ආසියානු කලාපයේ දේශපාලන බලය හසුරුවන අදිසි හස්තය කුමක්ද ?මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයිය යුත්තේ මනා අවබෝධයෙන් සහ තීක්ෂණ ලෙස කරුණු අන්වේෂණය කිරීමෙන් පසුව ය. මෙහිදී ලෝකයේ නව ප්රවනතා කීපයක් පිළිබඳව හදුනා ගැනීම වැදගත් වේ.
ඒවා මෙසේ වර්ගීකරණය කරන්නේ මෙම ලියවිල්ල වඩා විධිමත් ලෙස ඉදිරිපත් කිරීමට ය.
1.මියන්මාරයේ පාලන බලය අවුන් සාන් සුකී ගෙන් හමුදා ජුන්ටාව වෙත මාරු වීම
2.රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය
3.ඉන්දියාවේ මෝදි ගේ ආණ්ඩුව රුසියාව දෙසට නැඹුරු වීම
4.ඇමෙරිකාව ,සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් බලයෙන් ඉවත් කිරීම පිළිබඳව තීරණය හකුලා ගැනීම
5.ඇමෙරිකාව ,ඇප්ගනිස්තානයේ තම හමුදා ඉවත් කර ගැනීම
6.සෞදි අරාබිය සහ ඉරානය අතර වසර හතලිහකට ආසන්න කාලයක් තිස්සේ පැවති එදිරිවාදිකම් චීනයේ මැදිහත් වීම නිසා අවසන් කිරීම
උක්ත කරුණු එකින් එක විමසා බැලීමේදී ආසියානු කලාපීය භූදේශපාලනය කියවීම වැදගත් වන අතර ඒ හරහා ජාතික දේශපාලනය කියවීම සිදු කළ හැකි ය.එම නිසා මේ සියලුම ප්රවනතාවන් ශ්‍රී ලාංකිකයන් ට අතිශය වැදගත් කරුණු වේ.
2021 වසරේ මියන්මාරයේ දේශපාලන බලය අවුන් සාන් සුකී ගෙන් හමුදා ජුන්ටාව විසින් බලහත්කාරයෙන් පවරා ගන්නා ලදී .මියන්මාරයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ට අනුව හමුදාව ට අසීමිත බලයක් ඇති අතර අවුන් සාන් සුකී ගේ ආණ්ඩුව මියන්මාරයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට සාධනීය පියවරක් ගත්තේ ද නැත .මියන්මාරයේ හමුදා ආණ්ඩුව ට එරෙහිව අභ්‍යන්තර කැරලි පැන නැගී තිබුණද තම පාලනය ස්ථාපිත කර ගැනීමට හමුදා ජුන්ටාව සමත් වී ඇත .බොහෝ දෙනා නොදන්නා කරුණ වන්නේ රුසියාව සහ චීනය මියන්මාරයේ වත්මන් ආණ්ඩුව ට සහය පල කරන බවයි .මියන්මාරයේ ආණ්ඩු ප්‍රධානියා වන ජෙනරාල් මින්ග් අන්ග් හ්ලෙන් මේ වන වන කීප අවස්ථාවක් රුසියානු ඉහළ පෙළේ රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයන් හමු වී ඇති අතර එක් අවස්ථාවකදී රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටීන් ද හමු වී ඇත .

ඇමෙරිකාව සහ යුක්රේනය අතර යුද්ධය තව දුරටත් උත්සන්න වෙමින් පවතියි. පැරණි සෝවියට් සංගමයේ රාජ්‍යය ක් වු යුක්රේනය තුළ සෝවියට් සංගමය බිද වැටීමෙන් පසුවත් තිබුණු රුසියානු හිතවාදි පාලනය කුමන්ත්‍රණයක් හරහා බටහිර ලැදි සෙලෙන්ස්කි වෙත පැවරීමත් සමග ආරම්භ වූ රුසියාව සහ යුක්රේනය අතර එදිරිවාදිකම් අවසානයේ යුද්ධයක් කරා රැගෙන ගියේ යුක්රේනය නේටෝ සංවිධානය ට බැදීමට උත්සුක වීමත් සමග ය.
දක්ෂිණාංශික ප්‍රතිපත්ති මත ක්‍රියා කළ නරේන්ද්‍ර මෝදි ගේ ආණ්ඩුව අනුගමනය කළ ඇමෙරිකානු හිතවාදි මූලෝපායන් කිසියම් වෙනසකට බදුන් වී ඇති බව පෙනේ.රුසියාව සමග පෙරට වඩා සබඳතාවයන් සෑම ක්ෂේත්රයකදීම ශක්තිමත් කර ගැනීමට ඉන්දියාව උත්සුක වී ඇත . දැනටමත් ඉන්දියාව සිය ඛනිජ තෙල් අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සපුරා ගන්නේ රුසියාවෙන් ය.
ඇමෙරිකා එක්සත් ජනපදය, ටියුනීසියාවෙන් ආරම්භ වූ “අරාබි වසන්තය” සදහා මුල සිටම සහය දැක් වූ අතර මැදපෙරදිග රාජ්‍යයන් ගණනාවක රෙජිමයන් වෙනස් කිරීමට එම “අරාබි වසන්තය” ට හැකි විය .එහෙත් රුසියානු හිතවාදි සිරියාවේ බෂාර් අල් අසාද් ගේ පාලනය බිද දැමීමට ගත් එක්සත් ජනපද උත්සාහය අසාර්ථක විය .එයට හේතුව බෂාර් අල් අසාද් ගේ පාලනය ට රුසියාව සෘජුවම සහය දැක්වීමය.
ඇමෙරිකාව ,ඇප්ගනිස්තානය අතහැර ගියේ ඇයි?ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීමත් සමගම ඉස්ලාමීය මූලධර්මවාදීන් ගේ අතට ඇප්ගනිස්තානයේ බලය ලැබුණු අතර එහි අනිවාර්ය ප්‍රතිඵලය වී ඇත්තේ දැඩි ආගමික මූලධර්මවාදී නීති එරට තුළ ක්‍රියාත්මක වීමය.සැබවින්ම ඇමෙරිකාවට වඩා වැදගත් වන්නේ නැගෙනහිර යුරෝපයේ තම ආධිපත්‍යය තහවුරු කර ගැනීමය.මේ නිසා සිය යුධ ශක්තිය නැගෙනහිර යුරෝපය වෙත තල්ලු කර ඇත .මෙය ඇමෙරිකා එක්සත් ජනපදය ට මූලෝපාය අතින් වඩා වැදගත් ය.
ඉරානයේ ෂා රජතුමා බලයෙන් පහ කළ ඉස්ලාමීය විප්ලවයෙන් පසුව බලය ට පත් වූ අයතුල්ලා කොමෙයිනිගේ ඉස්ලාමීය ඉරාන ආණ්ඩුව සමග සෞදි අරාබිය සිය සබදතා අත්හැර දැම්මේ ඉරානය අනුගමනය කළ ඇමෙරිකානු විරෝධී ප්‍රතිපත්තිය නිසා ය .එසේ උත්පාදනය වූ ඉරානය සහ සෞදි අරාබිය අතර විරසකය වසර හතලිහකට පමණ ආසන්න කාලයක් තිබුණු අතර පසුගියදා චීනය මැදිහත් වී එය සමහන් කළේය .
ලෝක බලවතුන් ගේ අවධානය දැන් යොමුව ඇත්තේ ආසියානු කලාපීය රටවල් වල ට සහ නැගෙනහිර යුරෝපය දෙසටය.එක් පසකින් චීනය සහ රුසියාව තම ආධිපත්‍යය තහවුරු කර ගැනීමේ අනවරත ක්‍රියාවලියක නිරතව සිටින අතර මෙම රටවල් දෙකම එකම පාර්ශ්වයක් නියෝජනය කරන බව පෙනේ.එනම් මෙම රටවල් දෙකම තම ඇමෙරිකානු විරෝධී ප්‍රතිපත්තිය දැඩි කරගෙන තිබේ.අනිත් අතට ඇමෙරිකා එක්සත් ජනපදය යුරෝපා රටවල් සමග එක්ව රුසියානු -චීන ඒකාබද්ධ යාන්ත්‍රණය ට එරෙහිව කටයුතු කරයි. ඔවුන් මේ අවස්ථාවේ නැගෙනහිර යුරෝපය පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කළ ද ආසියානු කලාපීය බලය ලබා ගැනීමේ උත්සාහය අතහැර දමා නොමැත .ආසියානු කලාපීය රටවල රාජ්‍යය නායකත්වය ,තම ප්‍රතිපත්තිය ගරු කරන නායකයින් අතර පැවතීම එක්සත් ජනපදයේ අභිලාෂය වේ.
මෙම සංදර්භය තුළ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය කිසිදු පාර්ශ්වයකට වැඩි භාරයක් ලබා දෙන ප්‍රතිපත්තියක් නොවිය යුතුය. මේ නිසා මෙරට ට මුහුණ දීමට සිදු වන භූදේශපාලනයේ ප්‍රතිවිපාක හදුනා ගෙන ඒවා ට මුහුණ දීමේ ක්රමෝපායන් සකස් කළ යුතුය .
පැහැදිලි වශයෙන්ම මේ අප ගත කරන්නේ සංක්‍රාන්ති සමයකි. වත්මන් ආර්ථික අර්බුදය ට විසදුම් සෙවීමේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිගැනීමට සිදු වේ.එවැනි පසුබිමක ඇමෙරිකාව ප්රමුඛ යුරෝපා රටවල් සමග අනෝන්‍යය අවබෝධයක් සහිත ව වැඩ කටයුතු කළ යුතු අතර මෙරට පිළිබඳව ලෝක ප්‍රජාවේ පවතින අවිශ්වාසය තුරන් කළ යුතුය .මේ නිසා ජාත්‍යන්තර දේශපාලන අර්බුද පිළිබඳව ස්වකීය මතය ඉදිරිපත් කිරීමේදී එකහෙළාම මැදහත් පාර්ශ්වයක් ලෙස කටයුතු කළ යුතු ය.වඩා නිවරැදි ලෙස ප්‍රකාශ කරන්නේ නම් ශ්‍රී ලංකාව සිය නොබැඳි ජාතින් ගේ ප්‍රතිපත්තිය ශක්තිමත් කළ යුතුය .ලෝක දේශපාලන ප්රවනතා පිළිබඳව අවශ්‍යම අවස්ථාවක විනා ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැලකී සිටීම ප්රඥාගෝචර වේ.
අනිත් අතට අප විසින් අවබෝධ කර ගත යුතු වැදගත් කරුණක් වන්නේ මේ අප ගත කරන්නේ නිරවි යුද්ධයේ (ශීතල යුද්ධයේ) දෙවන භාගයේ බවයි .
90ව දශකයේ මුල් භාගයේදී සිදු වූ සෝවියට් සංගමය ප්රමුඛ නැගෙනහිර යුරෝපයේ සමාජවාදී රාජ්‍යයන් බිද වැටීමත් සමග නිරවි යුද්ධය අවසන් වූ බව ට ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් පුරෝකතන ඉදිරිපත් කළ ද ඒ සියලුම පුරෝකතන අතිශය සාවද්‍ය බව ඔප්පු වී හමාරය .
එක් පසකින් ලෝකයේ දෙවන ආර්ථික බලවතා බවට පත් වී සිටින චීනය කෝවිඩ් නිසා සිදු වූ ආර්ථික අර්බුදය මේ වන විට සාර්ථක ලෙස කළමනාකරණය කර ගෙන තිබේ .එසේ ම ලෝකයේ තෙවන ආර්ථික බලවතා බවට පත් වීමේ ඉන්දියානු සිහිනය ක්‍රමයෙන් සැබෑවක් බවට පත්වෙමින් තිබේ .මේ සියල්ලම සිදු වන අතර ඇමෙරිකා එක්සත් ජනපදය සිය ආර්ථික ස්ථායිතාව රැක ගැනීම සදහා ක්‍රියාත්මක වෙමින් පවති.කොව්ඩ් අර්බුදය නිසා පසුබෑමට ලක් වූ ඇමෙරිකානු ආර්ථිකය නැවත ශක්තිමත් වෙමින් පවතියි.
මෙම සංදර්භය තුළ ශ්‍රී ලංකාව වැනි පසුගාමී ආර්ථිකයක් සහිත රටවල් අන් කවර කලකටත් වඩා තරයේ සිය නොබැඳි ජාතින් ගේ ප්‍රතිපත්තිය ගරු කළ යුතු අතර කිසිදු පාර්ශ්වයකට පක්ෂපාතී ලෙස කරුණු දැක්වීමෙන් වැලකී සිටිය යුතුය .දේශපාලන බලය පිළිබඳව වරෙක මාවෝ සේතුං ප්‍රකාශ කළ අදහසකින් මෙම ලියවිල්ල අවසන් කරමි.
“රාජ්‍යය බලය හැමවිටම දේශපාලනමය,හමුදාමය එකකි.එය තනිකරම ව්‍යවස්ථාදායකය හෝ ගණිතය පිළිබඳව කාරණයක් නොවේ. සියලුම දේශපාලන බලය ගලා එන්නේ තුවක්කු බටයෙනි.”

එස්.එම්.ජයසූරිය
