බලශක්ති අර්බූදයකට අප මුහුණ පාමින් සිටින්නේ දශකය පමණ කාලයක සිටය. ජල විදුලිය තවදුරටත් බලශක්ති අර්බූදය සදහා විසඳුමක් නොවන සංදර්භයක ගල් අඟුරු බලාගාර වැනි විසඳුමක් කෙරෙහි අවධානය යොමු විය. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය පිහිටුවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස ය. ඉනික්බිති සාම්පූර් බලාගාරය පිහිටු වීමට ගෙන ආ යෝජනාවට බොහෝ අය විරුද්ධ වූහ. අවසානයේ දිනකට පැය කීපයක් විදුලිය විසන්ධි විය.

රටක් වශයෙන් අපට කිසිදු ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා බල ශක්තිය විෂයය මතු නොව සෑම ක්ෂේත්‍රයකම අර්බූද සදහා විසඳුමක් සෙවීම ප්‍රමාද වේ. මෙහිදී දේශපාලන අධිකාරියට පමණක් දොස් කීම යුක්ති සහගත නොවේ. අදාළ ආයතන වල නිලධාරීන් ද වගකිවයුතු ය.බලශක්ති අර්බූදය සම්බන්ධයෙන් රටක කෙටි කාලීන සහ දීර්ඝකාලීන සැලසුම් තිබිය යුතුය .ගල් අඟුරු බලාගාර සහ ජල විදුලි බලාගාර ප්‍රවර්ධනය කිරීම කෙටිකාලීනව කළ යුතුය .
එහෙත් තව දුරටත් මහා පරිමාණ ජල විදුලි බලාගාර තැනීමට අප ට අවශ්‍ය ජල සම්පත් නොමැති නිසා සහ ගල් අඟුරු බලාගාර සදහා අධික පිරිවැය යෙදවීමට සිදු වීම නිසා විකල්ප බල ශක්ති ක්‍රමවේද සදහා යා යුතුය .එසේ නම් මෙම විකල්ප බල ශක්ති ක්‍රමවේද මොනවා ද?
ප්‍රධාන වශයෙන් අපේ රටට සුළං බලාගාර යෝග්‍ය වේ.අවම පිරිවැය යටතේ මෙමගින් විදුලිය උත්පාදනය කළ හැකි ය. විශේෂයෙන් හම්බන්තොට සහ පුත්තලම ,මන්නාරම ආශ්‍රිතව මෙම සුළං බලාගාර ඉදිකිරීම් කළ හැකි ය. මෙතෙක් කල් එය ප්‍රමාද වීමට හේතුව විදුලිය බල පනත සංශෝධනය නොකළ නිසා බව විදුලිය බල අමාත්‍යාංශය පවසයි. කෙසේ වෙතත් මේ වන විට පනත සංශෝධනය කර ඇති අතර දැනට ඒ සදහා අවශ්‍ය මූලික සැලසුම් සකස් කරමින් පවති .
අනිත් අතට තාප බලාගාර සදහා ද අපේ අවධානය යොමු විය යුතුය .එහෙත් ඒවා ඩීසල් බලාගාර නොවිය යුතුය .දිනකට මෙරට එකතු වන කැළි කසල ප්‍රමාණය නොගිනිය හැකි තරම් විශාල ය.ලෝකයේ බොහොමයක් රටවල් මෙම කැළි කසල දහනයෙන් අති සාර්ථක ලෙස විදුලිය උත්පාදනය කර ගනී.පුදුමයට කරුණක් නම් එවන් විකල්පයක් පිළිබඳව යෝජනා කිරීම පවා අමනෝඥ සිතුවිල්ලක් බවට ඇතැම් ප්‍රාඥයන් උපහාසයට ලක් කිරීම .එහෙත් .එවන් ව්‍යාපෘතියක් හරහා අප ගේ කසල ප්‍රශ්නයට ද ස්ථිරසාර විසඳුමක් ලබා ගත හැකි ය.
නමුත් මෙම කරුණු සම්බන්ධයෙන් කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නැත .අවසනාවට මෙන් අප රටේ ඇතැම් විදුලිය බල ශක්ති විශේෂඥයන් කුමන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන්නේ ද යන්න පැහැදිලි නැත .
බොහෝ රටවල් අභ්‍යන්තර ජලාශ වල පවා පාවෙන සූර්ය පද්ධති මේ වන විටත් සවිකර අවසන් ය. එහෙත් අප රටේ යටත් පිරිසෙන් ගෘහස්ථ සූර්ය පැනල පවා ඇත්තේ අතලොස්සක් පමණි. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තිබුණේ මීට දශකයකටත් පෙරය.එහෙත් අපේ බොහෝ බලශක්ති විශේෂඥයන් ට මේ සියල්ල නයාට අදුකොළ වැනිය .ප්‍රශ්නගත කරුණ නම් වෙත රටවල් වල සාර්ථක ලෙස ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මෙරට පමණක් නොගැලපෙන්නේ මන්ද යන්නය.
බලශක්තිය සම්බන්ධයෙන් ලෝකයේ බොහොමයක් රටවල් අනුගමනය කරන ප්‍රතිපත්තියක් ඇත.එය ජාත්‍යන්තර පිළිගත් ප්‍රතිපත්තියක් වේ.මෙම ප්‍රතිපත්තිය ප්‍රධාන කරුණු දෙකකින් සමන්විත .
1.පුනර්ජනනීය බලශක්ති මූලයන් සදහා ප්‍රමුඛත්වය දිය යුතුය .
2.බලශක්ති ග්‍රාහකයන් ගේ වැය අවම විය යුතුය .
මෙම මූලයන් පිළිබඳව මෙරට බලශක්ති විශේෂඥයන් දන්නවා දැයි අපි නොදනිමු.එහෙත් ලෝකයේ බොහොමයක් රටවල් මෙම මූලධර්ම අනුව ස්වකීය බලශක්ති අර්බූද කළමනාකරණය කර ගන්නා බව නම් සත්‍යයකි.
මීට අමතරව මුහුදු රළ භාවිතා කර බලශක්ති උත්පාදනය කර ගැනීම සිදු කරන රටවල් ද වේ.මෙය දැනට මහා පරිමාණයෙන් සිදු නොවූවද ඉදිරියේදී ප්‍රවර්ධනය වනු ඇත .
බලශක්ති පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් මෙන්ම පුනර්ජනනීය බලශක්ති අධිකාරියක් ස්ථාපිත කිරීම ද කාලීන අවශ්‍යතාවයක් වේ.
තවද ග්‍රාමීය මට්ටමෙන් මීතේන් වායුව හෙවත් ජීව වායුව උත්පාදනය කර ගැනීම ප්‍රවර්ධනය කළ යුතුය .ඉන්දියාවේ ග්‍රාමීය මට්ටමෙන් මීතේන් වායුව ඉතා බහුල ලෙස ගෘහස්ථ ඒකක වල භාවිතා වේ.මේ අනුව එම ගෘහස්ථ ඒකක වලට ඉවුම්-පිහුම් කටයුතු සදහා කිසිදු වැයක් දැරීමට සිදු නොවීම විශේෂත්වයකි .ශ්‍රී ලංකාවේ මහරගම ප්‍රදේශයේ එක්තරා ආපන ශාලාවක මෙම ක්‍රමය භාවිතා කරන බවට වාර්තා ඇත .මීතේන් යනු ඉතා ඉහළ සම්මත දහන තාපයක් සහිත ඉන්ධනයකි.
බොහෝ රටවල් වල බලශක්ති කළමනාකරණය පාසල් විෂයය මාලාවට අනු විෂයයක් ලෙස ඇතුළත් කර ඇති නමුත් අප රටේ එවැන්නක් පිළිබඳව සංකල්පයක් හෝ නොමැත. කෙසේ වෙතත් පුනර්ජනනීය බලශක්ති පිළිබඳව ජාතික මට්ටමේ කථිකාවක් ඇති කිරීම කළ යුතුය

එස්.එම්.ජයසූරිය
