හෙට දිනයේ එළඹෙන සිංහල හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් සූදානම් වන ඔයාලට නිවසට එන අමුත්තන්ට අවුරුදු කෑම මේසය රසවත් ආහාර වර්ග වලින් සරසන්න Colombo Journal වෙතින් මෙවර සූදානම් වන්නේ බතෙන් සකසන ලද විවිධ රටවල්වල ප්‍රචලිත බිරියානි රයිස් වර්ග රැසක් ඉතාමත් පහසුවෙන් නිවසේදීම සාදාගත හැකි ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි.
ඒ සදහා අද අපත් සමග එක එකතු වන්නේ සූපවේදී අප්සරා රණසිංහ.
මේ රයිස් එක අහම්බෙන් රසවිදපු ඉන්පස්සෙ හදන්න ආසාවෙන් හිටපු බතක්. මොංගෝලියන් රයිස් එකක් හදන්නේ කොහොමද කියලා දැන් අපි බලමු .
මොංගෝලියන් රයිස්

අවශ්‍ය දෑ-
උයාගත් බාස්මතී බත් කප් 2 1/2 ක්
කටු නැති කුකුල්මස් කෝප්ප 1 1/2
(කුකුල්මස් මම තම්බලා ගත්තෙ.ඉන්පස්සෙ හීන් තීරුවලට ඉරුවා..කැමති නම් අමුවෙන්ම ගන්න පුලුවන් ..)
බිත්තර 2ක්
හීනියට කපාගත් ගෝවා කොළ කෝප්ප 1 1/2
හීනියට කපාගත් කැරට් කෝප්ප 1/2
හීනියට කපාගත් ලීක්ස් හෝ ස්ප්‍රින්ග් අනියන් කෝප්ප 1
බෙල් පෙපර් වර්ණ 3න්ම..( මම දැම්මෙ නෑ)
නැත්නම් අමුමිරිස් කරල් 4ක් කපාගෙන දාන්න.
තලාගත් ඉගුරු සුදුලූනු මේස හැදි එකහමාරක්
කපාගත් ළූනු ගෙඩියක්
තක්කාලි සෝස් මේස හැන්දක්
සෝයා සෝස් මේස හැන්දක්
ඔයිස්ටර් සෝස් මේස හැදි 2ක්
සෙසමි ඔයිල් මේස හැන්දක්
කෑලි මිරිස් මේස හැදි එකහමාරක්
ගම්මිරිස් තේ හැන්දක්
එළවළු තෙල් හෝ පොල් තෙල් මේස හැදි 4ක්
ලුණු අවශ්‍ය පමණට
චිකන් සමග ඉස්සන් හෝ හතු /බීෆ් එක්කරලත් හදනව..බීෆ් දැම්මම ගොඩක් රසයි..
සාදන ක්‍රමය-
- ලොකු තාච්චියක් ලිප තබා එයට තෙල් එක්කරන්න.මද ගින්දරේ තබන්න.තෙල් රත්වන විට කුකුල්මස් එක්කරගන්න..අවශ්‍ය තරමට බැදුනු විට බිත්තර එක්කර මිශ්‍රකරගන්න .ළූනු එක්කරන්න.තෙල් මදිනම් එක්කරගන්න අවශ්‍ය තරමට.
- ඒ අතරතුර සෝස් වර්ග හා සෙසමි ඔයිල් කප් එකකට දමා මිශ්‍රකර පසෙකින් තබන්න .
- ඉන්පසු ඉගුරු සුදුලූනු එක්කර මිශ්‍රකරගන්න .කැරට්,ගෝවා,බෙල්පෙපර් හා ලීක්ස් එක්කර ගන්න..ඒ අතරතුරම කෑලිමිරිස් ,ගම්මිරිස් , එක්කරගන්න.මිශ්‍රකරගන්න
ඉන්පසු කලින් මිශ්‍රකරගත් සෝස් වර්ග එක්කරන්න.හොදින් මිශ්‍රකරගන්න - දැන් බත් එක එක්කරගන්න.බත කැට නැතිව විසිරෙන්න තියාගන්න ඕනේ..
මිශ්‍රකරගන්න හොදින්..විනාඩියක් ගියපසු ලිපෙන් ඉවත්කරගන්න..
උණුවෙන්ම කන තරමට ගොඩක් රස.නිවුනම සෝස් නිසා රස අඩුයි..සාමාන්‍යයෙන් මේ බත උණුවෙන්ම පිලිගන්වන්නේ..චිලිපේස්ට් එක්ක කන්න පුලුවන් ..
වැදගත් – ලුණු එක්කරනකොට අවසානෙට නැතුව කුකුල්මස් එක්කරාම,එළවළු එක්කරාම ඒ අවස්තා දෙකේම ලුණු එක්කරගන්න..බත් උයද්දි ලුණු එක්කරානම් බත් එක්කරාම ලුණු අවශ්‍ය නෑ..නැත්නම් බත දැම්මට පස්සෙත් ලුණු එක්කරන්න..
මිංචි රස වැඩිපුර එන නිසා ඒ රසට අකමැති අයට නම් ගැලපෙන්නෙ නෑ. එවගේම මේ බත් එකට චිකන් කරි, රයිතා සැලඩ් තමයි ගොඩක්ම ගැලපෙන්නෙ.
පුදිනා බත්

හදන්නෙ මෙහෙම,
- බාස්මතී හාල් 500g පෙඟෙන්න දාන්න පැය බාගයක්
- මිංචි කොල මිටයි,කොත්තමල්ලි කොල මිටයි,ඉගුරු කෑල්ලක්,සුදුලූනු ලොකු බික් දෙකක්,ගාපු පොල් මිටක් ග්‍රයින්ඩ් එකට දාල වතුර කප් කාලක් දාල පේස්ට් එකක් වෙනකම් ග්‍රයින්ඩ් කරන්න පැත්තකින් තියන්න.
- බත් එක උයන්න ගන්න භාජනය ලිපෙ තියල එකට ගී මේස හැඳි 2 ක් දාන්න.ගී රත්වෙනකොට ස්ටාර් ඇනිස් එකක්,කරාබු නැටි 5,කරදමුංගු ඇට 3,කුරුඳු පොත්තක්,බේලීෆ් එකක්,සූදුරූ තේ හැන්දක්,ගම්මිරිස් ඇට 10 ක් විතර එකතුකරගන්න.කරවෙන්න දෙන්නෙපා.
- කපාගත් ලොකු ළූනු ගෙඩි දෙකක් රත්වුන කුළුබඩු වලට එක්කරගන්න.එක හොදින් මැලවෙන කොට කපාගත් තක්කාලි ගෙඩි දෙකක් එකතුකරන්න.ඉන්පස්සෙ ගරම් මසාල තේ හැන්දක් එක්කරන්න.
- මින්චි කොල 10,කොත්තමල්ලි කොල 10 ක් වගෙ දාගන්න..
- ඒ ටික ටිකක් මැලවුනාම කලින් හදාගත් පේස්ට් එක එක්කරන්න.මිශ්‍ර කරන්න.එ එක්කම හාල් ටික දාන්න.තප්පර කීපයක් මිශ්‍ර කරල අවශ්‍ය තරමට වතුර එක්කරගන්න.පෙඟෙන්න දාපු නිසා ගොඩක් වතුර අවශ්‍ය නෑ.එ එක්කම ලුනු එක්කරන් බත හොදින් උයාගන්න .
- කන්න කලින් බැදගත් කජු උඩින් දාගන්න ..
- චුට්ටක් බිරියානි ටයිප් තමයි ..ග්‍රේවි චිකන් කරියක්,රයිතා එකක්,බිත්තරයක් බැදල කන්න ගන්න..
එළඹෙන සමය නිවසට අමුත්තන් ගොඩ වදින කාලයක්.අමුත්තන්ට සංග්‍රහ කරන්න බිරියානි බතක් කදිමයි.හැබැයි බිරියානි කිව්වම ටිකක් අමාරුයි නැත්නම් හදන්න වෙලා යනව කියලා හිතෙන අයටයි මේ රෙසිපිය. ටිකක් වැඩ කිඩ දාලා හදන බිරියානිය රසයි. ඒත් වෙලාව යන නිසා ඉක්මන් සංග්‍රහයකට අමාරුයි. ලොකු වෙනසක් නෑ රසම රසයි.
රයිස් කුකර් එකේ මම හැදුවෙ. ඒක මට ලේසී . හැබැයි ලිපේ තියලත් හදාගන්න පුලුවන්. භාජන එකයි අවශ්‍ය වන්නේ. ඒනිසා අපිට වැඩත් අඩුයි ..කොහොමත් අපි කවුරුත් කැමති ලේසී ක්‍රම වලටනෙ.
ලේසි බිරියානි

එහෙනම් හදන්න පටන් ගමු..
- මේ රෙසිපිය 3-4කට ප්‍රමාණවත්..හැබැයි ඉතින් ගොඩක් කන අයනම් 3යි පුලුවන් .
- කුකුල් මස් 300g කුඩා කැබලිවලට කපා පිරිසිදු කර වතුර ගතිය නැතිවනතුරු පසෙකින් තබන්න .කටු එක්කම මස් මම ගත්තෙ.
- සාමාන්‍ය ප්‍රමාණයේ ළූනු ගෙඩි 3 ක් ගන්න.සිහින්ව කපාගන්න.අමුමිරිස් කරල් 3ක් ගන්න දික් අතට කපාගන්න.පසෙකින් තබන්න.
- රයිස් කුකර් භාජනය වතුර නැතිවනතෙක් පිස රයිස් කුකරයට දමන්න.ඔන් කරගන්න.එයට තෙල් කෝප්ප කාලකට මදක් වැඩියෙන් එක්කරන්න ..මම නම් ගී එක්ක තෙල් එක්කරා.ගී විතරක් යූස් කරනවනම් ගොඩක් රසයි.
- තෙල් රත්වන විට කපාගත් ළූනු එක්කරගන්න.ඉන්පසු එයට කරපිංචා එක්කරන්න.ජායාරූපයේ පෙනෙන රන්වන් පැහැ එනතෙක් ළූනු බැදෙන්න හරින්න .කරකරගන්න එපා.
- බැදගත් ළූනු වලින් ස්වල්පයක් ඉවතට ගෙන පසෙකින් තබන්න (පසුවට ගැනීමට)
- කුකුල්මස් හා අමුමිරිස් භාජනයට එක්කර විනාඩි 10ක් පමණ බැදෙන්න හරින්න.හැන්දෙන් කීපවාරක් කලවම් කරන්න .
- විනාඩි 10 ට පස්සෙ භාජනයේ තෙල් වැඩිපුර තියෙන නිසා ඔයාලට පුලුවන් තෙල් ස්වල්පයක් තියලා ඉතුරු ටික ඉවත් කරගන්න.මොකද මස් වල තෙලුත් එලියට එන නිසා.තෙල් නැත්නම් ගොඩක් තියෙයි.
සැ.යු. –
මෙතනදි තව වැදගත් දෙයක් කියන්න ඕනෙ.රයිස් කුකර් එකේ භාජනය සැහැල්ලු උනොත් cook බට්න් එක කොච්චර දැම්මත් warm බට්න් එක වැටෙනව.මටත් හාල් දානතුරු එහෙම උන නිසා මම ආධාරකයක් පාවිච්චි කරලා cook එකේම තියාගත්තා.ඒනිසා ඔයාලට රයිස් කුකර් භාජනය ගෑස් ලිපක තියලා මස් බදින අවස්තාවෙන් පස්සෙ රයිස් කුකර් එකට දාගන්න පුලුවන් .
ඒක වැදගත් දෙයක් –
මස් වලට බිරියානි පව්ඩර් මිශ්‍රනයෙන් මේස හැඳි 2 1/2 ක් දාගන්න.කවලම් කරන්න ..
එයටම යෝගට් 75g ක් එක්කරන්න(පොඩි කප් එක)
සෝදා ගත් හාල් 500g එක්කර වතුර අවශ්‍ය පමණට එක්කරගන්න.ලුණුත් අවශ්‍ය පමණට එක්කරගන්න .බේලීෆ් කොලයක් ඇත්නම් එක්කරන්න.පියනකින් වසා බත තැම්බෙන තුරු තබන්න.
පිසුණු බත් උඩට කලින් වෙන්කර තැබූ ළූනු එක්කරන්න.සැෆ්රන් ඇත්නම් එක්කරන්න පුලුවන් .මම කලරින් වත් කහ වත් දැම්මෙ නෑ .කැමතිනම් කහ වර්ණකයක් බත ඉදුණු පසු එක්කරන්න..
කජු,මිදි,කොත්තමල්ලි,මිංචි කොළ වලින් සරසාගන්න කැමතිනම් .
බැදපු බිත්තර ,මින්ට් චට්නි,කුකුල්මස් හොද්දක්,රයිතා සලාදයක්,උම්බලකඩ බැදුමක් බිරියානියට ගැලපෙනව.
අරාබි රටවල ඉතාමත් ප්‍රසිද්ධ මෙන්ම රසවත් බතක් වන මෙන්දි බතෙහි මූලාරම්භක රට යේමනයයි.බත් හා මස් ප්‍රධානම අමුද්‍රව්‍යය දෙක වන අතර රටින් රට සාදන ක්‍රමයේ යම් යම් වෙනස්කම් ඇත.එළුමස්,කුකුල්මස්,ඔටුමස්,හරක්මස් වැනි මස් වර්ග යොදාගනී.
චිකන් මෙන්දි බත

මේ තියෙන්නෙ මම පහසුවෙන්ම ගෙදරදි මෙන්දි බත හදාගත් විදිහ.රෙසිපි ගොඩක් බලල බලල හැදුවෙ..
අවශ්‍ය ද්‍රව්‍ය –
බාස්මතී හාල් හුන්ඩු එකහමාරක්(375g)
කුකුල්මස් 500g (ප්‍රමාන අඩු වැඩි කරගන්න )
හවායිජ් පව්ඩර් මේස හැන්දක්
ඔලිව් තෙල් හෝ ගීමේස හැඳි දෙකක් පමණ (මම ගී ගත්තෙ.නැති අය තමන්ට තියෙන තෙලක්)
බ්ලෙන්ඩර් කරගත් ලොකු ඉඳුණු තක්කලි ගෙඩි 2ක්
ටොමැටො පියුරි තේ හැඳි 2ක්
කරදමුංගු ඇට 5,කරාබුනැටි 5,ලොකු කුරුඳු කෑල්ලක්,බේලීෆ් කොළයක්
තලාගත් සුදුළූනු බික් 4-5
චොප් කරගත් ළූනු ගෙඩියක්
වේලපු දෙහි ගෙඩියක් ..කළුපාටට තියෙන්නෙ ඒක.අවශ්‍යම නෑ..
නොකැපූ අමුමිරිස් කරල් කීපයක්.ලොකු අමුමිරිස් නම් දෙකක් ඇති.පොඩි නම් 4ක් වගේ ඇති
අවශ්‍ය තරමට ලුණු.
කහ තේ හැඳි කාලක්
ගම්මිරිස් තේ හැඳි බාගයක්
සුප් කුඩු පව්ඩර් එකක්(අවශ්‍යම නැත)
හදන්නෙ මෙහෙම,
- මස් ලොකු කැබලි කීපෙකට කපාගන්න.මම කපාගෙන තියෙනවටත් වැඩිය ලොකුනම් හොඳයි .සාමාන්‍යයෙන් කුකුලෙක්ව කෑලි 4කට වගේ කපන්නෙ එයාල.
- බත උයාගන්න පුලුවන් ප්‍රමානෙ භාජනයක් ලිප තබා තෙල් එක්කරන්න.තෙල් රත්වන විට කරදමුංගු ,කරාබුනැටි ,කුරුඳු,බේලීෆ් එක්කරන්න..තප්පර කීපයක් තබා සුදුළූනු එක්කරන්න.ස්වල්ප වෙලාවකින් ළූනු එක්කරන්න.ළූනු ටික මැලවීගෙන එන විට හවායිජ් පව්ඩර්,කහ කුඩු ,ගම්මිරිස් කුඩු,සුප් කුඩු එක්කරන්න.හොඳින් මිශ්‍රකරන්න.විනාඩියකට පසු ටොමැටො පියුරි එක්කරන්න.මිශ්‍රකරගන්න.
බ්ලෙන්ඩර් කරගත් තක්කලි එක්කරන්න.විනාඩියක් පමණ තබා..කුකුල්මස් ටික එක්කර මිශ්‍රකරන්න. - විනාඩි 5ක් වගේ කුකුල්මස් ටික බැදෙන්න හැරල වතුර එක්කරන්න කුකුල්මස් වැහෙන ගානට.අවශ්‍ය තරම් ලුණුත්,දෙහි ගෙඩියත්,අමුමිරිස් කරලුත් එක්කරල පියනකින් වසා තියන්න.
- කුකුල්මස් හොඳට තැම්බුනාට පස්සෙ කුකුල්මස් කෑලි විතරක් භාජනයෙන් ඉවතට ගන්න.ඉතිරිය හොද්ද වගේ තියෙනව.හොද්ද හිදෙනකම් කුකුල්මස් ටික උයාගන්න එපා.වතුර වැඩියෙන් තිබ්බට කමක්නෑ බත උයාගන්නෙ ඒ හොද්දෙන් නිසා.
- හෝදගත්ත හාල් හොදි එකට දාන්න.බත ඉවෙන්න වතුර මදිනම් උණුවතුර එක්කරන්න අවශ්‍ය තරම්.අවශ්‍ය ගානට දාන්න නැත්නම් බත බෙරිවෙයි..හැන්දෙන් මිශ්‍රකරලා පියනෙන් වහල බත ඉදෙන්න තියන්න.මද ගින්දරේ..
- කුකුල්මස් ටිකට,මිරිස් කුඩු ටිකක්,ගී හෝ ඔලිව් ඔයිල් ටිකක් දාලා හොඳට මිශ්‍රකරගන්න.
රත්වුනු පෑන් එක්ක දාලා දෙපැත්තෙම හරවමින් පොඩ්ඩක් බැදගගන්න..ගැඹුරු තෙලේ බැදගැනීම අනවශ්‍යයි .නැත්නම් ග්‍රිල් කරගන්නත් පුලුවන් . - උයාගත්ත බත දීසියකට එක්කරල කුකුල්මස් ටික උඩින් තබාගන්න.කැමති නම් බැදගත්,මුද්දරස්පලම්,කජු උඩින් දමාගන්න.
සලාදයක් එක්ක කන්න පුලුවන්..
මේ රයිස් එකේ රසනම් ඉතින් කියලා නිමක් නෑ ..මන් හදපු නිසා නෙමේ කාලාම බලන්න ඕනෙ රස.සවුදි වල බතක්.බිරියානි වගේම තමයි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මේ නිවාඩු දවස් ටිකේ ගෙදර අයට වැඩ කිඩ පෙන්වන්න එක්ක හදල දෙන්න. මේක හදල චුට්ටක් කල්,මගෙ අම්ම කියලා තමයි හදන්න හිතුනෙ. කබ්සා හදන ක්‍රම ගොඩක් තියෙනවා.
මන් මට පහසු ක්‍රමය,නියම රෙසිපියෙ නැති ඒවට හරියන ආදේශක එක්ක තෝරගත්තා. ඒහෙම කරලත් මෙහෙම රසනම් සේරම දැම්මම කොහොම රස ඇද්ද ..
කබ්සා රයිස් (ඇරබියන් බිරියානි )
අවශ්‍ය දේවල් ගොඩක් තියෙනවා
ඒ නිසා හදන ක්‍රමය එක්ක ඕන දේවල් දානව නැත්නම් රෙසිපිය ගොඩක් දිග වෙන නිසා.
දෙන්නෙකුට සෑහෙනව මේ ප්‍රමාණ තමයි පහත සදහන් වෙන්නේ..
- තරමක් ලොකු කුකුල්මස් කැබලි 6ක් සෝදා පසෙකින් තබන්න.
- බත්ද උයාගත හැකි ප්‍රමාණයේ භාජනයක් ගෙන එයට ගී දමා කපාගත් ලොකු ළූනු ගෙඩියක් දමා බැදෙන්න හරින්න.රන්වන් පාට වෙන්න අවශ්‍ය නෑ.
- සූදුරු තේ හැන්දක්,කරදමුන්ගු ඇට5ක්,කරාබුනැටි 3ක්,තලාගත් ඉගුරු කෑල්ලක් ,තලාගත් සුදුලූනු බික් 4ක්,කුරුදු පොතු 2ක්,තියෙනවා නම් බේලීෆ් කොලයක්, එයට එක්කරගෙන බැදෙන්න හරින්න.කරකරගන්නෙපා.තෙල් ස්වල්පයක් නොදමා සාමාන්‍ය ගානට තෙල් එක්කරන්න.ගොඩක් දාගන්නත් එපා.
- දැන් එයට කොටු කපාගත් ලොකු තක්කලි ගෙඩි 2ක් දමාගන්න.ටොමැටෝ පියුරි කෝප්ප කාලක් එයටම එක්කරගන්න.ටොමැටෝ පියුරි නැතිනම් තව තක්කලි ගෙඩියක් එක්කරගන්න.
- එයට කහ ස්වල්පයක් (හරි රෙසිපියෙ සැෆ්රන් තියෙන්නේ .ඒත් සැෆ්රන් ගනන්. මිරිස්කුඩු (පැප්‍රිකා හරි රෙසිපියෙ තියෙන්නේ ) ,ගම්මිරිස් කුඩු,ඇත්නම් ගරම් මසාලා ටිකක් (අවශ්‍යම නෑ ) දමා මිශ්‍රකර කුකුල්මස් කැබලි දමාගන්න.
- හොදින් මිශ්‍රකරගන්න.වතුර ස්වල්පයක් එක්කරගන්න.ගොඩක් උවමනා නෑ.මස් වල වතුරත් ඇතිනිසා.
- වේලපු දෙහි ගෙඩියක් දාන එක මේ බත් එකේ අනිවාර්ය අංගයක්.ඒත් මට වේලපු දෙහි තිබුනෙ නෑ ඒනිසා මම දෙහි ගෙඩියක පලුවකින් පලුවක් කපලා චිකන් එකට දැම්ම. ඒක කද්දි ඒක අයින් කරන්න.
- හාලුත් මේකට එක්කරන නිසා ලුනු ඇති පදමට එක්කරගෙන,චිකන් කියුබ් එකක් හෝ සීසනින් පව්ඩර් කැමතිනම් එක්කරගන්න.මස් එක හොදින් තැම්බෙන්න හරින්න.
- මස් එකේ වතුර හිදුනම(අඩිය කර කරගන්නෙපා) සෝදාගත් හාල් හුන්ඩු 1 1/2 ක් දමා හාල් තැම්බෙන්න අවශ්‍ය තරමට වතුර එකරන්න. මම ගත්තෙ පොන්නි හාල්.සම්බ පුලුවන්. සාමාන්‍යයෙන් බාස්මතී ගන්නෙ. බාස්මතීව ගන්නවනම් බාස්මතී උයන්න පෙර පෙගෙන්න දාලා ගන්න.
- බත හරිගියාට පස්සෙ හිමීට කූරුගාලා මස් කැබලිත් එක්කම පිගන් වලට බෙදන්න. කොත්තමල්ලි කොල,බැදපු කජු,මුද්දරස්පලම් ආදියෙන් බත සරසගන්න. කැමතිනම් බැදපු කුකුල්මස් ටිකකුත් බත උඩින් තියාගන්නත් පුලුවන්. සලාද,චට්නි,බැදපු බිත්තර එක්ක කන්න පුලුවන්.