වෙසක් දන්සැල

author
0 minutes, 0 seconds Read

එක පෙළට නැගී සිටින මලින් පිරී ඇති රට අඹ ගස් ගොන්නේ අතරින් පතර රට අඹ ගෙඩි කිහිපයක් දැකගත හැකිවිය. මීට වසර කිහිපයකට පෙර නිවසට පැමිණෙන ගෙවත්තෙ මායිම දෙපස ධම්මික විසින් සිටුවන ලද රට අඹ ගස් ගොන්න මලින් බර වූ මුල්ම වතාව මෙයයි. එහෙත් මලින් පිරි අඹ ගස් ගොන්න ගැන කල්පනාවක් ධම්මිකට නොවූයේ ඔහු ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් කාර්යබහුල වී සිටි නිසයි. නමුත්… ධම්මිකට මඟහැරුනු එම රාජකාරිය අකුරටම ඉටුකළේ ධම්මිකගේ පියාණන් වූ හේමපාල මහතාය. අද වෙසක් පොහොය දිනයයි. සෑම වසරකම වෙසක් පොහොය නිමිත්තෙන් තම ගම්මානයේ ප්‍රදාන මංසන්ධියේ පැවැත්වෙන මහා බත් දන්සැල මෙවරත් පැවැත්වීමට සියළු කටයුතු පිළියෙළ කිරීමට වෙහෙසෙන්නේ හේමපාලගේ පුතු ධම්මිකය. මීට වසර ගණනාවකට පෙර ඒ වෙනුවෙන් සියළු වියදම් දැරුවේ හේමපාල මහතා වුවත් දැන් විවේක සුවයෙන් නිවසට වී කාලය ගත කරන හේමපාල මහතා වෙනුවට ඒ සියළු වියදම් දරන්නේ ධම්මිකය. දන්සැල දවසේ උදෑසන පටන්ම නිවසේ සියළු සාමාජිකයන් එහි රැස්වී දන්සලේ කටයුතු වෙනුවෙන් සහයෝගය ලබා දෙන්නෙ මෙය වසරක් පාසා හේමපාල මහතාගේ ව්‍යාපාරික කටයුතු වලින් උපයන ආදායමෙන් සංවිධානය කරන නිසාය. පෙරදිනයේ සවස නිවසට පැමිණි නයෝමිගේ දෙමව්පියන් සමඟ කුඩා දියණියව නයෝමිගේ මහ ගෙදරට ඇරලා පැමිණි ධම්මික අද දින උදෑසනින්ම නිවසේ මෙහෙකාරිය සමඟ නිවසින් පිට වී දන්සැල පැවැත්වෙන ස්ථානයට ගියේ එහි කටයුතු සොයා බැලීම සඳහාය. රට අඹ ගස් ගොන්න අසළ පිහිටා ඇති ස්වභාවික කළු ගල් පොත්ත මත හිඳගත් හේමපාල මහතාගේ සිත පුරා අතීතයේ නොයෙකුත් මතකයන්‍ සැරිසරන්නට විය.

බොහෝ දුක් මහන්සියෙන් ගොඩනගාගත් ව්‍යාපාර සියල්ල නිසි කාලයේදී තම පුතු නමට පැවරූ හේමපාල මහතා තම ජීවිතයේ සැදෑ සමය ඔහු විසින් ගොඩනගාගත් දෙමහල් නිවසේ පහළ මහලේ කාමරයක නිදහසේ ගෙවා දැම්මේ පොත් කියවීමටත්, බණක්, දහමක් ඇසීමටත් වැඩි කාලයක් ලබා දෙමිනි. ව්‍යාපාර කටයුතු තම පුතුට පැවරුවා පමණක් නොව කාලයක් තිස්සේ ඔහු පෙම් සබඳතාවක් පවත්වාගෙන ගිය සාමාන්‍ය පවුලක තරුණියක් වූ නයෝමිව ධම්මිකට සරණපාවා දීමට හේමපාල මහතා පියවර ගත්තේ තම එකම පුතුගේ ජීවිතය සතුටින් පුරවමිනි. ධම්මිකගේ මව ජීවිතයෙන් සමුගත්තේ ඔහු උසස් පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල එනතුරු නිවසේ සිටි සමයේදීය. එතැන් පටන් ධම්මිකගේ ළඟින්ම රැඳෙමින් නිරතුරුවම ඔහු පිළිබඳ සොයා බැලූ හේමපාල මහතා ධම්මිකව ඔහුගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් සම්බන්ධ කරගත්තේ අනාගතයේදී එම ව්‍යාපාර වල හිමිකරු ධම්මික නිසාය.

වත්පොහොසත්කම් අතින් තම පවුලට නොගැලපුනත්, හේමපාල මහතාට උවමනා වුණේ ගුණ යහපත් ගතිපැවතුම් වලින් පිරුණු කරුණාවන්ත ලේලියක් තම පුතුට විවාහ කර දීමටයි. එම නිසාම ධනවත් පවුල් කිහිපයකින්ම ධම්මිකට පැමිණි විවාහ යෝජනා ප්‍රතික්ෂේප කළ හේමපාල මහතා ධම්මික ප්‍රේමයෙන් බැඳී සිටි නයෝමිට කැමැත්ත ලබා දුන්නේ කෙදිනක හෝ ඇය තමන්ට ලේලියක් ලෙස නොව දියණියක ලෙස සලකාවියැයි සිතාගෙනය. එහෙත්… හේමපාල මහතාගේ අපේක්ෂාවන් සුණුවිසුණු වී ගිය බව ඔහුට වැටහෙන්නට පටන් ගත්තේ නයෝමි ධම්මික සමඟ විවාහ වී නිවසේ පදිංචියට පැමිණ තුන් මාසයක් ගත වීමටත් පෙරය. උදෑසන ආහාර වේලත්, රාත්‍රි ආහාර වේලත් තම පුතු සමඟ එකම කෑම මේසයේ හිඳ ගැනීමට හුරුවී සිටි හේමපාල මහතාගේ දින චර්යාව වෙනස් වුණේ ඔහුගේ ආහාර වේල නිවසේ මෙහෙකාරිය විසින් හේමපාල මහතාගේ කාමරයටම ගෙන එන්නට පටන් ගත් නිසාය.

” නයෝමි නෝනා තමයි කිව්වේ ලොකු මහත්තයගෙ කෑම මීට පස්සේ හැමදාම කාමරේට ගිහින් දෙන්න කියලා… මට බැහැ කියන්න බැහැනේ… ඒකයි අරන් ආවේ…”

වසර දොලහකට අධික කාලයක් තිස්සේ එම නිවසේ සේවය කරන විමලාවතී හේමපාල මහතාට පැවසුවේ ඔහුගේ උදෑසන ආහාර වේල සහිත පිගාන හේමපාල මහතාගේ කාමරයේ ලියන මේසය මත තබමිනි. විමලාවතීගේ කතාවට හේමපාල මහතාගේ මුවින් දිගු සුසුමක් පිට වුණේ නිරායාසයෙනි.

” හ්ම්ම්… එහෙනම් මීට පස්සේ තුන්වේලම මගේ කෑම ටික කාමරේට අරන් එන්න. අලුත බැඳපු ජෝඩුව මම හින්දා ගැටුම් ඇති කරගන්නවා දකින්න මම කැමති නැහැ…”

පොතපත කියවීමෙන් මෙන්ම වසර ගණනාවක් පුරා සමාජයේ විවිධාකාර මිනිස්සුන් ඇසුරු කිරීමෙන් තම ජීවිතය ලබා ඇති අත්දැකීම් තුළින් නිරවුල් මනසකින් ජීවිතය දෙස බැලීමට හුරු වී සිටි හේමපාල මහතා තීරණය කළේ තම පුතුගේත්, ලේලියගේත් සතුටට බාධා නොකර මඟහැර සිටීමටයි.

” මැදැයි ලොකු මහත්තයා පුංචි මහත්තයගෙ කැමැත්තට ඉඩ දීලා මඟුලක් කරලා දුන්නා… පුංචි මහත්තයට මොන තරම් ඉහළ පවුල් වලින් යෝජනා ආවද? ලොකු මහත්තයා කිව්වේ ගුණයහපත් සාමාන්‍ය පවුලක ගෑනු ළමයෙක් වෙච්චි නයෝමි නෝනා පුංචි මහත්තයට ගැලපෙනවා කියලා නේද? නයෝමි නෝනගෙ ඒ ගුණයහපත් ගති අද හොයාගන්නවත් නැහැ… තාම මේ ගෙදරට ඇවිත් මාස තුනයි. තව කල් යද්දී හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් වෙයි…”

කාමරයෙන් පිට වීමට සූදානම් වුණ විමලාවතී ගමන් වේගය අඩාල කර හේමපාල මහතාට පහත් හඬින් එසේ පවසා කාමරයෙන් පිට වුණේ හේමපාල මහතාට සිතන්නට දහසක් දේවල් ඉතිරි කරමිනි. තම පුතුගේ යුග ජීවිතය සාර්ථක වීමට නම් ඔවුන්ගේ නිදහසට ඉඩදී නිහඬව ජීවිතය ගෙවා දැමිය යුතු බව හේමපාල තීරණය කළේ කණගාටුවෙනි. තමන් දුක් මහන්සියෙන් ගොඩනගාගත් ව්‍යාපාර සහ නිවස තුළ තමන්ට හිමි තැන දිනෙන් දින අහිමිව යද්දී හේමපාල මහතාගේ ලේලිය නයෝමි උත්සාහ දැරුවේ ඇයගේ දෙමව්පියන් හට උසස් අන්දමින් සැලකීමටයි. ධම්මික නිවසේ නොමැති බොහෝ දිනවල තම දෙමව්පියන් නිවසට ගෙන්වා ගන්නා නයෝමි ඔවුන් දෙපලට උසස් අන්දමින් සත්කාර කළේ හේමපාල මහතා ඔහුගේ කාමරය තුළට වී හුදකලාවේ නිහඬ පිළිවෙතක් අනුගමනය කරද්දීය.

” මොකද? දැන් අපේ තාත්තා අපි එක්ක කෑම කන්න මේසෙට එන්නෙ නැත්තෙ…”

ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් කාර්යබහුල වී සිටින ධම්මිකට තම පියා කෑම මේසයට නොපැමිණෙන අඩුව දැනුණේ බොහෝ දිනක් ගත වූ පසුවය.

” තාත්තා විමලට කියලා දැන් කාමරේට කෑම ගෙන්නගෙන කන්නෙ. තාත්තා කොහොමත් කැමති තනියම නිදහසේ ඉන්නනේ… “

නයෝමි හරි අපූරුවට ධම්මිකගේ කතාව යටපත් කළේ එසේය. එයින් පසු ඒ ගැන සොයා බැලීමට ධම්මිකටත් උවමනාවක් නොවූයේ ව්‍යාපාරික කටයුතු හේතුවෙන් ඔහු ගත කළ අවිවේකී ජීවිතය නිසාය. විවාහයෙන් වසරක් ඉක්ම යද්දී නයෝමි කුළුඳුලේම මවක් වීමට සිටින බව දැනගත් මොහොතේ හේමපාල මහතාගේ සිතට දැනුණේ පුදුමාකාර ප්‍රීතියකි. නයෝමි ගැබිනියක් බව දැනගත් දිනයේ පටන්ම නයෝමිගේ මව එහි පැමිණ නවාතැන් ගත්තේ නයෝමි වෙනුවෙන් අවශ්‍ය ආහාර, පාන සකස් කර දීමටයි. එසේ පැමිණි නයෝමිගේ මව නිවසේ පාලනය ඇයගේ අතට ගත්තේ වසර ගණනාවක් පුරා නිවසේ මෙහෙකාරිය ලෙස රැකියාව කළ විමලාවතී වෙතත් සිය අණසක පතුරුවමිනි. තම ලේලියත්, පුතුත් වෙනුවෙන් නිහඬව සියල්ල උහුලා සිටීමට හේමපාල මහතාට සිදුවුණේ ඔවුන්ගේ සතුටට බාධා කළ නොහැකි නිසාය.

නයෝමි කුළුඳුලේම බිහිකළේ දියණියකි. මේ වනවිට එම සුරතල් සිඟිත්තියගේ වයස අවුරුදු හතරකි. ඇයගේ ආගමනය සමඟ තම ජීවිතය තුළ අලුත් පිබිදීමක් ඇති වූ බව හේමපාල මහතාට සිහිපත් විය. නමුත්… තම ලේලිය උත්සාහ කළේ නිරතුරුවම තමන් සොයා එන කුඩා මිනිපිරියගේ ගමන වැළැක්වීමට බව හේමපාල මහතාට සිහිපත් විය. නයෝමිට අවශ්‍ය වුණේ කුඩා දියණිය ඇයගේ දෙමව්පියන්ට පමණක් එකතු වී සිටිනු දැකීමටයි. ඒ වෙනුවෙන් හේමපාල මහතාගේ ඇසුරෙන් කුඩා දියණියව වෙන් කර තැබීමට ඇය නිරතුරුව උත්සාහ කළේ හේමපාල මහතාගේ සිත වේදනාවට පත් කරමිනි. නමුත්… මේ කිසිවක් ගැන හරිහැටි වැටහීමක් නොමැති කුඩා මිනිපිරිය පෙර පාසල් ගොස් පැමිණි විගස සොයායන්නේ තම සීයාවයි. තම සීයා ඇසුරේ කාලය ගෙවා දැමීමටත්, රසවත් කතන්දර අසන්නටත් කුඩා දියණිය අසීමිතව ප්‍රිය කළාය. නමුත් ඒ සියල්ල සීමා සහිතව සිදුකරන්නට සිදුවුණේ නයෝමි නිසා බව හේමපාල මහතාට සිහිපත් විය. කුස තුලින් හටගත් මහා ගින්නක් සිරුර පුරා පැතිර යන විට දැනෙන වේදනාවට සමාන වේදනාවක් දැනෙන්නට වූ බැවින් අතීත මතක ආවර්ජනයෙන් මිදුණු හේමපාල මහතාට ඇසුණේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ඇසෙනා බොදු බැති ගී රාවයයි. තම අත පැළඳ සිටි ඔරලෝසුව දෙස බැලූ හේමපාල මහතාගේ දෙනෙත් විසල් වුණේ එහි වෙලාව සැන්දෑවේ තුන ලෙස සටහන් වී තිබෙනු දුටු නිසාය.

මේ තරම් ඉක්මනට වෙලාව ගත වී යනවා තමන්ට නොදැනුනේ මන්දැයි සිතමින් හේමපාල මහතා හිඳ සිටි ගල් පොත්ත මතින් නැඟිට නිවස දෙසට පිය නැඟුවේ අධික කුසගින්නක් දැනුණු බැවිනි. නමුත්… අද දිනයේ ආහාර පිළියෙළ කිරීමට නිවසේ කිසිවෙකු නොවූ බව සිහිපත් වීමෙන් හේමපාල මහතාට ඔහු පිළිබඳවම දැනුණේ දැඩි දොම්නසකි. වෙනදාට දිවා ආහාර වේල දොළහයි තිහ වෙද්දී ගෙන නිම කරන හේමපාල මහතා ඉන්පසුව දිවා ආහාරයෙන් පසු අධික රුධිර පීඩනය හේතුවෙන් ඔහු ලබා ගන්නා ඖෂධ ලබා ගනී. නමුත් අද දින ඒ සියල්ල වෙනස් වී ඇත. සෑම මසකම පොහොය දිනයට ගමේ පන්සලේ සිල් සමාදන් වීමට යන හේමපාල මහතා මෙවර වෙසක් පොහොය දිනයේ ඒ සඳහා සහභාගි නොවුණේ දින කිහිපයක පටන් ඔහු පීඩාවට පත් කළ කොන්දෙ අමාරුව නිසාය. ගතට දැනෙන පීඩාව අපහසුවෙන් දරාගෙන තම නිදන කාමරයට පැමිණි හේමපාල යහන මත සැතපුනේ ගත පුරා පැතිර ගිය දරාගත නොහැකි වේදනාව නිසාය. ඔහුටත් නොදැනීම ඔහුගේ දෙනෙත් පියවී යද්දී ආශ්වාස කිරීමේ වේගයද වැඩි විය.

===============================
ධම්මිකගේ නිවසේ ප්‍රදාන මෙහෙකාරිය ලෙස දොළොස් වසරකට අධික කාලයක් සේවය කිරීමෙන් තමන්ට එම පවුලේ උදවියගෙන් ලැබී ඇති ප්‍රසාදය සිතට ගත් විමලාවතී දන්සැල වෙනුවෙන් ආහාර පිළියෙළ කිරීමට සහාය දැක්වූ කාන්තා, පිරිමි දෙපිරිස අතරේ ඇවිද යමින් සියළු කටයුතු ගැන සොයා බැලුවේ ඇයට ධම්මික ලබා දී තිබුණු උපදෙස් වලට අනුවය. නයෝමි කුඩා දියණිය සමඟ ඇයගේ මහ ගෙදර ගිය නිසා විමලාවතීට අණදීමට කිසිවෙකුත් නොවීය. ඒ නිසා දන්සැලේ ඉවුම් පිහුම් කටයුතු සියල්ල පරීක්ෂා කර බැලීමට ධම්මික පැවරු රාජකාරිය දේවකාරියක් සේ සලකා ඉටු කිරීමට විමලාවතී කටයුතු කළේ දැඩි උද්යෝගයෙනි. ඉවුම් පිහුම් කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට ඕනෑම අයෙක් විමලාවතීව ඇමතීමට අමතක නොකලේ ඇය ධම්මිකගේ නිවසේ විශ්වාසවන්තම සේවිකාව බව දැනසිටි නිසයි.

දන්සැලේ කටයුතු සියල්ල සාර්ථකව සිදුවන මොහොතේ හිටිහැටියේම විමලාවතීගේ මතකයට ඇතුළු වුණේ නිවසේ තනිව සිටින හේමපාල මහතාවයි.

” හත් දෙයියනේ… මේ වැඩ අස්සෙ මට කල්පනාවක් නැතුව ගියානෙ අද ලොකු මහත්තයා සිල් ගන්න ගියේ නැහැ කියලා… ධම්මික මහත්තයා ලොකු මහත්තයාට කෑම එකක් ගෙදරට යැව්වද? දන්නෙ නැහැ…”

පහත් හඬින් තනිවම මුමුණාගත් ගත් විමලාවතී දන්සැල් භූමිය පුරා දෙනෙත් යැව්වේ ධම්මිකගේ රුව සොයාගන්නා අපේක්ෂාවෙනි. සවස තුන පසු වී තිබුණු ඒ මොහොතේත් අඩුවක් නොමැතිව තුන්සියයකට වඩා සෙනඟක් දන්සැල් පෝලිමේ සිටිනු විමලාවතීට දැකගත හැකි විය. ඒ අතරින් ඇයට දකින්නට ලැබුණේ ධම්මික පිරිමි පුද්ගලයන් දෙදෙනකු සමඟ කතාබහක නිරත වී සිටින ආකාරයයි. කඩිනමින් ධම්මික වෙත ඇවිද ගිය විමලාවතී ඔහුට ඇය වෙතට පැමිණෙන ලෙස හිසෙන් ඉඟි කළේය.

” මොකද? විමලා… “

විමලාවතී අසළට පැමිණි ධම්මික ඇසුවේ විමලාවතී හදිසියේම තමන්ව හමුවීමට පැමිණි හේතුව සිතාගත නොහැකිවයි.

” ධම්මික මහත්තයා… ලොකු මහත්තයට දවල්ට කන්න කෑම එකක් ගිහින් දුන්නද…? “

විමලාවතීගේ පැනය ධම්මිකව නිරුත්තර කෙරුවේ දන්සැලේ වැඩ කටයුතු අතරේ තම පියාණන් ගැන මතකය ඔහුගේ සිතින් ගිලිහී ගිය බව සිහියට නැඟුණු නිසයි.

” නැහැනෙ විමලා… මට මේ වැඩ එක්ක අමතක වුණා තාත්තාට කෑම එකක් ගිහින් දෙන්න… විමලට පුළුවන් නම් ඉක්මනට ගිහින් කෑම එකක් බෙදාගෙන එන්න. අපි ගෙදරට ගිහින් දීලා එමු…”

ධම්මික පැවසුවේ ඔහුගේ සිතට වදදෙන වරදකාරී හැඟීමෙන් මිදෙන්නට සිතාගෙනයි.

” අප්පේ… ඔයින් ගියා මැදැයි… මට මතක් වුණේ නැත්නම් තාමත් අපේ ලොකු මහත්තයා බඩගින්නෙ… රටට ලෝකෙට අණබෙර ගහලා ලොකු පින්කම් කරාට වැඩක් නැහැ. තමන්ගේ ගේ ඇතුළේ ඉන්න අම්මා තාත්තා බඩගින්නෙ නම්… අද වගේ උතුම් දවසක තමන්ගෙ තාත්තට කන්න වේලක් නොදී රට වටේ මිනිස්සුන්ට කන්න දීලා පින් අරන් මොකටද? පුංචි මහත්තයා… ඉන්න මම ඉක්මනට කෑම එකක් අරන් එන්නම්…”

සිතට දැනුණ ආවේගය නිසාම ධම්මිකට පැවසූ විමලාවතී කඩිනමින් කෑම පාර්සලයක් සකස් කරගෙන ආවේ ධම්මික සමඟ හේමපාල මහතා බැලීමට නිවසට යාමටයි. ඔවුන් නිවසට ඇතුළු වෙද්දී නිවසේ ඉදිරිපස දොරටුව විවර කර තිබුණු අතර හේමපාල මහතා කාමරයේ ඇතැයි සිතා කෑම පාර්සලය රැගෙන ඔහුගේ කාමරය අසළට ගිය විමලාවතී ඔහුට කිහිප වරක්ම කතා කළත් ඔහුගෙන් පිළිතුරක් නොලැබුණු නිසාම ධම්මික සමඟ කාමරයට ඇතුළු විය. එහිදී ඔවුන්ට දැකගත හැකි වුණේ සිත සසල කරන අනපේක්ෂිත දසුනකි. යහන මත වැතිරී සිටි හේමපාලගේ දෙනෙත් විවර වී සිවිලිම දෙසට යොමු වී තිබුණු අතර මුව මදක් විවර වී, එක් අතක් පහතට කඩාවැටී තිබුණේ ඒ වනවිටත් ඔහුගේ ඉරණම විසදී අවසන් බව පසක් කරමින්ය.

” අනේ තාත්තේ… “

මහා හඬින් විලාප නැඟූ ධම්මික හේමපාලගේ යහන අසළට ළඟා වෙද්දී විමලාවතීත් ඔහු පසුපස ඇවිද ගියේ ඒ වනවිටත් ඔවුන් ප්‍රමාද වැඩි බව සිතමින්ය. නිවසට පැමිණීමට පෙර විමලාවතී පැවසූ වදන් තවමත් ධම්මිකගේ දෙසවන් තුළ රැව්දෙනවා ඔහුට ඇසුණි.

” අනේ තාත්තෙ… මට සමාවෙන්න…”

හේමපාලගේ සීතල වී තිබුණු දෙපා වැලඳගෙන ධම්මික හඬා වැළපුණේ කුඩා දරුවෙකු මෙන්ය. තම එකම පුතුගේත්, ලේලියගේත් කෙනෙහෙලිකම් සියල්ල තනිවම විඳ දරාගෙන සිටි හේමපාල මහතා අවසානයේදී ජීවිතයෙන් නික්ම ගියේ උතුම් වෙසක් පොහොය දිනයේ මිනිස්සුන් දහස් ගණනකගේ කුසගිනි නිවීමට මුල්තැන ගෙන කටයුතු කළ තම පුතුගෙන් වතුර පොදක්වත් නොලබා කුසගින්නේමය.

නිමාව.
සචිනි ජයසිංහ

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa