ගෝලීය ස්ථූලතාවය වැළැක්වීමේ දිනය මාර්තු මස 04 වනදාටයි යෙදී තිබුණේ . ලොව පුරා වැඩිහිටි ජනගහනයෙන් බිලියන 1. 9 කට වැඩි පිරිසක් අධිබර පුද්ගලයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ලෝක ජනගහනයෙන් 3/1කට වැඩි පිරිසක් අධිබර පුද්ගලයන් ලෙසයි හදුනාගෙන ඇත්තේ. ශ්‍රී ලංකාව ද මෙහිදී යහපත් තත්ත්වයක නොපවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. බෝ නොවන රෝග පිළිබඳ අවදානම් සාධක හදුනා ගැනීම සම්බන්ධයෙන් 2015 වර්ෂයේදී මෙරට සෞඛ්‍ය අංශ මගින් කළ සමීක්ෂණයේදී අනාවරණය වූයේ පුරුෂ පාර්ශ්වයෙන් 22% ක් බර වැඩි හා තරබාරු තත්ත්වයෙන් පෙළෙන බවයි. එම සමීක්ෂණය ම 2021 වර්ෂයේ සිදු කිරීමේදී එය 31% දක්වා වර්ධනය වී තිබෙනවා. මෙම සමීක්ෂණයේදී තරබාරු බවින් පෙළෙන කාන්තා පාර්ශ්වය 34% ක් වූ අතර එය 2021 වර්ෂයේදී 47.6% ක් දක්වා වර්ධනය වී තිබෙනවා. මෙම තත්ත්වය බෝ නොවන රෝග වර්ධනය වීමෙහිලා ප්රමුඛව බලපාන බව බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන මහත්මිය පෙන්වා දෙනවා. දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයාබාධ, අංශභාගය, පිළිකා මෙන්ම ශ්වසන රෝග ආදී රෝග රැසක ම අවදානම් තත්ත්වය වැඩි කිරීමට ස්ථූලතාවය බලපාන බව එම මහත්මිය සඳහන් කරනවා.

මෙම තත්ත්වය වළක්වා ගැනීමට මේ පිළිබඳ දැනුවත් වී කුඩා කල සිටම නිවැරදි සෞඛ්‍ය පුරුදු ඇති කරගනිමින් ක්‍රියාශීලි ජීවිත රටාවකට යොමු වීමේ වැදගත්කම සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
විශේෂයෙන් ම මේවනවිට ළමා ස්ථූලභාවයේ ගැටලුවට ද අප මුහුණ දෙමින් සිටිනවා. මන්ද පෝෂණ තත්ත්වය මෙන්ම අධි පෝෂණ තත්ත්වය ගැන ද වෙසෙසින් සාකච්ඡා කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන රිජ්වේ ළමා රෝහලේ මහාචාර්ය ළමා රෝග විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා
“ වැඩිහිටි ස්ථූලභාවයට මූලික අඩිතාලම යෙදෙන්නේ ළමා කාලයේදීයී. ළමා කාලයේ ඇතිවන ස්ථූලභාවයෙන් 75% කට වැඩි පිරිසක් වැඩිහිටියන් ලෙස ස්ථූලභාවයට පත් වෙනවා. ස්ථූලභාවය හා බැඳුණු විවිධ රෝගාබාධ ඇතිවීම ආරම්භ වන්නේ වැඩිහිටි අවදියේදී නොව තමන් ස්ථූලභාවයට පත් වූ අවස්ථාවේ සිටයි. පසුගිය වසර කාලය දෙස අවධානය යොමු කරන විට දියවැඩියාව ,අංශභාගය , හෘද රෝග ඇතිවන වයස ක්‍රමානුකූලව පහළ වැටිලා තියෙනවා. අඩු වයසකින් ළමයෙකු ස්ථූලභාවයට පත් වූවහොත් අවුරුදු 15ක් 20 ක් වන විට දියවැඩියාව හා ඒ හා බැඳුණු වකුගඩු රෝග ආදී රෝග රැසක් සඳහා එය බලපානවා. ළමා කාලයේ ඇතිවන ස්ථූලභාවයෙන් 75% ක් 80% ක්ම ප්‍රමාණයකට නැවත යථාතත්ත්වයට තියෙන පෝෂණ තත්ත්වයට පත්වන්න බැහැ. තැන්පත් වන මේද ප්‍රමාණයට වඩා මේද ශෛලවල වැඩිවීමක් සිදු වන්නේ අවුරුදු 20 ට වඩා අඩු ළමයින්ට. ඒවිට ඒ මේද ශෛල ප්‍රමාණය ඉවත් කිරීමන් මිස ඒ මේද ශෛල ව්‍යායාම තුළින්වත් ආහාර පාලනය තුළින්වත් අඩු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ළමා කාලයේ සිටම උවමනාවෙන් ස්ථූලභාවය අඩු කිරීම ඉතා වැදගත් කාරණයක්. දරුවන්ගේ බර සාමාන්‍ය මට්ටමින් අනුපාතයක් ලෙස ගන්නවා නම් තමන්ගේ ඉන වටේ ප්‍රමාණය තමන්ගේ උසෙන් 50% කට වඩා අඩුවෙන් පවත්වා ගැනීම සුදුසුයි.”
ළමයින්ගේ ස්ථූලභාවය වැඩි වන්නේ ඇයි?

ළමුන් ගන්නා වැරදි ආහාර රටාව මෙයට බලපාන ප්‍රධානම සාධකයයි. කැලරි අධික සීනි අධික තෙල් අධික ආහාරවලින් මෙම තත්ත්වය ප්රබලව ම වර්ධනය වෙනවා. ස්ථූලභාවය යනු අතිරික්තව ලබා ගත්තා වූ ආහාරවල තියෙන කැලරි පසුව පාවිච්චිය සඳහා මේද ලෙස තැන්පත් වීමයි. නමුත් පසුව පාවිච්චිය සදහා තැන්පත් වූ මේදය යොදා නොගැනීම නිසා මෙම මේදය ක්‍රමානුකූලව වර්ධනයත් වීමත් සමඟ මේද ප්‍රමාණය දිනෙන් දින වැඩි වීම මෙයට ප්‍රධානම හේතුව ලෙස දක්වන්න පුළුවන්. මේද ප්‍රමාණය වැඩිවීමත් සමඟ ළමා කාලයේ සිට ම ඉන්සියුලින්වල ප්‍රතිරෝධයක් ඇතිවෙලා වැඩිහිටියන්ට ඇතිවන දියවැඩියා තත්ත්වය දැන් අපි අවුරුදු 12- 15 වයස්වල දරුවන් තුළත් දකින්නට පුළුවන්.
මෙම තත්ත්වය වළක්වා ගන්නේ කෙසේද?
පිටි , සීනි මෙන්ම තෙල් අධික ආහාර වේල්වලින් ඈත් වී එළවළු පලතුරු අඩංගු සමබල ආහාරවේලකට හුරු පුරුදු විය යුතුයි. වර්තමානයේ එළිමහනේ දරුවන් සිටින කාලය අඩු වී තිබෙනවා. නවීන තාක්ෂණීක මෙවලම් දුරකතන ටැබ් පරිගණකවල සිරවී දරුවන් අක්‍රීය තත්ත්වයකට පත් වී තිබෙනවා.. ඒ තුළින් ඔවුන් දවසේ වැඩි කාලයක් අක්‍රියව ගත කරන්න පෙළඹිලා තියෙනවා. දවසේ ළමයෙක් ක්‍රියාශීලී නොවීම නිසා ඉතාමත් අධික ලෙස කැලරි දහනය අඩුවෙලා තියෙනවා. දරුවන් ආහාරයට ගන්නා ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙනවා. නමුත් එය වැය කරන්න තියෙන අවස්ථාව ක්‍රම ක්‍රමයෙන් අඩු කර ගෙන තිබෙනවා වෙනත් වෙනත් මෙවලම් නිසා.
සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ඉතා වැදගත් කරුණු 03 ක් මෙහිලා දැක්විය හැකියි
- නින්ද
- ක්‍රියාශීලීව කටයුතු කිරීම
- ඇඟපත වෙහෙසා සක්‍රීයව කටයුතු කිරීම
වර්ධනය වන ළමයෙකුගේ ප්‍රධාන වශයෙන් වර්ධනය සිදු වනුයේ නිදා ගන්නා අවස්ථාවේදීයි.
පාසල් යන වසසේ ළමයෙකු අඩු තරමින් පැය 09- 11 ක අතර කාලයක් දවසකට නිදා ගත යුතුයි. රාත්‍රි 10 ත් පාන්දර 4 ත් අතර නිදා ගැනීම ඉතා සුදුසුයි. මේ කාලය තුළ නිදා ගැනීම තුළින් දරුවාගේ ශරීරය මනාලෙස වර්ධනය වනවා සේම ස්ථූලභාවය අඩු කිරීමට ඒක ප්‍රධානම සාධකයක් වෙනවා. ඒ වගේම වර්ධනය වන දරුවෙක් පැයක්වක් දහඩිය දමන සේ ක්‍රීඩාවක යෙදිය යුතුයි. මෛමගින් ස්ථූලභාවය අවම කරවා මෙන්ම මාංශ පේෂී වර්ධනය වීමට ද හේතුවක් වෙනවා. විශේෂයෙන් ම ඔස්ටියෝපොරෝසියස් රෝගී තත්ත්වය වළක්වා ගැනීමට අඩිතාලම යෙදෙන්නේ ළමා කාලයේදීයි. අවුරුදු 20-22 වන විට තමන්ගේ අස්ථීවල මූලික වර්ධනය සිදුවී අවසන්. ඒ අවස්ථාවේදී කොමපණ ප්‍රමාණයක් කැල්සියම් තැන්පත් වෙලා තියෙනවාද කොපමණ ප්‍රමාණයක් අස්ථි ශක්ත්මත්ව පවතිනවාද කියන මට්ටම මත තමයි ඔවුන් කොයි වයසේදී ඔස්ටියෝපොරෝසියස් රෝගී තත්ත්වයට පත් වෙනවාද කියන එක බලපාන්නේ. පසු කාලයකදී විටමින් වර්ග හෝ කැල්සියම් භාවිත කිරීම තුළින් එම තත්ත්වය වළක්වාගැනීම අපහසුයි. .ක්‍රියාකාරීත්වය තුළින් තමයි ඒක වළක්වා ගන්න හැකියාව ලැබෙන්නේ. පැයක පමණ කාලයක් යම් කිසි ක්‍රීඩාවක නියැලී දිගු කාලයක් ටැබ් යන්ත්‍රයක සිටීම තුළින් මෙම සේඛ්‍ය සම්පන්න බව ඇති කර ගැනීම කළ නොහැකියි. . මුලු දවසම ක්‍රියාශීලීව ගත කිරීමයි ඉතා වැදගත්. එක දිගට පැය 02ක් 03ක් වාඩිවී සිටීමත් සුදුසු නැහැ. පැය භාගයකයට මිනිත්තු 04 ක් 05 ක්වක් එහා මෙහා ඇවිදීම කළ යුතුයි.
මෙම කරුණු කාරණා මනා ලෙස අවබෝධ කර ගනිමින් දරුවන්ට ඇතිවන ස්ථූලභාවය වළක්වා ගැනීමට කටයුතු නොකළහොත් ඉතාමත් වැඩි කාලයක් යාමට පෙර ලංකාවේ බෝ නොවන රෝග ඉතා අඩු වසසෙන් ම ඇතිවීම නොවැළැක්විය හැකි කරුණක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
ගෝලීය ස්ථූලතාවය වැළැක්වීමේ දිනය නිමිත්තෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාව ඇසුරෙනි.
සටහන-

ඉරේෂා මධුරකාවිනී
