රුවන් පුරය යැයි කී සැණින් අපට මතකයට නැගෙන්නේ මැණික් මතුවන පුරවරයක් ලෙසටයි. අප බොහෝ දිය ඇලි පිළිබඳව අසා තිබුණත් පොකුණු පිළිබඳව අසා තිබෙන්නේ ඉතාමත් ම අඩු වශයෙනි.
මේ අතරින් බලංගොඩ හුණුගල් පොකුණ නම් ස්ථානය විශේෂ ස්ථානයක් ගනු ලැබේ. බළන්ගොඩ සිට කල්තොට මාර්ගයේ කිලෝමීටර් 25 ක් පමණ දුර ගමන් ගත් පසු තංජර්තැන්න ප්‍රදේශයේදී මෙම ඉසව්වට ළඟාවිය හැකිය.
මෙය දැකබලා ගැනීමට යන අතරතුරදී මහරහතන් වහන්සේ වැඩ සිටි ඓතිහාසික කූරගල රජමහා විහාරයද වැඳ පුදා ගනිමින් දූවිලි ඇල්ලෙහි අසිරියද විඳ ගැනීමට අවස්ථාව උදාවේ.

කූරගල පුදබිම පිවිසුම් ස්ථානය පසු කරමින් කිලෝමීටර් තුනක් පමණ කල්තොට දෙසට පිවිසීමේදී කිලෝමීටර 25 කණුවට මඳක් ඔබ්බෙන් වම් පසට කුඩා ප්‍රවේශ මාර්ගයකි. මෙම පෙදෙස එතරම් ජනාවාස ප්‍රදේශයක් නොවේ. මෙම පෙදෙස සිසිලසෙන් පිරි තුරුලතාවන්ගේ සෙවනෙන් යුක්තය.මෙම පෙදෙස රජවක රක්ෂිතයට අයත් වන අතර දැව කොටස් ඉවත් කිරීම, ගස් කැපීම,ගස් ගිනි තැබීම සපුරා තහනම් වන අතර වන රක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම රක්ෂිතය අයත් බව හඳුනාගත හැක.
ඒ අනුව හුණුගල් නිර්මාණය වීම ගත්විට පොළොවේ විවිධ පාෂාණයන් පවතිනු ලැබේ.මෙම පාෂාණයන් අතර කැල්සයිට් නම් වූ ඛණිජයක් පවති. මේවා නිධි වශයෙන් පවතින්නට පුළුවනි.මෙම කැල්සයිට් නිධි නැත්නම් විපරීත හුණුගල් පාෂාණ පොළොව මතුපිටට පැමිණ ජීර්ණය වේ. මේ කැල්සයිඩ් දිය වෙන්නේ කාබොනික් යන අම්ලයේය.කාබන් ඩයොක්සයිඩ් සහ ජලය එකතු වී කාබොනික් අම්ලය නිර්මාණය වේ. මේ කාබොනික් අම්ලයෙහි කැල්සයිට් දියවේ. එම ජලයේ කැල්සියම් අයන බයිකාබනේට් අයන බහුලව පවතී. ජලයේ පවතින කැල්සියම් අයන සහ බයිකාබනේට් අයන එකතුවීමෙන් අවක්ෂේප වී නැවත කැල්සයිඩ් කියන ඛනිජය නිර්මාණය වේ. ගලායන කුඩා දිය පහරවල් අතු ගංගා වැනි තැන්වල මෙම කැල්සයිඩ් ඛනිජ අවක්ෂේප වී හුළුගල් ඇතිවේ. ඇතැම් ගුහාවල එල්ලෙන ස්වරූපයෙන් ඇති මෙවැනි තැන්පත් වීම් හිරි ලඹ වශයෙන් හඳුන්වනු ලැබේ. පොළවේ පවතින එවැනි හුණු ගල් තැන්පත් වීම් වලින් නිර්මිත ස්වරූප හිරි ටැඹ ලෙස හඳුන්වනු ලැබේ. කාලාන්තරයත් තිස්සේ කැල්සියම් අයන බයි කාබනේට් අයන එකතු වීමෙන් කැල්සියම් කාබනේට් නැත්නම් කැල්සයිඩ් කියන අවක්ෂේපය වීමෙන් මෙම හුණු ගල් නිර්මාණය වේ.
මඩලින් මඩලට දියවැටෙන සුපහන් හඬ පැතිරුණු මහා වෘක්ෂයන්ගේ සෙවණින් ගෙනෙනා සිසිලසක් දැනෙන ගත සිත පුබුදු කරන්නට තරම් මෙම ස්ථානය සමත් වී තිබේ.මඩල කීපයක් වශයෙන් පැවති මෙම පොකුණු සමූහයේ කාලාන්තරයක් තිස්සේ හුණුගල් කාදනය වීමත් නැවත තැන්පත් වීමත් යන චක්‍රීය ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙසින් මෙම අපූර්ව වූ ස්වභාවදහම සංචාරක නෙත් සිත් පැහැර ගන්නා භූමියක් ලෙස හඳුනාගත හැකිය. පොකුණු තලයේ නිල්වන් පැහැති ජල තලය මතට මහා වෘක්ෂයන්ගන් වැටෙනා පත්‍ර සමූහයකින් යුක්ත වේ. රන්වන් හිරු කිරණ දියදහර මත විවිධ රටා මවනු ලැබේ.ඉහළ සිට පහළට තට්ටු කීපයක් සේ මඩලාකාරයෙන් ඇති පොකුණු සමූහයෙන් අඛණ්ඩව ගලනා ජලය පහළට වන්නට තරමක් විශාල වූ ස්වභාවික තටාකයකට වැටෙයි.
මෙවන් සොබාවික සම්පත් භූමියේ පිනට පහළ වූ ඒවා බව කීමට පුළුවනි.මෙහි පැමිණෙන්නෝ විනයකින් ශික්ෂණයකින් තොරව හැසිරීම, මෙම අවසාදිත හුණුගල් ඉස්තර මත ඇවිදීම, ඒවා කඩා ඉවත් කිරීම, පොකුණු තුළ ස්නානය වැනි කටයුතු කිරීමෙන් මෙම සම්පත් අනාගතයට අහිමිවීමේ තත්ත්වයක පවතී. එබැවින් මේ රක්ෂිතය මත සැගව ඇති මේ හුණු ගල් පොකුණු අප ආරක්ෂා කිරීමට වගබලා ගත යුතුය.
සටහන- හිරුමි තාරකා
කැලණිය විශ්ව විද්‍යාලය
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
