වෙසක් මාසයේ බෞද්ධාගමික සෑම අයෙකුම ලක ලැහැස්ති වන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිකරමින් වෙසක් පොහෝ දිනයේ දී ආගමික වත්පිළිවෙත් වල යෙදීම සහ වෙසක් කූඩු, පහන් ආදිය නිර්මාණය කරමින් නිවෙස් සහ වීදි අලංකාර කිරීමටයි.

වෙසක් උත්සවය විවිධ අයුරින් සැමරීමට ජනතාව හුරු පුරුදු වී සිටිති. පහන්, පහන් වැට, පහන් ගස්, වෙසක් කූඩු, ජපානයෙන් කඩදාසි ගෙන්වීම ඇරැඹූ දා සිට වෙසක් ලන්තෑරුම් ආදිය දැල්වීම, කොඩිවලින් සැරසීම ආදී වශයෙනි.
මෙම වෙසක් කූඩුවේ ඉතිහාසය පිළිබඳ විමසුවොත් අපගේ අවධානය යොමු වන්නේ චීනය වෙතටයි.
ඒ ඇයි?
චීනයේ ‘හන්’ රාජ යුගයට (ක්‍රි.පූ. 206 සිට ක්‍රි.ව. 220 දක්වා ) අයත් චන්ද්‍ර වර්ෂය මුල්කොට ගැනුණු ආලෝක මංගල්‍යය ලෙස නම් කෙරුණු මෙම පහන් කූඩු උත්සව (Lantern Festival) නිසාවෙනි.

චීනය අද වනවිට ලොව හොඳම පහන් කූඩු නිපදවන්නන් බවට පත්ව තිබේ.

මුල් සැමරුම හා ඉතිහාසය
මෙරට ඉතිහාසයේ මුල්ම වෙසක් සැමරුම සිදුකොට ඇත්තේ දුටුගැමුණු රජු විසින් බව ඉතිහාසයේ සඳහන් වේ. එහි දැක්වෙන අන්දමට වර්තමානයේ මෙන් උත්සව සැණකෙළි ස්වරූපයක් තිබිණිදැයි පැහැදිලි නොතිබුණද ඔහුගේ රාජ්‍ය සමයේ වසර විසි හතර (ක්‍රි.පූ. 161-137) පුරාම වෙසක් පූජා 24 ක් පවත්වා තිබේ. වංශ කතාවෙහි ඒ පිළිබඳව සඳහන් කොට ඇත්තේ ‘වෙසක් පූජා’ යනුවෙනි.
ඉන් පසුව අනුරාධපුරයේ රජකම් කළ වසභ රජතුමා (ක්‍රි.පූ. 62-106) , වෝහාරතිස්ස (ක්‍රි.ව. 215-237), ගෝඨාභය (ක්‍රි.ව. 253-266), දෙටුතිස් (ක්‍රි.ව. 332-340),මුගලන් රජු (ක්‍රි.ව. 608-614) ආදී රජවරුන්ද මෙම වෙසක් සැමරුම් සිදුකළ බව වංශ කතාවන්හි සඳහන් වේ.
වෙසක් සැමරුම වංශකථාවේ හඳුන්වා දී ඇත්තේ ‘වෙසක් පූජා’ නමිනි.
(ක්‍රි.ව. 866-901) දක්වා වසර තිස් පහක් අනුරාධපුරයේ රජකම් කළ දෙවැනි සේන රජුගේ සමයේ එතෙක් පැවති වෙසක් පූජා පිළිබඳව වෙසක් කෙළි (වෛශාඛ්‍ය කෙළි) වශයෙන් වන හැඳින්වීමක් මහා වංශයේ පනස් එක්වැනි පරිච්ඡේදයේ 684-685 පාඨවලින් විස්තර කෙරේ.
පළමු වැනි පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව1153-1186) දළදා පූජා, වෙසක් කෙළියත්, තුලාභාරයක්, දිය කෙළියත් පැවැත්වූ බව පූජාවලියේ සඳහන් වෙයි.
ඒ අනුව පැහැදිලි වනුයේ හත්වැනි සියවස දක්වා මෙරට පැවති වෙසක් පූජාව නවවැනි සියවසේදී උත්සවයක්, සැණකෙළියක් බවට පත්ව තිබෙනු ඇති බවයි.

මෙවැනි ඓතිහාසික පසුබිමක් පවතින තවමත් අලංකාරයෙන් දැල්වෙන වෙසක් පහන ආනාගත පරපුරටත් සුරක්ෂිතව පවත්වා ගැනීම බෞද්ධයන්ගේ මෙන්ම සෙසු ආගමිකයන්ගේද යුතුකමක් බව සිහි තබාගත යුතුය.
තොරතුරු – අන්තර්ජාලයෙනි.
