ද බොහෝවිට රැඳවියා සිදුකල වරදේ ස්වභාවය කුමක් වුව ද, සිරගතවීමකදී ඒ අය බැලීමට යෑම සිදුකරනු ලබයි. බහුතරයක් සුව දුක් විචාරීම පිණීස යනු ලබන්නේ තමාට රැඳවියා ඇති වැදගත්කම අනුවය. එහිදී තම ආර්ථික හැකියාව මත යමක් රැගෙන තමනට අවැසි බන්ධනාගාරගත ඥාතීන් බැහැදැකීමේ ප්‍රතිශතය අප්‍රේල්,මැයි හා දෙසැම්බර් වැනි ඇතැම් උත්සව මාස වලදී ප්‍රතිශතියක් ලෙස ඉහල අගයක් ගනී. චාරිත්‍රයක් ලෙස එසේ කිරීමටද ඔවුන් පෙලඹී සිටී. ආගම ජාතිය අනුව එම වකවානුව වෙනස් විය හැක.
මෙහිදී සිරගතව හෝ රිමාන්ඩ් ගතව සිටින සිටින ඥාතීන් බැලීම සදහා ආහාරයට යමක් රැගෙන යන්නේ බන්ධනාගාර තුල කුසට අහරක් මිසක, රසට අහරක් නොලැබෙන බව, 1905 ජුලි 16 ඇරැඹි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගැන විශේෂයෙන් දන්නා බැවිණී. ඊට ප්‍රධානතම හේතුව විය හැක්කේ, විශාල ආහාර ප්‍රමාණයක් එතරම්ම අත්දැකීම් නොමැති පිරිසක් විසින් සැකසීමත්, ආහාර සදහා අවැසි කුළුබඩු ප්‍රමාණවත් පරිදි නොයෙදීම හෝ යෙදියයුතු කුළු බඩු ගැන එතරම් දැනුමක් කෝකි පාටියට (බන්ධනාගාරය තුල ආහාර සකසන කණ්ඩායම කෝකි පාටිය ලෙසත් ඔවුන් සකසන බත් කල්දේරම් බත් ලෙසත් හැදින්වේ) නොතිබීමත්ය. බොහෝ බන්ධනාගාර වල දර යොදා ආහාර සැකසෙන අතර පසුගියදා බන්ධනාගාරගතව සිට ජනාධිපති සමාව ලබා පිටතට පැමිණී අයෙකු විසින් සිදුකල ආන්දෝලාත්මක ප්‍රකාශය මේබව වඩාත් තහවරු කරන ලදී.

මෙකී තත්වය යටතේ දවසකට දෙවරක් රැඳවියන් බැලීමට, ආහාර ලබාදීමට අවකාශ ලැබුනද ඒ ගෙන යනු ලබන ආහාර රැඳවියන් අතට පත්වන්නේ පරීක්ෂාවකට නතු කිරීමෙන් අනතුරුවය. විශේෂයෙන් අවුරුදු වෙසක් නත්තල් ආදී නිවාඩු දිනවල අමුත්තන් රැසක් රැඳවියන් හමුවට පැමිණෙන අවස්ථාවන්හිදී බන්ධනාගාර කාර්යය මණ්ඩලය කාර්යය බහුල වන අවස්ථා එලැඹෙන බැවින් එවැනි අවස්ථාවල ඔවුන් ආහාර ලබාදීම සදහා ලබාදෙනු ලබන වේලාවද දීර්ඝ කරනු ලබයි.
අමුත්තන් විසින් රැගෙන එනු ලබන ආහාර බන්ධනාගාර නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා පරීක්ෂා කර බලා රැඳවියන්ට ලබාදීම සිදුකරන්නේ ආහාර තුල සඟවා මත්ද්‍රව්‍ය ඇතුළු බන්ධනාගාර තුලට රැගෙන ඒමට අවසරයක් නොලඳ දේවල් පවා රැගෙන ඒමට අමුත්තන් ලෙසින් පැමිණෙන පාර්ශව කටයුතු කිරීම හේතුවෙනි. මේ ආකාරයට පරීක්ෂා නොකර, එවැනි සීමාවන් නොපනවා බන්ධනාගාර තුල විනය හා ආරක්ෂාව පවත්වා ගැනීම අපහසු කටයුත්තකි. විශේෂයෙන්ම බන්ධනාගාර ගතවූවන් බහුතරයක් යම් යම් ඇබ්බැහිවීම් වලට ගොදුරු වූවන් වන අතර එහි සිටින ඇතැම්හු පස් පවින් පවා වැලකුණූ පිරිස් වෙති.

බන්ධනාගාර තුලට රැගෙන එන ආහාර කුඩා සංඝටක වලට කඩා හෝ පරීක්ෂා කිරීමට හැකි නම් එසේ කිරීමට බන්ධනාගාර සේවකයින් කටයුතු කරන්නේ කිසියම් නුසුදුසු දෙයක් බන්ධනාගාර තුලට ගියහොත් සිදුවන හානිය කොතෙකක්දැයි හොදින්ම දන්නා බැවිණී. ඒ නිසාම ආහාර පාර්සලය කූරු ගා බලා (එම පරීක්ෂණය අවසන් වනවිට ආහාර වේල කලවම්ව පවතී) පරීක්ෂණ සිදුකරයි. ආහාර තුල සඟවා අවි ආයුධ මත්කුඩු ආදිය රැඳවියන් අතරට නොගියාම නොවේ. ඇතැම් විට බන්ධනාගාර නිලධාරීන්ම මෙවැනි අනුමත නොවූ ද්‍රව්‍ය බන්ධනාගාරය තුලට රැගෙන ගිය අවස්ථා මාධ්‍ය වාර්ථාකර තිබුණී. ඇතැම් පිරිස බන්ධනාගාර තුලදී මත්ද්‍රව්‍ය අලෙවි කලද මුදල් හුවමාරුව සිදුවන්නේ බාහිර සමාජය තුලදීය.
නමුත් අප අවදානය යොමු කල යුතුව ඇත්තේ රැඳවියාට රැගෙන යන බත් පත, බිස්කට් පැකට්ටුව, වතුර බෝතලය විවෘත නොකර, පේර ගෙඩිය ඇපල් ගෙඩිය නොකපා, බීම බෝතලයේ ගැස් සහිතව රැඳවියාට ලබාදීය හැකි ක්‍රමයක් ස්ථාපිත කිරීමටයි. ඒ සඳහා අදාල අංශ එතරම් අවදානයක් නොදක්වන්නේ බන්ධනාගාරගතවීමේදී ඔවුනගේ සිවිල් මෙන්ම මූලික අයිතිවාසිකම් අහිමිවීමක් සිදුකෙෙරන බැවිණී. සරලවම කිවහොත් සිරකරුවන් වෙනුවෙන් බන්ධනාගාර තුල කිසිවෙකු පෙනී නොසිටින අතර තමන්ට සිදුවන ඕනෑම අසාධාරණයක් දුකක් බන්ධනාගාර නිලධාරියෙකුට හැර වෙනත් කිසිවෙකුට පැවසීමේ අවකාශ නොමැත. අනික බන්ධනාගාර තුල සිටින රැඳවියන් මානසිකව ඉතා පහත් මට්ටමක සිටින පිරිසකි. මෑතදී බන්ධනාගාරගතව සිට නිදහස ලැබූ රංගන ශිල්පියෙකු මෙන්ම රාජ්‍ය අමාත්‍යවරයෙක් වූ පුද්ගලයෙකුද තමාට නිදහස ලැබුණු පසු සිරකරු සුබ සාධනය සම්බන්ධයෙන් යමක් ඉටු නොකිරීම ද දක්නට කැපී පෙනෙන සිදුවීමක් වූයේ බොහෝ රුඳවියන් ඔහු සමාජගතවීම හරහා සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටීවි යන මතයේ සිටිනා ලදී. බන්ධනාගාර විෂය සම්බන්ධයෙන් අමාත්‍යවරු කීපදෙනෙක්ම සිටියද මේ ගැන මෙතෙක් සෘජු අවදානය නොකීරීම ඒ ඒ අමාත්‍යවරුනට රැඳවියන් ගැන අවබෝධයක් නොමැති කමට උදාහරණයකි. කෙසේ වුවද බන්ධනාගාර වල බිත්තිවල මහා මාර්ගයට පෙනෙන්නට සිරකරුවෝද මනුෂ්‍යයෝය යන්න සදහන්ව තිබුණද ඔවුනට මනුෂ්‍යයන් ලෙස සලකා කටයුතු කරනවාදැයි යන්න බන්ධනාගාරගත වූවෙකු මිස වෙනෙකකු නොදන්නා තරම්ය. මේ වැකිය සිර මැදිරි තුල සදහන්ව නැත්තේ ඒ නිසා විය හැක.
බන්ධනාගාරයට වඩා කාර්ය බහුල අවදානම් සහගත ගුවන් තොටුපල වැනි ස්ථාන වල මගීන් ගුවන් ගත වන හා දිවයිනට පැමිණෙන ස්ථාන වල SCANNER යොදවා සෑම දෙයක්ම පරීක්ෂා කෙරෙන රටේ සිරකරුවනට පහසුවක් වීමට අප පසුබට වන්නේ ඔවුනට එවැනි පහසුකම් කුමකටදැයි හෝ එවැනි පහසුකම් සදහා විශාල මුදලක් වැය කිරීම රටට සෘජු ප්‍රතිලාබයක් නොලැබෙන බැවිණි. (ප්‍රභූ පෙලන්තියේ අයෙකු බන්ධනාගාර වුවහොත් ආහාර ලබාදීම වෙනත් ක්‍රම මගින් බන්ධනාගාර නිලධාරී අධික්ෂණය යටතේ රැඳවියාට ලැබීමට සලස්වන බැවින් මේ අසීරුතාව වගකිවයුත්තන්ට නොදැනෙන තරම්ය)
ආරක්ෂක හේතු මත ජංගම දුරකථනයක් හෝ කැමරාවක් බන්ධනාගාර තුලට රැගෙන යෑමට අවසර හිමි නොවෙන අතර කැමරාවක් සහිතව මාධ්‍යකරුවෙකු හෝ වෙනත් අයෙකු කිසියම් හෝ කටයුත්තකට අභ්‍යන්තරයට ගියහොත් ඔහු හෝ ඇය සමඟ ආරක්ෂක රැකවලකු අදාල අය ගැන පසු විපරමින් පසුපසින් යනෙනා බැවින් බන්ධනාගාරය තුල ඇති සත්‍ය තත්වය විෂය භාර අමාත්‍යවරයා හෝ අමාත්‍යාංශ ලේකම් වරයාවත් නොදන්නා තත්වයක් රට තුල පවතී. එම හේතුවෙන් රැඳවියන්ගේ ආහාර පරීක්ෂා කරන ආකාරයේ ජායාරූපයක් අන්තර් ජාලයේවත් නොමැත.
බන්ධනාගාරගතවීම වත්මන් සමාජරටාව තුල පසුගාමී තත්වයක් නිසා ඉන් නිදහස්වන කිසිදු පාර්ශවයක් (අවම වශයෙන් මැති ඇමතිවරු පවා) රැඳවියන්ගේ අභිවෘද්ධිය උදෙසා කිසිදු පියවරක් නොගැනීම ඛේදනීයය. එබැවින් සිරකරුවන් යනු මූලික අයිතිවාසිකම් පවා කෘෘර ලෙස අහිමිව ගිය පිරිසකි. මේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සිරකරු සුබ සාධන නිලධාරීන් හා පිහිටුවා ඇති සංවිධාන හා නිලයින් දරණ උත්සාහයක් නොමැති තරම්ය. එසේ සොයා බල්නනේ නම් මෙතරම්ම ගැටළු සිරකරුවනට මතුවිය නොහැක. අපේ රටේ බන්ධනාගාර ගතවූවන්ගේ ආහාර හා දියුණු රටවල බන්ධනාගාර ගතවූවන්ගේ ආහාර සහ පහසුකම් අහසට පොලව මෙනි. අපේ රටේ බන්ධනාගාර ගත වීමත් සමඟම ඔවූන්ගේ මූලික අයිතිවාසිකම් පවා අහිමිකරනු ලැබේ. ඔවුන්ට අවශ්‍ය වැසිකිලි පහසුකම් නිදා ගැනීම වැනි පහසුකම් නේවාසික රැඳවියන්ගේ ප්‍රමාණයට කිසිසේත්ම සරිලන මට්ටමක ඇතැම් තැන්වල නොමැත.
වරෙක මා තොරතුරු දැනගැනීමේ පනත යටතේ හදිසි සුනාමි තත්වයකදී මාතර ඇතුළු මුහුද ආසන්නයේ ඇති සිරකරුවන් ආරක්ෂිත ස්ථාන ගත කිරීම ගැන විමසීමේදී ලද පිලිතුර කුඩා දරුවෙක් ලබාදෙන පිලිතුරක් වැනිය. එය සුනාමි වැනි ආපදා තත්වයකට කිසිසේත්ම ප්‍රායෝගිකව නොගැලපෙන සුළු විය. අප සිරකරුවන්ද මනුෂ්‍යයෝය යන්න දැඩි අවබෝධයකින් සිතා කටයුතු කල යුතුව ඇත. බන්ධනාගාර කොමසාරිස් වරුනද දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේ උන්නතිය උදෙසා ක්‍රියාත්මක වුවද, රැඳවියන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූවා නම් මෙකී තත්වය වෙනස්වීමට හැකිව තිබුනේ මිට බොහෝ කලකට පෙරදීය. නමුත් දැන් දැන් හෝ මෙකී තත්වය මානව හිතවාදීව බැලීමට නිලධාරීන්ට සිත් පහල විය යුතුව ඇත. රට තුල පවතින බැරෑරුම් සහගත තත්වය යටතේ අවම වශයෙන් විදේශිය හෝ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රතිපාදන මත මෙවැනි සුබ සාධන කටයුත්තකට අවදානය යොමු කිරීමට බලධාරීන්ගේ සිත් පහන් වේවා!
පසුගිය දිනවල ඇතිවූ අධික උෂ්ණත්වය පවා රැඳවියන්ට ඉතාමත් දැඩිව බලපාන්නට ඇති. එවැනි තත්වයකදී නීතිය නවන නිලධාරීන්ගේ අගය රැඳවියන්ට දැනෙන්නට ඇත.
මේ සිරකරු දිනයේදී ශ්‍රී ලංකාවේ සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකේවායි පතමු.
සටහන –

එරන්දන හේමවර්දන
