BIZ REVIEWS – Asiri watch Center

author
0 minutes, 5 seconds Read

වත්මන් සමාජය තුළ වෙසෙන බොහෝ තරුණ පිරිස් අතරේ විවිධ ආකාරයෙන් යුත් ඉතාමත් අලංකාර ඔරලෝසු විලාසිතාවන් දකින්නට ලැබෙනවා. ඒ වගේම තාක්ෂණයේ දියුණුවත් සමග වෙළදපලට පැමිණි smart watch වලට ද ඇත්තේ විශාල ඉල්ලුමක්.

එළඹෙන උත්සව වෙනුවෙන් ඔරලෝසු විලාසිතාවෙන් හැඩවෙන්න කැමති ඔබටම සුවිශේෂී වූ අපූර්ව ඔරලෝසු නිර්මාණ වෙළඳපොළට ඉදිරිපත් කරන තවත් එක් ව්‍යාවසායකයෙක් පිළිබඳවයි BIZ REVIEWS විශේෂාංග ඔස්සේ අද ඔබත් සමග කතාබහ කිරීමට සූදානම් වන්නේ.

අපි මුලින්ම ඔබ ගැන කතා කරමු.

මගේ නම ආසිරි ස්වර්ණතිලක. මම පදිංචිව සිටින්නේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ. මම වෘත්තියෙන් කාර්මික ශිල්පියෙක්. දැනට Asiri watch Center නමින් අවිස්සාවිල්ල නගරයේ මගේම කියලා ඔරලෝසුව විකිණීම හා අලුත් වැඩියාව සම්බන්ධයෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා.

ඔරලෝසු සෑදීමට ඔබ උනන්දු වූයේ කෙසේද?

ඇත්තෙන්ම ඔරලෝසු සෑදීමට විශේෂ උනන්දුවක් දැක්වන්නට මූලිකම හේතුව මගේ තාත්තා. මම උසස් පෙළ හදාරා නිවසේ සිටින කාලය තුළ මගේ තාත්තා තමයි මාව යොමු කළේ ඔරලෝසු සෑදීමේ කටයුතු සඳහා. ඒ වගේම මට උපතින්ම ආපු ස්වයං හැකියාවකුත් තිබුණා ඔරලෝසුවක් හදන හැටි ඉක්මනින්ම අවබෝධ වෙන. ඉතින් ඒකත් එක්ක ඒ මොහොතේ තමයි මම දැනගත්තේ ඒ ඒ කටයුතු සම්බන්ධයෙන් මට හොඳ හැකියාවක් පිහිටලා තියෙනවා කියලා. අන්න ඒ හැකියාවත් උපයෝගී කරගෙන තමයි මේ ඔරලෝසු ව්‍යාපාරය ඔරලෝසු නිෂ්පාදනය සහ අලුත්වැඩියාව සදහා යොමුවුණේ. මගේ දෙමාපියෝ බලාපොරොත්තු වුණේ මාව රජයේ රැකියාවක් කරලා එමගින් ඉහළ තනතුරු වලට යවන්න. මගේ දෙමාපියන් රජයේ රැකියාවක් කරලා මේ වන විට විශ්‍රාමිකව ඉන්න අය. ඒ කොහොම වුණත් මට සහජයෙන් ආපු හැකියාව මත මගේ දෛවය ඔරලෝසු කර්මාන්තය පැත්තට ගමන් කරේ.

කොහොම ද Asiri watch center කියන වෙළඳ නාමයකින් මෙවැනි ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කියන අදහස ඔබට ආවේ,

ව්‍යාපාර කටයුතු සිදු කරමින් පවතින අතරේ රට තුළ කොරෝනා වසංගතය පැතිරීමත් සමඟ රට වැසීමකට ලක් වුණා. ඒ අතරදී මට කල්පනා වුණා grand father නමින් හදුන්වන ඔරලෝසුව නිෂ්පාදනය කරන්න ඕන කියලා. මම හිතන්න පටන් ගත්තා මම මේක කොහොමද හදන්නේ මේකට කොහොමද මුදල් හොයාගන්නේ? කියලා. ඊට පස්සේ සාම්පල් කීපයක් කරලා මාස ගානක් යද්දි තව තව අදහස් ඔලුවට එන්න ගත්තා. ඒ විදිහට තමයි ඔරලෝසු හදමු කියන මුල බීජය වැටුණේ. ඒ ආපු ආරම්භය තාමත් කරගෙන යන්නේ. මට මේ කර්මාන්තය තුළ සෑහෙන්න පිළිගැනීමක් සහ ගෞරවයක් ලැබිලා තියෙනවා.

දැනට කොපමණ කාලයක් වෙනවද මේ ව්‍යාපාරය ආරම්භ කරල,

ඔරලෝසු නිෂ්පාදනය කරන්න පටන් අරන් දැනට අවුරුදු හතරක් වෙනවා. එතැන් පටන් අද වෙනතුරු මං මගේ නිෂ්පාදන කටයුතු සිදු කරගෙන යනවා.

දැනට ඔබ සපයන නිෂ්පාදන වර්ග මොනවාද?

දැනට මම සපයන නිෂ්පාදනය ගැන කතා කරොත් ඔරලෝසු කර්මාන්තයේ ඉතාමත් ප්‍රසිද්ධ ඔරලෝසුවක් වන සහ ගොඩක් රටවල නිෂ්පාදනය කරන grand father කියන ඔරලෝසුව දැනට මම ලංකාවේ නිෂ්පාදනය කරනවා. ඒක පිටරටින් එනවට වැඩිය ශක්තිමත් විදියට ගුල්ලන් ගසන්නේ නැති විදියට හොඳට දැව පදම් කරලා ඒවට ආරක්ෂාව යොදලා මගේ දැනුම උපයෝගී කරගෙන මම ඒ රටවල එන වල තියෙන අඩුපාඩු සොයලා ඒකත් කළමනාකරණය කරලා මගේ දැනුමත් උපයෝගී කරගෙන නිෂ්පාදනය කරනවා. මම ගොඩක් කරන්නේ ලී යෙන් නිෂ්පාදනය කරන ඔරලෝසු.

අපේ වෙළද නාමය ගැන කතා කලොත් Ewamo කියන නමින් තමයි දැනට අපි අපේ ඔරලෝසු නිෂ්පාදනය කරන්නේ.

ඉදිරියේදී තවත් නව නිෂ්පාදන වෙළඳපළට හඳුන්වා දෙන්න අදහසක් තියෙනවද?

මේ වනවිට ඔරලෝසු මාදිලි වර්ග පහක් හයක් වගේ අපි ඩිසයින් කරගෙන යනවා. ඉදිරියට තව design තුනක් වෙනකොට මේ මාසේ වෙනකොට හදුන්වලා දෙන්න සූදානමින් ඉන්නවා.

අද ඔරලෝසු නිෂ්පාදන කර්මාන්තය මුහුණ දෙන විශාලතම අභියෝග මොනවාද?

අභියෝගයක් වශයෙන් තියෙන්නේ, ඔරලෝසු අලුත් වැඩිය අංශෙට නව තරුණ පරම්පරාව බිහිවෙනවා හරිම අඩුයි සහ බොහොම දුර්ලභයි. මේක එහෙම කියල දීල කරන්න පුලුවන් වැඩක් නෙමෙයි. ඒකට සහජ හැකියාවත් එක්ක කල්පනාව සහ උපතින් ආපු දක්ෂතාවය තියන්න ඕන.

ඒ වගේම ඔරලෝසු ගැන බැලුවොත් පොදු ගැටලුවක් බවට පත්වෙලා තියෙන්නේ ලංකාව තුළ මැෂින් එකක් හදා ගැනීමේ ශක්තිය තාම ලංකාවට නොමැති එක.

සුඛෝපභෝගී ඔරලෝසු වෙළෙඳපොළේ (luxury watch market) වත්මන් තත්ත්වය ගැන ඔබේ අදහස් කුමක්ද?

වත්මන් තත්ත්වය අනුව ලංකාව සුඛෝපබෝගී ඔරලෝසු නම් විකිණෙනවා.ඒවා ගන්න කොටසක් ඉන්නවා. තව අඩු මුදලකට හොයන කට්ටියක් ඉන්නවා. කොළඹ නගර සීමාව වගේ තමයි සුඛෝපබෝගී ඔරලෝසු බොහෝ දුරට අලෙවි වන්නේ.

මේ දක්වා ඔබේ ආයතනය ලැබූ සාර්ථකත්වය ඔබ විස්තර කරන්නේ කොහොමද?

මගේ වෙළද ආයතනය මුලින්ම පටන් ගත්තේ මම තනියම. කාලයක් තිස්සේ කරගෙන ආපු අත්දැකීම් තුළින් තමයි මම ව්‍යාපාරය ගොඩනැඟුවේ. දැනට මගේ යටතේ තිහක් පමණ සේවක පිරිසක් වැඩ කරනවා.

මට ඇත්තටම විශාල සතුටක් මං මේ ආපු ගමන් මග ගැන. සගේ නිෂ්පාදන සදහා මට ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. මාගේ මේ හදන ඔරලෝසු වලින් එදාට වඩා අද වෙනකොට විශාල සාර්ථකත්වයක් ලබාගෙන තියෙනවා කියලා මට පුද්ගලිකව සතුටු වෙන්න පුළුවන්.

ඔරලෝසු සෑදීමේ වෘත්තියක් ලෙස සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අය සඳහා ඔබ දෙන උපදෙස කුමක් ද ?

මේ කර්මාන්තය තුළ නියැලෙන්න කැමති නම් මුල් කාලය තුළ තමන් ඒ කාර්මික ශිල්පියෙක් විදියට වැඩ කටයුතුවල නිරත වෙන්න ඕනේ. වැඩ පුරුදු වෙන්න ඕනේ. ඒ අත්දැකීම ලබන්න ඕනේ නැත්නම් මේකේ වැඩකටයුතුවල එක සැරේටම නියැලෙන්න අමාරුයි. කාර්මික ශිල්පියෙක් කියන්නේ ඒකයි. හොඳ දැනුමක් සහ පරණිත පුද්ගලයෙක් විය යුතුයි. වයස මුහුකුරා ගිය කනෙක්ට මේ දේවල් අල්ලා ගැනීමට ටිකක් අපහසුයි. මේ වැනි නිෂ්පාදනයක් කරන්න ඕනෑම කෙනෙකුට පුළුවන් ඒත් හැකියාව පලපුරුද්ද අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.

ඔබේ වෘත්තීය ඉලක්ක මොනවාද?

සෑම නිවසකටම එක ඔරලෝසුවක් කොහොමහරි දෙන්න ඕන කියන හැඟීම මා තුල තියෙනවා. දවසක මං ඒ තැනට ළඟා වෙනවාමයි කියන බලාපොරොත්තුවෙන් තමයි මම වැඩ කටයුතු සිදු කරගෙන යන්නේ. අපි හරි දෙයක් කරොත් ඒතන අපිට හදාගන්න පුළුවන්. ඒ විශ්වාසය මත අපිත් සමඟ සම්බන්ධ වුණොත් ඔයාලට බලාගන්න පුලුවන් අපේ නිෂ්පාදනයන් කොහොමද කියන එක. ඒ වගේම අපේ ශාඛාවන් ලංකාව පුරාම ව්‍යාප්ත කරන්නත් මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

සටහන
බිනාලි රාජපක්ෂ

Similar Posts