ගැලූ කදුලු සයුර තරම්

author
0 minutes, 0 seconds Read

දෙනුවන් දැවීයන්නා සේ දැනෙන්නේ දැඩි හිරු රශ්මිය නිසාවෙනි. විසි වසරක කාලයක් තම දිවියේ හොඳම යුගය වැලිකඩ මහ උළුගෙදරට සිරවී ගෙවා දැමූ නිසාවෙන් දැන් එළබ තියෙන්නේ ප්‍රියංගනීගේ ජීවිතයේ මැදි වයසයි. මිනීමැරුම් චෝදනාවට විත්තිකාරිය වී මීට විසි වසරකට පෙර බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිරගත වූ ඇයට අද දිනයට යෙදී තිබුණු වෙසක් පොහොය නිමිත්තෙන් සුවිශේෂ සමාවක් යටතේ නිදහස ලැබී, සිරගෙදර ප්‍රධාන දොරටුවෙන් පිටතට ආවත්, තමන් යායුත්තේ කිනම් දිශාවකටදැයි? වැටහීමක් ඇයට නොවීය.

කලබලකාරීව මාර්ගයේ ඒ, මේ අත ගමන් කරනා මගීන් අතර තමන් තනිවූවාක් වැනි හැඟීමක් ඇයට දැනුණේ ඇය පිළිගැනීමට කිසිවෙකුත් පැමිණ නොසිටි නිසාවෙනි. යායුත්තේ කොහේදැයි? හදිසියෙම සිතට දැනුණු සිතුවිල්ලට අවනත වී ප්‍රියංගනී ඉදිරියට පියමනින්නට වූයේ ගෙවීගිය විසි වසර පුරාවටම දහ, දොළොස් වතාවක් තම දුක, සැප සොයාබලා යාමට සිරගෙදරට පැමිණි ජෙනීටා අක්කාව මෙනෙහි කරමිනි.

” උඹට උරුම වෙන්න තිබුණෙ මේ වගේ කාලකන්නි ජීවිතයක් නෙමෙයි ප්‍රියංගනියෝ… උඹ මාළිගාවක් වගේ ගෙදරක සැපට හැදුනු එකියක්. ඒත් කරුමෙ වළක්වන්න සක්කරයටවත් බැහැයි කියලා කියනවනේ. උපුල් වගේ එකෙකුට උඹ අහුවුණේ උඹගෙ පූරුවෙ පවකට. ඌ හින්දා තමයි උඹ මේ නරාවළට වැටුණෙ. මට නම් ඌගෙ මරණෙ ගැන කිසිම දුකක් නැහැ. මට තියෙන එකම දුක ඌගෙ මරණෙ උඹගෙ අතින් වෙලා, උඹට මහ උළුගෙදරට එන්න වුණ එකයි. කවදා හරි දවසක උඹට නිදහස ලැබුණොත්, එදාට උඹ මගේ ළඟට වරෙන්. මම උපුලගෙ අක්කා වුණත්, මට ඕකාගෙ මරණෙ සිද්ධ වුණේ උඹගෙ අතින් කියලා උඹ ගැන කිසි වෛරයක් නැහැ. අනික මම දැන් ඉන්නෙ ජාවත්තෙ නෙමෙයි. අලුත් පැත්තක, අලුත් මිනිස්සු එක්ක ඉන්න නිසා උඹට මම එක්ක නිදහසේ ඉන්න පුලුවන්. “

කිහිප දිනක්ම තමා බැලීමට පැමිණි විට ජෙනීටා අක්කා පැවසුවේ ඇයගේ අලුත් නිවහන පිහිටි ඉසව්ව ප්‍රියංගනීට සදහන් කරමිනි. ඒ මතකය ඔස්සේ ඇය පියනැගුවේ ජෙනීටා පදිංචි වී සිටි අලුත් නිවස සොයාය. අතරමඟදී හමුවුණ කිහිප දෙනෙකුගෙන් අසා දැනගත් මංසලකුණු ඔස්සෙ පාගමනින්ම ගමන් කළ ප්‍රියංගනීට ජෙනීටාගෙ නිවස සොයාගත හැකිවිය. නිවසට පිටතින් ඇති කුඩා මිදුලේ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඉදිකර තිබුණු කඩකාමරයේ සිල්ලර කඩයක් පවත්වාගෙන ගිය ජෙනීටා දිවිගෙවූයේ එයින් ලද ආදායමෙනි.

” උපුලගෙ මරණෙන් පස්සෙ මම මහ ගේ විකුණලා දැම්මා බං. තව දුරටත් ඒ ගෙදර ඉන්න මට හිත හදාගන්න බැහැ. ගේ විකුණලා ගත්ත සල්ලි වලින් තමයි මම සහස්පුරෙන් පොඩි ගෙයක් සල්ලි වලට අරගෙන, ඉතුරු සල්ලි වලින් ගේ ඉස්සරහ කඩ කෑල්ලක් හදාගෙන, කඩයක් පටන් ගත්තෙ. තනි මට ජීවත් වෙන්න කඩේ ආදායම හොදටම ඇති බං. “

දිනක් තමා බැහැදැක යන්නට සිරගෙදරට ආ ජෙනීටා පැවසූ අන්දම ප්‍රියංගනීට යළිත් වතාවක් සිහිවූයේ ජෙනීටාගේ නිවස ඉදිරියෙන් ඉදිකර තිබුණු කඩකාමරය දැකීමෙනි. කඩයට පැමිණ සිටි මැදිවියේ කාන්තාවකට පරිප්පු ග්‍රෑම් දෙසිය පනහක් කිරමින් සිටි ජෙනීටා එම කටයුත්ත අහවර කර මුදල් ලබාගන්නා තුරු කඩය ඉදිරිපසට වී ප්‍රියංගනී නිහඬවම බලා සිටියේ තමාව දුටු ගමන් ජෙනීටා කලබල වන බව දන්නා නිසාය. කඩයට පැමිණ සිටි කාන්තාව පිට වී යනතුරු පසෙකට වී ඉවසීමෙන් බලා සිටි ප්‍රියංගනී ඉන්පසුව ජෙනීටා ඉදිරියේ පෙනී සිටියේ ජෙනීටාගේ දෙනෙත් විශ්මයෙන් පුළුල් කරමින්ය.

” දෙයියනේ… නංගියෙ. මම කිව්වා නේද? දවසක උඹ නිදහස් වෙනවා කියලා. ඒ හින්දම තමයි මම උඹට මම ඉන්න අලුත් ගෙදර හොයාගන එන පාර කියලා තිබුණෙ. අද මේ වෙසක් දවසෙ එක කඩයක්වත් ඇරලා නැහැ මනුස්සයෙකුට උවමනා දෙයක් ගන්න. මම ගෙදරටම වෙලා ඉන්න හින්දයි අදත් වෙනදා වගේම කඩේ ඇරියෙ. ඔහොම හිටපන්. මම ඉක්මනට කඩේ වහලා එන්නම්. ගෙදරට ගිහින් නිවිහැනිල්ලෙ කතා කරන්න පුළුවන් ඊට පස්සෙ. “

එසේ පැවසූ ජෙනීටා කඩිමුඩියේ කඩය වසා දමන්නට වූයේ ප්‍රියංගනීගේ බලවත් විරෝධය මැදය.

” මම ආවා කියලා තකහනියෙම කඩේ වහන්න ඕනෙ නැහැ අක්කෙ. අපිට කතා කරන දෙයක් රෑට කතා කරන්න පුලුවන්නෙ. “

” අනේ මේ… උඹ පණ්ඩිත නොවී හිටපන්. අවුරුදු විස්සක් කල්දේරමේ බත් කාපු උඹට අද මගේ අතින් ආස දෙයක් කන්න හදලා දීලා, උඹ එක්ක කතා කරන්න මොන තරම් දේවල් තියෙනවද? ඔහොම හිටපන්. මම ඉක්මනට එන්නම්. “

ජෙනීටා පැවසුවේ කඩයේ ඉදිරිපස දොරටුව වසා දමමිනි. ජෙනීටාගේ වචනයට අවනතව ඇය එනතුරු කඩයේ ඉදිරිපසට වී සිටි ප්‍රියංගනී දෙස අසල්වැසි නිවැසියන් විමසුම් බැලුම් හෙලනා අයුරු දුටු ජෙනීටාගේ සිතට දැනුනේ කෝපයකි.

” ඈ… බොලව්. මෙතන බයිස්කෝප් එකක් පෙන්නනවා කියලා උඹලා හිතුවද? මේ ඉන්නෙ මගේ මල්ලි කසාද බැදපු ගෑනි. මල්ලි නැති උනාට පස්සෙ ඒකි ගමට ගිහින් හිටියෙ. අවුරුදු ගාණකට පස්සෙ මාව බලන්නයි ඒකි ආවෙ. තව මොනාද? උඹලට දැනගන්න ඕනෙ. දැන් ඉතින් ගෙවල් වලට පලයල්ලා… එනවා මෙතන පෝය දවසෙත් අනුන්ගෙ කුණු අවුස්සන්න. “

මුළු සහස්පුරයටම ඇසෙන්නට හඬ නගා පැවසූ ජෙනීටාගේ උස් හඬ සවනත වැකුණු අසල්වැසියන් හිමින් සීරුවෙ එතැනින් ලිස්සා තම තමන්ගේ නිවැස් වෙත ඇදුනේ තව දුරටත් එහි රැදී සිටියොත් හොද සුද්ද සිංහලෙන් ජෙනීටාගෙන් අසාගන්නට වන බව දන්නා නිසාය. ජෙනීටා සමඟ නිවසට ගොඩවුණ වෙලාවේ පටන්ම ප්‍රියංගනී වෙනුවෙන් හැකි ඉහළම ආකාරයෙන් සත්කාර කිරීමට ජෙනීටා කටයුතු කළේ ප්‍රියංගනී වෙනුවෙන් තම සිතෙහි ඇති සෙනෙහසිනි. තම සොහොයුරාගේ ගෙල කපා මරා දමා සිරගෙට ගියත්, ජෙනීටාගේ සිතේ ප්‍රියංගනී කෙරෙහි ඇති ලෙන්ගතුකම වියැකී ගියේ නැත.

” අද ඉදන් උඹ මේ කාමරේ හිටපන් නංගියෙ. අල්ලපු කාමරේ තමයි මම ඉන්නෙ. “

ප්‍රියංගනී වෙනුවෙන් ලබාදුන් දොඩම් බීම වීදුරුව පානය කර අවසන් වනතුරු බලා සිටි ජෙනීටා පැවසුවේ නිවසේ තිබුණු කාමර දෙකෙන් එකක් පෙන්වමිනි.

” අක්කෙ… කොහෙද මගෙ කෙල්ල ඉන්නෙ? එදා අන්තිමට මාව බලන්න වැලිකඩ ආපු දවසෙ ඔයා කියපු කතාව මට තාම මතකයි. එදා ඉදන් ඔයා මාව බලන්න එන්නෙ කවදද? කියලා මම හිත හිතා හිටියෙ ඒ ගැන දැනගන්න. “

කිනම් මොහොතක හෝ ප්‍රියංගනී අසනා බව දැනසිටි පැනය දැන් ඇයගේ මුවින් පිට වී ඇත.

” දැන් පහුගිය දේවල් ගැන හිතුවා කියලා ලැබෙන දෙයක් නැහැ බං. ඒ කෙල්ල බම්බලපිටියෙ ලොකු සල්ලිකාර පවුලක එකම දරුවා විදියට අද ගෙවන්නෙ හරි සැපවත් ජීවිතයක්. ඒ කෙල්ල විඳින සැප කිසි දවසක ඒකිට දෙන්න අපිට බැහැ නංගියෙ. මේ දේවල් දැනගත්තා කියලා ඒ කෙල්ලට වෙන සෙතක් නැහැනෙ. ඒ හින්දා හොඳම දේ ඒකිට ඒකිගෙ පාඩුවෙ ඉන්න දීලා උඹ උඹගෙ පාඩුවෙ ඉන්න එකයි. “

ජෙනීටා පවසද්දී ප්‍රියංගනී නිහඬවම සිටියේ සිතට දැනුණ දුක වදන් වලට හරවාගත නොහැකිවය.

” මම ඇතුළෙ ඉන්නකොට මහපු රෙදි වලින් ලැබුන ආදායමෙන් කොටසක් අද එළියට එද්දි මගේ අතට ලැබුණා. මම හැමදාම අක්කා එක්ක ඉන්න හින්දා මේ සල්ලි ටික අක්කා තියාගන්න. කඩේට උවමනා බඩුමුට්ටු ටිකක් හරි ගන්න පුලුවන්නෙ. “

මද වෙලාවක් නිහඬව සිටි ප්‍රියංගනී එම නිහඬබව බිඳ දැම්මේ ඇය අත රැදි කුඩා මුදල් පසුම්බිය විවර කර රුපියල් නමදාස් හත්සීයක මුදලක් ජෙනීටා අතට ලබා දෙමිනි.

” අනේ මේ ප්‍රියංගනියෝ… උඹ හිරේ ගිහින් දහදුක් විඳලා හොයාගත්ත එක රුපියලක්වත් මම ගන්නෙ නැහැ. මේ සල්ලි උඹගෙ දෙයකට ගනින්. මට එපා උඹේ සල්ලි.”

ප්‍රියංගනී අත රැදී තිබූ දාහේ මුදල් නෝට්ටු කිහිපය දෙස බැලූ ජෙනීටා එම මුදල් ප්‍රතික්ෂේප කළේ ප්‍රියංගනී දහඩිය මහන්සියෙන් උපයාගත් එක රුපියලක්වත් ලබාගැනීමට තුන්සිතකවත් අදහසක් ඇයට නොවූ නිසාවෙනි. එදින දිවා ආහාරය වෙනුවෙන් ප්‍රියංගනී කැමති ව්‍යාංජන කිහිපයක් සමඟ බත් උයා පිළියෙළ කළ ජෙනීටා ඇයට හැකි ඉහළම ආකාරයට ප්‍රියංගනීට සත්කාර කළේ සතුටින් පිනාගිය සිතිනි. දිවා ආහාරයට පෙර නිවස තුළම ඉදිකර තිබුණු නාන කාමරයේ ජල කරාමයෙන් නිකුත් වෙන ගිනි රස්නය රැදි ජලයෙන් ස්නානය කළ ප්‍රියංගනී ජෙනීටා විසින් ලබාදුන් ගවුමකින් සැරසී ඇය වෙත ආවේ දිවා ආහාරය ගැනීමට පෙර ඇය සමඟ මද වෙලාවක් දොඩමලු වීමටය.

” දැනට මගේ ඇදුම් දෙක තුනක් ඇදපන් නංගියෙ. ලබන සතියෙ සඳුදා තමයි මම කඩේ වහන නිවාඩු දවස. එදාට තමයි මම කඩේ වහලා දාලා මගේ වැඩක්, පලක් නිදහසෙ කරගන්නෙ. අපි එදාට බොරැල්ලෙ ඇවිදලා ඇදුම් ටිකක් අරන් එමු. “

ජෙනීටා පැවසුවේ ජෙනීටාගේ ගවුමකින් සැරසී සිටි ප්‍රියංගනී දෙස කේෂාන්තයේ සිට පාදාන්තය දක්වා විමසිල්ලෙන් බලමින්ය.

” මේ ගවුම මටම කියලා මහපු එකක් වගේ. ඉස්සරත් අපි දෙන්නා ඇදුම් මාරු කරගෙන අදිනවා මට මතකයි. “

ප්‍රියංගනී පැවසුවේ අතීත මතකයන්‍ සිහිගන්වමිනි.

” උඹ ගෙදරින් පැනලා අපේ උපුල් එක්ක එද්දි අරන් ආපු හොද ඇදුම් මොන තරම් තිබුණද? නිවාඩු වෙලාවක ගෙදර ආවාම මම ආපහු යන්නෙ උඹගෙ ඒ හොද ඇදුම් වලින් තුන, හතරක් අරගෙනනේ. උඹත් කිසි ලෝබකමක් නැතුව ඉල්ලන පරක්කුවට මට ඕන දෙයක් දෙනවා. “

ජෙනීටා පැවසුවේ ප්‍රියංගනී වෙනුවෙන් සිතෙහි උපන් දයාවෙන් සිත පුරවාගෙනයි.

” ඇත්තටම මට ජෙනීටා අක්කා ගැන හරි පුදුමයි. “

ජෙනීටා හිඳ සිටි වේවැල් පුටුව අසළ තිබුණු අනෙක් වේවැල් පුටුවේ හිඳ ගනිමින් ප්‍රියංගනී පැවසුවාය.

” ඒ මොකද? බං… මොකක්ද? මං ගැන ඒ තරම් පුදුම වෙන්න තියෙන්නෙ. “

” ඇයි දෙයියනේ. තමන්ගෙ එකම සහෝදරයව මරපු ගෑනිට මේ වගේ ආදරෙන්, කරුණාවෙන් සලකන අක්කා කෙනෙක් වෙන කොහෙද ඉන්නෙ? “

ප්‍රියංගනී පැවසූ කතාව සැබෑවක් වුවත්, එය ජෙනීටාට අදාල වූයේ නැත. එසේ වීමට සාධාරණ හේතු බොහෝමයක් ජෙනීටා සතුව විය.

” උපුල් උඹව එක්කගෙන ආපු දවසෙ ඉඳන් උඹ විඳපු දුක් කන්දරාව මම දන්නවා නංගියෙ. ඒවා හැමදාම දකින්න මම ගෙදර නොහිටියත්, ගෙදර ආපු දවසට මම ඒ හැමදේම දැක්කා. රජ කුමාරියක් වගේ සැපට හැදුනු උඹව රවට්ටගෙන එක්කන් ඇවිත්, උඹට දුකම විතරක් දීපු එකා මගේ මල්ලි උනත්, මම ඌගෙ පැත්ත ගන්නෙ කොහොමද? උඹ විඳින දුක දැක්කාම තමයි මට කසාද ජීවිතේ තිත්ත වුණේ. කිසි දවසක කසාදයක් කරගන්නෙ නැහැ කියලා මම තීරණය කළේ උඹ විඳින දුක දැකලයි. කට සැර එකියක් උනාට මමත් උඹ වගේම හිතක්, පපුවක් තියෙන ගෑනියෙක්. කුඩු ගහන්න සල්ලි නැති වෙද්දි උඹව මිනිස්සුන්ට විකුණන්න හදපු, උඹ බඩ වෙලා ඉන්නකොටත් උඹව තේ කඩේ වැඩට යවලා සල්ලි ගත්ත, උඹ දහදුක් විඳලා මේ ලෝකෙට බිහිකරපු කිරිකැටියා ඉපදිලා මාසයක් යන්නත් කලින් උඹට හොරෙන් විකුණලා සල්ලි අරන්, ඒ සල්ලි වලින් අරක්කු බීපු එකාව දරු දුක දරාගන්න බැරිව හිටපු උඹ කේන්තියෙන් වියරු වැටිලා මරලා දැම්මයි කියලා මගෙ හිතේ උඹ ගැන කිසි තරහක් නැහැ නංගියෙ. උඹගෙ තැන මම හිටිය නම් මම කරන්නෙත් උඹ කරපු දේම තමයි. “

ජෙනීටා පැවසුවේ දිගු සුසුමක් පිටකරමිනි. ජෙනීටාගේ වදන් ප්‍රියංගනීගේ සිතේ සැනසුමට හේතු විය. දිවා ආහාරයෙන් පසුව කෙටි නින්දක් ලබා ගැනීමට සිතා කාමරය වෙත යාමට පියනැගූ ප්‍රියංගනීගේ දෙපා එකතැන නතර වූයේ ජෙනීටා ඇයව ඇමතූ නිසාවෙනි.

” නංගියෙ. උඹ හිත නරක් කරගන්නෙ නැත්නම් මම උඹට දෙයක් පෙන්වන්නම්. “

” ඕන දෙයක් පෙන්නන්න අක්කෙ. මම හිත නරක් කරගන්නෙ නැහැ. “

” හ්ම්ම්… ඔහොම හිටපන්. මම ෆෝන් එක අරන් එන්නම්. “

එසේ පැවසූ ජෙනීටා ඇයගේ කාමරය තුළට ඇතුළු වී මද වෙලාවකින් නැවතත් ප්‍රියංගනී වෙත ආවේ ජෙනීටාගේ ජංගම දුරකථනය රැගෙනයි. ඊළඟ මොහොතේ ජංගම දුරකථනයෙන් ලබාගත් වයස අවුරුදු විස්සක පමණ පෙනුමින් යුතු සුන්දර යුවතියකගේ ජායාරූප කිහිපයක් ජෙනීටා ප්‍රියංගනීට පෙන්වූයේ ප්‍රියංගනීගේ දෙනෙත් විශ්මයෙන් පුළුල් කරමිනි.

” අ…ක්කෙ. මේ… මගේ කෙල්ල නේද? දෙයියනේ… ඉපදිලා මාසෙන් අම්මගෙ උණුහුම නැති වුණ මගෙ අහිංසකී. බලන්නකෝ අක්කෙ. මම තරුණ කාලෙ වගේමයි. “

ජායාරූප කිහිපයේ පෙනීසිටි යුවතිය හඳුනාගත් ප්‍රියංගනී පැවසුවේ කඳුළු සලමිනි.

” ඔව් නංගියෙ. කෙල්ල උඹ තරුණ කාලෙ වගේමයි.

ප්‍රියංගනීගේ කඳුළු දැක දෙනෙතට ඉනූ කඳුළු පිස දමමින් ජෙනීටා පැවසීය.

” දැන්වත් මට කියන්නෙ නැද්ද? අක්කෙ. මගේ කෙල්ල ඉන්නෙ කොහෙද? කියලා. “

ප්‍රියංගනී බැගෑපත් හඬින් ජෙනීටාගෙන් ඇසුවේ තම දියණිය සිටින ඉසව්වක් පිළිබඳව හෝඩුවාවක් දැනගැනීමටය.

” ඒ ගැන හොයන්න මහන්සි වෙන්න එපා නංගියෙ. ඒ දරුවා කොහෙ හිටියත් ඉන්නෙ ගොඩක් හොඳ තැනක. මම කලිනුත් කිව්වෙ. අපිට කවදාවත් ඒ දරුවට එයා දැන් විඳින සැප සම්පත් දෙන්න පුලුවන්කමක් නැහැ. ඒ හින්දා හොඳම දේ තමයි ඒ කෙල්ලට ඉන්න පාඩුවෙ ඉන්න දීලා. අපි අපේ පාඩුවෙ ඉමු. මම පහුගිය අවුරුදු ගාණක් තිස්සෙ මොන තරම් මහන්සි වෙලාද? කෙල්ල ගැන හොයාගත්තෙ. වතාවක් දෙකක් මම ඒ ගෙදරට පවා ගියා. ඒ හැමදේම මම කළේ ඒ ගෙදර අයගෙ හොඳ හිත දිනාගෙනයි. කසාද බැදලා අවුරුදු දහයක් ගතවෙලත් දරුවො හිටපු නැති ඒ නෝනා, මහත්තයට දරුවෙක් හොයලා දෙන්න බාර අරන් තියෙන්නෙ අපේ උපුල්. අන්තිමේදි ඌ කළේ ඌගෙ දරු පැටියව ඒ මිනිස්සුන්ට විකුණලා ඌට බොන්න සල්ලි හොයාගත්ත එකයි. ඒත් ඒ කරපු පව්කාර වැඩේට ඌට ජීවිතෙන් වන්දි ගෙවන්න වුණා. දේවතාවියක් වගේ උතුම් හිතක් තිබුණ උඹව කාලිඅම්මෙක් කළේ ඌ. අන්තිමේදි උඹට මහඋළු ගෙදර ලගින්න වුණා. “

ජෙනීටා පැවසුවේ දෙනෙතින් ගලන කඳුළු පිස දමමිනි. සිතට දැනෙන දුක කඳුළින් දියකර හැරිය විට සිතට දැනෙන්නේ අපමණ සැහැල්ලුකි. ඒ බව හොඳින් දැනසිටි ප්‍රියංගනී ඇයට වෙන්ව තිබූ කාමරයට ගොස් යහනේ වැතිරුනේ කොට්ටයට මුහුණ ඔබාගනිමිනි. සිත පුරා වාන් දැමූ දුක කඳුළු බවට පත්වී නිදහසේ ගලායද්දී අතීතයේ අඳුරු මතක සටහන් ඇය ඉදිරියේ මැවී පෙනෙන්නට වුණේ චිත්‍රපටයක රූපරාමු පෙළක් මෙන්‍ ය.

ධනවත් පවුලක එකම දියණිය ලෙස දෙමව්පියන්ගෙත්, වැඩිමහල් සහෝදරයන් දෙදෙනාගෙත් ආදරය මැද හැදී වැඩුණ ප්‍රියංගනී උපුල්ගේ කඩවසම් රුවටත්, සොඳුරු වදන් වලටත් රැවටී උපුල් සමඟ හොර රහසේම පළායන්නේ කිසි දිනයක උපුල් වැනි තරුණයෙකුට තම දෙමව්පියන්ගේ කැමැත්ත නොලැබෙන බව දැනසිටි නිසාය. උසස් පෙළ විභාගයට මාස දෙකක් ඉතිරිව තිබියදී උපුල් සමඟ පළාගිය ප්‍රියංගනීව ඇයගේ පවුලේ උදවිය මැරුණ එකියක ලෙස සිතා ඇය වෙනුවෙන් දානමය පිංකමක් සිදුකළ බව පසුව ප්‍රියංගනීට දැනගැනීමට ලැබෙන්නෙ ඇයගේ මිතුරියකගෙනි.

පියා මියගිය දා පටන් උපුල්ගේ මව උපුල් සහ ඔහුගේ අක්කා ජෙනීටාව උස්මහත් කර ඇත්තේ ධනවතුන්ගේ නිවැස් වල සේවය කරමිනි. උපුල් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී සිටි සමයේදී උපුල්ගේ මවත් ඩෙංගු උණ වැළදී ජීවිතයෙන් සමුගත් පසු ජෙනීටා බම්බලපිටියේ විදේශීය සංචාරක නිකේතනයක නැවතී එහි පිරිසිදු කිරීම් කටයුතු සහ ආහාර වර්ග සැකසීමේ යෙදුණේ ජීවත්වීම උදෙසා කුමක් හෝ කළ යුතු බැවින්ය. මාසෙකට වරක් ගෙදර එන ජෙනීටා නිවසට උවමනා ආහාර, පාන ගැනීමටත්, නිවසේ තනිව වෙසෙන තමාට වඩා වසර හයකින් ලාබාල තම එකම සොහොයුරාගේ එදිනෙදා වියදම් සඳහාත් මුදල් ලබා දුන්නේ ඔහු පිළිබඳව අනුකම්පාවෙනි.

උපුල් ඒ වනවිටත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති බව දැනගන්නා ජෙනීටා ඔහුට කෙතරම් අවවාද කළත් ඔහුව යහමගට ගැනීමට නොහැකි විය. මේ අතර හිටිහැටියේම උපුල් විසින් නිවසට රැගෙන ආ සොඳුරු රුවැත්තිය ගැන කවුරුන් හෝ ජෙනීටාගේ කනේ තැබූ නිසා දින කිහිපයක් නිවාඩු ලබාගෙන නිවසට පැමිණි ඇය තම සොහොයුරා නිවසට රැගෙන ආ තරුණිය ගැන පැහැදීමක් ඇති කරගන්නෙ ඇය දුටු පළමු මොහොතේමය. ජෙනීටාගේ මැදිහත්වීමෙන් ඔවුන්ගේ කසාදය සිදුවුණේ නැත්නම් ප්‍රියංගනීට සිදුවන්නේ උපුල් සමඟ විවාහ නොවී ඔහු සමඟ ජීවත් වීමටයි. ඔවුන්ගේ විවාහ‍ය සිදු වූ පසුවත් උපුල්ගේ ජීවිතයේ නම් අමුතු වෙනසක් සිදුනොවීය.

කිසි දවසක දුකක් විඳ නුහුරු ප්‍රියංගනී තම කුසගිනි නිවා ගැනීම වෙනුවෙන් තේ වතුර කඩයක කෙටි කෑම වර්ග සෑදීමට සහය වීමට ගියේ දවසේ වැටුපටයි. මාස්පතා තම සොහොයුරියගෙන් ලැබෙන මුදල තම හිතුමනාපෙට වියදම් කළ උපුල් ප්‍රියංගනී දෛනිකව උපයන මුදලින් කොටසක් ඉල්ලා ඇය සමඟ රණ්ඩු දබර කළේ ඇයට පහර දෙමිනි. සිතෙහි තෙරපෙන වේදනාව මහ රෑ තනි යහනේ වැතිර සිටින විට කඳුළින් දියකර හරින ප්‍රියංගනී බොහෝ දිනවල රාත්‍රිය ගෙවාදැම්මේ හුදකලාවේය. මත්ද්‍රව්‍යය පානයටත්, මිතුරන් සමඟ විනෝද වීමටත් මුදල් අනිසි ලෙස වියදම් කරන උපුල් ගැන ප්‍රියංගනීට ඇති වී තිබුණේ කලකිරීමක් වුවත්, ඒ සියල්ල ඉවසාගෙන ඇය ජීවිතයට මුහුණ දුන්නේ කවදා හරි දවසක උපුල් හොද මාර්ගට ගැනීමට හැකි වේයැයි අපේක්ෂාවෙනි.

එහෙත්… එය දිනෙන් දිනම සිහිනයක් බවට පත්වන සලකුණු පෙන්නුම් කළේ ප්‍රියංගනීට ජීවිතය පවා එපා කරවමිනි. කිහිප දිනක්ම රාත්‍රියේදී නිවසේ ඉදිරිපස දොරකඩට පැමිණි පිරිමින් කිහිපදෙනෙකු උත්සහා කළේ ප්‍රියංගනී ලවා නිවසේ දොර විවර කරගෙන ඇය සමඟ යහන්ගත වීමටයි.

” උඹ අපිට රෙස්පට් දැම්මට වැඩක් නැහැ බං. උඹගෙ මිනිහා උපුලා තමයි අපෙන් සල්ලි අරන් අපිව උඹ ළඟට එව්වෙ. “

ඔවුන්ගේ වදන් ඇයගේ සවන් පසාරු කරගෙන හදවතටම කිදාබැස්සේ ඇය කිසි දා එවන් දෙයක් අපේක්ෂා නොකළ බැවින්ය. තම සොහොයුරා නිසා ප්‍රියංගනී ගෙවන කරුමක්කාර ජීවිතය ගැන දැනසිටි ජෙනීටා උපුල් හමු වී ඔහුට කිහිප වරක්ම අවවාද කළත් ඉන් පලක් නොවීය. මේ අතර ප්‍රියංගනී ගැබිනියක බව දැනගැනීමට ලැබුණු දිනයේ ඇය හදපුරා සතුටු වෙන්නේ කවුරු නැතත් තම කිරිකැටියා හෝ තමන්ට සිටිනු ඇතැයි සිතාය. ප්‍රියංගනී ගැබිගත්තා කියා උපුල්ගේ ඇවතුම් පැවතුම් වල කිසිදු වෙනසක් නොවීය. අසල්වැසියන් සහ ජෙනීටා සකසා දෙන ආහාරයක් ආශාවෙන් රසවිඳින ප්‍රියංගනී වෙනදා මෙන්ම තේ කඩේ වැඩට ගියේ ජීවන අරගලය උදෙසාය.

දරුවා ලැබීමට ආසන්න වෙද්දී දරුවාටත්, ප්‍රියංගනීටත් උවමනා සියල්ල ගෙනවිත් දුන්නේ ජෙනීටාය. තම සොහොයුරාගේ ලෙයින් ප්‍රියංගනීගේ කුසේ වැඩෙන නූපන් දරුවාට ජෙනීටාත් අසීමිත ලෙස ආදරය කළාය.

” උඹ බයවෙන්න එපා නංගියෙ. උඹටයි, දරු පැටියටයි මම ජීවත් වෙලා ඉන්නකම් කවදාවත් බඩගින්නෙ ඉන්න වෙන්නෙ නැහැ. දරු පැටියා ලැබුනාම ගෙදරට ඕන කෑම, බීම හැමදේම මම ගෙනත් දාන්නම්. උඹ කාලා, බීලා දරුවා හදාගෙන ගෙදරට වෙලා හිටපන්. අපේ එකා කාලකන්නි වුණාට මම උඹටයි, දරුවටයි එහෙම වෙන්න ඉඩ දෙන්නෙ නැහැ…”

ජෙනීටා පැවසූ අයුරු ප්‍රියංගනීට තවමත් මතකය. නමුත්… සියල්ල වෙනස් වීමට ගතවුණේ කෙතරම් කෙටි කාලයක්ද? මත්ද්‍රව්‍ය වලට තම ජීවිතයම සින්න කර තිබූ උපුල්ට කිසිදේක හොදක්, නරකක් වටහාගැනීමට තරම් නිරවුල් මනසක් නොවීය. ප්‍රියංගනීට දරුවා ලැබී ගත වී තිබුණේ මාසයක කාලයක් පමණි. ප්‍රියංගනීට දරුවා ලැබීමට ආසන්න වූ විට රැකියා ස්ථානයෙ නතර නොවී සෑම දිනකම සවස් යාමයේ නිවසට පැමිණීමට ජෙනීටා පුරුදු වී සිටියේ ප්‍රියංගනීගෙත්, බිළිදියගේත් ආරක්ෂාව ගැන සිතාය. එදිනත් උදෑසන සුපුරුදු ලෙසම නිවසින් පිටවී ජෙනීටා රැකියාවට ගියේ පාන්දරම නැඟිට ප්‍රියංගනී වෙනුවෙන් ආහාර පිළියෙළ කර තබාය. උදෑසන දහයට පමණ බිළිදිය නහවා, අලුත් ඇදුම් අන්දවා, කිරි පොවා, ඇය නිදි කළ ප්‍රියංගනී හිමින් සීරුවේ දරුවාගෙ කිලිටි ඇදුම් රැගෙන නිවසින් පිටත එළිමහනේ ඇති නාන කාමරයට ගියේ ඉක්මනින් රෙදි ටික සෝදාගැනීමට සිතාය.

මද වෙලාවකින් නිවස ඉදිරිපස වාහනයක් නතර කරන හඬක් ප්‍රියංගනීට ඇසුණත්, ඒ ගැන ඇය වැඩිදුර නොසිතුවේ ඔවුන්ගේ නිවස ඉදිරියෙන් නිරතුරුවම වාහන ගමන් කිරීම සාමාන්‍ය සිදුවීමක් නිසාය. නිවස ඉදිරියේ නතර කළ වාහනය විනාඩි කිහිපයකින් පිට වී යනවාත් සමඟම නිවස තුළින් ඇසුණේ උපුල්ගේ ගීත නාදයයි. මේ ඔහු නිවසට ආවේ දින තුනකට පසුවයි. රාත්‍රියේදී ආවොත් ජෙනීටාගෙන් ලුණු, ඇඹුල් ඇතිව අසාගැනීමට වන බව දන්නා නිසාම ඔහු නිවසට එන්නේ ජෙනීටා නිවසේ නොමැති වෙලාවටයි. එසේ පැමිණෙන ඔහු පැය කිහිපයක නින්දක් ලබා නැවතත් නිවසින් පිට වී යන්නේ තම බිරිඳත්, දරුවාත් ගැන තැකීමක් නොකරමිනි.

රෙදි ටික සෝදා අවසන් කළ ප්‍රියංගනී රෙදි වැනීමට පෙර කුස්සියේ දොරකඩින් නිවසට ඇතුළු වුණේ ඒ වනවිටත් සාලය දෙසින් ඇසුණු උපුල්ගේ ගීත නාදය නිසාය.

” ආ… උඹ කොහෙද? හිටියෙ. උඹ පේන්න හිටියෙ නැති එකත් එක අතකට හොදයි. නැත්නම් උඹ වැලහින්න වගේ විලාප දෙයි. “

ඒ වනවිටත් මත්පැනින් මත් වී සිටි උපුල් පැවසුවේ අපහාසාත්මක ලෙස ප්‍රියංගනීට සිනහ වෙමිනි.

” ඒ මොකකටද? මම වැලහින්න වගේ අඬන්නෙ. බොරුවට අඬන්න මට පිස්සු කියලා හිතුවද? “

ප්‍රියංගනී පැවසුවේ අමනාපය පිරුණු හඬිනි.

” පිස්සු… හහ්… පිස්සු හැදෙයි මම කියන්න යන දේ දැනගත්තම. අපිට ඕනෙ සල්ලිනෙ. මම ලේසියෙන්ම අද ලක්ෂ දහයක් අතට ගත්තා. මේ බලන්න. අලුත්ම අලුත් පන්දාහෙ කොළ. “

උපුල් පැවසුවේ ඔහුගේ කලිසම් සාක්කුවෙන් පිටතට ගත් මුදල් නෝට්ටු මිටියක් පෙන්වමිනි.

” එකපාරටම මේ තරම් සල්ලියක් අතට එන්න මොකක්ද? කරපු වැඩේ. “

ප්‍රියංගනී ඇසුවේ සැකයෙනි.

” වැඩි දෙයක් කළේ නැහැ බං. මම අපේ පොඩි එකීව හොද සල්ලිකාර පවුලකට වික්කා. ඒ නෝනටයි, මහත්තයටයි දරුවො නැති හින්දා අලුත ඉපදුන දරුවෙක් හෙව්වා හදාගන්න. ඉතින් මම ඒ අයට දරුවා දුන්නා. දැන් මාත් එක්කම ඇවිත් දරුවා අරන් ඒ දෙන්නා ගියා. අපිට ඕනෙ නම් පස්සෙ තව බබෙකුට ට්‍රයි කරන්න බැරියැ. “

උපුල් පැවසුවේ අසික්කිත ලෙස සිනහ වෙමින් ඉතා සාමාන්‍ය සිදුවීමක් පවසන ලෙසයි. එහෙත්… උපුල්ගේ වදන් සවනත වැකුණු ප්‍රියංගනීට දැනුනේ ඇයගේ මුළු සිරුරම ගිනිගෙන දැවෙනා ලෙසයි. දරුදුක දරාගත නොහැකිව එක් නිමේෂකදී ඇයගේ සිරුරට පැමිණියේ දරාගත නොහැකි අසාමාන්‍ය ශක්තියකි. එසැනින්ම ආපසු හැරී මුලුතැන්ගෙට ගිය ඇයගේ නෙතු ගැටුණේ මස් කැපීමට භාවිතා කරන තියුණු මුවහත සහිත පිහියයි. දෙවරක් නොසිතා එය අතට ගත් ප්‍රියංගනී සාලයට පැමිණ උපුල් දෙස බැලුවේ ගිනි පිටවන දෑසිනි. ප්‍රියංගනීගේ හැසිරීමේ වෙනස දුටු උපුල්ගේ ගීත නාදය මොහොතකට නතර වී යද්දී. ඒ අවසරයෙන්ම උපුල් අසළට ළඟා වුණ ප්‍රියංගනී ඉහළට එසවූ පිහිය නිවරැදි එල්ලය බලා උපුල්ගේ ගෙල වෙතට මුදා හැරියේ ඔහුට සාප කරමිනි.

ප්‍රියංගනීගේ පිහි පහර නිසා උපුල්ගේ ප්‍රාණය නිරුද්ද වී යද්දී මහා හයියෙන් හඬා වැලපෙමින් ලේ සහිත පිහිය රැගෙන ප්‍රියංගනී පාගමනින්ම පොලිස් ස්ථානය වෙත ගමන් කළේ ඇයගේ ගමනට බාධා කිරීමට උත්සහ කළ කිසිවෙකුගේ බහට අවනත නොවෙමිනි. පොලිස් ස්ථානයෙදි මෙතුවක් කාලයක් පුරා තමන් විඳි දුක් ගැහැට පිළිබඳව දීර්ඝ පාපොච්චාරනයක් සිදුකළ ප්‍රියංගනී ඇය විසින් සිදුකළ වරද පිළිගත්තත්, ඇයගේ දරුවා රැගෙන ගිය යුවළ පිළිබඳව හෝඩුවාවක් සොයාගැනීමට පොලිස් නිලධාරින්ට හැකි වූයේ නැත.

විසි වසරකට පෙර අතීත මතකයන් අතර සිර වී කඳුළු සලමින් සිටි ප්‍රියංගනීගේ සිතට ඉන්පසුව දැනුණේ පුදුමාකාර සහනයකි. විසි වසරකට පෙර තමන්ට අහිමි වූ දියණිය වෙනුවෙන් අයිතිවාසිකම් කීමට ඉදිරිපත් වීම දියණියගේ ජීවිතයට සිදුකරන බලවත් අසාධාරණයක් බව ප්‍රියංගනීට අවබෝධ විය.

” නැහැ. මම ඒ දරුවගෙ ජීවිතේට අනවශ්‍ය විදියට මැදිහත් වෙන්නෙ නැහැ. මගේ ජීවිතේ ඉතිරි කාලය ජෙනීටා අක්කා ළඟට වෙලා එයා එක්ක ගෙවලා දානවා. ගෑනු අපිට හැමදාම උරුම දුකම තමයි. හැබැයි මම ඒ දුකම පන්නරයක් කරගෙන හිත හයිය ගෑනියෙක් විදියට ජීවිතේට මූණ දෙනවා. “

කඳුළු පිස දමා යහනින් නැඟිට ගත් ප්‍රියංගනී කාමරයේ බිත්තියට සවිකර තිබුණු කුඩා කැඩපතට එබී දෑතින් හිසකෙස් සකස් කරගන්නා ගමන් එසේ අධිෂ්ඨාන කරගත්තේ යලි කිසිදිනෙක අතීත මතක ගොන්නට වර්තමානය තුළට ගොඩවීමට අවසර නොදෙන බවට තරයේම සිහිතබාගෙනයි.

නිමි.

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa