විශ්වයේ ශ්‍රේෂ්ඨතම නිර්මාණයයි.මානව ශිෂ්ඨාචාරයේ තීරණාත්මක සාධකයයි. අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතයයි.ඔහු වනාහී ළමයා නම් වේ.
ළමයා යනු කවුද?
සැබවින්ම ළමයා යනු කවුදැයි ලඝු කොට නිර්වචනය කිරීම මහත් අසීරු කර්තව්‍යයකි.ඒ තරමටම ළමයා යනු විශ්වයේ ඉතාමත් සුවිශේෂි නිර්මාණය වන අතර, හේ අතිමහත් සොඳුරුතම ගුණාංගයන්ගේ සංකලනයකි. ඒ හෙයින් ළමයා යනු කවුද යන්නෙහි නිර්වචනය අති සංකීර්ණය.එහෙත් 1989 නොවැම්බර් මස 20 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ළමයා යනු කවුදැයි යන්නට නිල වශයෙන් ඉතා සරල අර්ථකථනයක් සපයා ඇත.එනම් “නීතිය මගින් අඩු වයසකදී පූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18 ට අඩු සියලු මනුෂ්‍යයන් දරුවන්ය.”යන්නයි.

ලෝක ළමා දිනය යනු කුමක්ද?
“හෙට දිනයේ නායකයෝ පුංචි අපි තමයි” අප ළමා කල නිරනිතරයෙන්ම රූපවාහිනියෙන් සවනත වැකුණු ඒ සොඳුරු ගීතමය පද වැල කාලාවතරණයේ සුළං රැල්ලක් වෙලී විත් වැඩිහිටියෙකු ලෙස මේ ලිපිය අකුරු කරන නිමේෂයේදී මා සවනත වැකෙයි.සැබෑවකි, අද දරුවා හෙට ලෝකයේ නායකයාය.එහෙයින් අනාගතයේ පරිපූර්ණ පෞරුෂත්වයකින් හෙබි මිනිසෙකු බිහි කරනු වස් වත්මන් දරු පරපුරේ උන්නතිය පිළිබඳව වැඩිහිටියන් වන අප විශේෂ අවධානයක් යොමු කළ යුතුය.ලෝක ළමා දිනයේ මුඛ්‍ය පරමාර්ථය එයයි. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා වරක් ප්‍රකාශ කලේ “දරුවා යනු වැඩිහිටියන්ගේ කුඩා කරන ලද ආකෘතියක් නොවන බවයි. දරුවාගේ මනස සුදු පැහැති කඩදාසියක් වැනිය. දරුවාගේ මුල් අවධියේ එය ඉතාම පිරිසිදුයි.මෙහි මුල්ම සටහන තබන්නේ මව, පියා, සහෝදර සහෝදරියන් විසින්ය” යනුවෙනි. එබැවින්, දරුවාගේ මනස නැමති හිස් කඩදාසිය තුළ තබන සටහන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුමය.ලෝක ළමා දිනය යනු එයට ඉතා හොඳ තෝතැන්නකි.
ලෝක ළමා දිනයේ ඉතිහාස කතාන්දරය
ලෝකවාසී සමස්ත දරු පරපුර වෙනුවෙන් දිනයක් වෙන් කළ යුතු යයි තීරණය වූයේ 1952 දී පවත්වන ලද ළමුන්ගේ සුබ සාධනය පිළිබඳ ලෝක සමුළුවේදීය.අනතුරුව 1954 දී ළමයින් උදෙසා විශ්වීය වශයෙන් උචිත දිනයක් තෝරා ගත යුතු බව තීරණය විය.ඒ අනුව, එක්සත් ජාතීන්ගේ නිර්දේශය මත නොවැම්බර් 20 වන දින විශ්ව ළමා දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.එහි මූලික පරමාර්ථය වූයේ පළමුව ළමුන් අතර අන්‍යෙන්‍ය හුවමාරුව හා අවබෝධය දියුණු කර ගැනීම හා ලෝකයේ ළමුන්ගේ ප්‍රයෝජනය හා සුබසාධනය සඳහා අනුග්‍රහය දක්වන ක්‍රියා මාර්ග ආරම්භ කිරීම සඳහා දිනයක් වෙන් කරන ලෙස සියලු රටවල් උනන්දු කිරීමය.ඒ අනුව, ලෝකයේ විවිධ රටවල් විවිධ දින වලදී ලෝක ළමා දිනය සමරයි.
අපේ ලෝක ළමා දිනය
විශ්ව ලෝක ළමා දිනය නොවැම්බර් 20 සැමරුවද, ලංකාවේ ලෝක ළමා දිනය සමරන්නේ ඔක්තෝම්බර් 20 වන දිනයි.මෙවරද ශ්‍රී ලාංකීකයන් වන අප අදට යෙදෙන ළමයින්ගේ දිනය උත්සවාකාරයෙන් සමරන බව නොරහසකි.මෙවර ලෝක ළමා දින තේමාව වන්නේ “දරුවන් රැකගමු සමසේ රැක ගමු” යන්නයි.මෙම දිනය වෙනුවෙන් අද දිවයින පුරා ළමයින් වෙනුවෙන් විවිධාකාර ක්‍රියාකාරකම් සුදානම් කොට ඇත.එසේම අද ලෝක ළමා දිනයට සමගාමීව ලෝක වැඩිහිටි දිනයද සමරයි.එය ප්‍රායෝගිකව සාර්ථකය.මන්දයත්, අද ළමයා යනු හෙට දිනයේ මේ රට භාර ගන්නා වැඩිහිටියාය.එබැවින්, දළඹුවා දිනක ලස්සන සමනලයෙකු වන්නේ යම් සේද, ළමයාද මතු දිනක ලෝකයට වැඩදායී, ගුණ ගරුක, මනුෂ්‍යත්වයෙන් පිරි සොඳුරු වැඩිහිටියෙකු බවට පත් කරන මූල බීජය අද දින සාර්ථක වපුරමු. ආදරණීය දුවේ, පුතේ ඔබ සැමට සුබම සුබ ලෝක ළමා දිනයක් වේවා!

සැකසුම-
එච්.එම්.එස්.සංජීවනී කුමාරී
