රවි ග්‍රහයා
ජෝතිෂ්‍ය ශාස්ත්රයේ පිළිබඳව උනන්දුවක් දක්වන සහ ඉගෙනීමට කැමැත්තක් දක්වන අයට කොළම්බු ජර්නල් තුළින් ජෝතිෂ්‍ය පිළිබඳ ලිපි මාලාවක් මෙතැන් පටන් අප ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු.
ජෝතිෂ්‍ය ශාස්ත්‍රීය ඉගෙන ගැනීමට පටන් ගන්නා අය විසින් කළ යුතු පළමුවැනි දෙය නම් ග්‍රහයින් පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම වේ.
රවි, සඳු, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි වශයෙන් ග්රහයෙන් හත් දෙනෙකි. රාහු කේතු යනුවෙන් ජයා ග්‍රහයින් දෙදෙනෙකු ද වේ.
නව ග්‍රහයින් වශයෙන් කියවෙන මෙම ග්රහයෙන් කෙනෙකුගේ ජීවිතයට විවිධ අන්දමින් බලපෑම් කරනු ලබයි.
මුලින්ම අපි රවි ග්‍රහයා කෙනෙකුගේ ජීවිතයට බලපාන අන්දම විමසා බලමු.

රවිට හිරු, ඉරුද යනුවෙන් නම් ඇත.
රවි ග්‍රහයා ලෝකයේ මූලිකයා වේ. ලෝකයේ පියාද වේ. රවි ස්වභාවයෙන්ම රාජකීයත්වය (අන්‍යයන්ට නොනැමෙන) බව නිරූපණය කරන ග්‍රහයෙකි. මේෂ ,මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යන රාශි දොළහ අතර සිංහ රාශියට අධිපති ග්‍රහයාද වේ. රවී සිංහරාශියේ ස්වෂේත්‍ර හා මූල ත්‍රිකෝණව තැන්පත් නම් ඔහු බලය ඉහළින්ද පෙන්වයි. ඉරු මේ අන්දමට බලවත්ව කේන්දරයේ බලවත්ම ස්ථානයක වූ විට ඔහුගේ ජීවිතය ද බලවත් වේ. රජුන්ට රාජ්‍යයන්ට පාලකයන්ට උසස් අයට බලවත් වේ.

රවි ග්‍රහයාට ඊළඟට බලවත් රාශිය මේෂ ලග්නය වේ. එහිදී උච්ච වන රවි “මයුරපාල” නම් බලවත් යෝගය පිහිටයි. සිංහ රාශියේ වූ විට ‘උපේන්ද්‍ර” නම් යෝගය වේ. රවි සමග ඉතා ආසන්නව ගමන් කරන බුද්ධියට අධිපති බුදු ග්‍රහයා බොහෝ දෙනෙකුගේ කේන්ද්‍රවල රවි ග්‍රහයා සමඟ සංයෝග සිටී. ඒ අන්දමට වූ විට රවි බුධ ආධිත්‍ය යන යෝගයද යෙදේ. මේ සියලු යෝග කෙනෙකුට පිහිටා ඇත්නම් බුද්ධිමත් උගත් පණ්ඩිත අයෙකු වන්නේය.
රවි ග්‍රහයා මේෂ හෝ සිංහ රාශිය තැන්පත් අය එඩිතර කිසිවකුට හිස නොනමන නොබියව ඉදිරියට යන කෙනෙකි. තුලා රාශියේ තැන්පත්ව රවි නීච වේ. එවිට එම තැනැත්තා යටහත් පහත් ගති ඇති තැන්පත් අයකු කරයි. කාන්තාවකට නම් රවි නීචවීම යහපත්ය. බලවත්වන කාන්තාව ස්වාමිපුරුෂයා පාලනය කිරීමට ගොස් ප්‍රශ්න ඇතිකර ගන්නේය.
වෘෂභ මකර කුම්භ යන රාශි තැන්පත් නම් ලග්නවල තැන්පත් වන රවි සතුරු රාශිගත වේ. රවි ග්‍රහයාට කුජ ශනි කේතු යන පාපී ග්‍රහයෙක් හෝ කීප දෙනෙකු සංයෝග තැන්පත් අයට ජීවිතයේ නොයෙකුත් කරදර බාධවලට මුහුණ දීමට සිදුවේ.
උදාහරණ වශයෙන් කෙනෙකුගේ 7 වන රාශියේ රවි සමඟ පාපි ග්රහයෙකු හෝ කීප දෙනෙකු තැන්පත් නම් ඒ තැන්පත් අයගේ විවාහ ජීවිතය අවුල් කරන්නේය. කටක, වෘශ්චික, ධනු, මීන රාශිව රවි මිත්‍ර රාශි බැවින් එම රාශිවල රවී තැන්පත් අයට සුභ පල ද මිථුන සහ කන්‍ය රාශිවල පමණක් සම ඵල ලැබේ.
කේන්දරයක “උපචය” ස්ථාන වශයෙන් දක්වන 3,6,10, 11 රාශිවල රවි ග්‍රහයා බලවත්ව හෝ මිත්‍ර රාශගත නම් ඔහුට හෝ ඇයට බොහෝ සුබඵල උදාකර දේ.
රවී 3 වැන්නේ වූ විට උසස් ඉගැනීම ධෛර්ය ග්රන්ථකරණයට (පොත් ලිවීමට) යහපත්ය. නිරෝගී වේ. කරුණාවන්ත වේ. රට ජාතියට වැඩ කරන අයකු වේ. හික්මවීම ප්‍රසිද්ධිය ලබයි.
6 වැන්නේ වූ විට සතුරන් යටත් කර ගැනීමේ බලය ලැබේ. රජයේ සේවයට සුදුසු අයකු වේ. කාමාශාව බලවත් වේ.
10 වැන්නේ වූ බලවත්ව පිහිටන රවි රාජ්‍ය බලයට පත්වීමට තරම් වේ. උසස් තනතුරු රාජකාරී, ප්‍රසිද්ධිය, කීර්තිය, ලෞකික සැප සම්පත්, නම්බු නාම ලැබේ. ඥානවන්ත වේ. සතුරු රාශිගත පාපී ග්‍රහ සංයෝග සහිතව උපත් අය නපුරු ක්‍රියාවලට යොමු වේ.
11 වැන්න රවි ග්‍රහයාට ඉතා බලවත් තැනකි. සුභ නැකැත් සකස් කිරීමේදී රවි ග්‍රහයා 11 බලවත්ව තබා සකස් කරනු ලබන ශුභ මුහුර්ත ලක්ෂයක් දෝෂ භංග කරන බව ජෝතිෂ්‍යය දක්වයි. රවි 11 වැන්නේ බලවත්ව තැන්පත් අයට අවංක මිතුරු ආශ්‍රය ලැබේ. ධනවත් වේ. ව්‍යාපාරවලින් හෝ උසස් අයගෙන් හෝ සමාජයේ වැඩිහිටි අයගෙන් හෝ ආධාර උපකාර ලැබේ. ආගිය වල තැන් පිළිගනී. ලෞකික දියුණුවට ඉතා යහපත්ය යහපත් ශරීරය වේ.
රවි ග්‍රහයා ධනු, වෘශ්චික, සිංහ, කටක ලග්න හිමියන්ට රාජ්‍ය බලය , මැති ඇමතිවරුන්ට උසස් නිලතල, වෛද්‍ය වෘත්තිකයින් ද බිහිකරන අන්දම දැන් බලමු.
ධනු ලග්නයෙන් උපන් අයට රවි ග්‍රහයා 9 වැන්නේ තැන්පත්ව සිටියදී සුභ ග්රහයෙකු වූ පුර සඳු 7,3,11 වැන්නේ නම් හා ගුරු ග්‍රහයා 3 ලග්නයේද නම් එම සුබඵල උදාකර දේ.
වෘශ්චික ලග්න හිමියන්ට රවි ග්‍රහයා 10 වැන්නේ තැන්පත්ව සිටියදී පුර සඳු 8,4 ලග්නයේ වීම හා ගුරු ග්‍රහයා 2,4,6 වැන්නේ තැන්පත් වීම.
සිංහ ලග්න හිමියන්ට රවි ග්‍රහයා ලග්නයේ තැන්පත් වීමද පුර සඳු 11, 7,4 වැන්නේ වීම හා ගුරු ග්‍රහයා 9,7,5 වැන්නේ තැන්පත් වීම.
කටක ලග්න හිමියන්ට රවි ග්‍රහයා 2 වැන්නේ තැන්පත්ව සිටියදී පුරසඳු 11,8,5 වැන්නේ වීම හා ගුරු ග්‍රහයා 8,10,6 වැන්නේ වීම වේ.
දැන් අප රවි ග්‍රහයා අසුභපල දෙන අවස්ථා බලමු
- රවි ග්‍රහයා ලග්නාධිපති වීම එම ලග්නාධිපති දුර්වල වීම සහ 4 වැනි රාශියේ නම් ජන්මියා වැටීමක් නිසා අස්ථි බිඳීමකට ලක්වේ.
- රාශි චක්‍රයේ උදරය නිවේදනය කරනු ලබන්නේ 5 වෙනි රාශියයි. යමකුගේ 5 වෙනි රාශියට අධිපති ග්‍රහයා සහ ගුරු ග්‍රහයා පාපී ග්‍රහයන්ගෙන් පීඩාවට පත්ව ඇත්නම්, උදරා බාධ හට ගනී.
- මිනිස් සිරුරේ හෘදය වස්තුව රවිග්රහයාට හිමිය. සිංහ රාශියෙන් 5 වන රාශිය හා එහි අධිපති පීඩාවට පත්වූ විට හෘදයාබාධ ඇති වේ.
- රවි ලග්නය බලවත්ව තැන්පත් වීම සුභ ඵල ගෙන දුන්නද මකර කුම්භ හිමි රවි ලග්නය සිටින ජන්මින්ට හදිසි රෝග සාදයි.
- උෂ්ණාධික පීනස් රෝග ඇති කරයි.
- රවි 2 වැන්නේ වී දුර්වලව තැන්පත් අයට ඇස් රෝග සෑදේ.
- රවි 4 වැන්නේ දුර්වලව සිටීම මාපිය නෑදෑයන්ගේ විරෝධයට ලක්වේ. පපුවේ රෝග සෑදේ. පහ්ට භිය නැතිවේ. පව් කරන අයගේ ආශ්‍රයට වැටේ.
- රවි 5 වැන්නේදී දරුඵල අඩු කරයි. නැත්නම් දරුවන් අකාලයේ මිය යයි.
- රවි 7 වැන්නේ ජන්මීන්ට මුත්‍ර, ලිංග රෝග සාදයි. විවාහය පසුකරයි. ස්වාමියාට ඉතා අහංකාර අයකු කරයි.
- රවි 8 වැන්නේ ද සුභ තැනැක් නොවේ. දුක් කරදර වලට මුහුණ පෑමට සිදුවේ.
- රවි 12 වැන්නේ වූ විට වස්තු හානි කරයි. නඩු හබවලට පටලවයි. රවි ග්‍රහයා දුබල ව සිටින අය මංකොල්ලකෑම සොරකම් කිරීමට යොමු කරයි. වාචාලකම අහංකාරය අනුන් කෝප කරවීම හොර හිත ඇතිකරයි.
- රවි ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයට අයත් පියා වශයෙන් ද සලකන අතර ආධිත්‍ය, අර්ත, භානු දිනකර, හේලි, සූර්යයා, හිරු, තාපක යන නම් වලින්ද හඳුන්වනු ලබයි.
- රෝග නාශක බලය රවි නැත්නම් හිරුගෙන් ලැබේ. නිර්භීතකම, දීර්ඝායුෂ, ප්‍රසිද්ධිය, බලය, ක්රියාශූරිත්වය, ගෞරවය, භක්තිය, ප්‍රේමය, අවබෝධය, ඥානය, චිත්තවේගය රවි ග්‍රහයා ලබා දේ.
රවි ග්‍රහයා පිළිබඳව බොහෝ කරුණු ඇතත් ඉන් වැදගත්ම කරුණු කිහිපය පමණක් මෙම ලිපිය මගින් දක්වා තිබේ.
සම්මානලාභී ජෝතිෂ්‍යවේදී හංවැල්ල
ඇස් සිරිවර්ධන
විශ්‍රාමික පිරිස් කළමනාකරු
075 528 0668
