කළුදුරු (Nigella sativa)
රසට රසක් විශේෂාංගය තුළින් අද ඔබට ගෙන එන්නේ සූපශාස්ත්‍රයේ වැදගත් කුළුබඩුවක් ලෙස සැලකෙන කළුදුරු (Nigella sativa) ශාකය පිළීබදවයි
Ranunculacea කුලයට අයත් මෙම ශාකය ඇත්දල හැඩැති මණි පත්‍රවලින් යුතු අලංකාරවත් සුදු සහ නිල් පැහැ පුෂ්ප වලින් යුක්ත වන අතර කළු පැහැති කුඩා බීජ සුගන්ධවත්ය. ආසියාතික සහ මැදපෙරදිග කළාපයේ බහුලව වැවෙන ඖෂධීය ශාකයක් වන කළුදුරුවල ගුණ පිළිබඳව ඉස්ලාම් ධර්මයේද සඳහන් වේ. මුහම්මද් නබී තුමා විසින් කළුදුරු වලට මරණය හැර ඕනෑම රෝගයක් සුව කිරීමේ හැකියාව ඇති (The black seed can heal every disease, except death) බව ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

කළුදුරු ඉන්දියානු ආයුර්වේද, යුනානි, සිද්ධ සහ අරාබි දේශීය වෛද්‍ය ක්‍රමවල අතීතයේ සිටම භාවිත කරන ඔසුවක් ලෙස සැළකෙන අතර පුරාණ ග්‍රීසියේ ශ්වසන රෝගීන් සුවපත් කිරීම සඳහා භාවිතා කළ බව සඳහන් වේ. ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට වලට අමතරව ශරීරයට හිතකර මේදය ද අඩංගු වන කළුදුරු වල කැල්සියම්, යකඩ, සින්ක් මෙන්ම විටමින් A, C සහ B ද අඩංගු වේ. ආයුර්වේදානුකූලව ලඝු, රූක්ෂ ගුණ සහ කටු රසයෙන් යුක්ත මෙම ඖෂධය සෙම වා ශමනය කරයි. අග්නිය වර්ධනය කරයි. හෘදයට හිතකරයි. තන කිරි වඩයි. විෂනාශකයි. ජ්වර, ඉදිමුම්, අජීර්ණ, බඩ පිපුම සුව කරයි.

විද්‍යාත්මක පරීක්ෂණ වලට අනුව මෙහි ඇති Thymoquinone නම් සංඝටකය හේතුවෙන් දියවැඩියාව සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ඖෂධය යොදා ගත හැකි බවත් මෙහි ඇති Thymol නම් සංඝටකය නිසා තනකිරි වර්ධනය කරන බවත් දක්වයි. එසේම පිළිකා නාශක, ප්‍රතිප්‍රදාහාත්මක, ප්‍රතිජීවක, ආසාත්මිකතා නැති කිරීමේ හැකියාව, වේදනානාශක, ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති බව තහවුරු වී ඇත. තවද Ulcerative colitis වැනි ආහාර ජීරණය ආශ්‍රිත රෝග, Chronic Obstructive Pulmonary Disease (COPD), කැස්ස සහ ඇදුම වැනි ශ්වසනාබාධ, වෛරස් ආසාදන, අපස්මාර තත්ව, මදසරුභාවය වැනි තත්වයන් සඳහා මෙම ඖෂධය යොදා ගත හැකි බව දක්වා ඇත.
කළුදුරු තෙල් හිසෙහි ගැල්වීමෙන් නීරෝගී කෙස් කළඹක් ලබා ගැනීමටත් අකලට කෙස් පැසීම සහ වැටීම, කෙස් අග පැලීම, හිස්හොරි වැනි තත්වයන් දුරු කරයි. ශරීරයේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය ඉවත් කිරීමට කළුදුරුවලට හැකියාව ඇති නිසා වෛද්‍ය උපදෙස් මත තරබාරු ශරීර සහ කොලෙස්ටරෝල් වැනි රෝග තත්වයන්ට ප්‍රතිකාර කිරීමට මෙය භාවිතා කළ හැකිය. එසේම මෙහි ඇති රසායනික සංයෝග හේතුවෙන් සුදු කබර වැනි රෝග තත්වයන්ටද මෙම ඖෂධය යොදා ගැනීමේ හැකියාවක් පවතී.
උපදෙස් – ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය
