(මානසික ජීවිතය උදෙසාමයි)
ඔබේ ජීවිතයේ අවශ්‍යතාවන් මොනවාද?
ආදරය, ගෞරවය, ආරකෂාව හා රැකවරණය, ආත්ම සාත්ෂාත්කරණය මෙන්ම මූලික අවශ්‍යතා ද මිනිස් ජීවිතයට අවශ්‍ය වේ. තමන් තුල සමාජය ගැන හෝ තමන් ජීවත් වන අවට පරිසරය ගැන, ලෝකය ගැන ගොඩනගා ගත් දැනුම ඊට නිරන්තරයෙන් උපකාරී වේ.මේ දැනුමේ ප්‍රමාණය ද ඔබගේ මානසික නිදහස, චින්තනය හෝ සිතුවිලි, හැසිරීම් රටාව ගොඩනැගීමට බලපායි.
මේ සදහා 1970 ඒබ්‍රහම් මාස්ලෝ ඉදිරිපත් කළ අවශ්‍යතා ධුරාවලිය වැදගත් න්‍යායකි.
ආත්ම සාක්ෂාත්කරණය
සමාජ ගෞරවය
ආදරය හා අයිතිවාසිකම්
ආරක්ෂාව හා රැකවරණය
කායික අවශ්‍යතා
ඒ අනුව ඔහු දක්වන්නේ, පහල සිට ඉහලට මිනිසා විසින් අවශ්‍යතා සපුරා ගන්නා බවත්, ඇතැම් සපුරා නොගත් අවධි වල ඔවුන් සිරවෙන බවත්, එය සාක්ෂාත් වන තෙක් අනෙක් අවධීන් කෙරෙහි අවධානය යොමු නොකරන බවත්ය.
නිදසුන් වශයෙන් ගෙන කතා කරමු.
නිදසුන 1 – මුඩුක්කු පරිසරයක ඉපදී, එහිම හැදී වැඩී ඒ පරිසරය තුල දකින අහන දැනුම හෝ හැසිරීම් රටාවම අනුගමනය කරමින් ගොඩනැගෙන දරුවකු කෙදිනකවත් ඒ පරිසරයෙන් එහාට ලෝකයක් ගැන නොසිතයි. බොහොමයක් මුඩුක්කු පරිසර ගතහොත් ඒවායේ ආර්ථික අපහසුතා ප්‍රධාන වශයෙන් දැකගත හැකි වන අතර ඒවාට පිළියම් සොයමින් තම එදිනෙදා ජීවිතයේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කිරීම දක්නට ලැබේ. එහිදී ඔවුන් ඒ වගකීම් වලින් මිදී තවත් දේ කෙරෙහි අවධානයක් යොමු නොකරයි. එනම් කායික අවශ්‍යතා වන පළමු අවධියේ ඔවුන් සිරවී ඇත. එහිදී ඔවුන් ආරක්ෂාව, සමාජ ගෞරවය, අයිතිවාසිකම්, අත්ම සාක්ෂාත්කරණය වැනි අවශ්‍යතා සදහා ප්රමුඛත්වයක් ලබා නොදේ. ඒ තමයි මෙවැනි පරිසරයක් තුල දරුවකු නිරන්තරයෙන් අත්දකින සමාජය හා අවට පරිසරය. එවැනි මානසික වපසරියක් සහිත දරුවා තම තරුණ වියේ, මැදි වියේ මෙන්ම මහළු වියේ පවා තම මානසික නිදහස, චින්තනය හෝ සිතුවිලි, හැසිරීම් රටාව ගොඩනගා ගනු ලබන්නෙ එසේ ලබා ගත් අත්දැකීමෙනි.
නිදසුන 2 – උගත් සමාජයක උගත් දෙමව්පියන් සිටින දරුවන් ජීවිතයේ විවිධ කෝණ වලට නිරාවරණය වෙමින් විවිධ සමාජ පරිසර සමග ගැටෙමින් ආර්ථික ස්ථාවරයක් හා සමාජ ගෞරවය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ආකාරය නිරන්තරයෙන් අත් දකී. එසේම ඔවුන් තමන්ගේ මෙන්ම අනෙකාගේ අයිතිවාසිකම් උදෙසා නැගී සිටීමට තරම් දැනුම මෙන්ම සමාජ අත්දැකීම් ඇත්තෝ වෙති. එවැනි ඉහළ අවධීන් වෙත යොමු වන ඔවුන් පහළ අවධි සම්පූර්ණ කරගැනීමට තරම් වෙති. එවිට ඒ දරුවන් ද එවැනි ජීවන රටාවක් ගොඩනගා ගැනීමට උත්සහ කරයි. එසේම පහළ අවධින් තෘප්ත කරගත් මොවුන් ඉහලම අවධිය වන ආත්ම සාක්ෂාත්කරණයට ලගා විය හැකි ප්‍රතිශතය වැඩිය.
ඉහත නිදසුන් දෙකෙහිම සිටින පිරිස ඒ ඒ සමාජ වටපිටාව තුළ ගොඩනගා ගත් ඒ ඒ දැනුම් සම්භාරය මත ඔවුන්ගේ සිතුවිලි ද හැසිරීම් රටාව ද ගෙන යන බැවින් විවිධ අවස්ථා වල පරස්පර විරෝධී අදහස් ඉදිරිපත් වීම සාමාන්‍ය දෙයක් වේ.
නිදසුන – අයෙකු “අද රෑට හෝටලයකින් කමු“ යැයි පැවසූ විට තවකෙකු “ගෙදර තියෙන දෙයක් බලලා කමු“ යැයි කීම.
මේ සියල්ල සලකා බලන කළ විවිධ පුද්ගලයන් සතු විවිධ අවශ්‍යතා ඔවුන් ජීවත් වන පවුල් පරිසරය හෝ සමාජය මත වෙනස් වන අතර එම වෙනස අවශ්‍යතා ධූරාවලියේ ඔවුන් සිටින අවධියද නිරූපණය කරයි.
එමෙන්ම මෙම තත්වයට වඩා වෙනස් තත්වයක් ද අපට දැක ගත හැක.
- මුඩුක්කු පරිසරයක සිටින දරුවකු ඒ පරිසරයෙන් පිට යහළුවන් සමග ගැවසෙමින් ඒ ආශ්‍රිතව කල් ගත කරමින් සිටින අයෙකු නම් ඔහු කල් ගත වන විට තම පරිසරයේ සහ ඒ පරිසරයේ වෙනස අත්දකී. එවිට යහළුවාගේ සමාජ පරිසරයට හෝ ඇසුරට තමාව, තමන්ගේ චින්තනය, හැසිරීම මෙන්ම භාහිර පෙනුමද වෙනස් කර ගැනීමට අභිප්‍රේරණය වීම දැකගත හැක.
- උගත් පරිසරයක සිටි දරුවකු අයහපත් සමාජ ඇසුරකට යොමු වීමත් දිගින් දිගටම එම සමාජ ඇසුරෙහි කල් ගෙවීමත් සමග ඔවුන් නොදැනුවත්වම එම සමාජයෙහි කොටස් කරුවන් වීම සාමාන්‍ය දෙයකි.
කෙසේ නමුත් තමන්ගේ ජීවිතයේ වැදගත්ම අවශ්‍යතාව විය යුත්තේ, හෘද සාක්ෂියට අනුව පුද්ගලයා කුමන සමාජයක කුමන පරිසරයක, කුමන තරාතිරමක පුද්ගලයන් ඇසුරු කළ ද තමාව අයහපත් මාර්ගයක රැගෙන නොයෑමයි.
