අද අපි ජීවත් වෙන්නේ ඉතා සංකීර්ණ සමාජයකයි. ගෝලීයකරණය හුදෙක් දේශපාලන-ආර්ථික බලවේගවලට සීමාවී නැත. සමජ-සංස්කෘතික ක්‍රියාවලියක් හා පාරිසරික ක්‍රියාදාමයක් ද වේ. තවත් පැත්තකින් බැලූ විට, අපි 5.0 සමාජයට (society 5.0) පිවිස සිටින්නෙමු. දඩයම් යුගය (society 1.0), කෘෂිකාර්මික සමාජය (society 2.0), කාර්මික සමාජය (society 3.0) පසු කරගෙන තොරතුරු තාක්ෂණ සමාජය (society 4.0) හරහා 5.0 සමාජයට පා තබා සිටිමු. 5.0 සමාජයේ මූලික ලක්ෂණය නම් සැබෑ ලෝකය සහ අථත්‍ය (virtual) ලෝකය ඉහළ මට්ටමින් සංකලනය වූ සමාජ පද්ධතියක් වීමයි.

මෙලෙස සමාජය සංකීර්ණ වීමත් සමග මතු වන නව සමාජ ගැටළු හා ගෝලීය ගැටළුවලට විසඳුම් සැපයීමේ බහුවිධ අභියෝගවලට අපි මුහුණ දී සිටිමු. නිදසුනක් ලෙස, වඳුරන්, ඌරන්, මොණරුන් වැනි සතුන් අධික ලෙස බෝවීම නිසා ගැමි ජනයා විඳින කරදර නැතිකර ගන්නේ කෙසේද? ප්‍රමාණික දැනුම් හා නිපුණතාවලින් යුතුව එබඳු ගැටළු නිරාකරණය කරගැනීමට දායක වන නවෝත්පාදන ශක්තියෙන් හෙබි මානව සම්පත්, වර්ධනය කරගන්නේ කෙසේද යන අභියෝගාත්මක ප්‍රශ්නයට ලංකාව මුහුණ දී සිටී.
එසේ වුවද, රට තුළ ඇති මානව සම්පත් රැකගැනීම, නිපයූ දැනුම් සම්භාරය නිවැරැදිව අනාගත පරම්පරාවට භාරදීම හා නව මානව සම්පත් පෝෂණය කිරීම වැනි අංශ පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමුවී ඇති බවක් දේශපාලන කතිකාව හෝ මහජන කතිකාව තුළින් පෙනෙන්නට නැත. එක අතකින්, වර්තමානයේ පවතින ආර්ථික, සමාජ, චින්තන හා අධ්‍යාපන රටා තුළ හිරවී සිටිනා තාක් කල් අපට වර්තමාන ආර්ථික අර්බුදයට සැබෑ විසඳුමක් ලඟා කර ගැනීමට හැකි වේද යන සැකය මා තුළ මුල් බැස ගනිමින් තිබේ. අනික් අතට, කවදා හෝ ආර්ථික අර්බුදයට විසඳුම් සොයාගත් දිනක අපේ ආර්ථික සම්පත් කළමණාකරණය කරන්නට හා නව සම්පත් ගවේෂණය කරන්නට හැකි මානව සම්පත් ප්‍රමාණයක් රට තුළින් සොයා ගන්නට පුළුවන් වේවිද යන සැකය ද ඉතා ශීඝ්‍රයෙන් තීව්ර වෙමින් පවතී.
විශේෂයෙන් 21 වැනි සියවසේ මුල් කාර්තුව අවසන් කිරීමට ඔන්න-මෙන්න කියා සිටින අප ලෝකයේ අනාගත රැකියාවල වගකීම් භාරය ශීඝ්‍රයෙන් වෙනස් වී යන බව අවබෝධ කර ගත යුතුය. මහාචාර්ය Cathy Davidson 2011 වසරේදී පහත සඳහන් ප්‍රකාශය කර මහත් ආන්දෝලනයක් ඇති කළාය. “2011 වසරේ ඇමෙරිකාවේ ප්‍රථමික පාසල්වලට ඇතුළත් වන දරුවන්ගෙන් 65% ක් දෙනා විශ්ව විද්‍යාලයෙන් පිට වන විට අද පවතින්නේ නැති අලුත් විදියේ රැකියාවල නියුක්ත වනු ඇත.”1 65% යන ප්රශ්නය මෙහිදී පැන නගී. කෙසේ වුවද නැවත 2017 වසරේදීත් BBC World Service මගින් කළ ප්රචාරයකදී ඇය ‘අපගේ රැකියාවලින් 100%ක් කිසියම් ආකාරයකින් වෙනස් වී තිබෙනවා’ යයි අවධාරණය කළාය.2
සංඛ්‍යාව කෙසේ වෙතත් අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඉතා ශීඝ්‍ර පරිවර්තනවලට භාජන වෙමින් සිටිමු. ප්රශ්නය නම් මේ වෙනස්වීම්වලට අනුරූපව අපේ අධ්‍යාපනය වෙනස් වී තිබේද යන්නයි. ඉහත දැක්වූ මානව ශක්ති හෝ මානව සම්පත් වර්ධනය වන අයුරින් අපේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය වී තිබේද? අධ්‍යාපනය යයි කියන විට තවමත් අපේ සිත්වල මැවෙන චිත්‍රය නම් ‘දැනුම් ගොඩගසා ගැනීමේ’ කාර්යභාරයයි. ලබා ගත් දැනුම භාවිතා කර සමාජයට වැඩකිරීමේ කාර්යභාරය අපේ සිතට එන්නේ නැත. අපේ පාසල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හුදෙක් ඔලුවලට දැනුම් පුරවා දැමීමේ කාර්යභාරයට සීමා වී තිබීමත්, අධ්‍යාපනය සමාජය හා නිසියාකාරව බද්ධ වී නොතිබීමත්, වැඩ කිරීමේ කාර්යභාරයට සිසුන් සූදානම් නොකිරීමත් නිසා මේ තත්වය උදා වී ඇත. කෙටියෙන් කිවහොත්, අප මේ උරුම කරගෙන සිටින්නේ යල් පැන ගිය අධ්‍යාපන ක්රමයකි.
ළමා පරපුරට අනාගතයේ අවශ්‍ය වන නිපුණතා පාසල් අධ්‍යාපනයට හා විෂයමාලාවන්ට ඇතුළත් කර ගන්නේ කෙසේද යන්න ගැන පර්යේෂණ පවත්වන බහුජාතික NPO සංවිධානයක් තිබේ. ATC21S නමින් හැඳින්වෙන එම ආයතනයේ පර්යේෂණ ප්‍රතිඵල අනුව, ’21 වැනි සියවසේ නිපුණතා’ කාණ්ඩ 4 කට බෙදා වෙන් කර දක්වා තිබේ.3 ඒ වර්ග 4 මොනවාදැයි බලමු.
1. චින්තන විධි: (මෙය උපවර්ග 3 කට බෙදේ.)
අ) නිර්මාණශීලිත්වය හා නවෝත්පාදනය
ආ) විචාරාත්මක චින්තනය, ප්‍රශ්න විසඳීම හා තීරණ ගැනීම
ඉ) ඉගෙනුම ගැන ඉගෙනීම හා පාරඥානනය හෙවත් ඥානන
ක්‍රියාවලිය පිළිබඳ දැනුම
2. වැඩ කරන විධි: (මෙහි උපවර්ග දෙකකි)
අ) සංනිවේදනය
ආ) සහයෝගිතාව
3. වැඩ කිරීමට අවශ්‍ය මෙවලම්: (උපවර්ග දෙකකි)
අ) තොරතුරු සාක්ෂරතාව
ආ) තොරතුරු හා සංනිවේදන තාක්ෂණ (IT) සාක්ෂරතාව
4. ලෝකයේ ජිවත් වෙන විධි: (උපවර්ග තුනකි)
අ) පුරවැසිභාවය (දේශීය හා ගෝලීය දෙයාකාරයෙන්ම)
ආ) ජීවිතය හා රැකියාව
ඉ) පෞද්ගලික හා සමාජයීය වගකීම (සංස්කෘතික ඥානය හා නිපුණතා ද ඇතුළත්ව)
මේ විදියේ වර්ග හතරකින් යුතු ’21 වැනි සියවසේ නිපුණතා’ පුරුදු-පුහුණු කර ගැනීම සඳහා පෙරපාසල් අවදියේ සිට ලිවීම-කියවීම ඉගැන්වීමට වඩා ප්‍රයෝජනවත් වෙන්නේ සෙල්ලම් කිරීම තුළින් සංනිවේදනය හා සහයෝගිතාව වැනි මූලික අංග ස්වාභාවිකව පුරුදු කරගන්නට මග පෙන්වීමයි. මේ ’21 වැනි සියවසේ නිපුණතා’ ගැන අවබෝධයක් ඇතිකර ගතහොත් අපට අවශ්‍ය අධ්‍යාපනය කුමක්ද යන්න ගැන නව දැක්මක් හා මනා හැඟීමක් ඇතිකර ගැනීම පහසු වනු ඇත.
ආරම්භයේදී සඳහන් කළ, සමාජය අතිසංකීර්ණත්වයට පත් වී ඇත යන පසුබිමට නැවත අවධානය යොමු කරමු. අන්තර්ජාලය හරහා තොරතුරු ගංගා හෝ තොරතුරු සුනාමි ගසාගෙන එන බැවින් ඒවා තුළින් අදාළ තොරතුරු තෝරාගෙන විග්රහ කර භාවිතයට ගැනීමේ ක්‍රියාවලිය මිනිස් මොළයට මහත් අභියෝගයකි.එබැවින් තොරතුරු විභාග කිරීම, තෝරා බේරා ගැනීම, සම්පිණ්ඩනය කිරීම ආදී ක්‍රියාවලිය පිළිවෙළින් සිදුකිරීම සඳහා කෘතිම බුද්ධිය භාවිතා කරන්නට පටන් ගති. මේ විදියට ස්වයංක්‍රීය යන්ත්‍ර හෝ රොබෝවරුන් යොදාගැනීම ආදී වශයෙන් සමාජ හා ජීවන යටිතල පහසුකම් ඇතිකර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීම 5.0 සමාජයේ විශේෂ ලක්ෂණයකි.
මේ නව සමාජය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෙන්නේ කවර ආකාරයේ මිනිස් සම්පත්ද? කෘතිම බුද්ධිය සහ මහා පරිමාණයේ දත්ත විශිෂ්ට අයුරින් පරිශීලනය කර වර්ධනය කළ හැකි මිනිස් සම්පත්, තාක්ෂණික පෙරළි සහ නව හර නිර්මාණයට උරදෙන නව දැනුම් නිෂ්පාදනය කළ හැකි මිනිස් සම්පත්, තවද තාක්ෂණික පෙරළි හා සමාජ ප්‍රශ්ණ ඒකාබද්ධ කරගත් ක්‍රියා පටිපාටි බිහි කරන මිනිස් සම්පත්ය. මේ විදියේ මිනිස් සම්පත් පෝෂණය කිරීමට නම්, සියල්ල යන්ත්‍රවලට බාර දෙනවා වෙනුවට, යන්ත්‍රවලට කළ හැකි දේ යන්ත්‍රවලට පවරා මිනිසුන්ට අත්පත් කරගත හැකි මානව ශක්ති කොටස් වර්ධනය කර ගැනීමට අපේ අවධානය යොමු විය යුතුයි. එවැනි මානව ශක්ති නම්, පාඨ හෝ තොරතුරු නිවැරදිව කියවා හෝ අසා අවබෝධ කර ගැනීමට අනුබල දෙන සංවාද නිපුණතාව, විද්‍යාත්මක චින්තනය නවීකරණය කරමින් භාවිතා කිරීමේ හැකියාව, නව හර සොයා නිර්මාණය කිරීමට මග සලසන කුතුහලය, ගවේෂණ ශක්තිය හා සංවේදිතා ගුණය ආදියයි.
කෘතිම බුද්ධිය වැනි යන්ත්‍රගත නිර්මාණ බිහිවෙමින් පවතිද්දී අමුතු විදියේ රොබෝවරුන් බිහි කරමින් ඉහත දැක්වූ මානව නිපුණතා දෙස අවධානය යොමු කළ අවස්ථාවක් හඳුන්වා දෙන්නම්. මේ නිදර්ශනය ජපානයෙන්ය. ජපානයේ වෙළඳ ප්රචාරක කටයුතු සඳහා දුම්රියපළ ආසන්නයේ හා කඩවිදී අසළ වෙළඳ දැන්වීම් ඇතුළත් කළ කුඩා ටිෂූ කඩදාසි පැකට් බෙදා දෙන සිරිතක් ඇත. ඒ විදියට ටිෂූ කඩදාසි පැකට් බෙදා දෙන
I-Bones නමැති රොබෝ කෙනෙකු ගැන කතාවක් පසු ගිය කාලයේ සමාජ ජාල හරහා පැතිර ගියේය.
කඩිමුඩියේ ගමන් කරන මගීන්ට ටිෂූ පැකට් එක දෙන වෙලාව හා දෙන ආකාරය තීරණය කිරීම තරමක් අමාරු කාරියකි. ක්ෂණිකව ඒ තීරණය ගැනීමට අපහසු වී රොබෝවරයා පැකිලෙමින් සිටියදී මගීන් තමන් විසින්ම අත දිගු කරන අතර, රොබෝවරයා ලැජ්ජාශීලි ස්වරූපයෙන් ඔවුන් අතට ටිෂූ පැකට් දෙයි. ටිෂූ පැකට් එක ලබා ගෙන ඉක්මන් ගමනින් ඇදී යන මගියාට රොබෝවරයා හිස පාත් කර ආචාර කරමින් ස්තුතිපුර්වකව මගියාගෙන් සමුගනී.4
ඊ ලඟට ළමුන්ට කතන්දර කියා දෙන Talking-Bones නමැති රෝබෝවරයෙකු ගැන කියන මේ කතාව දෙස බලන්න. මේ රොබෝවරයාට කථාව කියාගෙන යන විට අතරමඟදී කථාවේ ඉතා වැදගත් කරුණක් අමතක වී යයි. නිදසුනක් හැටියට, ‘ගහෙන් වැටුණු මිනිහට …මේ… මේ…මොකාද ඇන්නේ, ඇන්න වගෙයි කියන්නෙ?’ මෙසේ රොබෝ ගොතගසන විට, කථාව අසා සිටින කෙනෙක් ‘ගොනා ඇන්න වගෙයි!’ කියා මතක් කර දෙයි. එවිට රොබෝවරයා ‘අන්න හරි, ගොනා ඇන්න වගෙයි’ කියා කතාව සම්පූර්ණ කරයි.5
මේ රොබෝවරුන්ගේ විශේෂ ලක්ෂණය වන්නේ මිනිසුන්ගේ කරුණාවන්තකම හා උදව් කිරීමේ හැඟීම දක්ෂ විදියට ඇද ගැනීමේ හැකියාවක් තිබීමයි. මේ රොබෝවරුන් නිර්මාණය කළ ජපන් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ අදාළ පර්යේෂණාගාරයේ මහාචාර්යවරයාගෙන් ‘මේ වගේ රොබෝවරුන් හදන්න හිතුවේ ඇයි?’ කියා එක පුවත්පත් වාර්තාකරුවෙක් ප්‍රශ්ණ කළේය. මහාචාර්යවරයාගේ පිළිතුර මෙයයි.
“අපට තනිවම කළ නොහැකි දේවල් බොහෝය. අනික් අයගේ උදව්ව, සහභාගිත්වය ලබා ගෙන කළ හැකි දේවල් එමටය. දුර්වල රොබෝලා පෙන්නුම් කරන්නේ ඒ මනුෂ්‍ය ස්වභාවයයි. අපි-මිනිස්සු සම්පුර්ණ අය වගේ පෙනුණාට, සැබවින්ම අසම්පුර්ණයි. හැම අතින්ම සම්පුර්ණත්වය – සර්වසම්පුර්ණත්වය බලාපොරොත්තු වෙන්න ගිහාම තමයි අසාර්ථක වෙන්නෙ. තමන්ට බැරි දේවල් අවට සිටින අනික් අයට මතක් කරලා සහයෝගය ලබා ගන්නවා නම් හොඳ නැද්ද යන හැඟීමෙනුයි මේ රොබෝවරුන් නිර්මාණය කළේ.”
මේ ‘දුර්වල රොබෝවරුන්’ බිහි කළ නවෝත්පාදක මහාචාර්යවරයාගේ කතාවෙන් හෙළි කෙරෙන සත්‍යය කුමක්ද? අප විද්යුත්තාක්ෂණ ලෝකයේ ඉහළම තලයක සිටියත් මනුෂ්‍යත්වයේ යථා ස්වභාවයට පිටුපෑ නොහැකිය යන විශ්ව සත්‍යය නොවේද? යන්ත්රවලටම වහල් නොවී සංවාදය පෙරදැරි කරගෙන අන්‍යෝන්‍ය සහයෝගය මගින් වැඩකරමු යන්නයි. සැබෑ මානව සම්පත් වර්ධනයට සංවේදිතාව, සංවාදශීලිත්වය හා සහයෝගිතාව යන මානව ශක්ති/නිපුණතා වර්ධනය ඇතුළත් විය යුතු බව මා පවසන්නේ ඒ නිසාය.
ජපානයේ ඇති වටිනාම වස්තුව, ලොකුම සම්පත කුමක්ද කියා ඔබ මගෙන් ඇහුවොත් මගේ පිළිතුර වන්නේ ‘මිනිස් සම්පත්’ යන්නයි. මිනිස් සම්පත් වර්ධනයට ජපානය මොනතරම් උත්සාහයක් ගෙන ඇද්ද යන්න ලංකාවේ බොහෝ දෙනා දන්නේ නැත. ජපානයේ ආර්ථික හා කාර්මික වර්ධනය මිනිස් සම්පත් වර්ධනය තුළින් දිනාගත්තක් බව අවබෝධ කර ගත යුතුය. ඒ අවබෝධය, අප මිනිස් ශක්ති/සම්පත් වර්ධනයට ගන්නා උත්සාහයේ අල්පකම හා බොළඳ බව ද පසක් කර දෙනු ඇත.
පරිශීලනය:
1.https://opinionator.blogs.nytimes.com/2011/08/07/education-needs-a-digital-age-upgrade/
2. https://www.bbc.co.uk/programmes/p053ln9f
3. ATC21s 21st Century Skills (ats2020.eu)
4. https://m.youtube.com/watch?v=s1BMsmptGpc
5. https://m.youtube.com/watch?v=eCYQ-ECNFjI&t=5s
සටහන –

මහාචාර්ය දිලීප් චන්ද්‍රලාල්
