වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ තවමත් ඇත්තේ මතභේදාත්මක තත්ත්වයකි. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ශිෂ්‍ය ප්‍රජාව මත බර පටවන අධ්‍යාපනයක් වෙනුවට දරුවන්ට පීඩාවකින් තොරව ඉගෙන ගැනීමටත් කැමති විෂයන් වැඩිදුරටත් ඉගෙන ගනිමින් තම ජීවන වෘත්තීය තෝරා ගැනීමටත් නිසි මඟ පෙන්වීමක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් සිදු කරන බවයි.

“පවතින සියල්ල ඒ ආකාරයෙන්ම ආරක්ෂා කර ගැනීම ඇතැම්විට මතු පරපුරේ අර්ථයට නොව අනර්ථයට ද හේතු වේ. මතු පරපුරේ අර්ථ සිද්ධිය උදෙසා හැඟෙන සියල්ල වෙනස් කිරීම , අලුතින් නිර්මාණය කිරීම කිසිදු අයුරකින් සංස්කෘතිය විනාශ කිරීමක් නොවන්නේය ” යන බ්‍රිතාන්‍ය ජාතික දාර්ශනික බර්රට්රන්ට් රසල්ගේ කියමන ද අපේ “උගතමනා ශිල්පයමයි මතු රැකෙනා ”සංකල්පයත් “මතු රැකෙනා ශිල්පයමයි උගතමනා” ලෙස ගළපා ගත යුතු කාලය දැන් එළඹී තිබේ.
වත්මන් ආණ්ඩුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව නියමිත දිශානතියකින් යුතුව දරුවෙකු සමාජගත කිරීමේ වැඩපිළිවෙළක ආරම්භය සනිටුහන් කරන අතර එය එසේ වන්නේ නම් ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වඩාත් ඵලදායි වනු ඇත.

‘’ විභාග අසමත් වන දරුවන් තෝරා ගන්නා එක් ක්‍රමයක් ලෙස තමයි අද වෘත්තීය අධ්‍යාපනය හඳුන්වන්නේ . ඒ මතය වෙනස් කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. වෘත්තීය අධ්‍යාපනය තෝරා ගැනීම විභාග සමත් අසමත්කම මත නොවෙයි දරුවන්ගේ කැමැත්ත හා හැකියාව මත තෝරා ගන්නා ක්ෂේත්රයක් බවට පත් කරනවා . 10 -11 වසරේදී වෘත්තීය අධ්‍යාපනය සියලු දෙනාටම අනිවාර්ය කරනවා” – (අධ්‍යාපන උසස් අධ්‍යපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්- නාලක කලුවැව)
දරුවන්ගේ හිසත් හදවතත් අතත් සංවර්ධනය කිරීම අධ්‍යාපනයේ පරමාර්ථය යැයි මහත්මා ගාන්ධිතුමා වරෙක ප්‍රකාශ කර තිබේ. හිසත් හදවතත් අතත් සංවර්ධනය නොවූ අධ්‍යාපනයේ ප්‍රතිඵල අපි දැන් දැන් භුක්ති විදිමින් සිටින්නෙමු. වසර 11 ක් 12 ක් වැනි දීර්ඝ කාල සීමාවකින් පසුව ද වත්මන් තරුණ පරපුරත් අධ්‍යාපනයේ විශිෂ්ට ප්‍රතිඵල ළඟාකර ගත් එහි හිණි පෙත්තට ම ළඟා වූ උපාධිධාරියාත් රැකියා විරහිත උපාධිධාරියෙකු බවට පත්වී රැකියා සිඟමනේ යෙදෙන්නේ නම් අපේ අධ්‍යාපන රටාවේ කොතනක හෝ වරදක් සිදුව ඇති බව පැහැදිලිය. සීමිත පිරිසක් විශ්ව විද්‍යාලවලට ප්රවිශ්ට වෙත්දී එම සීමිත පිරිසකගේත් එසේ නොලබන බහුතරයකගේත් ඒ් වටිනා තරුණ ශ්‍රම ශක්තියට සාධාරණය ඉටු කළ හැකි අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපේ රටේ පවතිනවාද යන්න යළි යළිත් සිතිය යුතුය. වටිනා තරුණ ජීවිත රැසක් හන්දියක් හන්දයක් ගානේ ත්‍රීවිල් මත යැපෙන්නේ මෙවන් තත්ත්වයක් මත නොවේද?
නියමිත දිශානතියකින් යුතුව දරුවෙකු සමාජගත කිරීම වඩාත් වැදගත් වන්නේ එබැවිනි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තුළ ආගම සෞන්දර්යය සාහිත්‍ය ඉවත් වන්නේ නැති බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරයි. තමන් කැමති නම් ඉතිහාසඥයෙකු සංගීතඥයෙකු හෝ නර්තන ශිල්පියෙකු වීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බාධාවක් වන්නේ ද නැත. එය තීරණය වන්නේ දරුවන්ගේ කැමැත්ත හා දක්ෂතාව අනුවය. පැනීමට දක්ෂ වදුරාගේත් පීනීමට දක්ෂ මාළුවාගේත් ඉගිලීමට දක්ෂ කුරුල්ලාගේත් දක්ෂකම් එක් නිර්ණායකින් තීරණය කළ හැකිද ? එහෙත් අප ඉතිහාසය පුරාවට ම සිදු කරන්නේ එයම නොවේද? අප හඳුනා ගත යුත්තේ අප අවබෝධ කර ගත යුත්තේ මේ කටුක යථාර්ය නොවේද? මේ තත්ත්වය අපේ අධ්‍යාපන ප්රතිපත්තින්වල ක්‍රියාත්මක වන්නේ ශිෂ්‍ය අධ්‍යාපන ඉගෙනුම් ක්‍රියාවලියේදී පමණක් නොව ඉගැන්වීම් ක්‍රියාවලියේදී ද ක්‍රියාත්මක වන්නේ ගුරුවරයා යනු ඔිනෑම විෂයයක් ඉගැන්වීමට හැකියාවක් ඇත්තෙකු ලෙසය. එහෙත් එය සාර්ථක සාධාරණ මිනුම් දණ්ඩක් නොවන බව පැහැදිලි වන අතර එහි අවසාන ප්‍රතිඵලය වන්නේ වර්තමාන ශිෂ්‍ය පරම්පරාව විසින් ගුරුවරුන් නිවැරදි කිරීමය. මන්ද රට පුරා සිටින විෂය ප්‍රවීණ ගුරුවරුන්ට සූම් තාක්ෂණය හරහා නිවසටම පැමිණීමේ හැකියාව දැන් දැන් වඩාත් ප්‍රචලිත ක්‍රම වේදය බවට පත්ව ඇති බැවිනි. මේ නිසා පාසල් පද්ධතියට ඵලදායි විෂයන් හඳුන්වා දීමෙන් පමණක් මේ ගැටලුව විසඳිය නොහැකිය.

විවිධ කාල වකවානුවල කාලීන අවශ්‍යතා අනුව නව විෂයයන් අපේ විෂය නිර්දේශයන්ට හඳුන්වා දීම වරින් වර සිදුවේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය විෂය නිර්දේශය අපොස (උසස් පෙළ) සඳහා ක්‍රියාත්මක වන්නේ 2018 වර්ෂයේදීය. විශ්ව විද්‍යාල ඉගෙනුම් විෂයක් වශයෙන් ප්‍රචලිත ජනප්‍රිය විෂයයක් වූ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යනය අදියර කිහිපයක් යටතේ මෙරට පාසල් පද්ධතියට හඳුන්වා දුන් නමුත් තවමත් පාසල්වල මෙම විෂයය ඉගෙනුම් කටයුතු සිදු කරන ගුරුවරුන්ගෙන් බහුතරයක් සන්නිවේදනය කිසි ලෙසකින්වත් හදාරා නැති ගුරුවරුන් වීම ද වෙසෙසින් අවධානය යොමු කළ යුතුය. සෑම වසරකම සැලකිය යුතු පිරිසක් අපොස උසස් පෙළ විභාගයේදී මෙම විෂයය අසමත් වන බව ද දත්ත වාර්තා පෙන්වා දෙයි.
අ.පො.ස උසස් පෙළ විභාගය අවසානයේ ශිෂ්‍යයා තෝරා ගන්නා කුමන මාර්ගයක හෝ එනම් උසස් අධ්‍යාපනය ලැබීම හෝ වෘත්තිය අධ්‍යාපනය කෙරෙහි යොමු වීම යන ඔිනෑම අවස්ථාවකදී සාර්ථක සන්නිවේදකයෙකු ලෙස කටයුතු කිරීමටත් ජීවිත කාලය පුරා ඵලදායි හා වගකීම් සහගත පුරවැසියෙකු ලෙස කටයුතු කිරීමටත් අවශ්‍ය න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම කුසලතා ආකල්ප වර්ධනය කිරීිමෙන් චර්යාමය වෙනසක් ඇති කිරිමේ අරමුණින් මෙම විෂය නිර්දේශයෙහි නිපුණතා මට්ටම් හා විෂය අන්තර්ගතය පෙළගස්වා තිබේ. එහෙත් මෙම අරමුණු මේ ආකාරයෙන් ඉටු වී ඇති දැයි පසුවිපරම් කරන්නේ නම් ඒ් සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත.
කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන ආදී විද්‍යාර්ථී එකමුුතුව මෑතකදී රැස් කර ගත් දත්තවලට අනුව ජනසන්නිවේදන විශේෂ උපාධිය හදාරා ගුරු වෘත්තියෙහි නියලෙන සැලකිය යුතු පිරිසක් පාසල්වල චිත්‍ර , නාට්‍ය හා රංගකලාව හා ප්‍රාථමික අධ්‍යාපනය වැනි විෂයයන්වල ඉගැන්වීම් කටයුතුවල නිරත වන බව තහවුරු කර ගෙන තිබේ. සන්නිවේදන විෂය තමා ඉගැන්වීම් කටයුතු සිදුකරන පාසල්වල පවතිද්දීත් මෙලෙස වෙනත් විෂයයන් ඉගැන්වීමට සිදුව ඇති අතර වෙනත් විෂයයන් ඉගැන්විය යුතු ගුරුවරුන් විසින් සන්නිවේදන විෂය උගන්වන බව ද තහවුරු කර ගෙන ඇත. ප්‍රායෝගික දැනුම අත්‍යවශ්‍ය විෂයයක් වන මෙම සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය විෂයය පාසල්වලට හඳුන්වා දුන්න ද මෙම විෂයය ඉගැන්වීම් කටයුතු සිදු කිරීම සඳහා ජන සන්නිවේදන උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමට තබා දැනට පාසල්වල සිටින සුදුසුකම් ඇති ගුරුවරුන් නිසි පරිදි විෂය ඉගැන්වීම් කටයුතුවලට යෙදවීම හෝ සුදුසුකම් ඇති උපදේශකවරුන් බඳවා ගැනීමක්වත් එදා මෙදා තුර සිදු වී නොමැත .
මේ තත්ත්වය මෙලෙස පවත්වා ගෙන යමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගතහැකි ද යන්න ගැටලු සහගතය. “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය පසුගිය ආණ්ඩු සමයේ ක්‍රියාත්මක කළ සාධනීය ව්‍යාපෘතියකි. ශිෂ්‍යත්වය නිසා ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ අරගලය අවම කිරීම ඉන් අපේක්ෂා කළ ද අපේක්ෂිත අරමුණු නම් ඒලෙසින් ඉටු නොවුණු බව පැහැදිලිය. කොළඔට කිරි ගමට කැකිරි සංකල්පය යළි යළිත් සිහි ගන්වමින් තවත් එක් ව්‍යාපෘතියක් පමණක් බවට එම ව්‍යාපෘතිය ද පත්වූයේ භෞතික සම්පත්වලට වඩා මානව සම්පත් කළමනාකරණය නිසි පරිදි සිදු කර ගැනීමට අපොහොසත් වූ නිසා බව නම් අවිවාදාත්මකය. ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ ද මේ පසුබිම මත ම නම් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් අපේක්ෂිත ප්‍රතිඵල ඉටු කර ගැනීම අපේ දරුවන්ට තවත් බොහෝ දුර යනු නොඅනුමානයි
වසරවල් පිරවූ පමණින් විෂය නිර්දේශ පිරවූ පමණින් සමාජයට රටට දැයට වැඩදායි පුද්ගලයකු බිහි වන්නේ නැතිබව අවබෝධ කර ගත යුතුය.. අපි විෂය නිර්දේශයන් පුරවාදැමීමට බොහෝ සමර්ථ වෙමු. එහි අධික බර දරුවන්ට මෙන්ම ගුරුවරයාට ද දැරිය නොහැකිය. ගුරුවරුන් ඇතැම්විට ඒවා ආවරණය කරගන්නේ ද පාසල් වේලාවෙන් පසුව ද දරුවන් පාසල් තුළ තබා ගනිමින්ය. උදෑසන 7.30 සිට 1-30 දක්වා ඉගෙන ගන්නා දරුවන්ට සවස නිවසට පැමිණි යළිත් රෑ 9-10 වනතුරු පාසලින් ලබා දෙන හෝම් වර්ක් කිරිමට සිදුව ඇත්තේ මෙවන් පසුබිමකය. ශිෂ්‍යත්වය වෙනුවෙන් විෂයන් 3-4 ක් සඳහා ළමා කාලය ම කැප කරන මේ පුංචි දරුවන් 6 වසරට පා තබද්දී ම විෂයන් 13 ක් පමණ ඉගෙන ගනියි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන හැම විටකම මේ පුංචි දරුවන්ගේ පාසල් බෑගය මත පැටවෙන අධික බර ගැන නිතර කතා කළ ද තවමත් නිරෝගී දරු පරපුරක් වෙනුවෙන් මේ තත්ත්වයටවත් සාධනීය විසදුමක් ලබා දීමට සමත් වූ අයෙක් නම් නොමැත.
අධ්‍යපන පීඩනය නිසා සිය දිවි හානි කර ගැනීමට පෙළඹුණු දරුවන් පිළිබඳ දැන් දැන් පෙරට වඩා අසන්නට ද ලැබෙයි. ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ලොව හොඳම අධ්‍යාපන ක්‍රමය ලෙස සැලකෙන අතර ලොව සතුටින්ම සිටින පුද්ගලයින් සිටින රට අතරට ද ෆින්ලන්තය නිතර පත්වෙයි. ෆින්ලන්තයේ දරුවන්ට හෝම් වර්ක් නොමැත. පාසල් කාලසීමාව තුළ පමණක් විෂය ආවරණය කිරීම් සිදු වන අතර සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව දරුවන්ගේ විෂය දැනුම මෙන්ම ජීවන කුසලතාත් වර්ධනය වන ලෙසට විෂය නිර්දේශයන් සකස් කර තිබේ. එරට පාසල් දරුවන් ලොව අඩුම මානසික පීඩනයකින් සිටින දරු පිරිසක් ලෙස සැලකෙන බව ද වාර්තා වේ. පාසල් නිමවී තම නිවෙස් වෙත පැමිණෙන අපේ දරුවන්ට මේ මානසික නිදහස පවතිනවාද යන්න සිතිය යුතුය. ජනාධිපති අනුර කුමාර දිසානායක අධ්‍යපන ප්‍රතිසංකරණ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදි සඳහන් කළ පරිදිම අසල්වැසියාගේ මගුල් ගෙදරටවත් මළගෙදරටවත් සහභාගි නොවී හුදකලා ඉගෙනුම් අරගලයක යෙදෙන තෙතමනයක් නැති සහකම්පනයක් නැති දරුවන් ඇති කරන අධ්‍යාපන ප්රතිපත්තීන්වලට දැන්වත් තිත තැබිය යුතු නොවේද?
ඉරේෂා මධුරකාවිනී
