සංවාදාත්මක ඉගෙනුම නූතන යුගයට හා වර්තමාන සමාජයට අවශ්‍ය ඉගෙනුම් ක්‍රමයක් ලෙස ඉගෙනුම් විද්‍යාවන් (The Learning Sciences) තුළ පිළිගත් මතයකි. මොකද්ද මේ සංවාදාත්මක ඉගෙනුම කියන්නේ, මොකද්ද ඒකෙන් අදහස් කරන්නේ යන්න අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

සංවාදාත්මක ඉගෙනුම ඉංග්‍රීසි භාෂාවෙන් හැඳින්වෙන්නේ, interactive learning (අන්තර්ක්රියාශීලි ඉගෙනුම) සහ dialogic learning (සංවාදමය ඉගෙනුම) යන වචනවලින්ය. මේ යෙදුම් දෙක එකම අදහසක් දෙනවා නොව, එකිනෙකට සම්බන්ධ එහෙත් සුළු වෙනස්කම් සහිත වදන්ය. interactive learning කියන්නේ පුද්ගලයන් දෙදෙනෙක් හෝ වැඩි සංඛ්‍යාවක් අතර සම්බන්ධතාව ඇතිකරගනිමින් එකිනෙකාට බලපෑම් ඇතිකරන ක්‍රියාවලියයි. ඒ අනුව සංවාදාත්මක ඉගෙනුම කියන්නේ එකිනෙකාට බලපෑම් ඇතිකරන විදියේ ඉගෙනුමයි. එක්කෙනෙක් කියන දේ අනික් අයගේ අදහස්වලට හෝ ක්‍රියාවලට සුළුවෙන් හෝ සාධනාත්මක බලපෑමක් ඇතිකරන්න පුළුවන්.
dialogic learning කියන්නේ පුද්ගලයන් දෙදෙනෙක් හෝ වැඩි සංඛ්‍යාවක් අතර සංවාද කරමින් යුගලක් හැටියට හෝ කණ්ඩායමක් හැටියට කරගෙනයන ඉගෙනුමයි. එය විවාද කිරීමක් නොවෙයි, හුදු කතාබහ කිරීමකුත් නොවෙයි. විවාද කරන්නේ අනික් කෙනා හෝ කණ්ඩායම පැරදවීමේ බලාපොරොත්තුවෙන්ය. කතාබහ යනු එකිනෙකා දැන හඳුනන හෝ හඳුනාගත් දෙදෙනෙක් හෝ කණ්ඩායමක් අතර ඇතිවන සුහද කතාබහයි. සංවාදයේදී දෙපැත්තේ හෝ විවිධ පැතිවල අය තම-තමන්ගේ හර, ආගමික හෝ සමාජ දර්ශන ඇතිව සංනිවේදන ක්‍රියාවලියට සහභාගි වෙති. වෙනස් මත හා හර අතර ගැටුම් ඇති වුණත් හැඟීම්බර නොවී එකිනෙකාට ඇහුන්කන් දෙති. තමන්ගේම මතවලම එල්බ සිටින්නේ නැතිව, අදහස්-මත වෙනස් වීම ස්වාභාවික දෙයක් යයි සිතා නිවැරදි අදහස් උකහා ගැනීමට හා විවිධ පැතිවලින් බලන්නට පුරුදුවෙති. එය තමයි සංවාදමය ඉගෙනුමේ විශේෂ ලක්ෂණය. මේ විදියට බලන විට සංවාදාත්මක ඉගෙනුම තුළින් එකිනෙකාට බලපෑම් ඇතිවීම වැළක්විය නොහැකියි.

Interactive learning කියන යෙදුම මේ ඉගෙනුම් ක්‍රියාවලියේ ප්‍රතිඵල දෙස වැඩි අවධානයක් යොමු කරන අතර, dialogic learning කියන යෙදුම ඉගෙනුම් ක්‍රියාවලිය කරගෙන යන විලාසය දෙසත් අවධානය යොමුකරයි.
ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ ගුරුවරයා කේන්ද්‍ර කරගත් දේශන හෝ අනුශාසනා ශෛලියේ අධ්‍යාපනයකි. එහිදී pair work, group work, discussion, dialogue ආදියට ඉඩක් නැත. අනෙක් අතට, උග්‍ර තරඟකාරීත්වය නිසා අදහස් ප්රකාශනය, අදහස් හුවමාරුව හා සංවාදයට පෙළඹෙන්නේ නැත. අදහස් එලියට දැමුවහොත් අනෙකුන් ඒවා හොරා ගනු ඇතැයි යන බය හා සැක-සාංකාව තදින් බලපායි.

එක්තරා නගරයක සංනිවේදන මධ්‍යස්ථානයක හිමිකරුවෙකු කියුවායයි කියන කතාවක් මගේ සිහියට නැගෙයි. පාසල් ශිෂ්‍යාවක් තම වැඩ පැවරුමේ අංගයක් ලෙස පරිගණකයෙන් සකස්කළ නිර්මාණයක් ගෙනවිත් මුද්‍රණය කරගෙන ගියාලු. ඒ සමඟම තවත් ශිෂ්‍යාවක් ඒ හා සමාන නිර්මාණයක් මුද්‍රණයට ගෙන ආවාලු. ශිෂ්‍යාව ෆොටෝ කොපි යන්ත්‍රය ක්‍රියා කරවන්නාට මෙසේ කීවාලු, “අර ඉස්සෙල්ල ප්‍රින්ට් කරපු එකට වඩා ටිකක් තද ලස්සන පාටින් මේක ප්‍රින්ට් කරලා දෙන්නකො.” යාළුවන් හෝ එකම පන්තියේ අය අතර පවා ඇති තරඟකාරිත්වය හා විසංවාදයට මෙය හොඳ උදාහරණයක් නොවේද?
එකම පංතියේ ඒ ඒ විෂයන්ට අනුව දක්ෂ අය හා එතරම් දක්ෂ නැති අය සිටින්නට පුළුවන්. මේ අය අතර අන්තර්ක්රියාකාරිත්වය හා සංවාදය ඇතිවීම ඔය දෙපක්ෂයටම සාධනාත්මක ප්‍රතිඵල ගෙන දිය හැකියි. එමඟින් දුර්වල අයගේ දැනුම වැඩිවීමට පමණක් නොව දක්ෂ අයට අදහස් ප්රකාශනය හා කියා දීම තුළින් තම දැනුම තහවුරු කරගැනීමට ද මාර්ගය පෑදෙයි.
ඉගෙනීමේ ඉලක්කය කුමක්ද යයි සිතන විට, විශේෂයෙන් දිර්ඝකාලින ඉලක්ක පිහිටුවා ගැනීමේදී සංවාදාත්මක ඉගෙනුම ඉතා ප්‍රයෝජනවත් වන බව ඉගෙනුම් විද්‍යාඥයෝ පෙන්වා දෙති. එවැනි ඉගෙනුම් ඉලක්ක තුනක් ගැන සඳහන් වේ. (මහාචාර්ය මසුකවා හිරොයුකිගේ වර්ගීකරණය හා අදහස් අනුවයි.)
1. Portability (පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි බව) – හුදෙක් විභාග සමත්වීම වැනි සීමිත පරමාර්ථ ඉක්මවා පළල් ක්ෂේත්රවලට අදාළව භාවිතයට ගත හැකි පරිදි දැනුම ඇතිකර ගැනීම
තොරතුරු සම්භාරය වැඩිකරගැනීමට පමණක් නොව අදාළ කරුණු පිලිබඳව විවිධ පැතිවලින් බලා දැනුම පළල් කරගැනීමට අන් අයගේ අදහස් හා සංවාදය උපකාර වෙයි.
2. Dependability (විශ්වසනීයත්වය) – අවශ්‍ය වෙලාවට ඉගෙනගත් දේ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව උදා කරගැනීම
ප්‍රශ්නයකට මුහුණ දුන් විට ඉගෙනගත් දේ භාවිතයට යොදාගැනීම අවශ්‍ය වුවද, ඉගෙනගත් දේ පාවිච්චි කළ හැකි බව නොදැනී අතපසුවන අවස්ථා ඇත. ඉගෙනගන්න දේ අන් අය සමඟ සාකච්ඡා කරලා තිබුණා නම්, ‘ආ! ඔව්, එහෙම තමයි නේද’ වැනි ප්‍රතිචාරවලින් ඒ දැනුම පරික්ෂා කර දැනගන්නට පුළුවන්කම ලැබේ.
3. Sustainability (ශක්තිමත්ව පවත්වාගෙන යාමේ හැකියාව) – ඉගෙනගත් දේ තව දුරටත් වර්ධනය කරගෙන පවත්වාගෙන යාම
ගුරුවරයා කියූ දේ හෝ පාඩම් පොතේ තියෙන දේ නිවැරදි, නොවෙනස්වන දේවවාක්‍ය හැටියට පිළිගෙන එහෙමපිටින්ම මතකයේ රඳවාගන්නේ නම් ඉගෙන ගැනීමත්, නිදහසේ සිතීමත් එතැනින්ම අවසන් වනු ඇත. එතැනින් එහාටත් ඉගෙනගන්න දේ තියෙනවා යයි සිතීම හා කාලය ගත වෙනවාත් සමඟ දැනුම් අලුත් කරගැනීමත් අවශ්‍ය වේ. ඉගෙනුම කියන්නේ අතීතයේ උගතුන් හෝ විශේෂඥයන් ඉදිරිපත් කළ දැනුම් මතක තබා ගැනීම පමණක් නොවෙයි; තමන් විසින් නිර්මාණය කර වර්ධනය කරගන්නා දැනුම් ද මේ ලෝකයේ පවතින බව පිළිගත යුතුය. දැනුම් වර්ධනය හා ඉගෙනුම පිළිබඳ මේ සාධනාත්මක ආකල්පය ඇතිකර ගැනීම සඳහා එකට එකතු වී සාකච්ඡා/සංවාද පවත්වන සහකරුවන්/සහායකයින් අවශ්‍ය බව අමුතුවෙන් කිවයුතු නැත. ඉහළ ගණයේ පර්යේෂණ පවත්වන විද්වතුන් පවා විවිධ සම්මන්ත්රණ, සාකච්ඡා, සංවාදවලට සහභාගි වී තම දැනුම මුවහත් කරගැනීම හා අලුත් කරගැනීම සිදු කරන බව රහසක් නොවේ.
මේ කියන සාධනාත්මක අන්තර්ක්රියාශීලිත්වය මත සංවාද පැවැත්වීමේදී හැමදෙනාම එකම දැනුම් මට්ටමේ නොසිටියාට කමක් නැත. එක එක්කෙනා මුලින් තමන් සිටිය මට්ටමේ සිට ඉහළට ඉගෙනුම පළල් කරගැනීමට හා ගැඹුරු කරගැනීමට පුළුවන් වීම සංවාදාත්මක ඉගෙනුමේ විශේෂ ලක්ෂණය වේ.
අපේ සමාජය තුළ ඇති භේදභින්නතාව නැති කර, මතභේද ඉක්මවා යන සහයෝගිතාව ඇතිකර ගැනීමට නම් සංවාදමය ආකල්පය වර්ධනය කර ගතයුතුය. ඒ සඳහා අනිවාර්යයෙන්ම අපට උපකාර වෙන්නේ සංවාදාත්මක ඉගෙනුම් ක්‍රමයයි. එවන් ඉගෙනුම් ක්‍රමයක් ස්ථාපිත නොකර සාමූහික සංවර්ධනයක් හෝ සාර්ථක අනාගතයක් ගොඩනගා ගැනීමට පුළුවන් වන්නේ නැත.
සටහන –

මහාචාර්ය දිලීප් චන්ද්‍රලාල්
