දෛනිකව අප වෙළඳපොළෙන් මිලදී ගන්නා ආහාර අතරින් බොහෝ දෙනකුම වැඩියෙන් ඇලුම් කරන ආහාරයක් තමයි කේක් කියලා කියන්නේ. විවිධ රසයන්ගෙන්, වර්ණයන්ගෙන්, මෝස්තරයන්ගෙන් යුත් ඉතාමත් අලංකාර කේක් නිර්මාණ වලට අද වනවිට හිමිව ඇත්තේ ඉතාමත් සුවිශේෂ ස්ථානයක්.
ශරීරයට හිතකර ද්‍රව්‍ය යොදාගනිමින් ඉතාමත් රසයෙන්, ගුණාත්මක බවින් සහ සෞඛ්‍ය ආරක්ෂිතව කේක් සහ බේකරි නිෂ්පාදනයෙහිලා නියැලෙන ව්‍යාවසායිකාවක් පිළිබඳවයි BIZ REVIEWS විශේෂාංග ඔස්සේ අද ඔබත් සමග කතාබහ කිරීමට සූදානම් වන්නේ.
කාන්තාවක සතු සිය හැකියාව, ශක්තිය සහ ධෛර්යය ලොව සියලු කාන්තාවන්ටම ආදර්ශයක් වෙමින් කටයුතු කර ඇය Panda cake bar and Academy (pvt) Ltd ආයතනයේ ප්‍රධානී හංසි රොද්‍රිගු.
ඉතින් අපි බලමු ව්‍යාවසායිකාවක් විදියට ඇය සිය ව්‍යාපාරය ඉතා සාර්ථකව ගොඩනගා ගත්තේ කෙසේද කියලා.
Panda cake bar and Academy (pvt) Ltd කියන නාමයකින් අධ්‍යාපන ආයතනයක් පටන් ගන්න ඕන කියන අදහස ඔබට ආවේ කොහොමද?
ඇත්තටම කේක් නිර්මාණ ක්ෂේත්රය මම කරන්න හිතුවේ වත් නැති ක්ෂේත්රයක්. මෙම ව්‍යාපාරය නොසිතූ වෙලාවක පටන් ගත්ත ව්‍යාපාරයක් කියලා කිව්වොත් නිවැරදියි.
රජයේ ආයතනයක රැකියාවක් කරන ගමන් මට හිතුනා මෙහෙම දෙයක් කරොත් හොඳයි කියලා. එතකොට ම ඒ වෙලේම හිතලා බලලා මම කේක් සෑදීම සඳහා අවශ්‍ය බඩුත් අරගෙන පොඩියට කේක් ටිකක් හදලා විකුණන්න තීරණය කළා.
මුලින්ම මම කප් කේක් හැටක් හදලා අපේ ගෙදර අයට, නෑදෑයොන්ට එන්න කියලා සාධාරණ ගානකට box වල දාලා හරි පිළිවලට අලෙවි කරන්න පටන් ගත්තා.
ඇත්තෙන්ම මේ ව්‍යාපාරයට Panda කියන නම දාන්න හේතුව තමයි මම ගොඩක් ආසයි panda කියන සත්ත්වයාට. ඒකත් එක්කම මම හිතුවා වෙනස්ම විදියෙ නමක් දාන්න ඕනේ කියලා. බොහෝ අය ඒ ඒ අයගේ නම් වලින් තමයි කේක් ඇකඩමි පවත්වාගෙන යන්නේ.
මම මේ ව්‍යාපාරය ආරම්භ කරපු කාලේ හැමෝටම හැමවෙලේම මතක හිටින නමක් වෙන්න ඕනේ කියන එක මට අවශ්‍ය වුණා . මගේ කැමැත්ත සහ panda යන නම දාමු කියන යෝජනාවකුත් තිබ්බා.
ඉස්සෙල්ලම මම panda කේක් කියන එක තමයි මම ව්‍යාපාරයට යෙදුවේ. ඊට පස්සේ තමයි Panda cake bar and Academy යන නම තිබ්බේ. පසුව මේ Academy (pvt) Ltd බවට වෙනස් කළා.
හැමෝටම මතක හිටින නමක් විදිහට තමයි මම Panda cake bar and Academy (pvt) Ltd යන නාමය මගේ ව්‍යාපාරයට යෙදුවේ.
දැනට කොපමණ කාලයක් වෙනවද මේ අධ්‍යාපන ආයතනය ආරම්භ කරල,
මේ ව්‍යාපාරය පටන් ගත්තේ 2018 වර්ෂයේ දී. ඒ අනුව දැනට හරියටම ව්‍යාපාරය පටන් අරගෙන අවුරුදු හයක් වෙනවා.
මෙවැනි අධ්‍යාපන ආයතනයක් පටන් ගැනීමේ අරමුණ කුමක්ද?
ඇත්තටම කේක් ව්‍යාපාරය කරන අවස්ථාවන්හි බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි මට ඕන වුණා කේක් සම්බන්ධව තව කෙනෙක්ට උගන්වන්න. ස්වයං රැකියාවක් විදියට කේක් නිර්මාණ කරන්න පුරුදු කරන්න. දැන් තියන සමාජයත් එක්ක ස්වයං රැකියාවක් කරලා කාන්තාවකට ඉදිරියට යන්න පුළුවන් ඉඩකඩ වැඩියි. ඒකත් එක්ක මට හිතුනා කාටහරි අත්වැලක් වෙන විදියට මේ ඉගැන්වීම් කටයුතු සිදු කරන්න. ඉතින් මං හරි ආසාවෙන් ඒ ඉගැන්වීම් කටයුතු පටන් ගත්තා.
මගේ පළවෙනි පන්තියට මට ළමයි 20ක් වගේ තමයි හිටියේ. වර්තමානය ගත්තොත් දැන් යන්නේ මගේ 35වෙනි කාණ්ඩායම. දැනට මගේ ඇකඩමියේ සිසුන් 800ක් 1000ක් පමණ ඉගෙනුම ලබනවා.
Panda cake bar and Academy (pvt) Ltd මගින් සිදු කරනු ලබන පාඨමාලාවන් මොනවාද?
පාඨමාලාවන් ගැන කතා කරනවනම් Birthday cake course එක තියෙනවා. Birthday cake course එක basic ඉදන් advance course එක විදියට යන්නේ.
ඊට අමතරව birthday cake making and decoration කියලා තවත් course එකක් තියෙනවා.
මෙම කේක් පාඨමාලාවන්ට අමතරව pastry and bakery පාඨමාලාවන් වෙනම තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ හැම පාඨමාලාවකට සමගාමීව අපි එක් දින වැඩ මුළු පවත්වනවා.
මෙම පාඨමාලා වලට අමතරව ඉදිරියේදී නව විෂය ධාරාවන් යටතේ පාඨමාලා හඳුන්වාදීමක් සිදු කරනවද?
ඇත්තෙන්ම ඔව් , මම බලාපොරොත්තුවෙන් ඉන්නවා ලබන අවුරුද්දේ මැද වෙනකොට විෂය නිර්දේෂය කාණ්ඩ විදියට කඩලා වෙනස් කරන්න.
ඒ වගේම ලබන අවුරුද්දේ මැයි මාසය හෝ ජූනි මාසය වෙනකොට අලුත් විෂය නිර්දේශයක් ඇතුළත් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
හැම ළමයෙක්ටම ලොකු වියදමක් කරලා ඉගෙන ගන්න අපහසුතා තියෙනවා. මම හිතුවා මේ විෂය නිර්දේශය කාණ්ඩ කරලා පාඨමාලාවන් සකස් කරන්න. එතකොට සිසුන්ට පුළුවන් අඩු වියදමකින් තමන්ට අවශ්‍ය පාඨමාලාවන් හදාරන්න.
සූපවේදියෙකු වීම සඳහා වඩාත්ම වැදගත් කුසලතා මොනවාදැයි ඔබ සිතන්නේ කුමක්ද?
පළමුවෙන්ම කියන්න ඕනේ සූපවේදියකු වීම සඳහා වඩාත්ම වැදගත් වන්නේ ඒ ක්ෂේත්රයට තමන් තුළ ඇතිවන ආශාව, ආදරය සහ කැපවීමයි. ඊට අමතරව පිළිවෙල සහ පිරිසුදුකම.
අපිව මුලින්ම Hotel එකක training විදියට දැම්මොත් පළමුව කරන්නේ අපට Discipline සහ cleaning යන අංශ දෙක පිළිබඳව පුහුණුවක් ලබාදෙන එක.
ඒ නිසා අනිවාර්යයෙන්ම සූපවේදියෙක් වුනාම පිළිවෙල, පිරිසිදුකම තියෙන්න ඕන. කැපවීම මහන්සිය, ආසාවෙන් වැඩක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. කෑමක් හදනවා කියන්නෙම හරි ආසාවෙන් ආදරයෙන් කරන්න ඕන දෙයක්. අපි ඒ කෑම එක හරි විදියට ආදරෙන් හැදුවොත් තමයි කෑම එක කන කෙනාට රසට ගුණයට ලස්සනට ඒ කෑමක් පිළිගන්වන්න පුළුවන් වෙන්නෙ.
ඔබ විසින් සකසන ලද බේකරි ආහාර වර්ග සදහා යොදනු ලබන අමුද්‍රව්‍යවල නැවුම් බව සහතික කරන්නේ කෙසේද?
ඇත්තටම අපි කේක් හෝ බේකරි නිෂ්පාදනයක් හදනකොට ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගන්නේ වෙළඳපොලෙන්.
සාමාන්‍යයෙන් අපි මේ ක්ෂේත්රය තුළ කටයුතු කරන අය විදිහට වෙළඳපොළෙන් අදාළ ද්‍රව්‍ය මිල දී ගන්න විට එහි නිෂ්පාදිත දිනය වගේම කල් ඉකුත් වීමේ දිනය අනිවාර්යෙන්ම බැලිය යුතු දෙයක්.
උදාහරණයක් විදියට පිටි සීනි අයිසින් සහ බටර් වගේ දේවල් ගත්තොත් මේවා දැන් කාලෙට ගැලපෙන , හොදම සහ ශරීරයට හිතකර සුදුසු දේ තමයි අපි මිලදී ගන්න ඕනේ. කොහොමත් කේක් එකක් හදන්න කොට අමුද්‍රව්‍යවල පිරිසිදුකම එක්ක අපේ පිරිසුදුකමත් ඉතාමත් වැදගත්.
අමුද්‍රව්‍ය තෝරගන්නකොට මම තෝරාගන්න නිෂ්පාදන ටිකක් තියෙනවා. පැකට් කරපු නම් පැකට් කරපු පිටි කෑමට සුදු ප්‍රමිතියෙන් උසස් මිනිස් ශරීරයට හිතකර ද්‍රව්‍ය. උඩින් ආටෝපෙට කේක් එකක් දෙන්න පුළුවන් ගානට නෙමෙයි එහි ගුණයක් රසයක් තියෙන ඒ විදිහට කරන පුළුවන් අමුද්‍රව්‍ය තමයි අපි හැමවිටම තෝරගන්න ඕනේ.
ඔබේ අධ්‍යාපන ආයතනය තුළ කටයුතු කරන කාර්ය මණ්ඩලය ගැනත් අප කතා කරමු.
දැනට මට එහෙම ලොකු කාර්ය මණ්ඩලයක් නැහැ . උගන්වන දේවල් හැමදේම කරන්නේ මම අත් උදව්වට මගේ ගෝලයන්ම තමයි ඉන්නේ.
විශේෂයෙන්ම පේස්ට්‍රි ඇන්ඩ් බේකරි වලට වෙනම චෙෆ් කෙනෙක් ඉන්නවා. මම කැමති නැහැ මම දන්න දේ මම උගන්වනවා ඇරෙන්න වෙන අය ලවා උගන්වන එකට. ඉතින් දැනටකාර්ය මණ්ඩලය විදිහට අපි දෙන්න තමයි දැනට වැඩ කරමින් යන්නේ.
මේ දක්වා Panda cake bar and Academy (pvt) Ltd ලැබූ සාර්ථකත්වය ඔබ විස්තර කරන්නේ කොහොමද?
සාර්ථකත්වය ගැන කතා කරනවා නම් මුලින්ම මම කලේ මම කේක් හදලා කේක් ඕඩර්ස් භාරගත්ත එක. කට්ටිය ඒක දැනගත්තට පස්සේ ඕඩර්ස් ටිකක් වැඩිවුණාට පස්සේ තමයි මම ආයතනයක් විදියට කේක් ව්‍යාපාරය ආරම්භ කලේ.
මම කේක් හදන හැටි හැමදේම ඉගෙන ගත්තා. කේක් පිළිබඳව අදාළ course වල basic course , masters, diploma සිදු කරලා හැමදේම පිළිවෙලට ඉගෙනගත්තා. විශේෂයෙන් කියන්න ඕනේ NVQ level 04 හැමදේම step by step ඉගෙන ගත්තා. ඊට පස්සේ මම ඇකඩමිය Panda cake bar and Academy (pvt) Ltd නමින් රෙජිස්ට කරගත්තා. පස්සේ ඇකඩමිය පටන් අරගෙන කැලණිය, කිරිබත්ගොඩ සහ නුගේගොඩ යන ප්‍රදේශවල තැන් තුනක classes සිදු කලා.
ඒ විදියට කරගෙන යන අතරතුර Panda cake bar and Academy (pvt) Ltd නමින් හැම අවුරුද්දේම අලුත් වෙවී අලුත් දේවල් දෙන්න අලුත් විදියට ළමයින්ව ඉස්සරහට ගෙනියන්න කටයුතු කලා. ඒ වගේම පාඨමාලාවට වැදගත්කමක් දෙන්න සහතිකයක පත්‍රයක් නිකුත් කළා. ළමයින්ට කේක් කොස් එක කරාට පස්සේ තරගයක් තියලා ළමයින්ට සහතික පත්‍රයක් ලබා දෙන්න හැම අවුරුද්දකම award ceremony එකක් තිබිබා. ඒ විදිහට තමයි මගේ ඇකඩමිය පියවරෙන් පියවර සාර්ථක කරගෙන ඉස්සරහට යන්නේ.
ලංකාවේ විතරක් නෙමෙයි ඉන්දියාවෙනුත් Panda cake bar and Academy (pvt) Ltd ඇකඩමියට සම්මාන ලැබිලා තියෙනවා. මම හිතනවා ඉතින් ඒ යන ගමන ඇතුළත පියවරෙන් පියවරට සාර්ථක වන නිසයි මේ වගේ රටක් ලෝකයක් දැනගන්න විදිහට කේක් ව්‍යාපාරය මේ විදියට සිදු කරගෙන යන්නේ. ඉතින් මම හිතනවා අපේ ආයතනය තව තව සාර්ථක වෙයි කියලා. ඒ ආපු ගමන් මඟ ගැන ඇත්තටම මට නිහතමානි සතුටක් තියෙනවා.
Bakery කර්මාන්තයේ නවතම ප්රවණතා සමඟ ඔබ සහ සිසුන් ඉදිරියට යන්නේ කෙසේද?
අවුරුද්දෙන් අවුරුද්ද අලුත් දේවල් අපි අපේ ඇකඩමියට එකතු කරගන්නවා. කලින් පේස්ට්‍රි ඇන්ඩ් බේකරි කියලා course එකක් තිබ්බේ නැහැ. මම කලින් කරේ කේක් course එක විතරයි. කේක් course එකේදි කේක් ජාති උගන්වනවා, එක් දින වැඩමුළු සිදු කරනවා. ඒ හැමදේම කේක් සම්බන්ධව විතරයි.
ගිය අවුරුද්දේ හරියටම ඔක්තෝම්බර් වෙනකොට ඒ කියන්නේ මේ අවුරුද්දට දැනට හරියටම අවුරුද්දක්. ඇත්තටම ඒ කාලෙ වෙද්දි බේකරි සම්බන්ධයෙනුත් එක් දින වැඩමුළු පැවැත්වුවා.
ඔබේ අධ්‍යාපන ආයතනය මගිනි කේක් නිර්මාණ සඳහා වූ තරගාවලියක් නුදුරේදීම ආරම්භ කරන බව අපට අසන්නට ලැබුණා. ඒ ගැනත් මතක් කරමු.
ඔව්, ඇත්තටම තරඟාවලියක් කියන්නේ අවුරුද්ද මුල සහ අවසානයේදී හැම අවුරුද්දකම award ceremony එක ගානේ මම තියාගෙන යනවා.මොකද batch එකෙන් batch එකට තියෙනවට වඩා batch පහම එකතු කරලා award ceremony එකක් එකට තියන එක තමයි මම දැන් කරගෙන යන්නේ. ජනවාරි මාසයේ දී පරණ ඉගෙනගත්ත ළමයින්ට award ceremony එක මම පැවැත්වුවා. මේ ජනවාරියෙන් පස්සේ පෙබරවාරි ඉඳන් දෙසැම්බර් වෙනකන් ඉගෙන ගන්න ළමයින්ට 32, 33, 34, 35 batch එකේම award ceremony තියනවා 2025 ජනවාරි මාසයේදී.
ඒකත් එක්කම තමයි මම සංවිධානය කරලා තියෙන්නේ විවෘත කේක් නිර්මාණ තරගාවලියක්. මෙහි දී ලංකාවේ ඉන්න ඕනම කෙනෙක්ට කේක් හදන්න , කේක් නිර්මාණ තරඟ වලට කැමති ඕනම කෙනෙක්ට එන්න පුළුවන් විදිහට තරගාවලියක් තමයි මම සූදානම් කරලා තියෙන්නේ. තරගාවලියක් සූදානම් කරන්න ප්‍රධාන හේතුව තමයි මගේ 01 වන batch එකේ ඉදලා 31 batch එක වෙනකම් ඉගෙනගත් 800ක් 1000ක් පමණ සිසුන් පිරිසක් සිටිනවා. ඔවුන් සියළු දෙනාම ඉතාමත් හොඳට තමන්ගේ ව්‍යාපාර කටයුතු ඉස්සරහට කරගෙන යනවා. මම ෆේස්බුක් එක හරහා දකිනවා ඔවුන්ගේ ව්‍යාපාර ඉතා දියුණු මට්ටමකින් සිදු කරගෙන යනවා කියලා. මගේ සමහරක් ගෝලයින් මටත් වඩා හොඳට කේක් හදාගෙන මට වඩා හොඳට වැඩ කටයුතු කරනවා. ඒ අය නැවත හමුවෙන්න ඔවුන්ගේ හැකියාවන් ඉදිරියට ම ගෙන යන්න තමයි මම මේ විවෘත තරගාවලිය පවත්වන්නට කටයුතු කරේ. ලබන ජනවාරි මාසයේ මුල් සතිය තමයි තියන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
Panda cake bar and Academy (pvt) Ltd වෙතින් පාඨමාලා හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටින සිසුන්ට ඔබ දෙන පණිවුඩය
දැනට ලංකාවේ කේක් සම්බන්ධව බේකරි සම්බන්ධව ගත්තොත් ඕනෑ තරම් ආයතන තියෙනවා. මේ ආයතනය හොඳයි මේක හොඳයි කියලා මම කවදාවත් කියන්නේ නැහැ. ඒ ඒ ආයතන වලට ඒ ඒ විදියට අනුගත වුණ විෂය නිර්දේශ තිබෙනවා. ඉතින් තමන්ට කැමතියි දෙයක් කැමති ආයතනයකට ගිහින් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි කොහේ කොතනක ගියත් හරි දේ හරි විදියට ඉගෙන ගන්න ඕන. පිළිවලට ඉගෙන ගන්න ඕනේ. තමන් කරන දේට තමන් අධ්‍යාපනය ලබන තැනට සහ අධ්‍යාපනය ලබන මොන විෂය ද ඒ කරන විෂය නිර්දේශයට හරි ආදරයෙන් සලකලා ආදරෙන් කැපවීමෙන් උනන්දුවෙන් කළොත් තමයි ඒ යන ගමන ඉස්සරහටම යන්න පුළුවන්.
ඒවගේම සල්ලි දීලා ඉගෙන ගන්න දේට හොරයක් බොරුවක් කරන්න එපා. වංචාවක් කරන්න එපා. සාධාරණයෙන් ආසාවෙන් කරොත් හැම දේකින්ම ඉස්සරහට යන්න පුළුවන් වෙන්නෙ.
ඔබේ ආයතනයේ ඉදිරි සැලසුම්
මේ දවස් ටිකේ මම කැලණිය Class එක විතරයි කරගෙන යන්නේ. පෞද්ගලික හේතුන් කිහිපයක් නිසා දැනට කැලණිය පමණයි මම Class කරගෙන යන්නේ. කිරිබත්ගොඩ සහ නුගේගොඩ ඒ Class කිහිපය මම තාවකාලිකව නවත්වලා තියෙන්නේ. මං බලාපොරොත්තු වෙනවා මම ලබන අවුරුද්දේ මැද වෙනකොට කිරිබත්ගොඩ සහ නුගේගොඩ පන්ති පටන් අරගෙන කැලණියත් එක්කම ස්ථාන තුනේදීම විෂය නිර්දේශය කාණ්ඩ කරලා හැමෝටම සහනයක් ගෙන දෙන විදියට ඉස්සරහට යවන්න. මම හිතනවා අතේ තියෙන ගානට ඉගෙන ගන්න පුළුවන් විදියට විෂය නිර්දේශය කාණ්ඩ කරලා පියවරෙන් පියවර ඉගෙනගන්න යන්න පුළුවන් විදියට සකස් කරන්න ලබන අවුරුදු මැද වෙනකොට මම බලාපොරොත්තු වෙනවා.
සටහන – බිනාලි රාජපක්ෂ