ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය අනුව කායික , මානසික, අධ්‍යාත්මික, චිත්ත වේගාත්මක සහ සමාජ සංවර්ධනය උදෙසා උපකාරී වන අවම ජීවන තත්ත්වයක් භුක්ති විඳීමට සෑම දරුවෙකුටම අයිතිය හිමි වේ . එහෙත් ලොව පුරා විසිරී සිටින දරුවන්ට සම්පූර්ණයෙන්ම මෙම අයිතිය භුක්ති විඳීමට අවශ්‍ය පසුබිම සලසා දී නොමැත. විශේෂයෙන් දරුවන් ලිංගික අපයෝජනයට, ප්‍රචණ්ඩත්වයට හා ශ්‍රම සූරා කෑමට ගොදුරු වීම පමණක් නොව අධ්‍යාපනය ඇතුළු බොහෝ මූලික අයිතිවාසිකම් ඔවුනට අහිමි කරනු ලැබීම නිරන්තරයෙන්ම අසන්නට ලැබේ. ලොව පිළිගත් ආකාරයට දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම අත්‍යාවශ්‍ය කරුණකි. දරුවන්ගේ සමීපතම ආරක්ෂකයා වන දෙමව්පියන් විසින් දරුවාට අවශ්‍ය රැකවරණය , ආදරය මෙන්ම අවැසි කල්හි ලිංගික අධ්‍යාපනය ලබා දීම ද සිදු කළ යුතුව ඇත. එය අන් කවරදාටත් වඩා වර්තමානයේ අත්‍යාවශ්‍ය වෙමින් පවතී.

එදා පැවති ගෘහ මූලික සමාජය තුළ මානවයා පන්සල කේන්ද්‍ර කර ගනිමින්, අන්‍යෝන්‍ය සුහදතාවයෙන් යුතුව ධාර්මික දිවි පෙවතක් ගත කළහ. නමුත් අද්‍යතන මිනිසා මුදල් පසුපස හඹා යමින් තම සමීපතයන්ට ඉටු විය යුතු යුතුකම් ඉටු කිරීම පැහැර හරිමින් සමාජ මාධ්‍යය තුළම ජීවත් වෙමින් අනවරත අරගලයක යෙදෙයි. මේ නිසා මා පිය දූදරු සබඳතා ගිලිහෙමින් සදාචාර දරු පරපුර වියැකෙමින් අධර්මය රජ කරවන පිරිහෙන සමාජයක් නිර්මාණය වෙමින් වර්ධනය වනු දක්නට ලැබේ.
මෙම තත්ත්වයට බොහෝ හේතූන් බලපායි.
මානවයාගේ නිදහස් නිර්මාණාත්මක චින්තනය සීමා කරමින්, සදාචාරාත්මක සීමා උල්ලංඝනය කරමින් විකාශනය වන අවර ගණයේ ටෙලි සිත්තම් නැරඹීම ඉන් ප්‍රධාන වේ. ජංගම දුරකථන හා සමාජ ජාලා අවභාවිත කරමින් අසැබි වීඩියෝ දර්ශන නැරඹීම තවත් එක් හේතුවකි. නවීන පන්නයේ මත්ද්‍රව්‍ය භාවිතය, රාත්‍රී සමාජ ශාලාවන්හි විනෝද වීම ඊට අමතරව අවධාරණය කළ හැකි හේතු කිහිපයකි. එතුළින් වර්ධනය වන කාමාශාවන් තෘප්ත කර ගැනීමට බාල මහලු වැඩිහි පිරිමින් නිරන්තරයෙන් අවස්ථාවන් සොයයි. තම නිවසේ සිටින සිඟිති දියනියගේ සිට වැඩිහිටි කාන්තාවන් දක්වා තම උකුසු ඇස ඉලක්කගත වන්නේ මෙවන් පසුබිමක් තුළය. ඒ අනුව තමන්ට එල්ල වන තර්ජනයන් හමුවේ හෝ සමාජමය අපවාදයෙන් මිදීමට දුක් ගැහැට විඳිමින් සියල්ල තනිව දරා ගැනීමට හෝ දරා ගැනීමට නොහැකි වූ විට සියදිවි හානි කර ගැනීමට පෙළඹීම දක්වා මෙම සමාජ ව්‍යසනය ව්‍යාප්ත වීම දරුණු ගැටලුවක් බවට පත්ව ඇත .
මීට අමතරව දෙමාපිය රැකවරණය නිසි ලෙස නොලැබීම, දරුවන්ට අවධානය ලබා නොදීම හා සවන් නොදීම, නිසි අධීක්ෂණයකින් තොරව ජංගම දුරකථන හා ආශ්රිත වෙනත් උපකරණ භාවිතයට ඉඩ ලබා දීම, අධ්‍යයනය කළ යුතු, තෝරා ගත යුතු මාධ්‍ය වැඩසටහන් පිළිබඳ දරුවන්ට නිසි මඟ පෙන්වීමක් සිදු නොකිරීම, දරුවන් නිසි පරිදි සමාජගත නොකිරීම, නීතිය පිළිබඳව නිවැරදි දැනුමක් ලබා නොදීම,නීතිය ක්‍රියාත්මක කරන ආයතන නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකිරීම, වරදකරුවන්ට දඩුවම් ලබා දීම ප්‍රමාද වීම, සුභාවිත ගීත හා කාලෝචංත වැඩසටහන් ශ්‍රවණයට මාධ්‍ය තුළ ගුවන් කාලය වෙන් කර නොදීම වැනි කරුණු නිසා ඉහත කී සමාජ ව්‍යසනය තවතවත් වර්ධනය කරවයි.

මේ සඳහා වගකිව යුත්තේ ද විසඳම් සෙවිය යුත්තේද පවතින රජය මත යැයි බොහෝ දෙනා තුළ මතයක් පවතී. නමුත් එය එසේ නොවන බව මාගේ පෞද්ගලික හැඟීමයි. මේ පිළිබඳ සමාජ කතිකාවකත් ගොඩ නැගිය යුතුය. පෙර පාසැල්, පාසැල්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සියලු ආයතන දැනුම්වත් කළ යුතුය .දෙමව්පියන් , දරුවන් , ගුරුවරුන්, වගකිවයුත්තන් ඉලක්කගත කරමින් සැලසුම්සහගත වැඩපිළිවෙළක් දියත් කළ යුතුය. මේ සඳහා සමාජ ජාලා, මුද්‍රිත මාධ්‍ය ධනාත්මක අන්දමින් යොදවා ගත යුතුය.
ඒ හරහා සදාචාරාත්මක මාධ්‍ය භාවිතයට දරුවා හුරු කිරීම, ජංගම දුරකථන හා සමාජ ජාලා අවභාවිතයේ ප්‍රතිවිපාක පිළිබඳ දරවාව දැනුම්වත් කිරීම, අනාගත වෘත්තීමය ඉලක්ක කෙරෙහි දරුවා යොමු කරවීම, සුභාවිත සංගීතය ජනගත කිරීම, දරුවන්ගේ සහ දෙමව්පියන්ගේ සබඳතා ශක්තිමත් කිරීම, පොත පත කියවීමට නැඹුරු කරවීම, වැඩමුළු පැවැත්වීම, ආගමික ශාස්තෘවරුන් , පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව, ග්‍රාම නිලධාරීන්, පවුල් සෞඛ්‍යය සේවා නිලධාරීන් සම්බන්ධ කරගෙන ගම පාදක සමිති හරහා ව්‍යාපෘති දියත් කිරීම, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය භාවිත කරගනිමින් වීදි නාට්‍ය හා විවිධ රසවින්දනාත්මක වැඩසටහන් පැවැත්වීම සිදු කළ හැකිය.

මෙමඟින් නිර්මාණශීලීත්වයෙන් හෙබි දරු පරපුරක් බිහි කිරීමට හැකි වනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස සදාචාරාත්ම සමාජයකට අඩිතාලම වැටෙනු ඇත. නිරන්තර පසු විපරම් සිදු කළ යුතුය. ඒ අනුව වගකිව යුතු වැඩිහිටියන් ලෙස අපගේ සමාජ වගකීම වනුයේ නූපන් පරපුරට තිරසර යහපත් හෙට දිනක් උදාකර දීම වන බව මෙමඟින් සක්සුදක් සේ පැහැදිලි වනු ඇත.
සටහන

සකුන්තලා රැටියල
