ජයටම සූදානම් කර තිබුණ කෑම මේසෙන් සනහස් වගේම මිතිලත් අසුන් ගත්තේ කෑම මේසේ පුරාම තියෙන එක එක විදිහේ කෑම ජාති දකිද්දි දැනුණු දැඩි කුසගින්න නිසයි..
“අම්මෝ නැද්දේ ඔයා මාර කෑම ජාති ගොඩක්නේ අනේ හදලා තියෙන්නේ. .මෙහෙම කෑම හදනවා කියලා දන්නවනම් මං හැමදාම මෙහේ එනවා කාලා යන්න..”
“එනවනම් ඉතිං හැමදාම වුණත් හදලා දෙන්න බැරියැයි..”
“මේ වැඩ නොතිබ්බනම් නැන්දේ මං අනිවාර්යයෙන්ම මූ ඉන්න අහක තමයි ඉන්නේ..කොහෙද ඉතිං ඔෆිස් එකේ වැඩ සේරම තාත්තා මගේ පිට පැටෙව්වනේ..”
“මෙයා වගේ එක එක විකාර නොකර ඔය බිස්නස් බලාගෙන ඉන්න එක හොඳයි ගෙදර මිනිස්සුන්ට අඩුම තරමේ සැනසීමේ හරි ඉන්න පුළුවන්..”
ශිරන්ති සනහස් දිහා බලන ගමන් මිතිලට එහෙම කිව්වේ සනහස්ට ඇහෙන්නත් එක්ක..
“අයියෝ නැන්දා මොකක්ද අනේ, ඔයත් හරියට නිකන් අපේ ආච්චි වගේමයි කතා කර කර ඉන්නේ වෙන කාගෙත් එක්කවත්
ඒත් කියවන්නේ වෙන කාගෙවත් ඒවා..ඒක නෙමෙයි නැන්දේ මාමා එළියට එහෙම එන්නැද්ද දැන්..”
“එයා ඉතිං ඔය පැරලයිස් වුණාට පස්සේ වැඩිය එළියට එහෙම එන්න කැමති නෑ.. ඔයා දන්නවනේ පුතා ඉතිං මාමා කොහොමත් ඉස්සරත් ටිකක් අමුතු විදිහට හිතන කෙනෙක් කියලා..”
“අපෝ මං නොදන්නවැයි ඒක..අපේ අම්මා කිව්වා නැන්දේ රත්නපුරේ පැත්තේ කවුදෝ මන්දා වෙද මහත්තයෙක් ඉන්න කතාවක් ඔය අංශභාගේ එහෙම හැදුණු ලෙඩ්ඩු හොඳ කරන..එහෙම තැනකට වත් මාමව එක්කරන් ගියානම් අඩුම තරමේ ටිකක් හරි ඇවිඳගෙන යන්න පුළුවන් මට්ටමකට ගන්න තිබුණා..
“කොහොම කරත් පුතා ඔය ලෙඩේ නිට්ටාවටම හොඳ කරන්න බෑ මං අහලා තියෙන විදිහට නම් වෙදෙක් ගාවට ගියත්..හොඳ කරන්න පුළුවන් ලෙඩක් නම් මේ වෙනකොටත් මාමා අඩියක් දෙකක් හරි ඇවිඳිනවනේ පුතා..අපි කොච්චර ඩොක්ටර්ස්ලා ගාවට මාමව එක්කරන් ගියාද ඒත් කිසිම වැඩක් වුණේ නෑනේ..”
“ඒ වුණාට අම්මා සංඛ කිව්වෙත් මිතිල මල්ලි කියපු කතාවමයි..එයා කියන්නෙත් දොස්තරලට බෑ කියන ලෙඩ්ඩු ඕන තරමක් වෙද්දු හොඳ කරලා තියෙනවා කියලා..සංඛ මට දෙතුන් පාරක්ම කිව්වා අපි අප්පච්චිව වෙද මහත්තයෙක් ගාවට අරන් යමු කියලා අම්මා ඉතිං ඔය වැඩ වලට එච්චර අකමැති නිසා මං ඒ අදහස අතැරියා සංඛ කිව්වට..”
“අන්න ඒකනේ නැන්දේ සංඛ අයියා දොස්තර කෙනෙක් වෙලත් එයා විශ්වාස කරනවා එයාලට බැරි වුණාට වෙද්දුන්ට ඔය වගේ ලෙඩ හොඳ කරන්න පුළුවන් කියලා..”
“මං එහෙම දේවල් වලට වැඩිය කැමති නැති බව ඇත්ත සුදු මැණිකේ ඒ වුණාට අප්පච්චි ඔහොම එක තැනකට වෙලා කතා කරගන්නවත් බැරුව ඉන්නවා දවස ගාණේ දකිද්දි මගේ පපුව පිච්චිලා යනවා..මොනවා කරලා හරි කමක්නෑ අප්පච්චිව ඉක්මනට සනීප කර ගන්න පුළුවන් නම් මට ඕන එච්චරයි..අප්පච්චි කොච්චර සැර වුණත් මේ ගෙදර ජීවය තිබ්බේ අප්පච්චි ළඟ එයා එකතැන් වුණත් හරි අපි හැමෝම එක එක තැන්වල..”
“ඇත්තටම මාමට වුණ දේ අපිටත් එකපාරටම හිතාගන්න බැරි වුණා නැන්දේ..
කිසිම ලෙඩක් තිබුණ මනුස්සයෙක් නෙමෙයිනේ..”
“ඒවා ඉතිං එහෙම තමයි පුතා මේ ඉන්නවා මේ මැරෙනවා ඕවා ඉතිං අපිට නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයිනේ..”
“ඒක ඇත්ත නැන්දේ..”
සනහස් නිහඬවම ආහාර ගත්තේ හිතත් සමඟින් දොඩමළු වෙමින්..
ඔහුත් පියාත් අතර ඉතා හොඳ ශක්තිමත් බැඳීමක් නොතිබුණත් ඔහු පියාට මහත්සේ ගෞරව කරා.. ඒක ගෞරවයකටත් වඩා ඔහු පියාට මවට තරම්ම සමහර විට ඊටත් වඩා ආදරය කරා..පියා කොයිතරම් ඔහුව ප්‍රතික්ෂේප කරත් ඔහුගේ හිතේ පියා වෙනුවෙන් තිබුණ ගෞරවය,සෙනෙහස තවමත් එලෙසමයි..
“ආන්ටි දන්නවද වැඩක් මූට විසිර ටිවී එකේ රියැලිටියකට ජජ් කෙනෙක් විදිහට වැඩ කරන්න කතා කරලා..”
“අනේ..ඇත්තද පුතා..”
ශිරන්ති කොයි තරම් ඔහු ගායන ක්ෂේත්‍රයට පිවිසියාට අකමැති වුණත් ඔහුගේ ජයග්‍රහණ වලට නොමඳව සතුටු වෙන්නේ කාලයක් කිසිදු අරමුණකින් තොරව විශ්වවිද්‍යාල ප්‍රවේශය පවා අතැර දමමින් අඳුරේ ගතකරපු දිවියට වඩා ඔහු දැන් ගත කරන දිවිය දීප්තිමත් නිසයි..
“කවදා ඉදන්ද මල්ලි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නේ..තව ටිකක් ඔයාගේ ප්‍රේක්ෂකයෝ වැඩි වෙයි නේද..මට හරි සතුටුයි මල්ලි..”
රන්දියි,ශිරන්තියි දෙදෙනාම හිටියේ සනහස්ගෙන් පිළිතුරක් ලැබෙන තුරු නොයිවසිල්ලෙන්..
“මල්ලි අපි මේ ඔයාට කතා කරන්නේ මොන ලෝකෙද ඉන්නේ..”
රන්දිගෙන් පිටට ලැබුණු පහර නිසාවෙන් සනහස් ගැස්සි ගියේ ඔහු හිටියේ අතීත මතක අතරේ සැරි සරමින් නිසයි..
“ආ..මං හිටියේ වෙන කල්පනාවක..මොකක්ද ඇහුවේ අක්කේ..”
“අපි ඇහුවේ කවදද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නේ කියලා..”
“තාම එහෙම දිනයක් නම් කිව්වේ නෑ..
මං තාම යනවද නැද්ද කියලා තීරණය කරේ නෑ..”
“මේ වගේ චාන්ස් එකක් සෙල්ලමින් හම්බෙනවද මනුස්සයෝ..ඔය විකාර කර කර ඉන්නේ නැතුව කැමැත්ත දෙනවා..තමුසේ විතරක් නෙමෙයි ඔය ෆීල්ඩ් එකේ ඉන්නේ..
කොයිතරම් අය ඉන්නවද ඔය වගේ අවස්ථාවක් හම්බෙනකන් කොහොම හරි ඔය වගේ දේකට පැන ගන්න..අපරාදේ මල්ලි ඔය චාන්ස් එක නම් මිස් වුණොත් හොදේ..තමුසෙට ආයි ඔය වගේ චාන්ස් එකක් මේ කපේදි හම්බෙන්නේ නැති වෙයි..”
“මාත් මූට ඕකම කිව්වා අක්කේ..මූ ඉතිං අපි කියන එකක් අහන එකෙක් නෙමෙයිනේ..ඉස්සරත් එහෙමයි දැණුත් එහෙමයි..”
“ඇයි දැන් සුදු පුතා ඔය වැඩේට පස්ස ගහන්නේ..”
“ඔය වැඩේ නිකන් දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් අම්මේ..අපි ජජ් බෝඩ් එකේ පේන්න වාඩිගෙන හිටියට අපිට කිසිම බලයක් නෑ අපිට කැමති තරගකරුවා තෝරගන්න..කොච්චර කොහොම ටැලන්ට් එකක් තිබුණත් එයාලා ගන්න අකමැති අයව අපිට තෝරන්න බෑ..එයාලා කැමති රිච් වැඩිපුරම තියෙන කෙනාව තමයි අපි තෝරන්න ඕන..ඔතන දක්ෂතාවය විතරක් තියෙන මනුස්සයට ඉස්සරහට යන්න කිසිම චාන්ස් එකක් දෙන්නෑ..තනිකර රියැලිටියක් වගේ දෙයක් වෙන්නේ..මෙතන වැඩිය ගායන හැකියාව බලන්නෑ බලන්නේ කොහොමද ප්‍රෝග්‍රෑම් එක මාකට් කරගන්නේ කියලා විතරයි..”
“එහෙනම් ඉතිං ඔයාලට හොඳට බැනුම් එහෙම අහන්න වෙයි ඔයාලා තෝරන මිනිස්සුන්ට හරියට සිංදුවක් වත් කියාගන්න තේරෙන්නෑ කියලා..”
“ඒ හින්දම තමයි මං ඔය ප්‍රෝග්‍රෑම් එකට යනවද නැද්ද කියලා තාමත් කල්පනා කරන්නේ..මං කැමති නෑ මිනිස්සු මං ගැන මවාගෙන ඉන්න ප්‍රතිරූපය විනාශ කරගන්න,
ප්‍රෝග්‍රෑම් එක බලන මිනිස්සු හිතන්නේ තෝරන්නේ අපි කියලනේ ඒ මිනිස්සු එතන ඇත්තටම වෙන දේ දන්නෑනේ..අනිත් එක අපි වැඩ කරන්න ඕක ස්ක්‍රිප්ට් එකකට,අපි හැසිරෙන්න ඕන කොහොමද,අපි කියන්න ඕන මොනවද,අපි එතන වාඩිගන්න ඕන කොහොමද කියන එක පවා තීරණය කරන්නේ එයාලා..”
“හැබැයි ඉතිං ඔයා තව රිච් වෙයි ඕකට ගියොත් මල්ලි..විසිර ටිවී කියන්නේ ඉතිං ලංකාවේ මිනිස්සු වැඩිපුරම බලන චැනල් එකක්නේ..”
“මං ඇග්රිමන්ට් එකේ ඩීටේල්ස් ටික ලෝයර්ට ඇරියා බලමු එයා කියන එකත් අහලා බලලා යනවද නැද්ද කියලා තීරණය කරනවා..”
“ඔව් එතකොට කෝකටත් හොඳයිනේ..”
“මිතිල දැම්ම ගෙදර යන්නෑ නේද..”
“නෑ..නෑ..නැන්දේ සතියක් විතර ඉන්නවා..”
“එහෙනම් රෑට කන්න මං මොනවා හරි හදන්නම් මොනවද කන්න ඕන..ගොඩ කාලෙකින්නේ ආවෙත්..”
“අම්මේ අපි රෑට කන්න ඉන්නෑ..මමයි මූයි අද රෑ ඉන්න apartment එකට යනවා..”
“යන අහක රෑට කාලා යන්න..මෙච්චර මේ ගෙදර ඉඩ තියෙද්දි දෙන්නා මොකද වෙන වෙන තැන් හොයන් යන්නේ..ආ..සුදු පුතා මොකක්ද දෙන්නා කරන්න යන්නේ..”
“මට හෙට පොඩි වැඩ වගයක් තියෙනවා නැන්දේ කරගන්න apartment එකේ ඉදලා උදේම එහෙට යන්න ලේසියි ඒයි අපි මේ එහේ යන්නේ..”
රාත්‍රියේ දී මිතුරන් දෙදෙනා මදක් මත් වීමට දින කිහිපයකට කලියෙන්ම තීරණය කරගෙන හිටපු නිසා නැන්දනියට පැවසීමට බොරුවකුත් ගොතාගෙනම ඔවුන් නිවසට පැමිණියේ නැන්දනියගෙන් නිවසේ ඔවැනි කටයුතු වලට අවසරයක් කවදත් ඔවුන්ට නොලැබෙන බව දන්න නිසයි..වසර කිහිපයකට කලියෙන් සොරෙන් මඳුවිත ස්වල්පයක් පානය කර නිවසට පැමිණි ඔවුන් දෙදෙනාට සිදු වුණේ රැයක් නිවසින් පිටත ගත කරන්න..
“එහෙනම් ඉතිං කඩේකින් මොනවා හරි අරගෙන ගිහින් කන්න..”
සනහස්ලා කෑම මේසෙන් පිටත්වෙනතුරු බලාගෙන ඉඳලා රන්දි කිට්ටු වුණේ මව සමීපයට..
“ඔය නම් අම්මේ මේ දෙන්නා යන්නේ හෙට වැඩට යන්න ලේසි නිසා නෙමෙයි ෂූවර් එකට බොන්න..මන් දන්නැද්ද මේ දෙන්නගේ හැටි..
අපි කැමති නෑ කියලා දන්න නිසාම කලින්ම හොඳ බොරුවක් හදන් ඇවිත්..”
“ඉස්සර වගේ නෙමෙයිනේ සුදු මැණිකේ දැන් ඉතිං අපිට මෙයාලව හදන්න බෑ..මෙයාලා දැනගන්න ඕන හොඳ නරක දැනගෙන හැදෙන්න..”
“අපරාදේ යන්න නොඳී ඉන්න තිබුණේ අම්මට..”
“මං යන්න එපා කිව්වට මෙයාලා නොගිහින් ඉදියි කියලා සුදු මැණිකේ හිතනවද..”
“ඒකත් ඇත්ත ඉතිං..මල්ලි දැන් චුට්ටක් හරි කන්ට්‍රෝල් අයියට විතරයි අම්මේ, ගිය කාලේ මල්ලි පිස්සෙක් නොවී යන්නත් බේරුණේ අයියා නිසා..”
“අපේ පවුලට වූණ දේ ගැන මට තාමත් හිතාගන්න බෑ දරුවෝ..අප්පච්චි අද මෙහෙම එක්තැන් වෙන්න ගොඩක් බලපෑවේ මල්ලිගේ ප්‍රශ්නේ..අප්පච්චිට දරාගන්න බැරි වුණා ගමේ මිනිස්සු එයාට කයි කතන්දර කියද්දි..”
“මං නම් ඒ අතීතේ මතක් කරන්නත් කැමති නෑ අම්මේ..ඒ දේවල් නොවුණනම් කියලා හිතුවට දැන් ඒවා වෙලා ඉවරයිනේ අම්මේ..”
“මං දෙවියන්ට තාමත් ස්තූති කරන්නේ මල්ලි මෙහෙම හරි ජිවිතේ අලුතින් පටන් ගත්ත එක නිසා දරුවෝ..එහෙම නොවුණනම් මොනවා වෙයිද කියලා මම හිතාගන්න බෑ…
**
සනහස් මිතිලත් සමඟින් සවස හතරට පමණ නිවසින් පිටත් වුණේ ඔහුගේ පෞද්ගලික පාවිච්චියට කොළඹ නගර මධ්‍යයේ ඇති ජනප්‍රිය නිවාස සංකීර්ණයකින්
ඔහු මිලදී ගත් නිවස වෙතයි..
“මේ තැන සුපිරියි මචං..කොළඹ මැද ජීවත් වෙන එකත් සෙල්ලම් නෑ..අපේ ගමේ එවුන් ටිකට පිස්සු හැදෙයි මෙහේ ආවොත් නම්..”
“උන් ටිකව මට අමතක වෙලා නෙමෙයි මචං..”
“උන් දන්නවා බං ඒක..උන් ටිකත් බලාගෙන හිටියේ උඹ තැනකට එනකන්..මොකෝ කියන්නේ මේ පාර යමුද නවෝදයගේ වෙඩිමට..සස්මිතයා බැන්දා උඹ ඒකට ආවෙත් නෑ..පබසරයා බැන්දා උඹ ඒකට ආවෙත් නෑ..හැබැයි මචෝ මේකට නම් උඹ නොගියොත් අනිවාර්යයෙන්ම නවෝදයා නම් අප්සට් යයි..ඔහොම හිටපංකෝ මං ඌට කොල් එකක් අරන් දෙන්න..”
“මචං..මං මේ අරූව බලන්න ආවා බං..මං මේ කතා කරේ අර වැඩේ ගැන මං ඌට කිව්වා ,උඹත් කතා කරලා කියපං..මං ඌට ෆෝන් එක දෙන්නම්..”
සනහස් අමායගේ මරණෙන් පස්සේ ගමෙන් ආවත් හරි ගමට ආපහු නොගියේ ඇගේ මතක ඔහුට වේදනාවක් වූ නිසයි..මිතුරු නඩයේ සත් දෙනාගෙන් දෙදෙනෙකුම විවාහ වුණත් ඒ කිසිදු විවාහයකට ඔහු සහභාගි නොවුණේ අතීත මතක අතර සැරිසරන්න තරම් ඒ දිනවල ඔහුට ශක්තියක් නොමැති වු නිසයි..මිතුරු නඩයේ සමීපතම මිතුරෙකු වූ නවෝද්ගේ විවාහයට අනිවාර්යයෙන්ම යා යුතු වුණත් සනහස් හිටියේ දෙලොවක් අතර අතරමංවීයි..නොගිහින් හිටියොත් මිතුරා තරහ වෙන බව නම් සක්සුදක් සේ ඔහු දන්නවා..එහෙත් ඔහු එම විවාහය නිසාවෙන් නැවත වසර පහකට පසු ගමට යනවැයි කියන්නේ ඔහු අපහසුවෙන් සාදාගත් කැඬි බිඳි ගිය සිත නැවතත් කැඬි බිඳි යන බව නම් ඔහුට විශ්වාසයි..
“හෙලෝ..මචං..”
“අනේ..නෑ බං මට උඹලව අමතක වෙලා නෙමෙයි..උඹලා දන්නවනේ වුණ දේවල්..”
“හරි..හරි බං මං දැන් ඒ දේවල් හිතන්නෑ..”
“මට මිතිලයා කිව්වා උඹ මැරි කරනවා කියලා..congratulation මචං..මට හරි සතුටුයි..”
“ආ..උඹ ඒ කාලේ පස්සෙන් ගියපු කෙල්ලද.. මොකද මට මතක නැත්තේ..අපි දවස් කීයක් උඹ නිසා කටු කාලා ඇද්ද..”
“මං අනිවාර්යයෙන්ම එන්න උස්සහ කරන්නම් මචං..අනේ තරහ වෙන්න එපා බං මට එන්න බැරි වුණොත් නම්..”
“මං කොහොම හරි එන්න ට්‍රයි කරන්නම් බං..”
“ආ..විසි හත නේ..විසි හත නම් මං තාම නැඩක් නම් දාගත්තේ නෑ..මං කෝකටත් උඹට ලං වෙලා කෝල් එකක් දෙන්නම්කෝ.. හරි..හරි මචං බුදු සරණයි..
උඹට මොනවා හරි කෙරෙන්න තියෙනවනම් මට කතා කරපං..මං ඕන උදව්වක් කරන්නම්..”
පසුගිය සතියේ කොටස මෙතැනින් –
අකුරු ගෙත්තම
අනූපමා කාරියවසම්
