සිංහල ලේඛන කලාව තුළ හෙළ බස මැනවින් හසුරවමින් අපූර්ව නිර්මාණ සිය පාඨකයන්ට ලබා දෙමින් ග්‍රන්ථ රචනයේ යෙදෙන ලේඛිකාවන් අතරින් ඇය තවත් එක් සුවිශේෂි ලේඛිකාවකි.
සිය පාඨකයන්ට අලුත් බලාපොරොත්තුවක්ද ලබා දෙමින් ස්වතන්ත්‍ර ආදී වූ කෘති රචනා කිරීම කෙරෙහි වැඩි ඇල්මක් දක්වන ඇය මේ වන විට සූදානමින් සිටින්නේ ඇයගේ තවත් එක් නිර්මාණයක් එළිදැක්වීමටයි.
නමින් ඇය පියුමි වාසනා පෙරේරා.
මේ කතාබහ ඇය සමඟයි.
මොනවද අලුත් තොරතුරු
ලේඛන කලාව පැත්තෙන් ගත්තොත් මාස දෙකකට පෙර මගේ දෙවන මුද්‍රිත ග්‍රන්ථය “තුහින පිනිසළු” එළිදැක්වීම සිදු කළා. ඊට අමතරව මේ දිනවල තුන්වැනි නවකතාව සඳහා සූදානම් වෙමින් ඉන්නවා.

කලාවක් විදියට ලේඛන කලාව තෝරා ගත්තේ ඇයි?
මම පාසල් කාලයේ පටන්ම ලේඛන කලාවට කැමතියි සහ ඒ කාලයේදීත් කෙටිකථා, ළමා කතා ආදිය රචනා කළා. ඇත්තටම නම් ඒවා රචනා කළේ මගේ රසවින්දනය උදෙසා. ඒ කාලයේ අපිට සමාජ මාධ්‍ය ලෙසින් වේදිකාවක් තිබුණේ නැහැ. ඉතින් බොහොමයක් වේලාවට මා ලියූ කෙටිකථා ආදිය සාහිත්‍ය තරඟ වලට යොමු කිරීම තමයි කළේ. ඒවායින් මට ජයග්‍රහණ රාශියක් ලැබෙද්දී මම අඳුනගත්තා ලේඛනයට මට හැකියාවක් තිබෙන බව. ලේඛන කලාව මගේ විනෝදාංශය සහ එය මාව සන්සුන් කරවන ඔසුවක් කීවොත් නිවැරදියි. ඉතින් මම කලාවක් විදියට එය තෝරාගත්තා.
දැනට ඔබ විසින් ග්‍රන්ථ කොපමණ ප්‍රමාණයක් රචනා කරලා තියනවද?
මම මේ වනවිට මුහුණු පොත හරහා නවකතා හයක් රචනා කර තිබෙන අතර ඒවායින් දෙකක් මුද්‍රිත ග්‍රන්ථ ලෙස එළිදක්වා තිබෙනවා. හත්වන නවකතාව මේ වනවිට ලියමින් පවතින අතර පෙර සඳහන් කළ පරිදි තුන්වන පොත එළිදැක්වීමට සූදානම් වෙමින් ඉන්නේ.

ඔබ වැඩියෙන් ම කැමති කුමන ශෛලියේ ග්‍රන්ථ වලටද?
පාඨකයෙක් ලෙස මම පෞද්ගලිව කැමති ත්‍රාසජනක, අභිරහස් ශානර වල පොත් කියවීමට වුවත් ලේඛිකාවක් ලෙස මා අතින් ලියවෙන්නේ නූතන රෝමාන්තික එහෙමත් නැත්තම් Contemporary romance ශානරයේ නවකතායි.
ඔබේ විසින් රචනා කරන ලද පළමු ග්‍රන්ථය කුමක්ද?
මේ ප්‍රශ්නයට පිළිතුරු දෙකක් මට දෙන්න පුළුවන්. ඇත්තටම නම් මා විසින් රචනා කළ පළමු ග්‍රන්ථය “මෙහන්සා” නම් ඉතාම සරල ආදර කතාවක්. පාසල් යන කාලයේ ලියූ ඒ නවකතාව මුහුණු පොතේ පළකිරීමෙන් පසුවයි බොහෝ දෙනෙක් මාව ලේඛිකාවක ලෙස හඳුනාගත්තේ. නමුත් මුද්‍රිත ග්‍රන්ථයක් ලෙසින් මා පළමුවරට එළිදැක්වූයේ CEO and I යන නමින් මුහුණුපොතට ලියූ මගේ තුන්වන නවකතාවයි. එය නිරූපණ ක්ෂේතය අළලා ලියැවුණු “ට්‍රයල් මැරේජ් හස්බන්ඩ්” යන චීන වෙබ් නවකතාවක් පාදක කරගනිමින් මා විසින් ලියූවක්.
කොහොමද තුහින පිනි සළු කෘතියට ලැබුන ප්‍රතිචාර,
තුහින පිනිසළු ත් සැබැවින්ම මුහුණුපොතේ පළවීමෙන් අනතුරුව මා විසින් මුද්‍රණය කළ නවකතාවක්. එයට ඉතාමත් හොඳ පාඨක ප්‍රතිචාර එය මුහුණු පොතේ පළවූ කාලයේ තිබුණා. දැනටද පොත මිලදී ගත් පාඨකයින්ගෙන් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

පරිවර්තන කෘති ලිවීමට බලාපොරොත්තුවක් තියෙනවද?
ඇත්තටම පරිවර්තන කෘතියක් කිරීමට මම කැමතියි. නමුත් එය විශාල වගකීමක්. උදාහරණයක් ලෙස මම පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වන්නේ ඉංග්‍රීසි නවකතාවක් නම් එය ඉංග්‍රීසි භාශාවෙන් පවසා ඇති අදහසම ලැබෙන ලෙස සිංහලයට හැරවීම තරමක අභියෝගයක් සහ එය මට අනුව නම් ස්වතන්ත්‍රයක් ලිවීමට වඩා කාලය වැය වන කාර්‍යයක්. විශේෂයෙන්ම ලේඛනය කියන්නේ මගේ පූර්ණ කාලීන වෘත්තිය නොවන නිසා මට දැනට ඒ සඳහා කාලය වෙන්කර ගැනීමට අපහසුයි. නමුත් මම කැමතියි උත්සහ කර බලන්න. බොහෝවිට ලබන වසරේදී ඒ සඳහා යොමුවීමට මා බලාපොරොත්තු වෙනවා.
දැනට යෙදෙන වෘත්තීය ගැනත් කතා කරමු.
මම දැනට බ්‍රිතාන්‍යය අනුබද්ධිත අධ්‍යාපන ආයතනයක සහකාර කළමණාකාරවරියක ලෙස සේවයේ නියැලෙනවා.
ඉදිරි වැඩ කටයුතු
මම දැනට මගේ පශ්චාත් උපාධියේ අවසන් අදියරේ ඉන්නේ. මේ වසරේ සැප්තැම්බර් මාසයෙන් එය අවසන් වීමට නියමිතයි. ඉන් අනතුරුව මම දැනට වඩා වැඩි කාලයක් ලේඛන කටයුතු වෙනුවෙන් වෙන් කරන්නට බලාපොරොත්තු වෙනවා සහ දෘෂ්‍ය මාධ්‍යය එනම් Visual content වෙත යොමු වීමටත් කුඩා අදහසක් තිබෙනවා.
විශේෂයෙන් ස්තූති කළ යුතු අය
විශේෂයෙන්ම ස්තූති කළ යුත්තේ මගේ ප්‍රකාශකතුමිය චේතනා ද සිල්වා මහත්මියටයි. මම නවක ලේඛිකාවක් වුවත් ඇය ඒ අභියෝගය භාරගත්තා සහ මගේ පළමු කෘතියට එල්ල වූ නොයෙක් බාධක හමුවේ ඈ මා පසුපසම සිටියා. ඒ වෙනුවෙන් ඇයට මම ස්තූතිවන්ත වෙනවා. ඊට අමතරව මා නිතර දිරිගන්වන මගේ ලබැඳි මිතුරියන් දිනෙල්, පවී, සෆා සහ ශහීටද අම්මා තාත්තා සහ මගේ ඥාති සොයුරියන්ට වගේම ආදරණීය පාඨක පිරිසටද ස්තූතිවන්ත වෙනවා. මගේ නිර්මාණ ගැන ඔවුන් සතුව ඇති විශ්වාසය නිසායි අද මට ලේඛිකාවක් ලෙස යම් සාර්ථකත්වයක් අත්කර ගන්නට හැකි වී තිබෙන්නේ.
සටහන – බිනාලි රාජපක්ෂ
