නිදහස් දිනය යනු, ජාතික නිදහස් රාජ්‍යත්වය සලසා ගැනීමේ සංවත්සරය සැමරෙන වාර්ෂික උත්සවයකි. එදින ජාතික කොඩි එසවීමේ උත්සව, නැටුම්, පෙළපාළි හා විවිධ ක්‍රියාකාරකම් මගින් එය රට පුරා සමරනු ලබයි. බොහෝවිට ප්‍රධාන සැමරුම් උත්සවය කොළඹ දී පැවැත්වෙන අතර එහි දී ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීමත්, නිදහස් දින කතාව පැවැත්වීමත්, සිදු කරනු ලබයි.
76 වන නිදහස් දිනය යෙදී තිබෙන අද දින නිදහස් උත්සවය පිළිබඳ මතකයන් මෙලෙස යළි අවදි කරමු.
1948 පෙබරවාරි 04
වර්ෂ 1948 පෙබරවාරි 04 වෙනි දින එකසිය තිස් තුන් වසරක් බ්‍රිතානයන්ගේ යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව නිදහස් බිමක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම නිදහස් දින සැමරුම 1948 පෙබරවාරි 04 වනදා පෙ.ව.07.30 ට එළබුනු සුබ මොහොතීන් ස්වාධීන ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු සභා වාරය කොළඹ නිදහස් චතුරස්‍රය ආසන්නයේ තාවකාලිකව ඉදිකළ ශාලාවකදී පැවැත්විණ. පැවසුව මෙරට පළමු ආණ්ඩුකාරවරයා ලෙස ශ්‍රීමත් හෙන්රි මේසන් මුවර් දිව්රුම් දීම සිදු විය.
ප්‍රථම නිදහස් සමරු දින නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැතිවරයා ලෙස තේරීපත් වූ ඩී. එස්. සේනානායක මහතා ගුවන් විදුලිය ඔස්සේ ලංකාවාසීන් අමතන ලදී. එහිදී ඔහු ඉදිරිපත් කළ ප්රමුඛ අදහසක් වූයේ ශ්‍රී ලංකාව දියුණු රටක් ලෙස ඉදිරියට ගෙන යාමට සියලු ජාතීන් අතර සමඟිය පැවතීම අත්‍යවශ්‍ය සාධකයක් වන බවයි.ග්ලොස්ටර්හි ආදිපාදවරයාය එදින නිදහස් උත්සව මලාවේ ප්‍රධාන ආරාධිතයා විය.
නිදහස් උත්සවය නිමිති කරගෙන සිරකරුවන් 1883 දෙනෙකුට නිදහස හිමි වූ අතර මරණිය දණ්ඩනයට නියමව සිටි සිරකරුවන් 09 දෙනෙකුද එදින නිදහස ලැබීය.
වාරායේ නැව්,රජයේ ගොඩනැගිලි,ආගමික ස්ථාන,නිවෙස් ආදී ස්ථාන සියල්ලකම සිංහ කොඩි ලෙල දුන් අතර කොළඹ පැවති නිදහස් උත්සවය නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන්ද ක්‍රියාත්මක විය.
එමෙන්ම ‘නමෝ නමෝ මාතා’ ජාතික ගීය මෙරට ජාතික ගීය ලෙස තෝරා ගැනීමෙන් පසුව ප්‍රථමවරට ගායනා කොට ඇත්තේ 1949 පෙබරවාරි 04 දින පැවැත්වූ මෙරට දෙවන නිදහස් සමරුවේදීයි.
1961 වසරේ මෙරට මෙන්ම සමස්ත ලෝකයේද ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් නිදහස් උත්සවය සමරන ලද්දේ මහනුවරදීයි. එවකට ජාතික ගීයේ මුල් වචන අරඹයා විවිධ මතභේදාත්මක අදහස් පළ වූ අතර නමෝ නමෝ හි ‘න’ ආරම්භ වන බැවින් නමෝ නමෝ යන්න වෙනුවට ‘ශ්‍රී ලංකා මාතා’ යන වදන් එක් කරමින් 1961 දී ජාතික ගීයේ වචන රචකයාගේ අනුදැනුමකින් තොරව වෙනස් කිරීම හේතුවෙන් මහනුවර පැවැත්වූ නිදහස් උලෙළේදී ජාතික ගීයේ අනුවාදනය පමණක් වාදනය කෙරුණු බවද සඳහන් වේ.
1978 වසර මෙරට පළමු විධායක ජනාධිපතිවරයා අභිෂේක ගැන්වූ වසර විය. එනම් ජේ. ආර්. ජයවර්ධන මහතා මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන ලද්දේ ද 1978 වසරේ නිදහස් දිනයේදී වීම විශේෂ අවස්ථාවකි.
2010 වසරේ සැමරූ මෙරට 62 වන නිදහස් සමරුව අභිමානයෙන් යුතුව සැමරූ තවත් නිදහස් දිනයක් ලෙස සැලකේ. 30 වසරක් මුලුල්ලේ මෙරට ජනයා පීඩාවට පත් කළ රුදුරු ත්‍රස්තවාදය නිමා කිරීමත් සමඟ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ එම නිදහස් දිනය උත්කර්ෂයෙන් යුතුව සමරන ලදී.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් මිදී වසර 76ක් ගියද අප ස්වාධීන රටක් ලෙස තවදුරටත් කටයුතු කරන්නේ ද යන්න විමසා බැලීම සියළු පුරවැසියන්ගේ යුතුකමක් සහ වගකීමකි.