A-Park Sri Lanka“ගොවි බිමට රන් අරුණලු” ලිපි මාලාව තුලින් අද තොරතුරු ගෙන එන්නේ පැෂන් එසේත් නැතිනම් වැල්දොඩම් වගාව පිළිබඳවයි.කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැෂන් වගාව සදහා වන තාක්ෂණික ගොවිබිම් සංකල්පය වෙනුවෙන් කිලිනොච්චිය,මොනරාගල , බණ්ඩාරවෙල ප්‍රදේශ වල මේ වන විටත් වගාකටයුතු සිදුකෙරෙමින් පවතී.එකිනෙකට හාත්පසින්ම වෙනස් පාරිසරික කලාප තුල ඉතා සාර්ථක අන්දමින් වගා කටයුතු සිදුකිරීමට වගාකරුවන් සමත් වී ඇත.මීට අමතරව ගලේවෙල, බඹරගස්වැව, අලුත්වැව ප්‍රදේශ වල ද දැනට පැෂන් වගා ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. A-Park Sri Lanka කෘෂි නව්‍යකරණ වැඩසටහන තුලින් ලබාදෙන නිවැරදි මග පෙන්වීම , තාක්ෂණික උපදෙස් අනුගමනය කිරීම මෙම සාර්ථකත්වය ට මූලික හේතුවක් වී තිබේ.
ඒ අනුව කෘෂි පාරිසරික කලාප DL3 වලට අයත් කිලිනොච්චිය වියලි කලාපයේ රතු කහ ලැටරෝල් පස ප්‍රධාන වන අතර මුහුදු තීරය ආසන්නයේ වැලිමය වයනයකින් යුක්ත රෙගසෝල් පස දක්නට ලැබේ.800 mm පමණ වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙන මෙම ප්‍රදේශයට යල කන්නයේදී වර්ෂාපතනය අඩුවන අතර ඔක්තොම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය වැසි ලැබෙන කාල සීමාව ලෙස සදහන් කල හැකිය.මෙබදු පාරිසරික තත්වයක් පැවතියද මෙතෙක් තෙත් කලාපයේ හා අතරමැදි කලාපයේ සිදුකරනු ලැබූ වැල් දොඩම් වගාව A-Park Sri Lanka කෘෂි නව්‍යකරණ සංකල්පය යටතේ කිලිනොච්චිය ප්‍රදේශයේ ද සාර්ථක අන්දමින් සිදුකෙරෙමින් පවතින අතර මේ වන විට ගොවීන් සියදෙනෙක් අක්කර 50ක භූමි ප්‍රමාණයක් තුල වගා කටයුතු කරගෙන යනු ලබති.
හොරණ ගෝල්ඩ් නමින් හදුන්වන ලාංකේය ප්‍රභේදය මෙම වගාවන් සදහා භාවිතාකරනු ලබයි.හොරණ පළතුරු පර්යේෂණ ආයතනය මගින් සොයාගත් මෙම ප්‍රභේදය අපේ පසට,ජලය, වර්ෂාපතනයට දේශගුණික රටාවට ඔරොත්තුදෙන ආකාරයට සකස්කරන ලද්දකි.මෙම වගා කටයුතු සාර්ථක අන්දමින් සිදුකිරීමට පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ද නොමද සහය ලැබේ.එමෙන්ම මේ සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම පමණයක් නොව උපකරණ පවා A-Park Sri Lanka කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය හරහා මෙම ගොවීන්ට ලබාදීමට කටයුතු සලසා ඇත.
මෙම වගාවන්ගෙන් ලබා ගන්නා අස්වැන්න කාගිල්ස්, කීල්ස් වැනි සුපිරි වෙළදසැල් වලට අලෙවි කෙරේ.සාමාන්‍යයෙන් පැෂන් 1Kg ක් අවම වශයෙන් රුපියල් 180-200 ට් අතර මිලකට අලෙවි කර ගැනීමට හැකි වී ඇත.
හෙක්ටයාර එකකට සාමාන්‍යයෙන් ටොන් 16-20 ත් අතර අස්වැන්නක් ලබාගත හැකිවේ. හොදින් කප්පාදුකර නඩත්තු කලහොත් මෙම හොරණ ගෝල්ඩ් ප්‍රභේදයේ වැල් වලින් ටොන් 50 ක පම්ණ අස්වැන්නක් ලබාගැනීමට හැකිබව පැවසේ.අස්වනු නෙලීමෙන් පසු අනිවාර්යයෙන්ම පාර්ශවික ශාඛා , රිකිලි කප්පාදුව සිදු කලයුතු වේ.හොරණ ගෝල්ඩ් ප්‍රභේදයේ ඉදුණු පැෂන් ගෙඩි දීප්තිමත් කහ පැහැයකින් යුක්ත වේ.කෝඩියල් හෝ ඒ ආශ්‍රිත නිෂ්පාදන සදහා මෙම ප්‍රභේදයේ පැෂන් ඉතා සුදුසු වන අතර මෙම ප්‍රභේදයේ පැෂන් 1Kg ප්‍රමාණයකට සාමාන්‍යයෙන් හොදින් පැසුණු ගෙඩි 7-8 ත් අතර ප්‍රමාණයක් ඇතුලත් වේ. ගෙඩි වල පැහැය 25%ක් පමණ කහ පැහැයට හැරෙන අවස්ථාවේ අස්වනු නෙලීම සිදුකරයි.
වියලි කලාපයේ නිසි ජල සම්පාදන තත්ව යටතේ මනා පාංශු පෝෂණයක් පවත්වාගන යන්නේ නම් සාර්ථක, ගුණාත්මක අස්වැන්නක් ලබාගතහැකි වේ.එමෙන්ම දැනටමත් මෙම සියලුම අස්වැන්න මිලදී ගැනීම සදහා කාගිල්ස් සමාගම ඉදිරි වෙළද ගිවිසුමකට එළඹී ඇත.මෙසේ මිලට ගනුලබන අස්වැන්න නැවුම් පළතුරු ලෙස සුපිරි වෙළදසැල් ජාලය හරහා අලෙවි කරනු ලබන අතර තවත් කොටසක් කිස්ට් නිෂ්පාදන,ජෑම්, කෝඩියල් , නෙක්ටා වර්ග සදහා භාවිතයට ගනු ලබයි.
මීට අමතරව නුදුරු අනාගතයේදී කිලිනොච්චිය ප්‍රදේශයේ පැෂන් ෆෘට් ජූස් සැකසුම් මධ්‍යස්ථානක් ඉදිකොට ඒ තුල පැෂන් ෆෘට් පල්ප සකස් කොට විදේශයන් වෙත යැවීමට අපේක්ෂා කරන අතර ඒ තුලින් විදේශ විනිමය උපයා ගැනීමට ද හැකිවනු ඇත.
පැෂන් ෆෘට් වගා කිරීමේදී වගාව ප්‍රධාන වශයෙන් පේලි දෙකකට පවත්වාගන යනු ලබන අතර පේලි දෙක අතර අඩි7ක පරතරයක් ද පැෂන් වැල් දෙකක් අතර අඩි 14ක පරතරයක් ද තිබේ. වැල් වලට ආධාරක ලෙස යකඩ කණු භාවිතා කරනු ලබන අතර කම්බි වලින් එකිනෙකට සම්බන්ධ කර තිබේ.පැෂන් වැල ඉහලට රැගෙන යාමට ආධාරකයක් ලෙස වෙනම ලීයක් ද සිටුවා තිබේ.
ඒ අනුව මෙහි ක්‍රමවේදය නම් පැෂන් වැලේ ප්‍රධාන කොටසේ සිට අතු ශාඛාවන් “ඉංග්‍රීසි T අක්ෂරය “ආකාරයට පහලට එල්ලෙන ලෙස පවත්වාගන යාමයි.දිනපතා නඩත්තු කටයුතු සිදුකලද ඒ සදහා අමතර වෙහෙසක් දැරීමට සිදු නොවේ.එමෙන්ම මෙම වගාවන් සදහා ජල කළමණාකරනය ක්‍රමානුකූලව සිදුකර තිබෙන අතර ඒ සදහා” drip irrigation “ක්‍රමවේදය භාවිතා කර ඇත.ඒ නිසා සෑම පැලයක් අසලටම ජලය ලැබේ.සාමාන්‍යයෙන් පැලයක් සිටුවා මාස 6න් පමණ අස්වැන්න ලබා ගැනීමට හැකිවන අතර සෑම මාසයකටම එක් සතියක් බැගින් අස්වැන්න ලබාගැනීමට හැකිවේ.එමෙන්ම මෙම සෑම පැලයක් ම සිටුවීමට පෙර අඩි 2*2 ප්‍රමාණයේ වලක් හාරා එයට කොම්පෝස්ට් පොහොර, කර දහයියා ඇතුළු පස් මිශ්‍රණයක් යොදා ඒ මත පැල සිටුවනු ලබයි.කෘෂි රසායනික පොහොර භාවිතා නොකර ඉහත ආකාරයෙන් වගා කටයුතු සිදු කිරීම තුලින් ඉහල අස්වැන්නක් මෙන්ම හොද ආදායමක් ද ලබාගැනීමට හැකි වී ඇති බව විශේෂයෙන් සදහන් කල යුතු කරුණකි.
පැෂන් වගාව සමග අතුරු බෝග වගාවක් ලෙස” කෙසෙල්” වැනි බෝග වර්ග වගා කිරීමේ හැකියාව ද පවතින අතර ඒ අනුව ප්‍රධාන වගාව ලෙස වැල් දොඩම් වගාවත් අතුරු බෝගයක් ලෙස සුදුසු බෝග වර්ගයක් වගා කිරීම තුලින් ලැබෙන ආදායම තව දුරටත් ඉහල නංවාගැනීමට හැකියාව ලැබී ඇත. A -Park Sri Lanka කෘෂි නව්‍යකරණ කණ්ඩායම නිරතුරුව මෙම දිරිය ගොවි ගෙවිලියන් සමග එකාවන්ව කටයුතු කරමින් අවශ්‍ය තාක්ෂණික දැනුම ද නොඅඩුව නොමසුරුව ලබාදෙමින් ඔවුන්ට හැකි උපරිම දායකත්වය මේ වෙනුවෙන් දක්වති.
මෙයට අමතරව පැෂන් වගා කිරීමේදී විශේෂයෙන් දැන සිටිය යුතු කරුණු කිහිපයකි.සමාන්‍යයෙන් පැෂන් මලක් පිපෙන්නේ උදෑසන 11.00-11.30 අතර වේලාවකදී ය.එම වේලාව තුලදී පැෂන් මල පරාගනය කලයුතු වේ.පරාගනය සාර්ථක අන්දමින් සිදුකලහොත් හොද බීජයක් ලබා ගැනීමට හැකි වේ.කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය තුලින් එම තාක්ෂණය පැෂන් වගාවේ යෙදෙන ගොවීන්ට හදුන්වා දී තිබේ.හොදින් පිබිදුනු පැෂන් මලක පරාගධානිය යටින් පිහිටා ඇති කොටස ඇගිලි තුඩු වලින් ස්පර්ෂ කල විට එහි තිබෙන පරාග අතේ ඇගිලි තුඩු වල හොදින් තැවරේ.ඉන් පසු එම පරාග සහිත ඇගිලි තුඩු වලින් මලේ සෙමෙන් ස්පර්ෂ කරමින් පරාගනය සිදුකලයුතු වේ.පැෂන් වගාවේ සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට බලපාන ප්‍රධාන සාධක අතර නිවැරදි ආකාරයෙන් පරාගනය සිදු කිරීම ඉතාම වැදගත් වේ.පරාගනය හොදින් සිදුවන තරමට ගෙඩියේ පෘෂ්ථිමත්භාවය සහ බර වැඩිවේ.ඒ නිසා ගොවීන්ට ඉතා හොද අස්වැන්නක් ලබාගැනීමට හැකිවේ.අපේම රටේ ප්‍රභේදයකින් ඩොලර් ගෙන ඒම අපහසුවකින් තොරව සිදුකිරීමට මෙමගින් හැකිවනු ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශය ලෝක බැංකුව සමග එක් වී A-Park Sri Lanka කෘෂි නව්‍යකරණ සංකල්පය යටතේ නියමු ව්‍යාපෘතියක් වශයෙන් දැනට ලංකාවේ විවිධ පාරිසරික කලාප කිහිපයක් යටතේ සිදුකරන පැෂන් වගාව නුදුරු අනාගතයේ ලංකාව පුරාම ව්‍යාප්ත කිරීමට අපේක්ෂාකරනු ලබන අතර විරැකියාවෙන් පෙලෙන,අමතර ආදායමක් ලෙස ඩොලර් ඉපයීමට කැමති, වගාවට ආදරය කරන ඔබ සැමට මෙය කදිම අවස්ථාවක් වනු නිසැකය.
-සටහන-
එච්.කේ.පී.පී.හපුආරච්චි
සංවර්ධන නිලධාරී
