වීඩියෝ සංස්කරණය යනු අපූරු කලාවකි. අප දකින චිත්‍රපට, ටෙලිනාට්‍ය, විෂුවල්ස්, වාර්තාමය වැඩසටහන් වැනි ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මානයන් සංස්කරණය වීමෙන් පසුවයි අපට ඇසීමට දැකීමට ලැබෙන්නේ. මෙම සංස්කරණ කලාව වැඩිපුරම දකින්නට ලැබෙන්නේ සිනමාපට වලයි.
ඉතින්, අප දකින සමහර සිනමාපට ගත්තම ඒවාගේ නානාවිධ ප්‍රබන්ධ ලෝක, අභ්‍යවකාශ දර්ශන, අතීත දර්ශන, අනාගතයේ ඇතැයි සැළකෙන දර්ශන අපි දැකලා තියෙනවා. එහෙම දැකලා තියන සිනමාපට දැන් ඔබේ මතකයටත් එනවා ඇති. ඒ වගේ නිර්මාන කරන්න පුලුවන් වෙලා තියෙන්නේ එම සිනමාපට සංස්කරණයේ දී භාවිතා කර ඇති (Visual Effects) විශේෂ දෘශ්‍ය ප්‍රයෝග නිසයි. එහෙම නම් දැන් ඔබට පැහැදිලියි නේද රූප ලෝක මැවීමට කැමරාව පමණක් තිබීම ප්‍රමාණවත් වෙන්නැති බව.


ඒ නිසා සංස්කරණය පිළිබද දැනගන්නට ආශා කරන අය වෙනුවෙන් සිනමාපට සංස්කරණයේදී භාවිත වන (Visual Effects Technologies) දෘශ්‍ය ප්‍රයෝග තාක්ෂණය ගැන ටිකක් කතා කරන්න කැමතියි. මේ ගැන කතා කිරීමේදී බොහෝ සිනමා නිර්මාණ වලට වැඩි වශයෙන් යොදා ගන්නා ග්‍රීන් ස්ක්‍රීන් තාක්ෂණය පිළිබද කතා කරන්න හිතුවා. මුලින්ම මොකක්ද මේ ග්‍රීන් ස්ක්‍රීන් කියන්නේ කියලා සහ මේකෙන් කරන්න පුලුවන් දේවල් මොනවද කියලා දැන් අපි බලමු.
ඔයාලට මතකද, ඔයාලා බලපු චිත්‍රපට වල ඓතිහාසික ස්ථාන, ග්‍රහගෝක වල දර්ශන, විශ්මිත ආකාරයේ භූමි ප්‍රදේශයන්, අහසේ සිටින දර්ශන, කාන්තාර වල සිටින දර්ශන, කදු මුදුන් උඩ සිටින දර්ශන වගේ දේවල්. මෙවැනි පසුතල වලින් යුතු දර්ශන අනිවාර්යෙන් දැකලා ඇති. ඇත්තටම මේවා කැමරාවට හසු කරගත්තේ කෙසේදැයි ඔබට ප්‍රශ්නයක් වනවා නොඅනුමානයි. මොකද ඇතැම් පසුතල වෙතට යනවා තියා හිතන්නටවත් බැරි ඒවායි. සමහර පසුබිම් මේ වන විට විනාශව ගොස් ඇති ඒවායි. සමහර පසුතල මනඃකල්පිත ඒවායි. හිතන්නකෝ අතීත ඉතාලිය ගැන කරන චිත්‍රපටයකට, පසුතලය ලෙස රෝමය ගොඩනගපු සමයේ පැවතුන රෝම නගරය ඕන කියලා. දැන් චිත්‍රපට නිර්මාන ශිල්පීන්ට මෙම චිත්‍රපටය රූගත කරන්න පසුතලය ලෙස සම්පූර්ණ රෝම නගරයම නිර්මානය කරන්න ඕනද? මෙන්න මේ වගේ අවස්ථා වලදී අපට පුලුවන් පරිගණක ආශ්‍රයෙන් නිර්මානය කරපු රෝම නගරය ඇතුළත් පසුබිමක් යොදාගෙන ඒ තුළ රූගත කිරීම් කිරීමට.
මෙලෙස පසුබිම් ආදේශ කිරීම වෙනුවෙන්ම නිර්මානය වුණ ග්‍රීන් ස්ක්‍රීන් තාක්ෂණය වර්තමානය වෙද්දි තවත් බොහෝ ඉසව් කරා පැතිරිලා තියෙනවා. එමගින් සතුන්, විවිධාකාර Costumes පවා නිර්මාන වලට එකතු කරගන්න වර්තමානයේදී හැකිවෙලා තියෙනවා. ඉතින් මේ ආකාරයට දැන් නිර්මානය වෙන සිනමාපට අතරින් වැඩි ප්‍රතිශතයක් අයත්වෙන Fantasy කාණ්ඩවල සිනමාපට මෙන්න ඓතිහාසික පසුබිමක් ඇති සිනමාපටවලත් මේ ග්‍රීන් ස්ක්‍රීන් තාක්ෂණය බහුලව යොදා ගන්නවා. එතුළින් පසුතල නිර්මානයට යන අධික වියදම නොදරා පහසුවෙන් එම දර්ශන ලබා ගන්න පුලුවන් වෙලා තියෙනවා.

එහෙම නම් මේ ග්‍රීන් ස්ක්‍රීන් තාක්ෂණය වැඩ කරන්නේ කොහොමද කියලා අපි ඊළගට බලමු…
පලමුව සංස්කරණයේදී එක් කරන්න අවශ්‍ය පසුබිම් කොටස් වලට කොළ පැහැයෙන් යුතු තිරයක් තබා නලු නිලියන් යොදාගෙන රූගත කිරීම කරනවා. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන්. ඒ තමයි ඇයි මේ වැඩේට කොළ පාටම යොදා ගන්නේ කියලා. වෙන පාටක් යොදා ගන්න බැරිද කියන එක. මෙහිදි කියන්න තියෙන්නේ අපට ඕනම පාටක් යොදා ගන්න පුලුවන්. ඒත් ඒ පාට අදාළ දර්ශනයේ ඉන්න නලු නිලියන්ගේ ඇදුම්, කොණ්ඩය, ආභරණ, රංගනයේදී යොදා ගන්නා භාණ්ඩ වැනි දේවල් වලින් වෙනස් වෙන පාටක් විය යුතුයි. මෙහිදී වඩාත්ම ගැළපෙන වර්ණය ලෙස කොළ පැහැය සම්මතයක් ලෙස යොදා ගන්නවා.
හරි, ඊළගට රූගත කළ දර්ශන සංස්කරණ ශිල්පීන්ට ලබා දෙනවා. ඔවුන් මේ සංස්කරණ වැඩේට Adobe Premiere Pro, Adobe After Effects වගේ මෘදුකාංග භාවිතයට ගන්නවා. ඉන් පසු කෝමා කී නම් තාක්ෂණය යොදාගෙන දර්ශනයේ තනි වර්ණයක් සහිත සම්පූර්ණ කොටසම ඉවත් කරලා ඒ කොටස විනිවිද පෙනෙන ආකාරයෙන් සකසා ගන්නවා. මෙතනදි අපි කොළ පැහැයෙන් යුතු තිරයක් පාවිච්චි කළ නිසා තනි වර්ණය ලෙස ඉවත් වන්නේ කොළ පැහැයයි.
ඉන් පසුව මෙම විනිවිද පෙනෙන ආකාරයෙන් සකසා ගත් කොටසට අවශ්‍ය කරන පසුබිම එකතු කරලා තනි දර්ශනයක් ලෙස සකස් කරගන්නවා. මේ විදිහට එකතු කරන කොටස් පින්තූරයක් හෝ වීඩියෝ ක්ලිප් එකක් වෙන්න පුලුවන්. මේ ආකාරයට තමයි ග්‍රීන් ස්ක්‍රීන් යොදාගෙන දර්ශනයට අවශ්‍ය පසුබිම ප්‍රතිනිර්මාණය කරන්නේ.

සමහර අවස්ථා වලදී කොළ පැහැය හරියන්නනේ නැති වෙන්න පුලුවන්. අපි හිතමු දර්ශනයේ කොළපාට ගෙම්බෙක් හෝ කටුස්සෙක් හිටියා කියලා. අන්න ඒ වගේ වෙලාවට ඒ කොටස ඉවත් කිරීමේදී මේ ගෙම්බව හෝ උගේ කොටසක් හරි ඉවත් වෙන්න පුලුවන්. ඒ වගේ වෙලාවට පසුබිමට පාවිච්චි කරන්නේ නිල්පාට තිරයක්. එහෙමත් නැත්නම් බ්ලූ ස්ක්‍රීන් එකක්.
ග්‍රීන් ස්ක්‍රීන් තාක්ෂණයේ මූලික නීතිය තමයි පසුබිම් වර්ණය, Object වල වර්ණය සමාන වෙන්න බෑ කියන එක. වැරදිලාවත් එහෙම තිබුනොත් ඒ කොටස් සියල්ල සංස්කරණයේදී ඉවත්ව යනවා. ඒ නිසා පසුබිම් වර්ණයට ගැළපෙන්නේ නැති ආකාරයට වර්ණ වෙනස් කරලා ඉන් පසුවයි රූගත කිරීම කරන්න ඕනි.

අවසන් වශයෙන් ග්‍රීන් ස්ක්‍රීන් භාවිතා කිරීමේදී පිළිපදින්න ඕන දේවල් ටිකක් ඔයාලට කියලා දෙන්න කැමතියි.
රූපගත කිරීමේදී කොළපැහැ වස්තු වගේම පරාවර්තනය වන වස්තු (වීදුරු, විශාල ආභරණ වැනි දේවල්) පාවිච්චි කිරීමෙන් වලකින්න ඕන. මොකද කලින් කියුවා වගේ කොළ පැහැ පෘෂ්ඨ වගේම දිලිසෙන වස්තුවල ඇතිවෙන කොළපැහැ පරාවර්ථනයන් නිසා ඒවා (Chroma Key) කෝමා කී කිරීමේදී ඉවත් වෙන්න පුලුවන්.
ඒවගේම තව දෙයක් නම් කොළපාට තිරයේ පරාවර්තනය නිසා නලු නිලියන්ගේ මූහුණු ලාපැහැයෙන් පේන්න පුලුවන්. ඒක නැතිකර ගන්න තරමක් අදුරු කරලා පසුව එකතු කරන පසුබිමට ගැළපෙන වර්ණ වලින් වේශ නිරූපනය (Makeup) සිදුකරන්න ඕන.
අපි යම් දර්ශනයක ඉන්න නලුවෙක්ගේ හෝ Object එකක හිසේ සිට පාදාන්තය දක්වාම පෙන්වනවා නම් ඒ වෙලාවට අපි එකතුකරන පසුබිම ඔහුගේ පාද තියෙන තැන දක්වාම පැතිරෙන්න ඕන. අන්න ඒවගේ වෙලාවට සිරස්ව තියන තිරය පහලට යද්දි වක්‍ර වෙලා තිරස් ආකාරයට නලුවගේ පාද යටින් තිබෙන ආකාරයට ග්‍රීන් ස්ක්‍රීන් එක සකසා ගන්නවා. එතකොට දිගටම Smooth විදිහට පාදාන්තය දක්වාම රූගත කිරීම කරලා පසුබිම එකතු කරන්න පුලුවන්. ඒවගේම මේ විදිහට එකතු කර ගැනීමේදී සෙවනැලි වගේම ඈතින් සහ සමීපයේ පේන වස්තුවල වෙනස ගැනත් අවධානය දීලා තමයි පසුබිම් එකතු කරන්න ඕන.

Lighting මගින් ග්‍රීන් ස්ක්‍රීන් එක තනි පැහැයකින් දිස්වෙන ආකාරයට ආලෝකමත් කරගන්න ඕන. ඒවගේම පාවිච්චි කරන කොළ පැහැ තිරයේ සෑම තැනක්ම එක හා සමාන පැහැයක් තියෙන්න ඕන.
ඒ වගේම නලු නිළියන් සහ ග්‍රීන් ස්ක්‍රීන් එක වෙන වෙනම ආලෝකමත් කරන්න ඕන. මොකද ආලෝකකරණයේදී රංගන ශිල්පීන්ගේ හෝ රංග වස්තු වල සෙවනැලි ග්‍රීන් ස්ක්‍රීන් එක මතට වැටී තිබුනොත් සංස්කරණයේදී කොළපැහැ කොටස් ඉවත් කිරීමේ අපහසුතාවයන් ඇතිවෙන්න පුලුවන්. අවසාන දේ තමයි දර්ශනය රූගත කිරීමේදී (කැමරාව ගමන් නොකරන අවස්ථාවලදී) කැමරාව හැකිතාක් නිශ්චලව පවතින්න ඕන.
ඉතින් මේ තමයි මම ඔයාලට ගෙන ආ ග්‍රීන් ස්ක්‍රීන් තාක්ෂණය ගැන සම්පූර්ණ විස්තර එකතුව….
සටහන

K.P.D.S. Lasika Kodagoda
Lecturer (Probationary)
School of Information Communication Technology,
Nāgānanda International Institute of Buddhist Studies.
Master of Information System Management (University of Colombo)
B.P.A Special Honours Degree in Multimedia (UVPA)
