තෙල්දෙණිය නගරයට ආසන්නයේ පිහිටා ඇති ඓතිහාසික බඹරගල රජමහා විහාරය නැරඹීමට යාම ඉතා පහසුය. මහනුවර නගරයේ සිට දිගන නගරයට පැමිණ මහබේරිය තැන්න පාරේ කිලෝමීටර් 5ක් පමණ යන විට ඉතා ඉක්මනින් මෙම ඓතිහාසික ස්ථානයට ළඟා විය හැකිය. මාර්ගය ඉතා ක්‍රමවත්ව සකසා ඇති බැවින් ඕනෑම වාහනයක් භාවිතා කර ඉතා පහසුවෙන් පන්සල ආරම්භ වන පියගැට පෙළ ආසන්නයටම ගමන් කිරීමට පුළුවන.
ඉතා මනරම් පරිසරයක පිහිටා ඇති බඹරගල රජමහා විහාරය ගල් පර්වතයක් ඉහළ පිහිටා ඇති බැවින් පියගැටි පේලි ගණනාවක් තරණය කිරීමට සිදුවේ. සිත් සුවපත් කරන සෞම්‍ය පරිසරයක් මෙහි දී දක්නට ලැබේ. පියගැට පේළි දෙපස ආවාසගෙය, ධර්ම ශාලාව ආදිය පිහිටා ඇත. ඒවා පසුකරමින් ඉහළට නගින විට ලෙන් විහාරයක් හමුවේ. ඇතමුන්ගේ මතය වී ඇත්තේ මෙම විහාරය වළගම්බා රාජ්‍ය සමයේදී ඉදි වූ බවයි. එහි මහනුවර යුගයට අයත් සිතුවම් අලංකාර ලෙස දක්නට තිබේ.

සිතුවම් කලාව පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මෙම ලෙන් විහාරය කදිම තෝතැන්නකි. එහි බුද්ධ ප්‍රතිමා මෙන්ම මනරම් චෛත්‍යයක් ද ඉදිකර තිබේ. එම ස්ථානය අවට පරිසරය හොඳින් දර්ශනය වන අතර එහි යන බොහෝ පිරිස් එම ස්ථානයේ මද වේලාවක් ගත කිරීමට උනන්දු වෙති.
මෙම භූමියේ සිට ඉහළට පඩිපෙල් සහිත මාගයක් දක්නට ලැබේ. මෙම විහාර භූමිය තුළ ලෙන් 79ක් පමණ ඇත. මෙහි ඇති පියගැට පේළි සහිත මාර්ගයේ ඉහළට ගමන් කරන විට මද දුරකින් පියගැටපෙරි අවසාන වන අතර ඉතා කටුක මාර්ගයක් ඔස්සේ ඉන්ද්‍රසාල ගුහාවට, සිතුවම් ගුහාවට හා පෙට්ටිගලට පිවිසිය හැකියි. මෙම මාර්ගයේ කටුක දුෂ්කර මාර්ගයකි. ගල්වලින් පනිමින් අතු වලින් රිංගමින් ගමන් කිරීමට මෙහි සංචාරය කරන පුද්ගලයන්ට සිදුවේ.

මුලින්ම හමුවන්නේ ඉන්ද්‍රසාර ගුහාවයි. එහි කටාරම් කොටා ඇත. එහේ විශාල පිරිසකට රැස්විය හැකිය. එමෙන්ම මෙහි මහ රහතන් වහන්සේලා වැඩ සිටි බවද කියැවේ. එහි කටාරමට පහළින් කොටන ලද බ්රාහ්මී අක්ෂර සහිත සෙල් ලිපියක් දක්නට ලැබෙයි. එම ගුහාව පසුකර ඉහළට යාමට මාර්ගය හොඳින් පවතී. බොහෝ සංචාරකයින් පිරිසක් ගමන් ගන්නා මෙම මාර්ගය වන ලැහැබක පිහිටා තිබුණද අතරමං නොවීමට මාර්ග සලකුණු හොඳින් අධ්‍යයනය කරමින් ගමන් කළ යුතුය. මෙහි පෙට්ටි කර දක්වා ගමන් ගන්නේ නම් අනිවාර්යෙන් අවශ්‍ය ප්‍රමාණයට ජලය හා කෙටි කෑම රැගෙන යා යුතුවේ. මෙහි ජලය ලබා ගැනීමට ස්වභාවික ජල ධාරා නොමැත.

ඉන්ද්‍රසාර ගුහාව පසුකර ඉහළට ගමන් කරන විට සිතුවම් ගුහාව හමුවේ. මෙම සිතුවම් ගුහාවද ඉතා මනරම් ස්ථානයකි. එම මාර්ගයේ තරමක් දුෂ්කරය. නමුත් වන ලැහැබ මැදින් වැටී ඇති බැවින් අව් රශ්මියෙන් තොර වීම නිසා ගල් මත හිඳ ගනිමින් ගිමන් හරිමින් ගමන් කිරීමට පුළුවන. සිතුවම් ගුහාව ද තරමක් විශාල ගල්ලෙනකි. එය පසුකර ඉහළට ගමන් කිරීමට ඇත්තේ පෙට්ටිගලට පිවිසීම සඳහාය. මේ පැයක හෝ පැය එකහමාරක් පමණ ගතවන ගමනකි.
පරිසරයේ ස්වභාවය විඳිමින් ඉතා ප්‍රවේශමෙන් මෙම මාර්ගයේ ගමන් කළ යුතුය. හඳුනගින්නන් අතර ප්‍රචලිත ස්ථානයක් ලෙස පෙට්ටිගල හැඳින්විය හැකිය. මෙම කන්ද මීටර් 760 ක් පමණ උස වන අතර කන්ද තරණය කිරීම අපහසු නොවේ. මෙම පෙට්ටිගල පිළිබඳ විවිධ ජනප්‍රවාද පවතී.

රාම රාවණා ගැටුම දක්වාම මෙහි ඉතිහාසය දිවයයි. මෙම කන්ද පසෙක වූ ගල් දොරටුවක් රාවණා රජු භාවිතා කළ බව පුරාවෘත්තයේ පවතී. එම යුද්ධයේදී රාම විසින් එවන ලද විශ ඊතලයක් වැදීම හේතුවෙන් රාවණා රජු සිහිමූර්ජා වූ බවත් එතුමාගේ දේහය මෙහි වූ ගල්ගුහාවක තවමත් ඇති බවටත් මතයක් පවතී.
මෙහි කඳු මුදුනට ගිය විට නකල්ස් කඳු වැටිය තෙල්දෙණිය හා වික්ටෝරියා ජලාශය ඉතා හොඳින් දර්ශනය වේ. ලංකාවේ විවිධ භූදර්ශන සහ දිගු අතීත එක් එක් පියවර හා පෙනුම වෙනස්ම කෝණයකින් මෙහිදී දැකගත හැකිය. ඔබත් පෙට්ටිගල තරණයට යොමු වන්නේ නම් එහි ස්වභාවික අසිරියට හානි නොවන පරිදි එය රැකිය යුතුය. මෙවැනි වටිනා ඓතිහාසික ස්ථාන පිළිබඳ දැනුම අපි අපේ මතු පරපුරට දායාද කරමු.
සටහන –

අනූජා දසවර්ධන
