මගේ චීත්ත ගවුමේ මල් රටා මැකෙන තරමට ගෙවුනු කාලය දිගු වුනි. එක තැනක එක මොහොතක් එක විදියකට ඉන්නට බැරි උනු විලාශය ගෙදර ආච්චි හැඳින්වූයේ,
“මේකිට කඩිකුලප්පුව” යනුවෙනි. නැතිනම් “කහබිලියා ගාලෙ දපලා” ලෙසිනි.
එහෙත් වැඩිවියේ දී ඒ හැඟීම ‘නොයිවසිල්ල’ ලෙසින් හඳුනාගන්නට මට හැකි විය. සේනාධි අයියාගේ මරණය ගැන ලද පණිවිඩයක් නිසාවෙන්, මගේ පපුව ඇතුලෙන් මටම ඇහුනු ශබ්දය මාව අඩපණ කර තිබුනි.
‘මරණය’ මා ඉන්පෙර අසා තිබුනු දෙයකි. දැක තිබුනු දෙයකි. බඩෙහි දරු ගැබ් සඟවා ගෙන නියඟලා අල කෑ අක්කලා මට මරණය ඒත්තු ගන්වා තිබුනි. වගා පාලු වීම හේතුවෙන් මැහි තෙල් බී කැලෑ රොඳ වල මිය ඇදුනු මිනිසුන් මා පෙර දැක තිබුනි. කඹුරුපිටිය වැවේ ගිලී මිය ගොස් තිබුනු සේනාධි අයියා තරමේ අයියලාගේ අප්‍රාණික සිරුරු මා දැක තිබුනි. ඒ ඒ මලකඳන් අසල කෑමොර දෙන අඬා වැටෙන ජීවත්ව සිටින ඔවුනොවුන්ගේ පවුල් වල මිනිසුන්ගේ වේදනාවන් මට හැඟී තිබුනි. ඒ විලාප අතරේ ඒ කඳුළු අතරේ කාගේ කවුරුන්දැයි නොදන්නා මිනිසුන් වෙනුවෙන් පවා මගේ ඇසින් කඳුලක් දෙකක් වැටුනි. උගුර රිදුනි. ඒ කෙසේ වෙතත් මට සේනාධි අයියාගේ මරණය ගැන ජායාමාත්‍රයක් වත් මවා ගන්නට නොහැකි විය.
මා රැක ගත් ඒ පොත් කිහිපය මට ගෙදර ගෙන යා නොහැක. ගල් තලාවේ හෝ තැනක තබන්නට ද තැනක් නැත. ඒවායේ ඇති යමක් හෝ වටිනාකමක් මා දන්නේත් නැත. සේනාධි අයියාගේ මතක වස්තුවක් ලෙස යන හැඟීමක් පමණක් මගේ හිතේ තිබිණ. ඒ පොත් කිහිපය දෙස බලාගෙන මම බොහෝ වේලාවක් සිටියෙමි. ඒ අතරේම ඇසෙනා ශබ්ද ගැනත් මම සෝදිසියෙන් උන්නෙමි. නිවස දෙසින් මා සොයා කිහිප වරක් හඬ නැඟින.
“මං මෙහේ..”
කී මුත් මම නිවෙසට නොගියෙමි.
චූටි සීයලාගේ නිවසේ පිටුපස දිසාවෙන් කසුකුසුවක් ඇසේ. කිසිවක් පැහැදිලි නැත. ගින්න නිවී අහවරය. දුම් රොටු ඉහළට නැගෙමින් තිබූ නමුත් කිසිවෙකු ඒ මතට වතුර හලන්නට ඇතැයි මට සිතුනේ එක් වරම ඉහලට නැඟි සුදු දුමාරය ටිකකින් නිමා වූ හෙයිනි. ඉනික්බිති ඒ නිවසේ පිටුපස දොර වැසෙනු ඇසින. තත්පර කිහිපයකින් ඉදිරි දොරේ සොයිබය කැරකෙනු ඇසින. ඔවුහු කොහේ හෝ යනවා විය හැක. මම උන් නැතින් නැඟිට්ටෙමි. ගල්තලාවේ කොණකට ගියෙමි. පා තුඩු වලින් හිට ගත්තෙමි. එවිට මට එහි පිවිසුම පෙනේ. චූටි සීයත් හාමිනේ ආච්චිත් උණ බට කඬුල්ල පනිනු මම දුටුවෙමි. හාමිනා ආච්චි එහෙන් මෙහෙන් පටලවා ගත් සාරියක් ඇඳ සිටියාය. චූටි සීයා සරමක් සුදු කමිසයක් ගත ලා සිටියේය. ඔවුනගේ අත් වල පන් මළු දෙකකි. ඔවුන් කොහේ හෝ දුරකට යන වගක් මට වහා ඒත්තු ගැන්විණ. උස් බිමේ හිටි මා රූටා පහලට ගියෙමි. ඊටත් පසු වැට පැන්නෙමි. කකුල් පතුලේ ගල් බොරළු ඇනේ. වැටේ ලී දණ්ඩකට ගවුමේ කොණක් ද පැටලිණ. එනමුත් මම දුවවිත් මොහොතකින් චූටි සීයාගේ අතේ එල්ලී සිටියෙමි.
“චූටි සීයා කොහේද යන්නේ?”
චූටි සීයා මගේ දෙසත් හාමිනා ආච්චි දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය.
“ඕගොල්ලෝ ගමනක් යනවද ?”
මම යළි ඇසුවෙමි.
“ඔය ලමයට ඒවායින් වැඩක් නෑ. ඔය ලමයත් මේවයි රිංගන්නේ නැතුව ගෙදරට යන්න”
පිළිතුරු ලැබුනේ හාමිනා ආච්චිගෙනි. ඈ චූටි සීයා පසුකර ඉදිරියට ගියාය. ඈ අනුව යමින් චූටි සීයාත් පා පියවරක් තියද්දීත් මා ඔහුගේ අතේ එල්ලී ගෙනය.
“සේනාධි අයියත් නෑ. ඕගොල්ලොත් යනවා”
වැටෙන්නට ඔන්න මෙන්න වූ කඳුළක් දෑසේ නලියන වග මට දැනිණ.
“හවසට එනවද?”
චූටි සීයා පියවර අඩාල කලේය.
“සුනංගු නොවී එන්නම්. මැණිකේ දැන් යන්න. මේ පරාස්සයෝ ඉන්න ජාමේ”
කියූ සීයා මගේ අත ඔහුගේ අතින් ගලවා ගත්තේය. ඉක්මන් ගමනින් ගොස් හාමිනා ආච්චි හා එක් වූවේය.
එයින් පසු ගෙවුනු කාලයම මා කලේ ඔවුන් නැවත එනතුරු මඟ බලා සිටීමයි. ඔවුන් නික්ම ගිය රූපය මට නිතර මතක් විය. පාර දිග දෙදෙනා ගියේ ඇවිද ගෙනය. බොහෝ ඈතකට යන තුරු මම බලා සිටියෙමි. ඔවුන් නොපෙනී ගිය පසු මා එන්නට හැරුණද ඉන් මත්තේ මට සිහි වූයේ වුන් නික්ම ගිය ජායාවමය.
නිවසේ පිටුපස කොටසේ දර දමා ඇති මඩුවක් වේ. අබලි ද්‍රව්‍ය දමා ඇත්තේත් ඒ කොටසේ මය. අණ්ඩක් කැඩුනු පරණ කැබිනට්ටුවක් එහි පැත්තක් තිබිණ. එතුල පරණ ජායාරූප, කාවුන් කෑ පරණ පොත් දමා ඇති බව මට සිහි වූයේ පසුවය. පළමුව මා කලේ කැබිනට්ටුවේ එක් කොටසක තිබූ දෑ ඇද දමා ඉඩක් සාදා ගැනීමය. අදහසක් නොමැතිව වූවත් මම අබලි දෑ ඇද දැමුවෙමි. යකඩ ඇණ වැනි දෑ දැමූ පෝර උරයක් මට හමුවූයේ ඒ අතර තිබීය. යකඩ කැබලි ටික බිම හැලූ මා හිස් උරය ගෙන වහා ගල මතට දිව්වෙමි. පොත් ටික පරිස්සමට එතුල තැන්පත් කෙලෙමි. වටපිට සෝදිසියෙන් පසු කිසිවෙක් නොමැති බැව් සැක හැර දැන ගත් මා පොත් උරය ගෙනවිත් පරණ කැඩුනු කැබිනෙට්ටුවේ තැන්පත් කලෙමි. අසව් කැඩුනු කැබිනට් පියන ආයාසයකින් වසා එයට ලී කැබලි කිහිපයක් හිර කෙරුවෙමි.
නිධානයක් සැඟ වූ තරම්, රහසිගත ප්‍රීතියකින් මම පිරී ගොස් සිටියෙමි.
පසුගිය සතියේ කොටස මෙතැනින් –
© අරලියා පෙරේරා
