එදිරිවීර සරච්චන්ද්‍රගේ මළවුන්ගේ අවුරුදුදා නමැති නවකතාව කියවා ඇති අය මේ යෙදුමට හුරු යයි සිතමි. මළවුන්ගේ අවුරුදුදා යනු කුමක්ද? මෙය ජපන් ජන ජිවිතයේ ඉතා වැදගත් අංගයක් වේ. එසේම මෙය ජපන් ජාතිකයන් මහායාන බුදුදහම තම පෞරාණික ඇදහිලි හා විශ්වාසවලට ගැලපෙන ගැළපෙන ආකාරයට සකස් කරගත් ආකාරය පෙන්නුම් කරන හොඳ නිදර්ශනයක් ද වේ.
ජපන් ජාතිකයන්ගේ විශ්වාසයට අනුව අවුරුද්දකට වරක් ඔවුන්ගේ මියගිය අය මේ ලෝකයට සම්ප්‍රාප්ත වෙති. එය සිද්ධ වෙන්නේ පැරණි ලිත් ක්‍රමයට අනුව 7 වැනි මාසේ මැද හරියේය. අලුත් කැලැන්ඩරයේ හැටියට අගෝස්තු මැද හරියේ. ඒ දිනවල මියගියවුන්ගේ ආත්මවලට සැනසීම ලබා දෙන අයුරින් පවත්වන වන්දනා-පූජා- ප්‍රර්ථනා-පුණ්‍යානුමෝදනා උත්සව චාරිත්‍රය ‘ඔබොන්’ යයි හඳුන්වනු ලැබේ.
මුලින්ම මළවුන්ගේ ආත්ම පිළිගැනීමේ ගින්න දල්වා ඒ සඳහා විශේෂ වූ රාක්කය හෙවත් මල්පැල මත පුදපූජා භාන්ඩ තබා පූජාව පවත්වා සොහොන් වන්දනාව ආදියත් පවත්වා අවසානයට සමුගැනීමේ ගින්න දල්වා නැවතත් මළවුන්ගේ ආත්ම ඔවුන්ගේම ලෝකයට පිටත් කර හරිනු ලැබේ.

ඔබොන් කාලයට පරලොවින් ආ මියගිය ඥාතීන් නැවත එලොවට යාමට සමුගැනීම සිදුවන්නේ 16 වැනිදායි. කියෝතෝ නගරය වටා ඇති කඳු වලල්ලේ ‘ගොසන්’ (‘කඳුපහේ’) ඔකුරුබි හෙවත් සමුගැනීමේ ගින්න ඉතා ප්‍රසිද්ධය. ප්‍රාර්ථනාවන් ලියූ ලී තීරු ඇතුළු ලී දඬුවලින් රාත්‍රියට ගිනි දල්වා මීටර් 160 ක් පමණ දිගට ‘විශාල’ යන තේරුම ඇති ජපන් අකුර 「大」හැඩයට හදන ගින්න රෑ අහසේ ඇඳි මහා අකුරක් ලෙස පෙනේ.
‘ ඔබොන්’ යනු ‘උරබොන්’ නමැති වචනය කෙටි කර ගැනීමක්. ‘උරබොන්’ යනු සංස්කෘත භාෂාවේ ullambana යන වචනයෙන් ජපන් භාෂාවට එක් වූ වචනයකි. මහායාන බුද්ධාගම ජපානයට ආවේ චීනය හරහා සංස්කෘත භාෂාව මාධ්‍ය කරගෙනයි. ullambana කියන්නේ එල්ලී සිටිනවා කියන තේරුමයි. කකුල් දෙකෙන් එල්ලා අත්දෙක බිමට තබා ගෙන සිටීම හෙවත් දුක්සහගත පැවැත්ම පෙන්නුම් කරන වචනයක්ලු.
ජපානයේ අලුත් අවුරුදුදාටත් මේ ඔබොන් හෙවත් මළවුන්ගේ අවුරුදුදාටත් බොහෝ දෙනා තම-තමන්ගේ ගම්වලට ආපසු යති. ඔබොන් කාලයට තම මියගිය ඥාතීන්ගේ සොහොන් වන්දනා කරන්න යති. ජපානයේ මියගිය අය වෙනුවෙන් සොහොන් සැදීම අනිවාර්යයෙන් කරනු ලැබේ. ‘අපි ලංකාවේ මියගිය අය වෙනුවෙන් සොහොන් හදන්නේ නෑ’ යයි කියූ විට ජපන් අය පුදුම වෙති, ‘ඈ!… මියගිය අය එහෙම අමතක කරලා දානවද’ වැනි හැඟීමකින්. ‘සොහොන් නැතිව අපි හත්දවසේ, තුන් මාසේ, අවුරුද්දේ, අවුරුදු පතා පිංකම් කරනවා’ යයි විස්තර කළ විට ‘ආ…එහෙමද’ කියා එකඟ වෙති.
බුදු හාමුදුරුවන්ට ජපන් භාෂාවෙන් කියන වචනය ‘හොතොකෙ’. එසේම මේ ‘හොතොකෙ’ යන වචනය මියගියවුන් සඳහාත් භාවිතා කරනු ලැබේ. එසේ භාවිතා කරන්නට හේතුව මිය යන හැම කෙනෙක්ම බුදුවරයෙක් වෙනවා යන විශ්වාසය ජපන් ජාතිකයන් තුළ පැළපැදියම් වී තිබීම යයි මම සිතමි.. ‘මුඑන් හොතොකෙ’ (කිසිම සම්බන්ධයක්-පිහිටක් නැති බුදුවරු’ යන යෙදුමකුත් ඇත. ඒ යෙදුමෙන් කියන්නේ බුදුවරුන් ගැන නොවෙයි, අඩුම ගානේ මළවුන්ගේ අවුරුදුදාටවත් පුද-පූජා පවත්වන්න, සොහොන් වන්දනා කරන්න කිසිම කෙනෙක් නැති මළවුන් ගැනයි එම යෙදුම භාවිතා කරනු ලබන්නේ.
බොහෝ ගෙවල්වල මියගියවුන් සඳහා පුජාසනයක් තිබේ. බුද්ධ පූජාසනය යන වචනය භාවිතා කෙරෙන නිසා, මම මුලින් හිතුවේ එය බුදු ගෙයක් කියායි. එයට මල්-පහන්, හඳුන්කූරු හා ආහාරත් පූජා කරනු ලැබේ. නමුත් බුදු හාමුදුරුවන් වෙනුවෙන් නොව, මියගියවුන් සඳහායි ඒ පුජා පවත්වන්නේ. ඒ පූජා භාණ්ඩ අතර සකේ හෙවත් මත්පැන් බෝතල්, බියර් කෑන් ආදිය ද තිබේ. මියගිය කෙනා කැමති දේවල්ය පූජා කර ඇත්තේ. සමහරවිට බිස්කට්, චොකලට් වැනි දේ ද පූජා කරනු ලැබේ.

පැරණි ලිතේ විදියට 7 වැනි මාසයේ 15 වැනිදා ආසන්න දිනවලයි ඔබොන් උත්සව පැවැත්වෙන්නේ. වර්තමාන කැලැන්ඩරය අනුව අගෝස්තු මාසයේ මැද භාගයේය. 7 වැනි මාසයේ 15 වැනිදා යොදාගන්නට හේතුවක් තිබේ. මේ කතාව දෙස බලන්න.
බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක මහ මුගලන් රහතන් වහන්සේ ප්‍රේතලෝකයේ ඉපදී දුක්විඳිමින් සිටිය තම මව බේරා ගැනීම සඳහා බොහෝ භික්ෂූන් එක්රැස් කර පැවැත්වූ පුණ්‍යානුමෝදනා උත්සවය මේ උරබොන් හෙවත් ඔබොන් උත්සවයේ ආරම්භය ලෙස සැලකේ. ගිම්හාන ඍතුවේ අවසාන දවසේ උපෝෂතාගාරයේ පොහෝ පවුරුණු වත්පිළිවෙත් පැවැත්වන දිනයේලු එම පිංකම සිදු කරනු ලැබුවේ. ඒ නිසා ඔබොන් උත්සවය 7 වැනි මාසයේ 15 වැනි දින වකවානුවේ පවත්වනු ලැබේ. මේ අවුරුද්දේ ඔබොන් පූජා උත්සවයේ අවසාන දිනය ඇසළ පුන්පොහෝ දිනයට යෙදී තිබුණි.
මහායාන බුද්ධාගමට අනුව උල්ලම්බන සූත්‍රය නමින් බුද්ධ දේශනාවක් තිබේලු. මහ මුගලන් මාහිමි පරචිත්ත විජානන ඥාණයෙන් බැලූ විට තම මව ආහාර ගත නොහැකිව කෘෂවී උදරය පිම්බී තිබෙනු දුටුවේලු. භාජනයකට කෑම බීම ආදිය දමා ගෙන ගොස් දුන්නත් මව එය රත්කරද්දී සියල්ල පිච්චී අඟුරු බවට හැරී ගියේලු. එවිට බුදුන්වහන්සේ ‘ඔබගේ තනි ශක්තියෙන් පමණක් මව බේරා ගත නොහැකිය. පුණ්යක්ෂේත්රය වන සංඝරත්නය විශේෂයෙන් වස්සාන ඍතුව (චන්ද්‍ර මාසයට අනුව 7 වැනි මාසයේ 15 වැනිදා දක්වා වූ මාස තුන) පංසල තුළ වැඩ සිටිමින් වත්පිළිවෙත් පුරා සිල් රකිමින් සිටිය බැවින් උන්වහන්සේලා සමඟ සූත්‍ර සජ්ඣායනය කර මධුර ආහාරපාන ගෙන ගොස් දුන්නොත් මව බේරා ගත හැකිවේ’ යයි අනුදැන වදාළ සේක.
අනුදැන වදාළ පරිදි පිංකම සිද්ධ කළ විට මෑණියෝ ප්‍රේතලෝකයෙන් මිදී දිව්‍ය ලෝකයේ උපත ලැබූහ. එය දුටු මහා මුගලන් රහතන් වහන්සේ සිත පිනා උතුරා යන සතුටින් උඩ පැන්නාලු. එය දුටු භික්ෂූන් වහන්සේලා සතුටෙන් උඩ පැනපැන නටා පිටුපස සිටිය භික්ෂූන් වහන්සේලාත් සතුටින් නටන්න පටන් ගත්තාලු. මේ භික්ෂූන් වහන්සේලාගේ නැටුම ඔබොන් උත්සවකාලයේ පැවැත්වෙන බොන් ඔදොරි නැටුමේ ආරම්භය ලෙස සැලකේ.
චන්ද්‍ර මාසයෙන් 7 වැනි මාසයේ 15 වැනිදා පරලොව සප්ත අපායේ මුරකරුවෝ එක්වරම දොරටු විවෘත කරති. දිව්‍ය ලෝකයට යන්න පින තියෙන මියගිය ඇත්තෝ එනම්, ජීවතුන් අතර සිටින අයගේ මවුපිය දෙදෙනා, අත්තා-අත්තම්මා ඇතුළු 16 දෙනෙක් > 32 දෙනෙක් > 64 දෙනෙක් දක්වා ගොස් පරම්පරා 7කින් වැඩි කළ විට 128 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් නිවසේ පහන් දැල්වීමත් සමඟ එම පහන් එලියේ මග සලකුණින් පොළොවට බැස එති. හැබැයි, ඒ මළගිය ඇත්තන්ගේ පිටුපසින් සාගින්නෙන් පෙළෙන ප්‍රේතයෝ ද බැස එති. ඒ ප්‍රේත ලෝකයෙන් එන අයට ඔකිනවා ප්‍රාන්තයේ අය ‘එයිසා ෂින්කා’ යයි කියති. ඒ කාලයටම ‘අංගම’ නමින් හඳුන්වන වෙස්මුහුණු පැළඳගෙන නිවෙස්වලට නැටුම් කණ්ඩායමක් එන සිරිතක් ඔකිනවා ප්‍රදේශයේ තිබේ. ඒ විදියට වෙස්මුහුණු පැළඳගෙන එන්නේ පරලොවින් එන දූතයෝ යයි සැලකේ.
ජපානයේ හැම පළාතකම පාහේ බොන්-ඔදොරි නැටුම් පැවැත්වෙන අතර ඒ අතරින් විශාලතම නැටුම් සම්ප්රදාය තුන ගිෆු ප්‍රාන්තයේ බොන්-ඔදොරි, තොකුශිමා ප්‍රාන්තයේ අව-ඔදොරි සහ අකිතා ප්‍රදේශයේ බොන-ඔදොරි නැටුමයි. මේ නැටුම් සම්ප්රදාය තුන සුන්දරත්වය හා ලාලිත්‍යය අතින් ඉහළම තැනක් ගන්නා බැවින් යුනෙස්කෝවේ අස්පර්ශ්‍ය සංස්කෘතික වස්තු හැටියට ලියාපදිංචි කර ඇත.
මේ බොන්-ඔදොරි නැටුම් අතර ඉහත සඳහන් කළ අංගම නැටුම වෙස් මුහුණු පැළඳගෙන බෙර වයමින් කරන එක්තරා විනෝදාත්මක සම්ප්‍රදායික නැටුම් වර්ගයකි. මේවායේ ආරම්භය ලෙස සලකනු ලබන්නේ නෙන්බුත්සු-ඔදොරි නැටුමයි. ‘නෙන්’ යනු සිහිපත් කිරීමයි, ‘බුත්සු’ යනු බුදුන් නැතහොත් මියගිය අයයි. ඒ අනුව ‘නෙන්බුත්සු-ඔදොරි’ යනු බුදුන් හා/හෝ මියගිය ඥාතීන් සිහිපත් කරගෙන පවත්වන නටුම්ය.
මා පදිංචිව සිටින ඔකිනවා ප්‍රාන්තයේ ඔබොන් අවසන් කිරීමේ අමුතු චාරිත්‍රයක් තිබේ. එලොවට ආපසු යාමට නොහැකිව මේ ලෝකයේම සැරිසරන ආත්ම (මුඑන්බුත්සු) වැනි භූතාත්ම බලෙන් හෝ ආපසු යැවීමේ චාරිත්‍රයයි ඒ. සිංහ වෙස්මුහුණු පැළඳගෙන නටන, පොඩි ළමුන් අඬවන තරමේ බියජනක සිංහනර්තනයක් ද තිබේ. එය ජපන් බසින් ‘ශිෂිමයි’ කියා හඳුන්වනු ලැබේ. ‘ශිෂි’ යනු සිංහයාය. ‘මයි’ යනු නර්තනයයි. මේ සිංහයාට ගුප්ත බලයක්, ආශ්චර්යවත් බලයක් තිබේ යයි විශ්වාස කරනු ලැබේ. ගමේ-රටේ සැරිසරන භූතාත්ම එලොවට යැවීමේ ශක්තිය ද ඔහුට ඇති බැවින් ප්‍රජාශාලා වැනි මිනිසුන් ගැවසෙන තැන් හා ගෙවල් පාසා යමින්, ගෙතුළට පවා වදිමින් සිංහයා භූතයන් පලවා හරියි. මේ සිංහයා සැපුවහම ඔහුගේ ගුප්ත බලයෙන් ආශීර්වාද ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ. මේ නිසා දෙමව්පියෝ තම පුංචි දරුවන් (වෙස් මුහුණේ) සිංහ මුඛයට යොමු කරති.
ඇතැම් ප්‍රදේශවල ඔබොන් උත්සවයේ අවසාන දිනයේ මියගිය ඇත්තන්ගේ ආත්ම සැනසීම සඳහා ගඟ දිග පහළට පහන් කූඩු පාකර හැරීමේ චාරිත්‍රයක් පවත්වනු ලැබේ. පහන් කූඩු ගඟේ පහළට ගලාගෙන යනහැටි දකින විට මියගිය ඇත්තන් හෝ ඥාතීන් එලොවට ආපසු යනවාක් මෙන් ඔවුනට දැනේ. මියගිය ඇත්තන්ගේ සුවසෙත පතමින්, මියගියවුන්ගේ ආත්මවලින් සමු ගනිති.
මේ කරුණු කාරණා අනුව,ඔබොන් චාරිත්‍රයේ මූලාරම්භය පුණ්‍යානුමෝදනාව හා ප්‍රේත ලෝකයෙන් පිටවීමයි. එය දෙපයින් එල්ලී සිටීමට නොව දෙපයින් නැගීසිටීමට අනුබල දීමකි. නියම හැටියට නම්, මේ කාලය භික්ෂූන් වහන්සේලා පොහෝ පවුරුණු කරන්නාක් මෙන් අන්තරාවලෝකනය හෙවත් තම අභ්‍යන්තරය දෙස හැරී බැලීම අරමුණු කර ගත යුතුයි ජන චාරිත්‍ර හා ජනාචාර පර්යේෂණවේදී කනේජි කෙන්ඉචි මහතා කියයි.
මියගියවුන්ට පිං පමුණුවන ආකාරය හා මියගියවුන් සිහිපත් කරන ආකාරය රටින් රටට වෙනස් වෙන ආකාරය මෙයින් පැහැදිලි වෙන්නට ඇතැයි සිතමි. දේශ-දේශාන්තරවල සංස්කෘති වෙනස් වන ආකාරයද මෙයින් දැක බලා ගත හැකිය.
මේ ලිපිය සකස් කිරීමේදී ජන චාරිත්‍ර හා ජනාචාර පර්යේෂණවේදී කනෙජි කෙන්ඉචි මහතාගේ නිබන්ධන පරිශීලනය කළ බව කෘතඥතාපූර්වකව සඳහන් කරමි.
සටහන –
මහාචාර්ය දිලීප් චන්ද්‍රලාල්
