මේ තේමාවට ප්‍රවේශයක් හැටියට, මම මෑතකදී මගේ FB පිටුවට දැමූ පොස්ටුවක ආරම්භක කොටස හඳුන්වා දෙන්නට කැමැත්තෙමි.
“මම ඔකිනවා ප්‍රාන්තයේ ඇවිදීමේ සංගම් දෙකක සාමාජිකයෙක්. එකක් Naha Walking Association, අනික Okinawa Walking Association. නහා ඇවිදීමේ සංගමය හැම මාසෙකම පළමුවැනි ඉරිදා පාක් එකක රැස්වෙලා කිලෝමීටර් 5-7 අතර දුරක් ඇවිදිනවා. ඔකිනවා ඇවිදීමේ සංගමය දෙවැනි ඉරිදා නහා නගරයේත් තුන්වැනි ඉරිදා ඔකිනවා ප්‍රාන්තයේ ගමක් හෝ නගරයක් තුළ ඇවිදීම සංවිධානය කරනවා. අවුරුද්ද පුරාම ඇවිදීමේ වැඩසටහන් දළ වශයෙන් සැලසුම් කරලා සාමාජිකයන්ට දැනුම් දෙනවා.
හැම වැඩසටහනකටම 30-50ත් අතර ගණනක් සහභාගි වෙනවා. මේ වැඩසටහන් සංවිධානය කරන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඇවිදින ස්ථානය, ගමන හා ගමන්මඟ කල් ඇතිව සැලසුම් කර, තීරණය කරන්න ඕනැ.සංවිධායක කමිටුව ස්වේච්ඡාවෙන් වැඩ කරන්නේ. ඔකිනවා ඇවිදීමේ සංගමයේ පාද සංචාරය short course සහ long course කියල කොටස් දෙකකින් යුක්තයි. කැමති කෝස් එකක් තෝරාගන්න පුළුවනි. short course එක කි.මී. 3-6 ක් අතර දුරක් වන අතර long course එක කි.මී. 8-9ක් පමණ වෙනවා. සන්විධායකයෝ කල් ඇතුව ගිහින් ඒ මාර්ගයේ ඇවිදලා දුර මැනලා පරික්ෂා කරලා බලල තමයි කෝස් එක තීරණය කරන්නේ. ඒ සංවිධායෙකුගෙන් ඊයේ මම අහපුවම ඒ පරීක්ෂණ වැඩ සඳහා ඒ ප්‍රදේශයට දෙපාරක් යනවා කියල කීවා.
නියමිත දිනයේ නියමිත ස්ථානයේ රැස්වෙලා, ඒ ඒ සාමාජිකයාගේ සහභාගිත්වය සටහන් කරගෙන, පිළිගැනීමේ රැස්වීම තියලා, පෙරව්යායාම (Warming up) කරලා, කෝස් එක (විවේක ගන්නා තැන්, බැලිය යුතු දර්ශන, කඳු පල්ලම් හේම) විස්තර කරලා නියමිත වෙලාවට පිටත් වෙනවා. ඇවිදින ආකාරය, සිග්නල් ලයිට්වලදී කලබලවී දුවන්නේ නැතිව, පදික වේදිකාව පුරා විසිරිලා ඇවිදින්නේ නැතිව දෙදෙනා ගානෙ පේළි හැදී ගමන් කරන්න කියල තමයි උපදෙස් දෙන්නේ.”
මේ පාදචාරිකාවල අසිරිය හා ආස්වාදය ගැන මම විස්තර ලීවෙමි. පාඨකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර අතර “ඇයි අපේ රටේ මෙවැනි අවස්ථා අඩු කියලා හිතුනා.” “ලංකාවේ මිනිස්සු තමන්ට වාසියක් නැත්නම්, මුදලක් ලැබෙන්නේ නැත්නම් වැඩකට උනන්දු වෙන්නේ නෑ.” වැනි අදහස් තිබුණි. මේ ලිපිය ඒ අදහස්වලට පිළිතුරක් විය හැකිය. ප්‍රජා සංස්කෘතියේ අංගයක් වන සහයෝගිතාව ගැන ජපානයෙන් ඉගෙන ගත හැකි දේ බොහෝය.
මම 2011 වසරේ සිට 2016 දක්වා වසර හයක් Asian Bridge Building – Okinawa Sri Lanka Project නමැති තරුණ නායකත්ව පුහුණු වැඩසටහනක විධායක කමිටුවේ සභාපති හැටියට සේවය කෙළෙමි. මේ වැඩසටහනෙන් කළේ ලංකාවෙන් තෝරාගනු ලැබූ පාසැල් සිසුන් කණ්ඩායමක් ජපානයට ගෙන්වා ඔකිනවාවල සමවයසේ පාසැල් සිසුන් සමඟ එකට ඉන්න, එකට ඉගෙන ගන්න, සාකච්ඡා කරන්න, ක්ෂේස්ත්‍ර චාරිකාවල යෙදෙන්න අවස්ථා සලසා දෙපැත්තේම ළමයින්ට පරිසරය, සාමය හා ප්‍රාණයේ වැදගත්කම අවබෝධ කරගන්නටත්, ස්වේච්ඡාවෙන් කැප වී වැඩ කරන්නටත් යොමු කරවීමයි. ප්‍රධාන සංවිධායකයන් වූයේ ඔකිනවා ජාතික තරුණ මධ්‍යස්ථානයේ නිලධාරීහුය. වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා තරුණ මධ්‍යස්ථානය පිහිටා ඇති තොකශිකි ගමේ ගම්සභාව, ස්වෙච්ඡා සේවකයෝ, ප්‍රදේශයේ පාසැල්, ඔකිනවා විශ්ව විද්‍යාලය, ඔකිනවා සාම අධ්‍යාපන මධ්‍යස්ථානය, සාම නියමුවෝ, සාගර හා පරිසර සම්පත් මධ්‍යස්ථානය, ඔකිනවා ප්‍රාන්ත රජය ආදී විවිධ ආයතන, සංවිධාන හා පුද්ගලයන් සමඟ සම්බන්ධීකරණය හා සහයෝගිතාව ඉතා විශිෂ්ට වශයෙන් ලබා ගනු ලැබීය. මේ සම්බන්ධීකරණය හා සහයෝගිතාව වටිනා සමාජයීය ප්‍රාග්ධනයක් හැටියට වාර්තාගත විය යුතුයි කියා මම හැම අවුරුද්දකම සයොනාරා පාටියේදී (සමුගන්නා උත්සවයේදී) ප්‍රකාශ කෙළෙමි.
පොදු යහපත පිළිබඳ හැඟීමේ උල්පත හා තෝතැන්න ප්‍රජා සංස්කෘතියයි
මුහුකුරා ගිය ප්‍රජා සමාජයක වැදගත් ශුභවාදී ලක්ෂණයක් නම් මහජනයාගේ පොදු සුභසාධනය රජය හෝ පරිපාලන නිලධාරීන්ට බාර දී නිහඬව සේවාවන් ලබා ගැනීමට පමණක් සූදානම්ව නොසිටීමයි. සුභසාධන කටයුතුවලදී පමණක් නොව, ප්‍රදේශයේ පාරිසරික හා සංස්කෘතික කටයුතුවලදී ද මූලික වශයෙන් වගකීම ගන්නේ ප්රජාවයි. රට තුළ ඒ ඒ ප්‍රදේශවලට අවේණික පරිසර ජීව පද්ධති හා ඒවා මූලික කරගෙන ගොඩ නැගුණු ජීවන රටා හා සමාජ පැවතුම් ඇති බැවින් මේ විදියට ප්‍රදේශයේ ජනයා මූලික වී ක්‍රියා කිරීම රාජ්‍ය හෝ ජාතික මට්ටමින් ක්‍රියාත්මක වෙනවාට වඩා අතිශයින් ඵලදායකය.
මේ ප්‍රජා සමාජය සහලේ, සහබිම්, සහහැඟීම් යන තුන් අංශයෙන්, එනම් ලේ සම්බන්ධකම්, භූමි ප්‍රදේශය අතින් ඇති සම්බන්ධකම් පමණක් නොව, පොදු හැඟීම් වශයෙන් ඇති කර ගන්නා සම්බන්ධකම් ද පදනම් කරගත් පොදු ජීවන රටාවකට නෑකම් කියන, ඒ නිසාම අන්‍යොන්‍ය උපකාරය, සහයෝගය හා ශික්ෂණයෙන් බැඳුණු මිනිස් කණ්ඩායමකි.
මෙවැනි පුරවැසි කණ්ඩායම් ස්වාධීනව ක්‍රියා කරන අවස්ථා සහ ප්‍රදේශයේ නගරසභාව හෝ ගම්සභාව සමග සහයෝගයෙන් බැඳී වැඩ කරන අවස්ථා ද දැකිය හැකිය. රාජ්‍යමය ආයතන හෝ සංවිධාන ද පුරවැසි සංවිධාන සමඟ සහයෝගිතාවෙන් වැඩකරන්නට මහත් උනන්දුවක් දක්වයි. මා පදිංචි ඔකිනවා ප්‍රාන්තයේ නහා නගරයේ ප්‍රජා සේවා සංවර්ධන අංශයක් ඇති අතර, ප්‍රදේශයේ ප්‍රශ්න විසඳා ගැනීමට රාජ්‍ය සේවකයන් හා පුරවැසියන් එකමුතුව වැඩකිරීමට හා එවන් උත්සාහයන් දිරිගැන්වීමට නොයෙක් වැඩපිළිවෙළවල් ද ඇත. නගර සභාවට අයත් උද්‍යාන පාලනය කිරීම හා මහජන පුස්තකාල පවත්වාගෙන යාම සඳහා ද පුරවැසියන්ගේ ස්වේච්ඡා සහාය ලබා ගනු ලැබේ.
ප්‍රදේශයේ ආර්ථික සංවර්ධනයට මග පාදන ක්‍රියාකාරකම් විකසිත කිරීමටත්, ප්‍රදේශයේ ආකර්ෂණය උපයෝගී කරගෙන පුරවැසි සහභාගිත්වයෙන් යුතුව සංචාරක කර්මාන්ත වැඩිදියුණු කිරීමටත් පුරවැසි බලය යොදාගත හැකි බව ජපානයේ ඔකිනවා ප්‍රාන්තය හොඳින් ප්‍රදර්ශනය කර ඇත. ඔකිනවා වල පැරණි අගනුවර වන ෂුරි නගරයේ වැසියෝ රාජධානි යුගයේ ඉතිහාසයක් ඇති නගරයකට ගැලපෙන අයුරින් පුරවැසි බලය භාවිතා කරති. පූජනීය ස්ථාන, සිද්ධස්ථාන,මාලිගා වැනි ඓතිහාසික සම්පත්, ජපානයේ වෙනත් ප්‍රදේශවල දක්නට නොලැබෙන වදමල්, එරබුදුමල්, තල් ගස් වැනි විශේෂ ගහකොළ, මල් ආදිය හඳුන්වා දෙන දැන්වීම් පුවරු තැන්තැන්වල සවිකර ඇත්තේ පුරවැසි සංවිධාන මඟින් ය. නගරයේ ප්‍රජා සේවා සංවර්ධන අංශයේ නිලධාරීහු ද පුරවැසියන් ප්‍රදේශයේ ආකර්ෂණය හඳුනාගෙන අභියෝගවලට මුහුණදීමට ඉදිරිපත් වීම ප්‍රදේශයේ පුනර්ජීවනයට මූලික පදනම වේ යයි විශ්වාස කරති.
අපට තනිතනිව කළ හැකි දේවල් ඉතා සීමිතය. එනිසා සහයෝගිතාව ඉතා වැදගත් වේ. ඒ ඒ ප්‍රදේශවලට විශේෂ වූ එළවලු, පලතුරු වැනි කෘෂිකාර්මික නිෂ්පාදන ගැන අවධානය යොමු කිරීම, ඒවා බෙදා හැරීමට නව ක්‍රියාමාර්ග සැලසුම් කිරීම, ඒවා යොදා ගනිමින් නව ආහාරපාන නිෂ්පාදනය කිරීම, එවැනි නව නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීම හා අලෙවිකරණය වැනි නොයෙක් කටයුතු සඳහා තනිතනිව ක්‍රියා කිරීමෙන් ලබාගත නොහැකි සාර්ථක ප්‍රතිඵල අත් කර ගැනීමට පුරවැසි සංවිධාන හැටියට සංවිධානය වීමත්, විවිධ සංවිධාන අතර සහයෝගය හා රාජ්‍ය ආයතනවල සහයෝගය ලබා ගැනීමත් ඉතා වැදගත් වනු ඇත.
සහයෝගිතාව ජාතික මට්ටමෙන් ද ක්‍රියාත්මක වේ
රාජ්‍ය ආයතන හා පුරවැසි සංවිධාන අතර පමණක් නොව, රජයේ අමාත්‍යංශ මට්ටමෙනුත් සහයෝගිතා ක්‍රියාකාරකම් සිදු වෙයි. නිදසුනක් හැටියට, ජපන් අධ්‍යාපන අමාත්‍යංශය (නිල නම: අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය) “CORE High School Network Initiative” නමැති ව්‍යාපෘතිය යටතේ උසස් පෙළ පාසල් අතර සම්බන්ධතාජාල ආකෘතියක් ක්‍රියාත්මක කළේය. “CORE” යනු Collaborative Regional High School Network “සහයෝගී කලාපීය උසස් පෙළ පාසල් ජාලය” සඳහා යොදා ගත් කෙටි යෙදුමකි. ඒ පිළිබඳ පර්යේෂණ වාර්තාව පසුගිය මැයි 1 දින නිකුත් කරන ලදී.
“CORE High School Network Initiative” යනු දුරස්ථ ප්‍රදේශවල කුඩා පරිමාණයේ උසස් පෙළ පාසල් එකතු වී නාගරික ප්‍රදේශවල උසස් පෙළ පාසල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සහ නගර සභා, උසස් අධ්‍යාපන ආයතන සහ කර්මාන්ත සමඟ ඒකාබද්ධ කිරීම සඳහා වූ පද්ධතියකි. එවැනි පද්ධතියක් මඟින්, කුඩා පාසල්වල පැවැත්ම සහ පුනර්ජීවනය දිරිගැන්වීම සඳහා පුංචි පාසැලකින් ලබා ගත නොහැකි පාඩම්, ගුරුවරුන් සහ අත්දැකීම් වැනි සම්පත් හා අවස්ථා උදා කර ගැනීමට හැකි වේ.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2021 සිට 2023 දක්වා රට පුරා ප්‍රාන්ත 13ක් ආදර්ශ කලාප ලෙස තෝරා ගන්නා ලදී. අන්තර් පාසල් සහයෝගිතා පද්ධතියක් පිහිටුවීමෙන්, කුඩා උසස් පෙළ පාසල් සංඛ්‍යාවකට නාගරික උසස් පෙළ පාසල් සමඟ පොදු විෂය මාලාවක් බෙදා ගැනීමට සලස්වා, එම සහයෝගිතා ක්‍රියාවලිය මගින් අන්තර්ක්‍රියාකාරී ඔන්ලයින් පන්ති පැවැත්වීමට සහ සිසුන්ට විවිධ වෘත්තීය මාර්ගවලට පිවිසෙන්නට අවශ්‍ය අධ්‍යාපනය සහ සහාය ලබා දීමට පියවර ගන්නා ලදී. අවසාන වාර්තාවේ පරමාර්ථය වී තිබුණේ එක් එක් සම්බන්ධතා ජාලයේ උත්සාහයන් පරීක්ෂා කර, ප්‍රතිඵල සහ ගැටළු විශ්ලේෂණය කිරීමෙන්, අනෙකුත් කලාපවලටත් හඳුන්වා දිය හැකි ආකෘතියක් යෝජනා කිරීමයි.
විශ්වවිද්‍යාල හෝ පර්යේෂණ මට්ටමෙන් සලකා බැලුවහොත්, 21 වන ශතවර්ෂයේ සංකීර්ණත්වය සහ සමාජ සංවර්ධනය අනුව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ද අධ්‍යයන හා පර්යේෂණ කටයුතු තරඟකාරීත්වය සහ සහයෝගීතාවයේ අභියෝගයට මුහුණ දී ඇත. ලංකාවේ විශ්ව විද්‍යාල තවම මේ අභියෝගයට මුහුණදීමට සූදානම් වී සිටින බවක් පෙනෙන්නට නැත. විශේෂයෙන් මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා ක්ෂේත්රවල පර්යේෂණ කටයුතුවලදී මෙම අන්තර්සම්බන්ධිත සහ අන්තර්ක්‍රියාකාරී ලෝකය තුළ තවදුරටත් හුදකලා වී සිටිය නොහැකිය. මක්නිසාදයත්、විවිධ ආයතන, අංශ හා ක්ෂේස්ත්රවල සහයෝගීතාවය මගින් ඇති කරන අදහස් සහ සංකල්පවල ප්‍රතිපෝෂණය විවිධ සහ බහුවිධ විශ්ලේෂණ වර්ධනයට හා නවොත්පාදනයට මග පාදන බැවිනි.
පර්යේෂකයන් අතර සහයෝගීතාවය විවිධ පීඨ සාමාජිකයින් එකට එක්වී වැඩ කිරීම මගින් හෝ න්‍යායික උපකල්පන බිහි කිරීම, දත්ත ගබඩාවලට ප්‍රවේශය、 උපකරණ භාවිතා කිරීම වැනි විවිධ අංශ අතර සම්පත් බෙදාගැනීම වශයෙන් සිදුවිය හැකිය.මේ කවර ආකාරයකින් හෝ ඇති කර ගන්නා සහයෝගීතාවය පර්යේෂණ ප්‍රතිදානය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනු ඇත. එය විවිධ විෂය ක්ෂේත්රවල සාමාජිකයින් අතර සංවාදය පෝෂණය කරනවා පමණක් නොව, පර්යේෂණ ප්‍රතිඵල සමාජයීය වශයෙන් ක්‍රියාවට නැංවීමට මඟ පෑදිය හැකි පුළුල් පුද්ගල සම්බන්ධතා ගොඩනැගීම සඳහා අත්තිවාරම් ද සපයයි.
ප්‍රජ සහයෝගීතාව කොතරම් පලදායි ද යන්න දැන් පැහැදිලි වී ඇතැයි සිතමි.
ප්‍රජ සහයෝගීතාවට නිවැරදි මාවත කුමක්ද?
ඉතින් අපේ FB පාඨකයා මතු කර තිබුණු පරිදි, මේ ප්‍රජා සහයෝගිතාව ලංකාවේ එතරම් දකින්නට නොලැබෙන්නේ ඇයි ? ප්‍රධාන හේතු හැටියට මා දකින්නේ ස්වාධීනව නැගී සිටීමේ උත්සාහය, අන්‍යොන්‍ය උපකාරය හා සහයෝගිතාව, පොදු යහපත සඳහා වැඩකිරීමෙන් ඇතිවෙන ආභ්‍යන්තරික සතුට වැනි ආකල්ප, සංකල්ප හා හැඟීම් ළමා සහ තරුණ මනසට කා වැද්දන විදියේ අධ්‍යාපන ක්‍රමයක් හෝ අධ්‍යාපන පරිසරයක් ලංකාවේ ක්‍රියාත්මක නොවීම හා සමාජය තුළ ප්‍රජා සහයෝගිතාවට යොමුකරවන විදියේ හා දිරිගන්වන විදියේ වැඩසටහන් එතරම් ක්‍රියාත්මක නොවීමයි.
2022 මාර්තු මාසයේ සිට පවතින ආර්ථික අර්බුදය ඇතුළුව ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින විවිධ අභියෝගවලට මූලික හේතු බොහෝ දුරට අධ්‍යාපන තත්ත්වය තුළින් බිහිවූ ඒවා බව ඔප්පු කළ හැකිය. ලංකාවේ මූලික අධ්‍යාපනයේ අන්තර්ගතය හා අධ්‍යාපන පටිපාටිය ස්වාධීනත්වය සහ සහයෝගීතාව පිළිබඳ හැඟීමක්, සමාජ ජීවිතය හා ස්වභාව ධර්මය සමඟ සබඳතා පවත්වන ආකාරය පිලිබඳ අවබෝධයක් , ස්වාධීන චින්තන හැකියාවක් හෝ සදාචාරය සහ සම්මතයන් පිළිබඳ හැඟීමක් වර්ධනය කිරීමට අනුබල දෙන අයුරින් සැකසී නැති බැවින්, සැබෑ මානව හා සමාජ සංවර්ධනයට අදාළ වී හෝ සම්බන්ධ වී නොමැති බව පැහැදිලිව පෙනේ. දැනුම් ගොඩගසා ගැනීමේ හා කට පාඩම් කිරීමේ අධ්‍යාපනය නිසා ගැටලු විසඳීමේ කුසලතා, සහයෝගීතාව, සමාජ සේවය ක්‍රියාවට නංවන ආකාරය හෝ එහි අවශ්‍යතාව ගැන හැඟීමක් බොහෝ දෙනාට නැත. ඒ වෙනුවට, සමාජයේ නායකයන් හා තමන්ගේම ගුරුවරුන් ක්‍රියාකරන ආකාරය දෙස බැලීමෙන් දරුවන්ට හා තරුණයන්ට දැනෙන්නේ ආත්මාර්ථකාමය, ස්වාර්ථකාමය මිසක් වෙනත් විමුක්තියක් නැත යන හැඟීම නොවේද?
හුදෙක් දැනුම ලබා ගැනීම පමණක් නොව නිදහසේ සිතීම, සාකච්ඡා කිරීම, අන්‍යොන්‍ය උපකාරය, වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ ස්වකීය සංස්කෘතියට, ඉතිහාසයට හා සම්පත්වලට ගරු කිරීම ආදී අංග ඇතුළත් විවිධ ඉගෙනුම් කටයුතුවල යෙදෙන ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍ය වී තිබේ. හොඳ ප්‍රජා සංස්කෘතියක්, පොදු යහපත ගැන හිතන පුරවැසි සමාජයක් බිහිකරන්නේ නැතිව ගමේ, නගරයේ හෝ රටේ දියුණුව ඇති කළ නොහැකිය. ආකල්පවල පෙරළියක් නැතිව ක්‍රම පෙරළියක් (system change) ගැන හිතීමෙන් හෝ කතා කිරීමෙන් පලක් නැත.
පරිශීලනය:
Boulding, Elise. Building a Global Covic Culture: Education for an independent World. Syracuse University Press. 1990.
චන්ද්‍රලාල්, දිලීප්. “රට කිරි සහ ගමේ කැකිරි”, 4 වැනි පරිච්ඡේදය: ප්‍රබල ප්‍රජා සංස්කෘතියක් ගොඩ නගා ගැනීම, පුංචි ප්‍රකාශකයෝ, 2013.
සටහන –

මහාචාර්ය දිලීප් චන්ද්‍රලාල්
