BIZ REVIEWS – Mathakadara Promegranetes

author
0 minutes, 21 seconds Read

අපගේ දෛනික ආහාර රටාව තුළ අප පරිභෝජනයට ගන්නා ආහාර අතුරින් පලතුරු වලට හිමිවන්නේ ඉතාමත් සුවිශේෂ ස්ථානයක්. අඹ, කෙසේල්, ගස් ලබූ, අලිගැට පේර යනාදී වූ පලතුරු අතරින් ඉතාමත් ගුණාත්මක බවින් ඉහළින් පලතුරක් ලෙස දෙළුම් හඳුන්වා දෙන්නට පුළුවන්.
දෙළුම් ශාකය පිළිබඳ කතාබහ කිරීමේදී නිරෝගී පුද්ගලයකුගේ පිළිකා අවදානම අඩු කරන සහ ඕනෑම රෝගියෙකුගේ ශක්තිය වඩවන ආහාරයක් වන මෙම දෙළුම් ශාකය යොදා ගනිමින් ආහාරමය, රූපලාවණ්‍යමය නිෂ්පාදනයන් රැසක් සිදු කරනු ලබන ව්‍යවසායකයෙක් වන අසික පින්සර සමඟයි අද අප BIZ REVIEWS විශේෂ අංගය හරහා ඔබත් සමග කතාබහ කරන්නේ.
අවුරුදු 04ක පමණ ඉතාමත් කෙටි කාලයකදීම දෙළුම් ශාකය යොදා ගනිමින් විවිධ නිෂ්පාදනයන් සිදුකරන ඔහු දෙළුම් නිෂ්පාදනයන්ට පමණක් සීමා නොවීම එම නිෂ්පාදනයන් යොදා ගනිමින් දෙළුම් බාර් නමින් ලංකාවටම පමණක් සුවිශේෂී වූ අවන්හලක් ද මේ වන විට ඔහු විසින් ආරම්භ කොට තිබේ.
මෙකී අවන්හලට පැමිණෙන ඕනෑම අයකුට දෙළුම් පලතුරේ යුෂ පානය මෙන්ම දෙළුම් තේ, දෙළුම් ජෑම් මෙන්ම දෙළුම් ශාකය මගින් නිෂ්පාදනය කරනු ලබන ක්‍රීම් වර්ග ආදී වූ නිෂ්පාදනයන් රැසක් ඔබට මෙම ස්ථානයෙන්ම මිලදීගන්නටත් පුළුවනි.
ඉතින් දැන් අපි බලමු ව්‍යවසායකයෙක් විදියට ඔහු Mathakadara Promegranetes නම් වූ ඔහුගේ මෙම ව්‍යාපාරය ඉතාමත් සාර්ථකව ගොඩනඟා ගත්තේ කෙසේද යන්න වග.

කොහොම ද Mathakadara Promegranetes කියන වෙළඳ නාමයකින් මෙවැනි ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කියන අදහස ඔබට ආවේ,

ඇත්තටම මම දෙළුම් වගා කරන්න ගත්තේ 2020 වසරේදී. කොරෝනා වසංගතයක් එක්කම තමයි මම දෙළුම් වගාවට යොමුවුණේ. දෙළුම් වගාව සිදුකිරීමේදී අපි නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ දුන්නා. විශේෂයෙන්ම ඉන්ධන හිඟය, පොහොර හිඟය, ජල හිඟය වගේ් ප්‍රශ්න වලට මුහුණ දුන්නා 2002 වසරෙදි. එතකොට අපිට ඇත්තටම දෙළුම් ගෙඩි විකුණලා survive වෙන්න බැරි බව මම දැනගත්තා. ඒ වෙලාවෙදි තමයි මට හිතුනේ දෙළුම් ගහ පදනම් කරගෙන Value addition කරන්න ඕන කියලා. එතකොට අපි Value additions පටන් ගත්ත එහෙමයි.



අපේ වෙළඳ නාමය ගැන කතා කරනව නම්, Mathakadara කියන්නේ අපි දෙළුම් වගා කරන ප්‍රදේශයට කියන නම. මාතකඩ ආර කියලා පරණ ආරක් තියෙනවා. ඒ ආර ගලාගෙන යන්නේ අපේ වත්ත මැද්දෙන්. ඉතින් ආර සංකේතවත් කිරීම සඳහා තමයි මම මාත කඩාර කියලා නම පාවිච්චි කළේ. ඒ ආරේ තියෙන විශේෂත්වය තමයි එය ඌව පළාත සහ දකුණු පළාත මායිම් කරන එක. එය සංකේතවත් කිරීම සඳහා තමයි මම මාත කඩ ආර කියන වෙළද නාමය මම යෙදුවේ.

දැනට කොපමණ කාලයක් වෙනව ද මේ ව්‍යාපාරය ආරම්භ කරල,

මම මුලින්ම දෙළුම් වගාව ආරම්භ කරන්න ගත්තේ 2020 වසරෙදි. 2022 වසරෙදි තමයි නීත්‍යානුකූලව සමාගම ලියාපදිංචි කරලා සමාගමක් විදිහට මගේ ආයතනය මම පටන් ගත්තේ. 2021 වසරේදී මම පටන් ගත්තා online හරහා දෙළුම් විකුණන platform එකක්. ඒ අනුව සමස්ත ක්‍රියාවලිය ගත්තම දැනට වසර හතරක් වෙනවා මේ ව්‍යාපාරය මම ආරම්භ කරලා.



දැනට ඔබ ආයතනය සපයන නිෂ්පාදන වර්ග මොනවාද?

අපේ නිෂ්පාදන පිළිබඳ කතා කරනවා නම්, දෙළුම් යුෂ බෝතල් කරනවා. දෙළුම් නොමැති අවාරයට භාවිත කිරීමට අවශ්‍ය විදිහට දෙළුම් වාරයේදී අස්වැන්න බෝතල් කරලා සංශුද්ධ දෙළුම් යුෂ බෝතල්වලට අසුරනවා. ඒක ඒක තමයි අපේ ප්‍රධාන නිෂ්පාදනය.
ඊළඟට දෙළුම් ජෑම් දෙළුම් පොත්තෙන් හදන ඖෂධ වර්ග වලට අමතරව රූපලාවණ නිෂ්පාදන , උදාහරණයක් විදියට ගත්තොත් Day Cream, night cream, scrub pack, face wash වගේ නිෂ්පාදන බොහෝ ප්‍රමාණයක් අපි ළඟ තියෙනවා.
ඒ අනුව මේ වෙනකොට සමස්ත නිෂ්පාදන 16ක් අපි වෙළඳපොළට දාලා තියෙනවා.



මේවන විට වැඩියෙන්ම ඉල්ලුම ඇති නිෂ්පාදන වර්ග මොනවාද?

මේවන විට වැඩියෙන්ම ඉල්ලුම ඇති නිෂ්පාදනය තමයි අපේ මාත ප්‍රාණ දෙළුම් නිෂ්පාදනය සහ hair oil නිෂ්පාදනය. ඒ වගේම fresh දෙළුම් ගෙඩි වලටත් ලොකු ඉල්ලුමක් තියෙනවා.


ඉදිරියේදී තවත් මෙවැනි නව නිෂ්පාදන වෙළඳපළට හඳුන්වා දෙන්න අදහසක් තියෙනවද?

ඉදිරියේදී නිෂ්පාදන ප්‍රමාණය වැඩි කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. Food items වලින් ගත්තොත් දෙළුම් ඇටවලින් කරන නිෂ්පාදන ප්‍රමාණය වැඩි කරන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම ඉදිරි වසර වලදී දෙළුම් මගින් නිෂ්පාදනය කරනු ලබන දෙලුම් වයින්, දෙළුම් වලින් energy drink එකක් කරන්න අදහසක් තියෙනවා.

අනෙකුත් පලතුරු හා සමකල නොහැකි දෙළුම් පළතුර සතු ගුණ පිළිබඳවත් කෙටියෙන් පැහැදිලි කරමු.

ඇත්තෙන්ම අනිත් පලතුරු වලට සාපේක්ෂව ඉතාමත් ම ඉහළ ගුණයෙන් යුක්ත පලතුරක් තමයි දෙළුම් කියල කියන්නේ. ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය වැඩි නිසා දෙළුම් වැඩිපුර ආහාරයට ගත්තහම පිළිකා හැදීමේ අවදානම අඩු වෙනවා. ඒවගේම දිළුම්වල ඉතාමත් පහසුවෙන් ශරීරයට උරාගන්න ක්ෂුද්‍ර පෝෂක ප්‍රමාණයක් තියෙනවා. මේක ඇවිල්ලා natural energy drink එකක් . ඉතින් ඒක නිසා දෙළුම් යුෂ ආහාරයට ගැනීම තුළ ඉතා ඉක්මනින් ශරීරයට ශක්තිය ලැබෙනවා.

ඒ නිසාම තමයි රෝගීන් තමන්ගේ ශරීර ශක්තිය වඩවගන්න දෙලුම් ආහාරයට ගන්නේ. ඒ වගේම දෙළුම්වල කොලෙජන් නිෂ්පාදනය කිරීම වැඩි නිසා තරුණ කිරීමේ ගුණයකුත් ශරීරයට ලබා දෙනවා.

දෙළුම් ගහේ හැම කොටසටම දෙළුම් පොත්ත දෙළුම් කොළ යන ඒ හැමදේකම විශාල ගුණ ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තම ගෙඩියේ පොත්ත ගත්තොත් දෙළුම් යුෂයට වඩා සියයට පනහක් වැඩි ඔක්සිකාරක තියෙනවා. විටමින් සී ගුණයෙනුත් ඉහළයි. බැක්ටීරියා නාෂක properties වැඩියි.

ඒ වගේ මේ දෙලුම් ගහේ හැම කොටසකින්ම විශාල nutrition value එකක් තියෙනවා.

වර්තමාන වෙළඳපොළ තුළ ඔබේ දෙළුම් නිෂ්පාදනයන්ට ඇති ලොකුම අභියෝග කුමක්ද?

දෙළුම් නිෂ්පාදනයේ ලොකුම අභියෝගය තමයි අස්වැන්න මදිවීම. එයට හේතුව දෙළුම් වවන්න ගොඩක් අමාරුයි. වාණිජමය වශයෙන් වගා කරන්න ඉතාමත් අමාරුයි. ගෘහස්තව දෙළුම් වගා කරනකොට තියෙන ලොකුම අභියෝගය තමයි රිලවුන් සහ වඳුරන්ගෙන් විනාශ වන ප්‍රමාණය. ඊට අමතරව කෘෂි රසායනික වල නිසි ප්‍රමිතියක් නැතිකම සහ මිල වැඩිවීම .

ඒ වගේම අපිට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි අපේ වගා කටයුතු කරන පැතිවලට විදුලිය, මාර්ග පහසුකම් හිඟභාවය විශාල වශයෙන් බලපානවා.

ඔබේ ආහාර නිෂ්පාදන සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය මොනවාද ? ඒවා සපයා ගන්නෙ කොහෙන්ද?

අපේ නිෂ්පාදන සඳහා භාවිත කරන ප්‍රධාන අමුද්‍රව්‍ය දෙළුම්. ඒ වගේම දෙළුම් කොළ සහ දෙළුම් පොතු. ඉතින් මේ හැම දෙයක්ම සපයා ගන්නේ අපිම වගා කරන වතුවලින්.

Mathakadara Promegranetes වෙතින් වෙළඳපොළට ගෙන එනු ලබන මෙම නිෂ්පාදන වල ගුණාත්මක භාවය සහතික කරන්නේ කෙසේද?

අපේ නිෂ්පාදනවල ගුණාත්මක භාවය සහතික කරලා තියෙනවා ITI එකත් එක්ක අපේ මාත්‍ර ප්‍රාණ නිෂ්පාදනයෙන්. ඒකෙ Nutrition Analysis කරලා තියෙනවා . ඒ වගේම Vitamin Test, Antioxidants කරලා තියෙනවා. Microbiology test කරලා තියෙනවා. Shelf life report එක අරගෙන තියෙනවා.

ඉතින් මේ වගේ විශාල පර්යේෂණ රාශියක් අපි ITI එකත් එක්ක එකතුවෙලා කරලා තියෙනවා. ඒ වගේම අපේ ෆැක්ට්‍රි එකට මේ මාසය තුළදී අපි GMP තත්ත්ව සහතිකය ලබා ගන්නවා. එතකොට ඒ ඒ නිෂ්පාදනවල ගුණාත්මක භාවය සහතික කරන්න පුළුවන් පිළිගත් තත්ත්ව සහතිකයන් අපි ළඟ තියෙනවා.

මීට අමතරව අපි SLIIT university එකත් එක්ක එකතු වෙලා දෙළුම් පොතු තේක ගැන Research කරලා තියෙනවා එහි අඩංගු ප්‍රතිඔක්සිකාරක සහ අනෙකුත් පෝෂක ගුණයන් ගැන. මේ වගේ අපි දෙළුම් නිෂ්පාදන පිළිබද ලංකාවෙ විශ්ව විද්‍යාලත් එක්ක එකතු වෙලා විවිධ Research සිදු කරනවා.

ඔන්ලයින් හරහා මෙම නිෂ්පාදන මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයින්ට ඔබව සම්බන්ධ කර ගත හැකි වන්නේ කොහොමද?

මාතකඩාර නිෂ්පාදනයන් මිලදී ගන්න පුළුවන් අපේ වෙබ් සයිට් දෙකක් තියෙනවා. www.matakadara.com සහ www.buyPromegranetes.com යන වෙබ් අඩවි වලින්. ඔබට පහසුම ක්‍රමය තමයි 0774580602 යන වට්සප් අංකය ඔස්සේ whatsapp වලින් සම්බන්ධ කරගන්න එක. එහෙම නැත්නම් අපේ මාත කඩාර දෙළුම් මාතකඩාර Promegranetes facebook පිටුව හා සම්බන්ධ වෙන එක.


ඔබේ අනාගත ඉලක්කය මොකද්ද?

මගේ අනාගත ඉලක්ක ගැන කතා කරනවා නම් මම ඉදිරි වසර දෙක සඳහා තමයි ඉලක්ක තියාගෙන ඉන්නේ එහාට මම වැඩිය ඉලක්ක ගැන හිතන්න යන්නේ නැහැ.
මේ මාසෙ ඉලක්කය ගත්තොත් අපේ පළවෙනිම ඉලක්කය වෙන්නේ GMP තත්ත්ව සහතිකය ලබා ගන්න එක. ඒ වගේම අපේ නිෂ්පාදනයට අවශ්‍ය දෙළුම් වගා කිරීම සඳහා ගත් ණය තිබෙනවා. ඒවා ගෙවා අවසන් කළ යුතුව තිබෙනවා.
ඊළඟට ලබන වසර තුළදී අපි බලාපොරොත්තු වෙනවා අපේ දෙළුම් Bar outlet එක තව ටිකක් expand කරලා තවත් branches දෙකකට විතර යන්න.
ඊට අමතරව අපි තවත් බලාපොරොත්තු වෙනවා agro tourism පටන් ගන්න. තේ වතු බලන්න ඇවිල්ලා ඒ නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් ක්‍රියාවලියක් ආරම්භ කරන්න.
ඒ වගේම 2026 දී මම බලාපොරොත්තු වෙනවා අපේ නිෂ්පාදන අපනයනය කරන්න පටන් ගන්න.

සටහන –

බිනාලි රාජපක්ෂ



Similar Posts