රිය අනතුරක් යනු මාර්ගයක ගමන් කරමින් සිටියදී වාහන එකක් හෝ කිහිපයක් සම්බන්ධ වී සිදුවන අනපේක්ෂිත සිදුවීමකි. මෙම අනතුරු විවිධ හේතු නිසා සිදුවිය හැකිය.රිය අනතුරු නිසා බරපතළ තුවාල, දේපළ හානි සහ මරණ පවා සිදුවිය හැකිය. එම නිසා, රිය පැදවීමේදී සෑම විටම ප්‍රවේශම් වීම සහ මාර්ග නීති අනුගමනය කිරීම වැදගත් වේ.

“වේගය මරුවා කැඳවයි”යන කියමන මෙරට ජනතාව අතර නිරතුරුවම මුවඟ රැදෙන කියමනකි.
එහෙත් දිනෙන් දින මෙරට තුළ සිදුවන රිය අනතුරු නිසා සිදුවන පුද්ගල මරණ සහ තුවාලකරුවන් ගණන සංඛ්‍යාත්මකව ඉහළ යමින් තිබේ. ඒ අතුරින් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වන පිරිසද ඉහළ අගයක් ගනී. වාර්ෂිකව මෙරට තුළ සිදුවන රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් අවම වශයෙන් 2,000 – 2,500ත් අතර පිරිසක් ජීවිතක්ෂයට පත්වේ.
රිය අනතුරු වලින් සිදුවන පුද්ගල මරණ මෙන්ම තුවාල ලබන පුද්ගලයින් නිසාද රටේ ආර්ථිකයට බලපෑමක් එල්ල වේ. මාර්ග අනතුරු වලින් බරපතල තුවාල ලබන පිරිසෙන් තුනෙන් එකක් පමණ මුළු ජිවිත කාලයටම බලපාන විදිහට ශාරීරක දුබලතාවයන්ට පත් වන බව හඳුනාගත හැකිය. මෙහිදී ගොඩක් මිය යන්නේ සහ තුවාල වෙන්නේ තරුණ වයසේ සිටින පිරිමි පුද්ගලයින්ය. එබැවින් රටේ ආර්ථිකයට ලොකු බලපෑමක් එල්ල වේ. මේ තරුණ පිරිස් තමයි ජාතික සංවර්ධනය සඳහා කෙලින්ම දායක වෙන සහ වෙන්න පුළුවන් අය.

ඉතින් මේ විදිහට එහෙම තරුණ පිරිස් රිය අනතුරකින් තුවාල වෙලා හරි මියගියොත් නැත්නම් ජීවිත කාලයටම බලපාන අබාධයකට ලක්වුනොත් රටේ ආර්ථිකයට බලපෑමක් සිදුවන බව හඳුනාගත හැක.
ලෝක බැංකුවේ මහා මාර්ග ආරක්ෂාව පිළිබඳව නිකුත් කර තිබෙන වාර්තාවට අනුව රිය අනතුරු හේතුවෙන් විපතට පත්වන පිරිසෙන් තුනෙන් දෙකක් අවුරුදු 16-64ත් වන රටේ ශ්‍රම බලකායට දායකත්වය දක්වන වයස් කාණ්ඩයේ පසුවන අය බව දක්වා ඇත.
එමෙන්ම මෙරට තුළ පවතින මාර්ග පද්ධතිය ද රිය අනතුරු බහුල වීමට හේතුවක් වන බව ලෝක බැංකු වාර්තාවේ සඳහන් වේ.
සෑම රටකම වගේ රිය පැදවීමේ වේගය සම්බන්ධයෙන් යම් නීතියක් පවතී.එවැනි සීමා දමා තිබෙන්නේ අපේම ආරක්ෂාව සඳහායි. අධිවේගී මාර්ගය ගත්තොත් එය නිර්මාණය කර තිබෙන්නේ උපරිමය පැයට කිලෝමීටර් 120ක කියන වේගයකටයි. නමුත් වාහන වලට අධිවේගී මාර්ගයේ ගමන් කරන්න කියන වේගය පැයට කිලෝමීටර් 100කින්ය. නමුත් ඒ කියා තිබෙන වේගයට වඩා ගිහින් වාහනයක් අනතුරට ලක්වුණොත් ඇතිවෙන තත්ත්වය නිසා සිදුවෙන්න පුළුවන් හානිය විශාල බව අපට හඳුනාගත හැකිය.
අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් 100ක වේගයෙන් යාමට පුළුවන් වුවාට රියදුරන් දැන ගන යුතුයි තමන්ට වාහනය පාලනය කර ගැනීමට පුළුවන් වේගයකින් වාහනය ධාවනය කරන්න. අධිවේගී මාර්ගයට වාහන ඇතුල් කිරීමේදී එම වාහනවල ගුණාත්මකභාවය ගැන නිරන්තර අවදානයෙන් පසුවිය යුතුය. මාර්ගවල රිය ධාවනය සඳහා උපරිම වේග සීමාවන් පනවා ඇති බවත් රියැදුරන් වාහන ධාවනය කිරීමේදී එම වේග සීමාවන්ට අනුකූලව වාහන ධාවනය නොකිරීම ද ගැටලු සහගත තත්ත්වයකි. වාහනයක ආසන පටි සවිකර තිබෙන්නේ ගමන් කරන්නාගේ ආරක්ෂාවටයි. නමුත් ආසන පටි පැළඳ සිටියේ නැත්නම් හදිසි අනතුරකදී ඉන් බලාපොරොත්තු වන තරම් ආරක්ෂාවක් ලැබෙන්නේ නැත. ඒ නිසා ආසන පටි පැළඳීම අත්‍යවශ්‍යයි. ඊට අමතරව වාහනය පදවන විට ජංගම දුරකථනය භාවිතයෙන්ද වැළකිය යුතුයි. ඒ වගේම
හොඳ රියදුරෙක් වුවත් බීමත්ව රිය පදවනවා නම් ඒ ඉතාමත්ම භයානකයි. මත්පැන් සුළු ප්‍රමාණයක් පානය කර තිබුණත් ඉන් සිදුවිය හැකි හානිය විශාලය. එබැවින් රිය පදවන විට බීමත්ව රිය පැදවීමක් සිදු නොකළ යුතුයි. ඒ වගේම නිදිකිරමින් රිය පැදවීම ද මගින් රිය අනතුරු බහුලව සිදුවී ඇති බව අපට හඳුනා ගැනීමටට පුළුවනි. එබැවින් දිගින් දිගටම ඈනුම් යෑම,හිස කෙලින් තබාගෙන සිටීමට අපහසු වීම, ඕනෑකමින් ඇසිපිය ගැසීමෙන් පසු කරමින් පැමිණෙන ස්ථාන අමතක වීම, මාර්ග සංඥා අමතක වීම, වාහනය ඒ මේ අතර යන බවක් දැනීම යනාදී ලක්ෂණ දැනුනොත් වහාම වාහනය පැදවීමට වෙන කෙනෙකුට ලබාදිය යුතුය. නැත්නම් මග නතර වී සුළු විවේකයක් ගත යුතුය. එබැවින් ගමන ප්‍රමාද කරත් තමාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට හැකිවේ.
හිරුමි තාරකා
කැලණිය විශ්ව විද්‍යාලය
ජන සන්නිවේදන අධ්යයනඅංශය
