රෝන්දකාරී 🧡- කොටස 04

author
0 minutes, 32 seconds Read

තරුණ විප්ලවයට පසුකාලයක අමුතු නමක් වැටුනි. ‘අසූඅට අසූනවය කලබල’ යන්න මා අමුතු නමක් ලෙස හැඳින්වූයේ මට දැනෙනා හැඟීම් මතිනි. සමානුපාතීත්වයක් ඉල්ලූ විප්ලවයට එකම හිතක් තුළ රහසිගත ආඩම්බරයක් හා අතිශය රහසිගත හැඟීමෙන් මදක් මිදුනු බියමුසු හැඟීමක් ද දැනවීමට සමත් විය.

ගුරුවරියට වහන් වෙමින් පාසල තුළ ‘මම මා ම වෙමින්’ ගත කරන්නට ලැබුනු කාලය අල්ප වීම මට ඒ ‘කලබලය’ වහකඳුරු සේ විය. ඒ වනවිට ඇතුලාන්තයෙන් ද සංසුන් දැරියක වෙමින් සිටි මට එලෙස හිරවීමට සිදු වීම, ඇඳ වියලේ කොහු ලණු කැරැල්ලකින් මගේ අත්පා බැඳ දමා ඇති සෙයින් මට දැනුනි. එනම් වේදනා කිහිපයකි. සරලව කියතොත් කොහුලණු කැරැල්ලට අත්පා රිදේ. හිරවීම නිසාවෙන් හිත රිදේ. බැඳ දමා නැතත් රාමුවක් පෙන්වා ඒ තුලට සීමා කිරීම හා කරවීම ගතත් සිතත් එකවර වේදනා දෙවන්නේ එහෙයිනි. පිටතින් සංසුන් ව පෙනෙනා දරුවෙකු වුව බොහෝවිට මනස ඇතුලාන්තයෙන් සංසුන් නොවී ඉන්නටත් ඉඩ තිබේ. ඒ නොසංසුන් බව හඳුනා ගන්නට නම් පුංචි ඇස් දෙස හොඳින් බැලිය යුතු වේ. හුස්ම ගන්නා රටාව හොඳින් නිරීක්ෂණය කල යුතුවේ. ආහාර ගන්නා වේගය වතුර ජෝග්ගුවක් බීගෙන බීගෙන යන අයුරු බලා සිටිය යුතුවේ. නින්දෙන් ඇහැරෙන වාර ගණන මෙන්ම නිදි නොලබා ගතවන පැය ගණනත් දැකිය යුතුවේ. කලබගෑනි නොකරන දරුවෙකුගේ වූවද චර්‍යා රටා පිරික්සිම මගින් මනසේ තත්ව පහදා ගත හැකි වේ. මගේ නිවස තුළ මාව නිරීක්ෂණයට කිසිවෙක් නොවුනු බව පුන පුනා කිවයුතු නැත. පාසල ඇරී ගෙදර එන මගේ හිත මස් කඩයට දක්කාගෙන යන හරෙකෙකු මෙන් විය. අද ගෙදර ආපසු නැවත කවදාක පාසලට යාමට හැකිවේ දැයි නොදත් දැරියක, තමාගේ සතුටු කලාපය අහිමි වීමෙන් හිත බිඳී යාම පාලනය කර ගත නොහැක. අඳුරු පුළුටු ගද වහනය වන ඉර උදාවන් වල පවා මා,

“මට ස්කෝලේ යන්න ඕනේ.. ” යි කෑමොර දුන්නේ එහෙයිනි. පිලේ වැටී.. නොනැඟිටම සිටියේ එහෙයිනි. වතුර උගුරක් හෝ නොබී ගල් තලාව මත වැතිර උන්නේ එහෙයිනි.

“මේකිගේ මුස්පේන්තු කොම මදිවට තියෙන්නාවූ මුරණ්ඩු කොමත් බලාපල්ලකෝ. උපන්දා ඉඳලා වගතුවක් නෑ. මදි පාඩුවට දැන් මෙතන පලිගහනවා. ප ල ගිහින් පළි ග හ පිය මගේ දෑහැට නොපෙනෙන්න. මක බෑවිලාම ප ල. “

මගේ උරහිසකින් ඇද , ඒ වීරියෙන්ම තල්ලු කර දමා ගෙදර ආච්චි කෑගසයි.

“පන්සල් ඇත්තගේ වෙලා බැලිල්ල බොරු වෙන්නෑ. ඕන් බලාපියකෝ මං කියන්නේ බොරුද කියල . මේකිගේ ක රු මක්කාර කොමට අනේ මගේ කුළුදුල් එකාගේ පණ ඩිංග හිදෙන්නේ නැද්ද කියල . වේලා සාස්සර වරදින්නෑ.. මහ එකාට අපලය.. උන්හිටි තැනින් යන්න වෙනවයැ කිව්වේ නිකමටයැ..”

සත් හැවිරිදි දැරියක වූ මා හට එදා ඒ වචන එකකවත් අරුතක් වැටහුනේ නැත. ඒවා ගෙදර ආච්චිගේ සාමාන්‍ය දොස් පැවරීම් ගොඩටම වැටුනි.

තරුණයින්ගේ විප්ලවයත් උතුරු දකුණු ජාතිවාදී සංග්‍රාමයත් හේතුවෙන් තාත්තාගේ නිවසට ආගමනයේ අඩුවීම පුරුදු ලෙස මගේ මතටම වුනි. උදේ හවස කියා වෙනසක් නැතිවම දොස් අසන්නට සිදු වූයේ එහෙයිනි. නිවස එපා වන හැමවිටම පාසල් මායිම පැන ගන්නට නැති සොවින් මා දුක් වුනි.

තල්කොළවල ලියූ නිවැසියන්ගේ උපන් වේලාවන්ට සෑදු වේලපත්කඩ පන් මල්ලකට දමාගෙන කිහිලි ගන්වාගෙන පහළ නියරෙන් පැන පන්සල් වත්තට යන ගෙදර ආච්චි මේ කාලයේ ඇහැට නිතර හුරු දසුනක් විය. ඊටත් පසු හෑම කෙම්මුර දවසකම මහවත්තේ මායිමේ ඇති සුදු පැහැ කඳක් ඇති මහා රූස්ස නුග ගහ වටා රතු රෙදි ඔතන ආච්චි ගහ පාමුල පහන් රාශියක් දල්වනු ලැබේ. මොන මොනවාදෝ හිමින් සරින් මුමුණනු දක්නට වේ. හුළඟින් වත් පහන් නිවෙන්නට නොදී දැල්වී හමාර වනතුරුම බලා හිඳී. සෙනසුරාදා උදේ මගේ ඇහැ ඇරෙන්නේ ආච්චිගේ කපුටන්ට කෑගසා අඬගසන නාදයෙනි. කපුටන් බහුල ප්‍රදේශයක් නොවන නිසාවෙන් ම බිම තෙත ඉර එළියට හිඳෙන තුරුම ආච්චි කෑමොර දෙයි. අවසානයේ ඇගේ කටහඬ, අමු ලොවි කෑ පසු මගේ කටහඬ වගේම වෙයි. මේ සියල්ල ගෙදර ආච්චිගේ දාරක ප්‍රේමය හේතුවෙන් බව මට වැටහීමක් නොතිබුනි.

ගිතෙල් වල බහාලූ පහන්තිර මැදි කරමින් ගුලි කරන කිරිබත් උස් තැනක තබා කෑසනු මදිවට ඒවාට බල්ලන්ට පූසන්ගේට කට ගහන්නට නොදී පරිස්සම් කර ගැනීම ද ගෙදර ආච්චි කල යුතු විය.

“ඇයි ඉතින් ඔය පහන්තිරේ තෙල් ගාන්නේ?”

මදක් එපිටින් සිට බලා ඉන්නා මගෙන් නොදැනුවත්වම .. දැනුවත් වීම සඳහා පැනයක් පිට වේ.

” ප ල යන්න මෙතනින්. උ ඹට ඒ පැහිච්චාවෙන් වැඩක් නෑ. “

පළාතක ඉන්න නොදී මා එළවා ගැනීම ඇගේ සිරිතයි.

“ඔය කාක්කයි කියන සතා අපේ රටේ මහතැන් වල එව්වෝ වගේම තමයි හිච්චි කෙල්ලේ. උන්ට කොච්චරක් කෑවත් මදි. කොච්චරක් ගිල්ලත් මදි. විශේෂයෙන්ම කොළඹ කාක්කන්ට. එව්වොන්ට ගිතෙල් තිර කවෝලා මදි . කාක්කට වාගේ උන්ගේ ගිනි නිවෙන්නෑ ගිතෙල් තිරේ කෑවය කියල . ඔව්වා වෙනස් කරන්න තමයි ඔය අපේ කොල්ලෝ කෑකොස්සන් ගහන්නේ. “

මේවා එදා වැටහුනු කරුණු නොවීය. මේවා වැටහෙන්නට මට තවත් අවුරුදු දහයක් පමණ ගතවන තුරු සිටීමට සිදු විය.
එහෙත් සේනාධි අයියාගේ මේ කතා , මා ඉස්කෝලේ මිදුලේ සෙල්ලම් කරනු සේම මිහිරක් විය. ජේෂ්ඨයත් සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශයක් ලබා සිටි ඔහුගේ විශ්වවිද්‍යාලයට ඇතුලත් වීම පමා වූයේ හෙමි හෙමින් මතුව ආ තරුණ විප්ලවය හේතුවෙනි. ඒ සේනාධි අයියාගේ දැළි රැවුල දල රැවුලක් ව ආ කාලයයි. ඔහු මට එදිනෙදා හමුවන්නත් අතරින් බොහෝ ඉක්මනින් පෙනුම වෙනස් වූ එකම පුද්ගලයායි. මාතර ප්‍රදර්ශනය කරන චිත්‍රපටියක් ගැන තොරතුරු කියමින් යන වාහනයක බඳේ අලවා ඇති පාට පාට කොළයක ඉන්නා කොණ්ඩය ලස්සන නලුවෙකු ව සේනාධි අයියා දුටු විට මට මතක් වෙයි. කොයි වෙලාවෙත් කලබලකාරීව සිටි ඔහු වැඩිකල් නොගොස් බොහෝ සේ කල්පනාකාරී විය. ගල්තලාවේ ඉන්නා මා වෙතට බඩ ගා යන සතෙකු එන බව දන්වා බිය කෙරූ දවස් නිමාව “හිච්චි කෙල්ලේ ගෙදර පලයන්” යැයි ඔහු වෙතින් අණ ලැබුනි. පැනයක් ආ විගස මිදුලේ ඔහු සිටීදැයි මා ගල්තලාවෙන් ඉස්සී ඔහුව සෙවූ නමුදු ඔහුව දැක ගත නොහැකි විය. ඔහු කොහිදැයි චූටි සීයාගෙන් විමසූවද නිසි පිළිතුරක් ලබා ගත නොහැකි විය.

එළඹි දවස් අපේ ගෙදර ආච්චිට මෙන්ම ගම් තුලාවේ හැම නිවසකටම විස්සෝපයක් ගෙන දී තිබුනි. ඒ ඒ නිවෙස් වලත් ආච්චිලා හා නැන්දලා අපේ ගෙදර ආච්චි මෙන්ම ඇඳිරි වැටෙන්නට මත්තෙන් දෙවියන් අයදිනු දැකීමට ලැබුනි. නිවසේ නැති තමන්ගේ එවුන්ව රැක දෙන්නයි ඒ කණ්නලව් වලින් කියවුනි.

මේ තරුණ විප්ලවය මා පසුකාලීනව අර්ථ දක්වා ගත්තේ විප්ලවයකට වඩා පිබිදීමක් ලෙසිනි.

එක්දාස් නමසීය හතලිස් අටේ දී අධිරාජ්‍යවාදී යටත් විජිතයෙන් මිදි ශ්‍රී ලංකාව නිදහස් දේශයක් වූ බව වැඩිහිටි පරම්පරාව අතින් කියවේ. ඉන්පසුව ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් බවටත් පත්වී තිබේ. ඊටත් පසු හැත්තෑහතේ දී විවෘත වෙළඳ ආර්ථිකයක් බිහි වී ඇත. එහෙත් මට වයස අවුරුදු දහඅටක් සපිරෙද්දි අසූඅට අසූනවයේ තරුණ විප්ලවය මා දුටුවේ කම්මැලිකමින් පෙර ලැබූ නිදහස හා ව්‍යවස්ථා අනුව නින්ද්‍රාවක සිටි මිනිසුන් අවදිකරවීමක් ලෙසිනි. හතලිස් අටේදී තටු අකුලා ගත් මිනිසුන් හැත්තෑහතේ විවෘත ආර්ථිකයක් සමඟින් නින්දකට වැටුනු බවකි. විප්ලව කාලය වනවිට දේශීය ආර්ථිකයේ කොඳු පේළී බිඳී තිබුනි. ඇල්පෙනෙත්තේ සිට මෝටර් රථ පවා නිශ්පාදනය කෙරෙමින් තිබූ රටක් ඒ සියල්ලත් තවත් අරුමෝසම් දේ වෙනුවෙනුත් මුහුද දෙසට හැරී බලා සිටින්නට වුනි. තරුණ ශ්‍රමයත් අදහස් හා බලය බලත්තැන්ගේ දෙපාවලට පෑගෙමින් තිබුනි. කාගේවත් කකුලකට යට වී ඉන්නට අකමැති වූ තරුණ පරම්පරාවේ කෂේරුව සවි ඇති පිරිසක් පළමු වෙඩිමුරය දැල්වීය.

ගැමි සමාජයේ ද තරුණ පිරිස් මේ වනවිට තනි තනිව හිස ඔසවමින් තිබුනි. බොහෝ තරුණයන් අවුරුදු දහඅට වනවිට හමුදා සේවයට එක් වී තිබේ. තරුණියන්ට මාර්ග දෙකක් විවරව තිබී ඇත. පිරිසක් මැදපෙරදිග යද්දී තවත් පිරිසක් නිදහස් වෙළෙඳ කලාප වෙත එකතු වී තිබේ. ගමේ කුල මානය මදක් හෙල්ලී ගියේ මෙවන් තරුණ කොටස් වෙතිනි. කුල ඇත්තන් තම පරම්පරා මහ ගෙවල් ගැන උජාරුවෙන් ඔද වැටෙද්දි අලුතින් තැනෙන ගෙවල් වල දෙපියස උළු සෙවිලි කොට බිත්ති වල සුදු පිරියම් කොට තිබුනි. විදුලි බලය නොමැති නමුත් කාර් බැටරියකින් ක්‍රියා කෙරෙන කලු සුදු රූපවාහිනී යන්ත්‍ර ගෙනැවිත් තිබුනි. කොළඹින් මිලයට ගත් චීන කමිස සරොම් ඇඳ හැන්දෑවට කඩපිල් වල සැරිසරනු නිතර දක්නට ලැබුනි. ඔවුන්ගේ ගෙල වටා රන්දම් වැල් දිලිසුනි. අතමිට මුදල් තිබුනි. අලුතින් වෙළෙඳ පොළට ආ ඕනෑ දෙයක් පළමුව පරිභෝජනය කලේ ඔවුන් වේ.

මගේ මතකයේ වන සිදුවීම් ගොන්නෙන් එකී කරුණු මතක් කරවන සිදු වීමක් ද වේ.

පාරවල් තුනක් එකට එකතු වන තැනක තරමක කඩයක් පිහිටා තිබිනි. අයිතිකාර තැනැත්තාගේ වාසස්ථානය වූයේ ද එහිම පිටුපස කොටසකි. අපේ නිවසේ වන කිසියම් හෝ අඩුපාඩුවක් ගෙන ඒම සඳහා පිටත් කර හරින්නේ මා ය. මා දුව යන්නේ ඒ කඩයටයි. හැන්දෑවරු වල එතැන පිරී යන වැඩිමහල් කොල්ලන් හරි හැටි දැක ගැනීමට නම් රට සිගැරැට් දුම් වලලු පහවන තුරු බලා සිටිය යුතු වේ. මගේ බාල බාප්පාගේ හෝ සේනාධි අයියාගේ මිතුරන් ඒ අතර ඉඳින්නට ඇත. ඔවුන් මිතුරන් බව මා හිතා ගත්තේ එකම වයසක වන පෙනුමෙනි. ඔවුන් මගෙන් විමසන්නේ ත් බාල බාප්පා ගම පැමිණියේද නැතහොත් සේනාධි අයියා ගෙදර ඉන්නවාද වාගේ දේවල් වේ. එයින් එක් වැඩිමහල් අයියෙක් මා කඩයේ වේ නම් මට විශේෂයක් දක්වයි.

” අයින් වෙයල්ලා මේ හිච්චි කෙල්ලට බඩු ටික ගන්න”

යි කෑ ගසා අනෙකුන්ගෙන් මට ඉඩ හදා දේ. ඉන්පසු ඔහුම මැදිහත් වී මට අවැසි කලමනා ලබා දේ. ඒ අතර ඔහු ප්‍රශ්න කීපයක් ද අසයි.

” කෝ තාත්තා ගම ආවේ නෑ?”

“නෑ.. “

“අම්මා ගෙදරෙයි?”

” ඕ.. “

“බාප්පලා නැන්දලා ආවයි?”

“අවුරුද්දට ආවා”

“නංගිලාගේ ලොකු අක්කා ගෙදරෙයි?”

“ඕ..”

“මං මේවා ඇහුවා කියල ගෙදරට කියනවයි?”

“හා.. “

“නෑ නෑ කියන්න එපා. මං අයිස් පැකට් එකක් අරන් දෙන්නම්”

“හා.. “

“එහෙනම් අම්මට හොරෙන් මේ චොක්ලට් පෙත්ත ලොකු අක්කට දෙනවයි. “

මා ඔහු දෙස හරිහැටි බලන්නේ ඊට පසුවයි. මට අයිස් පැකට් එකක් දී රවටා අක්කාට චොක්ලට් දීම මා හට අනුමත කල නොහැක.

“මං චොක්ලට් එක කාලා අක්කට අයිස් එක දෙන්නම් “

ඒ කොල්ලා විලම්භීතව යන්නට ඇත.

“ආහ්.. එහෙනම් ආ නංගිටත් චොක්ලට් “

චොක්ලට් පෙත්තත් අයිස් පැකට් එකක් දෑතින් ගන්නා මා හට බොහෝවිට ගෙදරට ගෙන එන්නැයි පැවසූ දෑ අමතක වේ.

කුලය ඉහ මුදුනේ තබා උන්ගේ ඉහ මතට කුල හීන යැයි නිගරු ලැබූවන්ගේ ආගමනය සිදු වන්නට ඇත්තේ එලෙසිනි. පරම්පරා නම්බුව නම් කටුව ඇතුලේ සිටි කෙල්ලකු ගැන සිගැරැට්ටුවක් ඇඟිලි අතරේ සිර කර ගෙන උන් කොල්ලෙකුගේ විමසීම එහි මුදුන් තැන විය හැකිය. එලෙස ගිණි පිළිඟු හා අලු මතින් නැඟී සිටි තරුණ පරපුර තමාට එදිරි වන න්‍යායන්ට විරුද්ධ ව පෙනී සිටීමේ වරදක් මා ඒ ගැන දිගින් දිගටම සිතනා කාලයේදී නොදැනුනි.

අසූඅට අවසන අසූනවය වෙද්දී මගේ පාසල් ගමන මුළුමනින්ම ඇනහිට තිබුනි. මා පමණක් නොව මාතර නගරයේ පාසල් ගිය අනෙකුන් තිදෙනා ද නිවසට කොටු විය. අපේ පාසලේ බිත්ති පුරා කලු තෙල් වලින් අකුරු ලියා තිබුනි. ඒවා කියවීමට තරම් අකුරු දැනුමක් මට එකල නොවීය. එහෙත් ඒ හැම දැන්වීමක්ම ‘වාරණ’ විය. නිවෙස් වල ලාම්පු දැල්වීම තහනම් විය. රැයෙහි උස් හඬකින් කතා බහක් වත් නොවුනි. රහස් කතා හා මිමිණිලි පමණක් කෙරුණි. පිටතින් වන පා හඬක් , ගොනු කුර වැදෙන හඬක් ගැන පවා සෝදිසියෙන් සිටින්නට විය. දැල්වෙමින් තියෙන බුදුන්ට දැල්වූ පහනත් රැයේ අඳුරත් සමඟින් නිවුනි. රැය, හවස හයෙන් පසු එළඹෙන තත්පරයේම උදා වුනි. රාත්‍රී ආහාරයක් ගැන වගක් කිසිවෙකුට නොවුනි. දොර අඟුලු ලා තවත් බරැති දේවල් මඟින් අවහිර කෙරුණි. අම්මා ලඟත් ආච්චි ලඟත් කෑලි හයේ විදුලි පන්දමත් යකඩයක් ලී පොල්ලක් වැනි යමක් නොවැරදුනි.

“ඒ එන්නේ හොරු වගේ ජාතියක්ද?”

මා පොදුවේ විමසද්දි කාගේ හෝ අත් පහරක් මගේ පිට හරහා වැදුනි.

මෙහිදී මට වඩාත් දුක දැනවූයේ පිටවන කුඩා හඬකදී පවා මල්ලීගේ මුව අම්මාගේ හෝ ගෙදර ආච්චිගේ අතින් වැහී යාමයි. එවිට මල්ලි හුස්ම හිර වී ඇතුවාක් මෙන් දඟලයි. අම්මා නැතිනම් ආච්චි ඔහුව අසීරුවෙන් හඬක් පිටවන්නට නොදී මෙල්ල කර ගනී.

රැය මැද්දේ එක වරම ඇහෙන ජීප් රථ වල හඬට මා තැගැස්සේ. ඒවායින් බැස තාත්තා ඒ නම් මේ දවස් වල එක ගොඩේ නිදාගෙන ඉන්නා මට හැංඟෙන්නට තැනක් නැත. මා බියපත් වන්නේ එහෙයිනි. එහෙත් තාත්තා දිගු කාලයක් පුරා නිවෙසට පැමිණියේ නැත.

රැයෙහි තවත් වේලාවකට පිරිසක් කැලෑ බිඳගෙන දුවනු ඇසේ. මහා වැස්සක් සේ විනාඩි ගණනක් ඇසෙන ඒ හඬ එක්වරම වැස්ස නිමා වූවා සේ සියල්ල නිහඬ වේ.

මේ හැම වේලාවකටම මා පොරවනයේ ගුලි වේ.

තාත්තා ගෙදර නොපැමිණීම දිගු වද්දී අම්මා හා ගෙදර ආච්චි වෙළේ ගෙදර පිලේ කණුවක ගැට ගසා සිටි පිස්සු නැන්දා මෙන් දඟලන්නට විය. එකල්හී පණිවිඩ හුවමාරු ක්‍රමයක් ලෙස වඩාත් පහසු වූයේ ලිපි යැවීමයි. අම්මා දිගින් දිගටම ලිපි ලියා තැපැල් කන්තෝරුව වෙත ආච්චි අත යැවුනි. එහෙත් ඒවාට පිළිතුරු ලැබුනේ නැත. විදුලි පණිවිඩ යැවුනි. ඒවාටද පිළිතුරු නොලැබුනි. විටෙක,

“ටෙලිෆෝන් කෝල් එකක් වත් දාන්නම් ” කියමින් අම්මාම තැපැල් කන්තෝරුවට යන්නට විය.

“මහත්තයා කන්තෝරුවේ නෑ කිව්වා”

ගිය ඉක්මනින් ආපසු ආ අම්මා පිළේ දෙපා දිග හරිමින් කියයි.

“මගේ එකා ලියුන් කරදහියක්වත් නොඑවා ඉන්නෑ. අර හැත්ත ගන්නවා ඇති මඟදිම”

ගෙදර ආච්චිගේ දෝශදර්ෂණයට විප්ලවකරුවන් හසු වූයේ ද තාත්තා නිසාවෙනි.

තාත්තාගේ ලිපි නොලැබුන ද නිවසේ දොර අස්සෙන් දින දෙකතුනකට වරක් නමක් ගමක් සඳහන් නැති පණිවිඩ ලැබුනි. ඒවා කියවූයේ අම්මාය. අප සියලු දෙනාවම කාමරයකට දමා දොර වසා ඇය ඒවායේ ඇති දේ ආච්චිට පමණක් දැනුම් දුනි. ඉන්පසු බොහෝ වේලා යනතුරු අම්මාත් ආච්චිත් අඬා වැටෙයි. නොකා නොබී බලා ගත් අත බලා සිටී.

දිනෙන් දින උදෑසනට දැනෙන පුළුටු ගද වැඩි විය. දැඩි විය. ඒ කුමක් දැයි සෝදිසි කිරීමට මා හොරෙන් වැට පැන දුවද්දි ඉඳහිටක සේනාධි අයියාට හසු වේ.

“ටයර් පිච්චිලා අයියේ. ඒක ගදයි. “

“ටයර් පුච්චුනාට වඩා ගදයි පණ පිටින් කොල්ලෝ පිච්චෙද්දි . ඒක ගදටත් වඩා රිදෙනවා. අපිට බැරි උනත් හිච්චි කෙල්ලේ උ ඹලගේ කාලේකට හරි මේවා වෙනස් කර ගන්න බලපන්. අපි ගම් වල එකා එකාට නෑ. ඒත් නගරෙට ගිහින් බලන්නෝනේ. නගරේ එවුන් එහෙම නැත්තන් සල්ලිකාරයෝ නැත්නම් මහ ලොකු හයිරං කාරයෝ උඹලගේ මිනිස්සුන්වයි අර රදා බෙරවා හකුරා ඔය ඔක්කෝමලයි දිහා බලන්නේ කුණු ගොඩවල් වගේ. උන් බයයි කැම්පස් එකෙන් එළියට එන එවුන්‍ට. උන් බයයි අලුතෙන් පෝසත් වෙන එවුන්ට. උන් බයයි උන්ගේ මතේන් පිට කතා කරන එවුන්ට. එතකොට උන් හරි වෙලා එරෙහි වෙන එවුන් විප්ලවකාරයෝ.. කඩාකප්පල්කාරයෝ. දැනටත් එපේ එවුවෝ සෑහෙන්න ගානක් මැරිලා. නෑ.. මැරිලා නෙමේ උන් ම ර ලා. මේ ගම් වලින්ම ගිය හ මු දාකාරයෝ අපිට තුවක්කු දික් කරනවා. උ ඹලෑ තාත්තත් කොහේහරි කාට හරි තුවක්කු දික් කරන් ඇති දැනුත්. හිච්චි එකියේ.. මේවා මතක තියා ගන්. අර ගද මතක තියා ගන්. මිනිහෙකුට මරණය නියතයි තමයි . හැබැයි ඒ මිනියට අවසන් කටයුතු වලට තෝරා ගැනීමක් තියෙන්න ඕනේ. භූමදනය වෙන්න ඉන්න එකා ආදාහනය කරලා හරි යන්නෑ බන්. අඩුම ආදාහනය වෙන්න කලින් හුස්ම ටික හරි ඉවර වෙන්න ඕනේ.. දැන් පලයන් ගෙදර . මේවායි ඇවිදින්න එපා. උ ඹට මේවා තේරෙන්නේ නෑ. මගේ ලේ කකියනවට මං මේ කියන්නේ. “

ඔහු කීවේ සැබෑවකි. මට ඒවා ගැන වැටහීමක් නොවුනි. මට ඕනැ වූයේ දැවී නිවී යන ටයර් ටික බලා ගැනීමට ය. එහෙත් එය මඟ හැරුනි.

තරුණ පිබිදීම එසේ වද්දී ගම්වල පරණ කෝන්තර පිරිමසා ගැනීම් ද සිදු වුනි. ගෙදර ආච්චිගෙන් මදිපුංචිකම් වුනු පිරිස් වත්තේ පොල් ගස් පවා හිස් කරන්නට විය. වගා බෝග විනාශ කර දැමුනි. උදෑසනට ගෙදර ආච්චි නිකටේ අත තබා ගනිමින් ද ඇමැට්ටෙන් ඉඳ ගනිමින් ද මුවින් වදනක් හෝ නොදොඩා විස්සෝප විය.

තාත්තාගෙන් තොරතුරක් නොලැබෙන විටත් ඇයගේ මාන්නයට පහර වදින විටත් ගෙදර ආච්චි වෙනදා මෙන් නොවී නිහඬ වුනි. බුලත් මැස්ස තලා දමා තිබූ දිනෙක මා ගෙදර ආච්චිට අතේ දුරින් ලංව ,

“මං ඉණි හිටෝන්නද?”

ඇසුවේ සෙමිනි. බියෙනි.

“ඔහේ තිබිච්චදෙන්”

ඇය පිළිතුරු බැන්දේ මටත් වඩා සෙමිනි. එහෙත් මා හැකි හැටියෙන් අලුත් ඉණි වලට වලවල් හාර ගල් තලා සවි කරන්නට වෙහෙසුනි. පසුව චූටි සීයා මායිම් පැන විත් හොඳ බුලත් වැල් තෝරා සිටෙව්වා මට මතකය.

ගම් ඇතුලට වන්නට කැලයේ කොල්ලන් රංචු සැඟවී ඉන්නා බවට කට කතා පැතිරුනි. හමුදා නිල ඇඳුම් ඇඳි පිරිස් කැලය පීරන්නට විය. එහෙත් ඔවුන් ආපසු හැරී ගියේ හිස් අතිනි.

“පඩියට වැඩ කරනෙවුන් උන්ගේ වෙලාව ඉවර උනාම බැහැලා යන්න යනවා. රට ගැන කැක්කුමෙන් ඉන්න එවුන් එහෙම වෙලාවක් කලාවක් නෑ ආත්තම්මේ.. උන් කොහොම හරි රැකෙනවා. අනිත් එකාවත් රකිනවා. “

එහෙම හමුදා සෝදිසි කිරීමකට ලක් වුනු දිනයක සේනාධි අයියා චූටි සීයාගේ බිරිඳ වූ හාමිනේ ආච්චිට කියනු මට ඇසුනි.

කැලය තුළ රාජ්‍ය විරෝධී පන්ති පහ පැවැත්වෙන බැවින් යම්කිසි හෝඩුවාවක් වේ නම් වහා දන්වන්නැයි නිතරම එන යන ආරක්ෂක නිලධාරීන් ගම් වැසියන්ට දැන්වීය. ගම්වැසියෝ ද හිස සලා පිළිගත් බවක් පෙන්වීය.

ගමේ තරුණ පිරිසේ අතුරුදහන් වීම දිනෙන් දින වැඩි විය. උගත් තරුණයින්ගේ නිවෙස් වල තිබූ පොත්පත් පවා ගිණිබත් වුනි. සමහර තැන් වල පුතා ඉදිරිපත් කරනතුරුයි පවසා පියා හෝ වෙනත් වැඩිහිටියෙක් ආරක්ෂක අංශ විසින් ගෙන යන ලදි. රැයෙහි වෙඩි හඬ කන් පුරා ගිගුම් දුනි. කිසිවෙකු හෝ පිරිසක් දුවන බව දැනෙන පා හඬ ලඟ ලඟ සේ දැනුනි.

මුළු ගමම දහවලේ පවා අඳුරේ ගිලුනි. ඉර එළියක් පෑයු දවසක් මතකයේ නොවුනි.

හත් අවුරුදු මා සිටියේ මේ කිසිවක් තේරුම් ගත හැකි තත්වයක නොවුනද මට මහා අඳුරක් දැනුනි. අත් පා හැකිලී ඇති බවක් දැනුනි. ගස් වල මලක් වුව පිපුනේ නැතුවාක් මෙනි. ගල් තලාවට පෙනෙන හාත්පසම පාලුවේ තිබුනි. කුරුල්ලෙකු වත් දැක ගත හැකි වූයේ නැත.

තාත්තාගෙන් තොරතුරක් නොලැබ අවුරුද්දක් පමණම ගෙවී ගොස් ඇති බව නිතරම ඒ ගැන මුමුණනා අම්මාගෙන් දැන ගන්නට ලැබුනි.

එක්තරා සීතල අඳුරු දවසක ගල්තලාවට සමීප චූටි සීයාගේ නිවසේ පිළිකන්නට වී හාමිනේ ආච්චි හඬ පිට නොවන්නට හඬා වැටෙනු දක්නට ලැබුනි.

පසුගිය සතියේ කොටස මෙතැනින් –


© අරලියා පෙරේ

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa