කුළුබඩු

author
0 minutes, 4 seconds Read

ඉවුම් පිහුම් කලාව තුළ ගෘහණියකට ඉතාමත් වැදගත් තොරතුරු රැසක් අද පටන් අප රසට රසක් විශේෂාංගය තුළින් ඔබට ගෙන එන්නට සූදානම්.

අබ (Brassica juncea L.)

ඉතා පුළුල් පරාසයක ගුණ සමුදායකින් යුත් කුළුබඩුවක් වන අබ, පුරාණ කාලයේ සිටම එහි සූපශාස්ත්‍ර, ඖෂධීය සහ සංස්කෘතික වැදගත්කම නිසාවෙන් සුවිශේෂී ස්ථානයක් හිමිකර ගෙන ඇත. ආයුර්වේදයේ “අබ” ආහාරයක් ලෙසත් සහ ඖෂධයක් ලෙසත් ද්විත්ව කාර්යභාරයක් ඉටු කරයි. සම්භාව්‍ය ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් ආකාරයට මෙය සක්ෂාර(තරමක් ක්ෂාරීය), කටු, තික්ත රස, උෂ්ණ වීර්‍ය සහ තීක්ෂ්ණ, රූක්ෂ ගුණ සහිත වන අතර එය කඵ සහ වාත ශමනය කරයි. පිත් වර්ධකයි.

මෙහි කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම්, සින්ක් සහ සෙලේනියම් වැනි අත්‍යවශ්‍ය ඛනිජ වලින් පොහොසත් අබ ඇට, විටමින් B-complex, C, සහ K වැනි විටමින් පදාර්ථයන්ගෙන් ද යුක්තයි.

අබ ඇටවල ඇති තන්තු මල බද්ධය සමනය කරන අතර නිතිපතා මලපහ කිරීම ප්‍රවර්ධනය කරයි. බීජ වල ඇති එන්සයිම ආහාර දිරවීමට උපකාර වන අතර, බඩ පිපීම අඩු කරයි.

එසේම LDL කොලෙස්ටරෝල් අඩු කිරීමට සහ HDL මට්ටම ඉහළ නැංවීමට “අබ” උපකාරී වන අතර හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි. අබ ඇට ඉන්සියුලින් සහ ග්ලූකෝස් මට්ටම නියාමනය කිරීමට උපකාරී වන අතර දියවැඩියා පාලනය කර ගැනීමට සහාය වේ.

අබ වල ඇති සෙලේනියම් අස්ථි, දත් සහ විදුරුමස් ශක්තිමත් කරයි. අබ තෙල් බාහිරව ආලේප කිරීම මගින් වේදනාවන් සමනය වේ. මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය සහ විටමින් A සහ ​​C මගින් තරුණ පෙනුම රැක දීමට උපකාරී වෙයි.

මෙහි ඇති රසායනික සංයෝගයන් නිසාවෙන් ඔක්සිකාරක ආතතියෙන් (oxidative stress) ආරක්ෂා කරන අතර හානිකර බැක්ටීරියා වලට එරෙහිව ද සටන් කරයි. මෙහි ඇති ප්‍රතිප්‍රදාහාත්මක ගුණයද ඇති බව විද්‍යාත්මක පරීක්ෂණයන් මගින් ඔප්පු කර ඇත.

ආහාර වලට “අබ” මිශ්‍ර කිරීම තුළින් එය ආහාරයේ රස මෙන්ම ගුණය ද වැඩි කරයි. “අබ” පිත වර්ධනය කරන බැවින් රක්ත පිත්ත, කුෂ්ඨ වැනි පිත් රෝග සහිත පුද්ගලයන්ට මෙය ආහාරයට ගැනීම සුදුසු නොවේ.

ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය

Similar Posts