පාසලට නොගිහින් සනහස්ට දෙදිනක්ම නිවසට වී කාලය ගතකිරීමට සිද්ධ වුණේ නිවසින් පිටව යාමට මවගේ අනුමැතිව නොලැබුණු නිසයි..
ඉරු දින උදෑසනම සනහස් සූදානම් වී පා පැදියට ගොඩ වුණේ අමායව කෙසේ හෝ අද දින දැකගැනීමේ බලාපොරොත්තු ඇතිවයි..සනහස් මිතිලගේ නිවස සමීපයට ගොස් ඔහුවත් පා පැදියේ ඉදිරි පසින් ගොඩ කරගෙන පටු මාවත් කිහිපයක් දිගේ ඉදිරියට ගිහින් ප්‍රධාන මාවතට පිවිසුණේ උදෑසන දහයේ කනිසමට කලියෙන් ප්‍රජා පුස්තකාලය වෙත යෑමේ බලාපොරොත්තුවෙන්..
“ඉක්මනට පැදපන්කෝ බං..මෙහෙම ගියොත් දහයේ කෑලිත් නැති වෙයි අපි එතනට යද්දි..”
“අපරාදේ මිතිලයෝ අපිට තිබුණේ උඹලෑ අයියගේ හරි බයික් එක ඉල්ලගෙන එන්න..”
“ආපෝ..ඒකගෙන් වාහනේ ඉල්ලනවට වඩා හොඳයි පාරේ ලේන්සුවක් එලාගෙන හිගා කනවා..”
“උඹට අයියා නොදුන්නට මට දෙනවා..”
‘ඔව්…ඔව්..අපේ අයියට කොහොමත් මට වඩා ලොකු උඹවනේ..”
“උඹට ජෙලද..”
“අනේ..නෑ..මට අපේ අයියා ඕන නෑ..මට සංඛ අයියා ඉන්නවනේ..”
“යකෝ ඒ මගේ අයියා උඹේ අයියා නෙමෙයි..”
“උඹේ අයියා මගෙත් අයියා, මගේ අයියා උඹෙත් අයියා..ඒ හිංදා ඔහොම කියන්න එපා බං..”
“හරි.. හරි.. ඉතිං මං ජොලියටනේ කිව්වේ..
“මේ ඒක නෙමෙයි උඹ ඇත්තටම මැඩම්ගේ දූට කැමතිද.”
“මට ඒක කියන්න තේරෙන්නෑ බං..ඒ වුණාට අමායා නංගි ගැන හිතද්දි මට දැනෙන්නේ හරියට නිකන් බං මගේ බඩේ සමනල්ලු පියාඹනවා වගේ..”
“මේ සනහසෝ අර බං අපි පොත් වල කියවන්නේ ආදරේ දැනෙනකොට කන්න බැරි වෙනවා, හරියට නිදාගන්න බැරි වෙනවා කියලා උඹටත් එහෙම දැනෙනවද බං..”
“ඒ කතාව නම් සිරා කතාවක් තමයි මිතිලයෝ..මට හරියට ගිය දවස් ටිකේම නින්ද ගියේ නෑ..කන එකනම් කෑවා..
හැබැයි මට හැම වෙලේම මතක් වුණේ අමායා නංගිවමයි..”
“එහෙනම් ඉතිං ඕක ආදරේ තමයි..දැන් උඹ අමායා නංගිව හම්බෙලා මොකද කරන්නේ..කෙලින්ම ගිහින් කියනවද මං ඔයාට ආදරෙයි කියලා..”
“පිස්සුද එහෙම කිව්වොත් හොඳට තියෙයි..”
“ඒ වුණාට බං ෆිල්ම් වල තියෙන්නේ එහෙමනේ..අර ශාරුක්,සල්මන් තව මට ඔය නම් මතක නෑ බං..ඒ වුණාට උන් ඔක්කොම රෝස මලක් අතේ තියන් ඒක දික් කරලා කියන්නේ අයි ලව් යූ කියලනේ..උඹත් එහෙම කියපං..”
“උලමෝ ඒ ෆිල්ම් වල ලස්සනට ඔය වගේ දේවල් කරාට ඇත්ත ජීවිතේ ඔය වගේ විකාර කරන්නෑ..අනිත් එක එහෙම අයි ලව් යූ කියන්නේ මුලින්ම යාළුවෙක් වගේ ආශ්‍රය කරලා ඊට පස්සේ, නැතුව මේ ගාල කඩා ගත්ත හරකෙක් වගේ ගිහින් එහෙම අයි ලව් යූ කියන්නෑ..
“මං කිව්වේ ඉතිං ඔය ෆිල්ම් වල පෙන්නනේ දේනේ..”
“ඔය විකාර ෆිල්ම් බලන එක නතර කරපං යකෝ..ඕවල තියෙන්නේ තනිකර කෙල්ලොන්ට ගැලපෙන කතා..අපිට ඕවා ගැලපෙන්නෑ..”
“ඒ වුණාට බං ඒවල තියෙන්නේ පුදුම ලස්සනක්..සමහර ෆිල්ම් බැලුවම බං දවසෙම අඬන්න පුළුවන්..මං මේ ළඟදි බැලුවා සනම් තේරී කසම් කියලා හින්දි ෆිල්ම් එකක්, ඒක පට්ට ලස්නනයි ඕයි..හැබැයි ඉතිං අන්තිමට ඒ කෙල්ලව මැරෙනවා පස්සේ ඒ කොල්ලා එයාගේ අම්මගේ මරණ දවස කොටලා තිබුණ ගහේ කෙල්ලගේ නමයි මැරුණ දවසයි කොටනවා..ඒක මාරම ලස්සනයි ඕයි..ඒ කොල්ලා හරියට උඹ වගේමයි උස, මහත,ෆේස් කට් ඔක්කොම..”
“දැන් ඇති ඔය කියවිල්ල නවත්තලා මට වෙලාව කීයද කියපං මට අද කලබලේට ඔරලෝසුව බැඳගෙන එන්නත් අමතක වුණා..”
“දහයයි හතළිස් පහයි බං වෙලාව..”
“ම්..තාම ඇවිත් නැතුව ඇති නේද මිතිලයෝ.. අපි පරක්කුද දන්නෑ..”
“නෑ..නෑ..මං විස්තර හොයා ගත්තු විදිහට නම් නංගි හැමදාම එන්නේ එකම වෙලාවේ..තාම ඇවිත් නැතුව ඇති..”
පුළුන් උපරිම වේගයෙන් පුස්තකාලය ඉදිරි පිටට එනකන් සනහස් පා පැදිය පැදගෙන ආවේ ඉහෙන් කනින් දාඩිය වැගිරෙද්දියි..
“උඹ නිකන් තෙමිච්ච කුකුළා වගේ සනහසෝ..”
“අපිට තව ටිකක් වේල පහ ගෙදරින් එන්න තිබ්බේ මචං..”
“කලින් ඇවිත් මොන මගුලක් කරන්නද බූරුවෝ..අන්න අර ටැප් එකෙන් මූණ පොඩ්ඩක් සෝදගෙන වරෙන්..”
සනහස් අසල තිබුණ වතුර කරාමයකින් මුහුණත් සෝදගෙන කරගෙන ලේන්සුවකින් මුහුණ පිස දමමින් පැමිණ පුස්තකාලය ඉදිරි පිට සිමෙන්ති බංකුවක් මතින් අසුන් ගත්තේ ඇය පැමිණෙන්න තව බොහෝ වේලාක් ඉතිරිව තිබූ නිසයි..
දහයයි තිහට පමණ ඔවුන්ගේ බලා හිදීමට නිමාවක් දෙන ගමන් අමායා ප්‍රජා පුස්තකාලය වෙත පැමිණියේ කිසිදු කලබලයකින් තොරවයි..
දම්පාට මල් වැටුණු සුදු පාට මල් ගවුමක් ඇඳගෙන කොණ්ඩය තනි කරලට ගොතා ඉන්නා ඇයව මුලින්ම ඈත තියාම දුටුවේ මිතිල..
“ඒ…ඒ..අන්න කෙල්ල එනවා..”
සනහස් හිඳගෙන හිටපු තැනින් කලබලයෙන් නැඟිට්ටේ හදවත මහ හයියෙන් ගැහෙන්න ගනිද්දියි..
“උඹ දැන් මොකද කරන්නේ..කතා කරනවද..”
“පිස්සුද..”
සනහස් උත්තර දුන්නේ ඇය මතම නෙතු තියාගෙන…
අමායා ප්‍රජා පුස්තකාලය ඇතුලට යනකන් හිඳලා සනහස් පුස්තකාලය ඇතුළට පැමිණියේ ඇය කොහි සිටී දැයි සොයමින්..
විවිධ ශානරයේ පොත් පත් ඇතිරු රාක්ක පේළි අතරින් ඇවිද යන ගමන් තැන තැන නතරවෙමින් ඇඟිලි තුඩු වලින් පොත් මත රාටා අඳිමින් ඇවිද යන ඇය පසු පසින් ඔහු ඇවිඳගියේ ඇයට රහසින් ඇය මතම නෙතු තියාගෙන..
විනාඩි විස්සක් පමණ විවිධ ශානරයේ පොත් පත් තෝරමින් හිඳලා එයින් පොත් කිහිපයක් රැගෙන පුස්තකාලය ඇතුලත ශාලාව වැනි කොටසේ මේස කිහිපයේ එක් මේසයක් අසලට ගිහින් ඇය පුටුවක් මතින් අසුන්ගෙන පොත් කිහිපයෙන් එක් පොතක් ගෙන ඊට නෙතු තියා ගත්තේ වට පිටාව දිහාවට එක් බැල්මක් වත් නොහෙලමින්..
“අර නංගි කිව්වට මං හිතුවේ නෑ මචං අමායා නංගි මේ තරම් පොත්ගුලියක් කියලා..උඹට ෂුවර් ද මේ කෙල්ලව උඹට ගැලපෙයි කියලා..උඹේ තනිකර අනිත් පැත්ත මේ කෙල්ල..”
“පොඩ්ඩක් කෑ නොගහ හිටපංකෝ..”
දිහස් ඇයව පෙනෙන දුරකින් ඇති අසුනකින් අසුන්ගෙන හිටියේ ඇය මතක නෙතු තියාන ඇයව රස විඳිමින්..
පැය දෙකක් පමණ එකම ඉරියව්වෙන් එක් පොතක් කියවා ඇය අවසන් කරද්දි සනහස් සමීපයෙන් අසුන්ගෙන හිටපු මිතිල බර හුස්මක් රැගෙන අත් හැරියේ ඔහුට මේ බලා හිදීම එපා වී සිටිය නිසයි..
“මොකෝ උඹ නිකන් අමුතුවට හුස්ම ගන්නේ..”
“උඹගේ මඟුල් වලට කටු කාලා ඇති වෙලා මේ ඉන්නේ..මොන මඟුලක්ද බං පැය දෙකක් තිස්සේ මෙතන ඉදන් කරන්නේ..යකෝ මේක පුදුම කියවිල්ලක්නේ..එක තත්පරක් පොතෙන් ඇස් අහකට වත් ගත්තද කියපං..”
“කෙල්ලෝ එහෙම තමයි බං මේ අපි වගේ නෙමෙයි..පොතක් දුන්නොත් අනිත් වැඩ සේරම පැත්තක ඒක කියවලා ඉවර වෙනකං වෙන සිහියක් නෑ..අපේ අක්කා පේන්නේ නැද්ද..අපි කතා කරත් එයාට ඇහෙන්නෑ..”
“මට නම් බෑ බං තවත් මෙතනට වෙලා ඉන්න..පිස්සු හැදෙනවනේ මෙහෙම බිත්ති ටිකක් දිහා බලන් ඉදලා..”
“උඹට ඕන නම් ඔය පොතක් අරන් කියවපං..මං මෙතනින් එන්නේ අමායා යන වෙලාවට..”
සනහස් එදින පටන් සෑම ඉරු දිනකම ඇය පසු පසින් ප්‍රජා පුස්තකාලය වෙත පැමිණ ඇය පිටත් වන මොහොතේ ඇයට නොදැනෙන්න ඇය පසු පසින් ගියේ යහළුවන්ගේ උසුළු විසුළු මධ්‍යයේ..
“මොකක්ද මචං උඹ දැන් කවදද කියපංකෝ උඹේ හිතේ තියෙන දේ අමායා නංගිට කියන්නේ..”
“මූ බං දාහකට ගහන්න පුළුවන් වගේ හිටියට කෙල්ලෙක්ට කැමැත්ත කියන්නවත් ගට් එකක් නෑ..”
මිතුරන්ගේ උසුළු විසුළු සනහස් නම් ගණනකට නොගත්ත තරම්..
“මං කවදා හරි ඒක කියා ගන්නම්කෝ උඹලා පැහෙන්නේ නැතුව හිටපං..”
“මේ ඇත්තටම මචං උඹ බලාගෙන ඉන්නේ අමායා නංගි කාට හරි කැමැත්ත දෙනකන්ද..මං අහගෙන කවුද මන්දා කියනවා මැඩම්ගේ දූට ලයින් දාන කොල්ලෝ සෑහෙන්න ඉන්නවා කියලා..”
“ඔය කවුරු ලයින් දැම්මත් අමායා එහෙම එක එකාට කැමැත්ත දෙන කෙල්ලෙක් නෙමෙයි..”
“එහෙනම් ඉතිං උඹටත් කැමති නැති වෙයි..”
“නෑ..එයා මට කැමතියි..”
“උඹ කොහොමද හරියටම කියන්නේ එයා උඹට කැමතියි කියලා..”
“මං දන්නවනේ..”
“අනේ මේ දවල් හීන බලන් නැතුව හිටපං..ඒ කෙල්ල උඹට කැමති වෙන්න තියා ඒකී දන්නෑ උඹ වගේ එකෙක් ඒකිට කැමතිද කියලවත්..ඔන්න ඔය විකාර පස්සෙන් යෑම නවත්තලා නංගි එක්ක කතා කරපං මචං.සමහර විට උඹට කැමති වෙන්නත් ඉඩ තියෙනවා…”
මිතුරන්ගේ පෙරැත්ත නිසාම සනහස් අන්තිමට තීරණය කරේ ඇයට ඔහුගේ හිතේ තියෙන දේ පවසන්න..
මාස දෙකක් පමණ ඇගේ පසු පසින් ඇයට ඔහු නොදැනෙන්න ගියත් ඇය ඉදිරි පිටට යන්න සනහස්ට දැණුනේ මද චකිතයක්..
අන් දිනවල මෙන්න සනහස් මිතිල සමගින් ප්‍රජා පුස්තකාලය වෙත ගියේ දහසක් බලාපොරොත්තු පොදි බැඳන්..
“මට නිකන් බයත් වගේ බං..”
එක තැනකට වෙලා ඉදීමට නොහැකි තරම් චකිතයකින් හියපු නිසා ඔහු එකම තැන එහාට මෙහාට ඇවිඳිමින් සිටියේ නොසන්සුන් හිතින්..
“මට දැන් උඹ එහාට මෙහාට යනවා බලන් ඉඳලම කැරකිල්ල වගේ..මෙන්න මෙතින් ඇවිත් වාඩිවෙයන් මචං..”
“අමායා මට අකමැති වෙයිද බං..”
“මං කොහොමද බං දන්නේ මොකද මං අමායා ඇයි..”
හිතේ තිබුණ චකිතය නිසාම සනහස් පැයකට පමණ කලියෙන් පුස්තකාලය වෙත පැමිණියේ ඇය පැමිණෙන මොහොත වෙනකං වත් ඔහුට නිවසට වී ඉවසා සිටිය නොහැකි නිසයි..
“කීයද බං වෙලාව..”
“තව පැය බාගයක් තියෙනවා මචං නංගි එන්න..”
“අද වෙලාව යන්නේ නැද්ද බං..අපි ටිකකට කලින් බලද්දිත් තව පැය බාගයක් තියෙනවා කියලා කිව්වනේ උඹ..”
“හරි ඉතිං උඹ ඒ අහපු වෙලාවේ නවයයි විසි පහයි දැන් නවයයි තිහයි..ඔය විනාඩි පහ කොහොමත් ඉක්මනට යන එකේ මං උඹට නවයයි තිහම කිව්වා ඉතිං..”
තවත් පැයක් පමණ ඇය පැමිණෙන තුරු බලා සිටියත් ඇය වෙනදා පැමිණෙන වෙලාව පසු වී ගියත් ඇය නොපැමිණෙද්දි සනහස් සිටියේ ඉවසීමේ අන්තයේ..
“ශීක්..අද තාම නෑනේ..අද එන්නේ නැති වෙයිද බං..”
“එයි එයි මචං..උඹ අවුල් නොගෙන හිටපං..කවුද දන්නේ උදේ නැගිටින්න පරක්කු වුණාද කියලා..”
“ඒත් බං වෙනදා මේ වෙනකොට ඇවිත් පොතුත් තෝරගෙන ඉවරයිනේ..”
“තාම ඉතිං පැය බාගයයිනේ පරක්කු අපි තව ටිකක් වෙලා බලමූ..”
“අද ආවේ නැති වුණොත් අපි මොකද කරන්නේ බං..”
“අද ආවේ නැති වුණොත් අපි ඊළඟ සතියේ හරි නංගිට උඹේ හිතේ තියෙන දේ කියමු..”
විනාඩියෙන් විනාඩිය ගතව ගිහින් පැය දෙකක පමණ කාලයක් ගතව ගියේ සනහස් දෑස් දල්වාගෙන ඇය එන මඟ බලා සිටිද්දියි..
“මචං දැන්නම් ඇත්තටම නංගි එන්නැති වෙයි බං..සමහර විට නංගි ඊයේ ආවද දන්නෑනේ..අපි ආපහු ලබන සතියේ එමු බං..”
“අපි තව ටිකක් බලමු..”
මිතිල කොතරම් පෙරැත්ත කරත් සනහස්ට ඕන වුණේ තව පැයක් පමණ ඇය පැමිණේවිද කියා බලාසිටීමටයි..
“අපි දැන් යමු මචං..තවත් මෙතන හිටියා කියලා වැඩක් නෑනේ..නැන්දා උඹට ටවුමෙන් මොනවද ගේන්න කිව්වත් නේද..අපි ඒ ටික අරගෙන ගෙදර යමු..කෝ..නැගිටපං..”
මිතිල බලෙන් මෙන් සනහස්ව අසුන්ගෙන සිටිය සිමෙන්ති බංකුවෙන් නැගිට්ටවගෙන ටවුම දිහාවට පැ පැදියට ගොඩ වී පැදගෙන ගියේ නිවසින් පිටත් වන මොහොතේ නැන්දණිය විසින් ගෙනෙන්නට බාර දුන් බඩු කිහිපය මිලදී ගැනීමට සිතාගෙනයි..
හිතේ බලාපොරොත්තු දහසක් පොදි බැඳගෙන උදෑසන නිවසින් පිටත් වුණ ඔහු නැවතත් නිවසට පැමිණියේ පරාජිතයෙකු විලසින්..
“මොකෝ ඕයි ඔය..තමුසේ ගෙදරින් ගියේ උඩ පැන පැන නේද..මොකෝ දැන් හුළං ගිය බැලුන් එකක් වගේ එන්නේ..”
රන්දි ඔහුගේ ස්වරූපය දැක ඔහුට එක එක දේ පැවසුවත් සනහස් ඇයව ගණනකට නොගෙන ඔහුගේ කාමරය වෙත ගිහින් සයනයේ දිගෑදුනේ හිතට දැනෙන පරාජිත හැඟීම නිසයි..
“මොකෝ සුදු මැණිකේ අර..”
“කවුද දන්නේ අම්මේ..උදේ ඔය මිතිල මල්ලි එක්ක කොහෙද යනවා කියලා නේද ගියේ..”
“කිව්වෙනම් එහෙම තමයි..”
“එහෙනම් මිතිල මල්ලිට කතා කරලා බලන්න අම්මේ මෙයා ඒ පාර මොන අඩව්වක් අල්ලලද කියලා..”
“ම්..කතා කරලා බලන්න ඕන..”
පසුගිය සතියේ කොටස මෙතැනින් –
අකුරු ගෙත්තම
අනූපමා කාරියවසම්
